කොළඹ සිට කි. මි. 46ක් දුරින් පිහිටි අවිස්සාවේල්ලට නුදුරු සීතාවක අදින් සියවස් හතරහමාරකට පෙර රටේ ප්‍රබල රාජධානියක්. මේ රාජධානිය බිහිවන්නේ 1521 දී කෝට්ටේ සිදුවූ විජයබා කොල්ලයෙන් පසුවයි. මායාදුන්නේ කුමරු ( 1521-1581) මුලින්ම සීතාවක රජවන අතර,ඊට පසු ඔහුගේ පුත් සීතාවක රාජසිංහ ( 1581-1593) මෙහි කිරුළු දරනවා. මේ රාජ කාලවලට සහ ඊට පෙර යුගයන්ට අයත් ඉපැරණි නටබුන්ද සීතාවක දක්නට ලැබෙනවා. නමුන් වැඩිදෙනෙක් ඒවා දැකබලා ගැනීමට නම් උනන්දුවන බවක් පේන්න නැහැ.

සීතාවක මාලිගය පිහිටි කොටුව

සීතාවක කොටුව දැක්වෙන ඕලන්ද සිතියමක්- archaeology.lk

ලංකාවේ රාජධානි අතර නොමැකෙන මතක සටහන් රැසක් තැබූ සීතාවක රාජධානියේ ප්‍රධාන ස්මාරකය සීතාවක කොටුවයි. මෙය පිහිටා ඇත්තේ අවිස්සාවේල්ලේ සිට කි.මී. 2 ක් දුරින් තල්දූවෙන් හැරී යන පනාවල පාරෙහි බණ්ඩාරවත්ත ප්‍රදේශයේ. බටහිරින් හා නැගෙනහිරින්  සීතාවක නදියටද නිරිත දිගින් ගැටහැති ඔයටද මායිම් වූ මෙහි උතුරින් කුඩා  කඳුගැටයක් තිබෙනවා. ඊසාන දෙසින් තැඹිලියාන කන්දයි. ජල දුර්ග හා ගිරිදුර්ග වලින් සුරක්ෂිත වූ උස් බිම් කඩක පිහිටි මෙම කොටුව ප්‍රසිද්ධව තිබුණේ ඕලන්ද බලකොටුවක් ලෙසින්.නමුත් එහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී පැරණි සීතාවක රාජ මාලිගය පිහිටි භූමියේ බලකොටුව ඉදිකළ බව හෙළි වුණා.

රජ මාලියට මඟ පෙන්වන නාම පුවරුව – archaeology.lk

මායාදුන්නේ රජු මාලිගා සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු ඉටු කරගෙන ඇත්තේ ආර්ය නම් ඇමැතිවරයා ලවා බව සීතාවක හටනේ දැක්වෙනවා. රාජ සභා ශාලාව, සක්මන්  මණ්ඩපය, සළු මණ්ඩපය, උල්පැන්ගෙය, ආයුධ මණ්ඩපය, බිසෝ මාලිගා, ගබඩා ගෙවල්, මුළුතැන් ගෙවල්, ඇත්හල්, අස්හල් ආදියෙන් මාලිගා භූමිය සමන්විත වූ බව සීතාවක හටනේ විස්තර වෙනවා.

කැණීම්වලින් මතුකරගත් රජ මාලිගයේ නටබුන්- භූෂණ කල්හාර

මාලිගයේ නටබුන්- භූෂණ කල්හාර

සැවුල් සංදේශයද මෙම මාලිගය පිළිබඳ තොරතුරු දක්වන මූලාශ්‍රක්. එයට අනුව බිමට ඔප දමන ලද ගල් පුවරු ඇල්ලූ විසිතුරු කැටයම් කණු මත වහලය තනා රන්කොත් පළඳවා බිත්ති සිතුවමින් අලංකාර කර තිබුණා. ඕලන්ද පිඟන් කැබලි, දුම් පයිප්ප කැබලි, ඊයම් මූනිස්සම්, උළු කැබලි, මධ්‍ය කාලීන අවධියට අයත් කාසි, වළං කැබලි, කම්මල් ඇණ ආදී අවශේෂ මින් හමුවුණා.

මානියංගම රජමහා විහාරය

මානියංගම ලෙන් විහාරය avissawella.com

රජ මාලිගය නරඹා පනාවල මාර්ගයේම තවත් ඉදිරියට කි. මී. 4ක් යනවිට මාර්ගය වම්පසින් ඉහළ නගින යකහටුවාව කන්ද අපට පේනවා. මේ කඳුබෑවුමේ පිහිටි විශාල ගල්පර්වතයක් ඇසුරුකර ගෙන ඉදිකර තිබෙන්නේ මානියංගම ලෙන් විහාරයයි. එය සීතාවක රාජධානි සමයේ රජවරු වැඳපුදාගත් ප්‍රධාන පූජනීය ස්ථානයයි. පසුව උඩරට රාජධානි සමයේද මෙම පුදබිමට රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා.

කඳුවැටියෙන් ගලාබසින සුන්දර දොළ පහර දෙකක් මැද පිහිටි මෙම ලෙන් විහාරය මුලින්ම ආරම්භ කළේ වළගම්බා රජ සමයේ බව ජනප්‍රවාදවල දැක්වෙනවා.  උඩරට සම්ප්‍රදායට අයත් බිතුසිතුවම් මෙහි දක්නට පුලුවන්. රජමහා විහාරයේ මකර තොරණ් දෙක අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ අඩි 6ක් පමණ උස රූපයක් අඹා තිබෙනවා. මෙහි පැවැත්වෙන සුවිශේෂ සංස්කෘතික අංගයක් වන්නේ  දුරුතු පෝය දින වීදි සංචාරය කරන කරල් පෙරහරයි. අලුත් අස්වැන්නෙන් නෙලාගත් වී කරල් එලෙස පෙරහරේ රැගෙන යනවා.  එහි පෙරහර පිටත්වීමට දැනුම්දෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පරිත්‍යාග කළ කාලතුවක්කුවෙන් බවයි පැවසෙන්නේ.

යකහටුවාව කන්ද

කන්ද ඈතට දිස්වන අයුරු – භූෂණ කල්හාර

මානියංගම විහාරය පසුපසින් ඉහළ නගින කඳුවැටිය යකහටුවාව හෙවත් කොබෝතුරාගලයි. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසින් පැමිණෙනවාදැයි ඔත්තු බැලීමට මෙම කන්ද යොදාගත් බව පැවසෙනවා. මේ කන්ද තරණය කිරීමට පනාවල පාරේ තවත් ඉදිරියට ගොස් බෝමළුව හන්දියෙන් හැරී යද්දෙහිකන්ද දක්වා ඇති අතුරු මාර්ගයේ කි. මී 2ක් ගමන් කළ යුතුයි. මේ පාර කොන්ක්‍රීට් දැමූ දුෂ්කර බෑවුම් සහිත මාර්ගයක්. ජීප් රථයකට හෝ ත්‍රිවිල් එකකට ගමන් කළ හැකියි. යද්දෙහිකන්දේදී කන්ද මුදුනට යන මාර්ගය ගැන ගම්වැසියන්ගෙන් අසාගත යුතුයි. කන්දට යාමට ස්ථිර පාරක් නැහැ. රබර් වතු හා වනාන්තර හරහා ගමන් කළයුතුයි. කිතුල් මැදීම හා රබර් කිරි කැපීම මේ අවට සිදුවෙනවා. හේන් බෝග වගාවත් අතරින් පතර දැකගත හැකියි. කොළඹට නුදුරින් දුෂ්කර කඳුකර අත්දැකීමක් ලබාගැනීමට මෙය කදිමයි.

කඳු මුදුන ආසන්නයේ පැතිර තිබෙන්නේ කොබෝතුරාගල පර්වතයයි.  එම පර්වතය නැගීම නම් ඇඟ හිරිවැටෙන වැඩක්. ඒ තරම් සෘජු බෑවුමක් සහිතයි. එය තරණය කිරීමට සබරගමුව පළාත් සභාවෙන් කොන්ක්‍රීට් පියගැට පෙළක් ඉදිකර තිබෙනවා. නමුත් අපට දැකගැනීමට ලැබුණේ එහි අත්වැට කඩාදමා ඇති බවයි. කඳු මුදුනට සබරගමුව කඳුවල හා කොළඹ දක්වා බස්නාහිර තැනිතලාවේ අංශක 360ක අපූරු දර්ශනයක් දැකගත හැකියි. අහස පැහැදිලි දිනවල සමනල කඳුවැටියත් අලංකාරව දිස්වෙනවා.

බැරැන්ඩි කෝවිල

කන්ද තරණය කර ආපසු තල්දූවට පැමිණ යටියන්තොට පාරේ මඳ දුරක් ගමන් කළ විට මහාමාර්ගය අද්දර පුරාවිද්‍යා නාම පුවරුවක් සවිකර තිබෙනවා. එතැනින් හැරිලා තවත් මීටර 200ක් පමණ නිවාස මැදින් වැටුණු පටු පාරක ගමන් කළ විට බැරැන්ඩි කෝවිල් භූමියට පැමිණිය හැකියි.

බැරැන්ඩි කෝවිල කිව්වම හිතට එන්නේ නිකම් නුහුරු හැඟීමක්. සැවුල් සංදේශයේ මෙය හඳුන්වා තිබෙන්නේ භෛරව කෝවිල යනුවෙන්. සීතාවක රාජධානියට අයත් බැරැන්ඩි කෝවිල පිහිටා තිබෙන්නේ තරමක් උස් භූමියක. එයට පහළින් සීතාවක ගඟ ගලාබසිනවා. සීතාවක රාජධානියේ හමුවන ඵෙතිහාසික ස්ථාන අතර ශෙලමය නටබුන් වැඩිම නිර්මාණය ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. අඩි 100ක් පමණ දිග හා පළලින් යුත් ශෛලමය වේදිකාවක් මත කළුගල් පුවරු  ඇතිරූ මළුවක් තියෙනවා. මෙම මළුව මැද අඩි 15ක් පළල අඩි 20ක් පමණ දිග දෙවොල් ගෙයක් දක්නට ලැබෙනවා. එහි පිහිටි කුලුනු සම්පූර්ණයෙන් වැඩ නිම කර නැහැ. ඒවායේ අපූරු කැටයම් දක්නට ලැබෙනවා. ඒවා ද්‍රවිඩ වාස්තු විද්‍යා ලක්ෂණවලින් යුක්තයි.

කෝවිලේ සමීප දසුනක්- seethawakahanda fb page

මේ කෝවිල පළමු වන රාජසිංහ රජු විසින් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ උපදෙස් අනුව කරවූ බව තමයි පැවසෙන්නේ. නමුත් මිනිස්සු 2000 ක් මෙහි වැඩට යෙදවූ පසුත් රජතුමාට මේ කෝවිල ඉදිකරගන්න බැරිවෙලා තියෙනවා. අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් මේ කෝවිල හදන්න පටන් අරං තියෙන්නේ කවදාවත් ඉවර කරන්න නෙවෙයි කියලයි ජනප්‍රවාද පවසන්නේ. සීතාවක රාජසිංහ රජතුමා පියා මරා ශිවභක්තිය වැළදගෙන එම පාපය ගෙවීමට බැරැන්ඩි කෝවිල ඉදි කළ බවට ජනප්‍රවාදයක් පැවතියත් ලිඛිත හා පුරාවිද්‍යා නටබුන් මූලාශ්‍ර පරීක්ෂා කිරීමෙන් සීතාවක රාජසිංහ රජතුමා පියා මරා ශිව භක්තිය වැළද නොගත් බව තහවුරු වෙනවා.

රාජසිංහ රජු පෙතන්ගොඩ උයනේදී විෂ කටුවක් ඇනිලා මිය ගියාට මිය ගියාට පස්සේ කෝවිලේ වැඩ අත්හැරලා දමා තිබෙනවා. ඒ වන විට​ බාගෙට හදපු කෝවිල පස්සේ කාලෙක කඩා වැදුණු පෘතුගීසින් විසින් විනාශ කළ බවත් පැවසෙනවා.

රාජසිංහ සොහොන

සොහොන පිහිටි ස්ථානය ctkumara.blogspot.com

බැරැන්ඩි කෝවිල නරඹා ආපසු පැමිණ යළිත් යටියන්තොට පාරේ තල්දූව පසුකර පාරේ මඳ දුරක් ගියවිට ගුරුගල්ල පාර හමුවෙනවා. ඒ පාර ඇදීයන්නේ කැලණි ගංගාවට සමාන්තරවයි. එහි මඳදුරක් යනවිට පැරණි තුරග තරග පිටිය දකින්න ලැබෙනවා. මේ පාරේ හරියටම කිලෝ මීටර් දෙකක් ගිය තැන රාජසිංහ සොහොන පිහිටි ස්ථානයට අපි ළඟාවෙනවා. මහාමාර්ගය අද්දරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නාම පුවරුවක් සවිකර තිබෙන නිසා පාර සොයාගැනීම පහසුයි.

මේ අසලින් කැලණි නදිය ගලාබසිනවා. මෙහි පැරණි නටබුන් දකින්න ලැබෙන්නේ නැහැ. ස්වභාවික ගල්කණු කිහිපයක් පමණක් සහිත ස්ථානයක්. එය වටකර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැටක් සවිකර තිබෙනවා.

තිඹිරිපොල රජ ලෙන

යටියන්තොට පාරේ තවත් ඉදිරියට යන විට අප ළඟාවන්නේ දෙහිඕවිටටයි. දෙහිඕවිටට නුදුරු පිටදෙනියෙන් හැරී කිලෝ මීටරයක් ගමන් කිරීමෙන් තිඹිරිපොළට පිවිසිය හැකියි. සීතාවක ගඟ මේ ගමට නුදුරින් ගලාගෙන යනවා. ගමට ඈතින් ප්‍රාකාරයක් සේ ඉහළ නගින්නේ මානියංගම යකහටුවාව කන්දයි. රජලෙනට පැමිණීමට නම් ගඟ හරහා ඉදිකර ඇති සංගිලි පාලමෙන් එගොඩවී තවත් ටික දුරක් පියමං කළ යුතුයි. ලෙනට පිවිසීමට පෙර ගං ඉවුරට නුදුරින් ලදු කැලෑවක පිහිටි රම්පටගල සිරිපතුල් කැටයමද නැරඹීමට පුලුවන්. එය කොටා තිබෙන්නේ ගල්පර්වතයක් මතයි. සිරිපතුල මැද නෙලුම් මල් මෝස්තර කැටයම් කර තිබෙනවා. මෙය වෙතට පැමිණීමට නිශ්චිත මාර්ගයක් නැති නිසා ගම්වැසියන්ගෙන් මඟසලකුණු අසාගැනීමට සිදුවේවි. පූර්ව බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි දෙකකින් යුත් රජලෙන තවත් ටික දුරක් ගමන් කරන විට හමුවෙනවා. මෙම සෙල්ලිපිය වසර 2000ක් පමණ පැරණියි. මෙරටට බුදුදහම ලැබුණු ආසන්න සමයකට එය අයත් වෙනවා. ගම් ප්‍රධානියකු සහ උපාසකයකු විසින් ලෙන් කරවා භික්ෂුන් වහන්සේට පූජා කිරීම ගැනයි මෙම සෙල්ලිපිවල සඳහන් වන්නේ. අවශ්‍ය නම් මේ මාර්ගයේ තවත් ඉදිරියට ගොස් යකහටුවාව කන්දට පැමිණීමටත් පුලුවන්.

ආශ්‍රිත මූලාශ්‍ර-

සබරගමුව ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

සීතාවක රාජසිංහ රාජ්ජ කාලය- රිසිමන් අමරසිංහ

සීතාවක පුර යුගය- වේරහැර අරියවංස හිමි

කවරය- රජ මාලිගා භූමියේ කැණීම්- භූෂණ කල්හාර