සොබාදහමේ මනබඳින නිර්මාණයන් ගොන්න අතරට එකතු වන හිලියර් විල, දුටුවන්ගේ නෙත්සිත් වශී කරවාගන්නා තවත් එක් මායාකාරී දර්ශනයකි. හිලියර් විල අසබඩට පැමිණෙන අයෙකුට සැබෑ ලෝකය අමතකව යන්නේ නම් ඒ එහි ඇති චමත්කාරජනක පෙනුම නිසාවෙන්මය. මනස්කාන්ත හිලියර්, අප ඉදිරියේ මවා පෙන්වන දර්ශනය, ඔබ ජීවත් වන්නේ සුරඟන ලොවක බව විශ්වාස කිරීම‍ට ඔබව පොළඹවනු ඇත. මෙතෙක් කියවා තිබෙන සුන්දරම සුරංගනා කතාවේ ජීවමාන පරිච්ඡේදයක් මේ ඉසව්වෙන් හමුවනු ඇති බවට විශ්වාසයෙන් ඕනෑම අයෙකු මෙම විල වටා විපරමින් ඇවිද යන බව නොඅනුමානය.

උදෑසන සූර්යා ලෝකයෙන් නැහැවෙන හිලියර් විල් දියක‍ඳේ රෝස පැහැති දිස්නය ඕනෑම අයෙකුගේ මනබඳන සුළුය. සොබාදහමේ සුන්දරම ඉසව් සොයා ගමනාරම්භ කළ ඕනෑම අයෙකුගේ මනෝ පිපාසය සංසිඳුවීමට හිලියර් විලේ එක් සුළං රොදක් පමණක් වුව ප්‍රමාණවත් වනු ඇත.

හිලියර් විලේ රෝස පැහැගත් දිය කඳ (hdimageson.com)

පිහිටීම හා ඉතිහාසය

බටහිර ඕස්ට්‍රේලියාවේ දක්ෂිණ වෙරළ තීරයට ඔබ්බෙන් රචච් ආකිපෙලාගෝ (Recherche Archipelago) යනුවෙන් හඳුන්වන දූපත් දාමයක් පවතින අතර ඒ අතරින් විශාලතම දූපත වන මිඩ්ල් අයිලන්ඩ්හි ඝන යුකැලිප්ටස් වනාන්තරයෙන් ආවරණය වූ ජනශූන්‍ය ස්වභාවික සංරක්ෂණයක් පවතින අතර මෙම දූපත් ප්‍රථමයෙන්ම සිතියම්ගත කරන ලද්දේ වර්ෂ 1802 දී බ්‍රිතාන්‍ය ජාතික මැතිව් ෆ්ලින්ඩර්ස් විසිනි. දූපත පුරා සැරිසරන ෆ්ලින්ඩර්ස් එහි පවත්නා උසම කඳු මුදුන තරණය කරන අතර ඔහුට මෙම විල ප්‍රථම වරට දර්ශනය වන්නේ එම කඳු මුදුන මතදීය.

අද වන විට එම කඳු මුදුන ද ඔහුගේ නමින් නම් කර ඇත. වර්ෂ 1803 දී මැතිව් මෙම විල, හිලියර් විල ලෙස නම් කරන්නේ පාචනය රෝගය වැළඳී ඔහුගේ ගවේශණ කණ්ඩායමේ සාමාජිකයෙකු මිය යෑමෙන් පසුව ඔහුව සිහිවනු පිණිස සහ ඔහුට ගෞරවයක් වනු පිණිසය. හිලියර් විලේ විචිත්‍රත්වයෙන් මත්වන ෆ්ලින්ඩර්, එම විලෙන් ජල සාම්පලයක් ද රැගෙන යන අතර මෙකී අපූර්ව විල පිළිබඳව වාර්තාගත කර තැබීමට ද අමතක නොකරයි. හිලියර් විල පිළිබඳව මේ අනුව ප්‍රථම වාර්තාකරණය සිදුවන්නේ ෆ්ලින්ඩර්ස් අතිනි.

පැසිපික් සාගරය අසබඩ පිහිටි හිලියර් (Charismatic Planet)

රෝස පැහැය සහ ලෝක ප්‍රසිද්ධ සුන්දරත්වය

හිලියර් විල‍ සතු හුරුබුහුටි පෙනුමට එහි දිග ප්‍රමාණය මීටර් 600ක් (අඩි 2000ක්) පමණක් වීම එක් හේතුවකි. පළලින් මීටර් 250ක් (අඩි 820ක්) පමණ වන හිලියර් විල හෙක්ටයාර 1.5ක් (අක්කර 3.7ක්) පුරා පැතිර පවතී. හිලියර්, කෙනෙකුගේ සිත අලවාගන්නේ වෙනත් බොහෝ විල්වල මෙන් එහි ජීවත් වන කිසියම් ජීවී විශේෂයක් හෝ මත්ස්‍ය වර්ගයක් හේතුවෙන් ද නොවේ. එ‍ය හුදෙක් එහි පෙනුම විසින්ම කෙනෙකුගේ දෑස ද හදවත ද ග්‍රහණය කරගැනීමට සමත් වන්නේය. නිල් දිය රැළි නගන පැසිපික් සාගරය අද්දර උපත ලබමින්, එහි සෙනෙහෙබර සුළං රැළිවල පහස විඳිමින්, ඒ දෙසම දෑස් දල්වා බලා සිටින සුන්දර රෝස හිලියර් රාජිණිය සොබාදහමට එක් කරන්නේ ප්‍රේමාන්විත දසුනකි.

සුරඟනකගේ ආදරණීය හැඩරුවෙන් යුත් හිලියර්ගේ කුඩා දේහය‍ට ලොව වෙනත් කිසිදු දියකඳක් සතු නොවන එකී මනරම් පැහැය ලැබුණේ කෙසේදැයි යන්න දීර්ඝ කාලයක් නොවිසඳුණු සුන්දර අබිරහසක් විය. හිලියර් දෙවඟනගේ වෘත්තාන්තය‍ට නව පරිච්ඡේදයක් එක් කරනු වස් දීර්ඝ කාලයක් පර්යේෂණයන්හි යෙදුණු විද්‍යාඥයන් විසින් අනාවරණය කරගන්නා ලද්දේ Dunaliella salina නමැති මයික්‍රො ඇල්ගී විශේෂයක් සහ halobacteria නමැති මයික්‍රො බැක්ටීරියා විශේෂයක සම්මිශ්‍රණය හේතුවෙන් හිලියර් ජලයෙහි රෝස පැහැය නිපදවෙන බවයි.

පැසිපික් සාගරය අවට පිහිටි හරිත පරිසර කලාපය (Tourism Australia)

සුන්දරත්වය පිටුපස ඇති භයානක බව

මෙම විලෙහි ලවණ සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඒ හේතුවෙන් එහි ලුණු ලේවායක් ඉදි කිරීම සඳහා වර්ෂ 1889 දී ව්‍යවසායකයන් පිරිසක් වූ එඩ්වඩ් ඇන්ඩෲස් සහ ඔහුගේ පුතුන් විසින් උත්සාහ දරන ලදී. නමුත් එකී උත්සාහය ව්‍යවර්ථ වී යන්නේ අදාළ ජලය විස සහිත බව; එනම් ලුණු නිපදවීම සඳහා යෝග්‍ය නොවන බව අනාවරණය කරගැනීමත් සමඟය.

වර්තමානයේ හිලියර් විල Recherche Archipelago Nature Reserve යටතේ ආරක්ෂාවට ලක් වේ. වර්තමානය වන විට මෙම භූමි ප්‍රදේශය සඳහා ප්‍රවේශ වීමේ අයිතිය ලබා දී තිබෙන්නේ එම කලාපය තුළ සේවයෙහි නිරත වන විද්‍යාඥයන්ට පමණි. ඒ අනුව පොදු මහජනතාවට මෙම ප්‍රදේශය තුළට ප්‍රවේශ වීමට ඇති ඉඩ තරයේ සීමා කර ඇත. කෙසේ නමුත් ගුවන් නරඹන්නන් හිලියර් විලේ අරුම පුදුම රෝස දිය කඳ දැකීමේ මහත් ආශාවකින් ඒ මතින් පියාසර කිරීම නවතා ඇති බවක් තවම නොපෙනේ.

හිලියර් පරිසර කලාපය (Imgur)

ආශ්‍රිත ජෛව විද්‍යාත්මක පසුබිම

වර්තමානය වන විට විද්‍යාඥයන්ගේ පර්යේෂණයන්ට භාජනය වී ඇති හිලියර් විලට ඒ හේතුවෙන්ම විශාල වටිනාකමක් එකතු වී ඇත. Association of Biomolecular Resource Facilities ආයතනය, දැනට මෙම භූමියෙහි පර්යේෂණයන්හි නිරත වී සිටින අතර ඔවුන්ගේ ව්‍යාපෘතියක් වන The Extreme Microbiome Project යටතේ, මෙම විලෙහි අධික ලවණ සාන්ද්‍රණය යටතේ පවා සුරක්ෂිතව පවතිමින් විලට රෝස පැහැය ගෙනෙන ක්ෂුද්‍ර ජීවී විශේෂයන් පිළිබඳව අනාවරණය කරගැනීම සඳහා පර්යේෂණ පැවැත්වේ.

අධික ලවණ තත්ත්වයන්ට අනුවර්තනය වන ක්ෂුද්‍ර ජීවී විශේෂයන් හඳුනාගනිමින් ක්ෂුද්‍ර ජීවී ලෝකයෙහි අභිරහස් ගණනාවක් අනාවරණය කරගැනීමට මෙම පර්යේණයන් ඇසුරින් උත්සාහ දරයි. පර්යේෂණයන් ඇසුරින් විල තුළ සහ විල වටා පවත්නා ජෛව විවිධත්වයන් හඳුනා ගැනීමට ලක් කර ඇත. ඒ අනුව විලෙහි රෝස පැහැයට හේතු වන Dunaliella salina ඇල්ගී විශේෂය විල තුළින් සහ Pink halophytic bacteria විශේෂය විල වටා පවත්නා ලවණ පෘෂ්ඨය මතින් සොයාගෙන කරගෙන ඇත.

හිලියර් පාරිසරික කලාපය (blackjackcharters.com.au)

විලෙහි නිම් වළල්ල සොඳුරු කපුරු ගස් සහ paperbark ගස්වලින් සන්නද්ධව හරිත වර්ණයෙන් බබලයි. Birdlife International ආයතනය විසින් මෙම විල වටා පිහිටි පරිසර කලාපය අතිශය වැදගත් පක්ෂි කලාපයක් ලෙස නම් කර ඇත. ඊට හේතුව වන්නේ එහි සැරිසරන පක්ෂීන් හේතුවෙන් එයට ලැබී තිබෙන විශේෂ ජෛව විවිධත්ව මුහුණුවරයි.

කෙසේ නමුත් හිලියර් විල සහ අවට ප්‍රදේශය සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර ඇති බැවින් මෙකී විචිත්‍රත්වය විඳගැනීමට සංචාරකයන්ට දැනට සීමාවන් පවතින අතර ඇතුල්වීමේ අවස්ථාව හිමිව තිබෙන්නේ අවසරලාභීන්ට පමණි. නමුත් විල වටා භූමිය දැනටමත් මානව ක්‍රියාකාරකම්හි බලපෑමටත් තර්ජනයටත් ලක්ව ඇත. එහෙයින් විල පිහිටි කලාපයෙන් පර්යේෂණයන්ට අදාළ යම් යම් දෑ රැගෙන යාම විද්‍යාඥයන්ට පමණක් සීමා කර ඇත.

කවරයේ පින්තූරය (hdimageson.com)

මූලාශ්‍ර :

How Does This Lake Stay Pink?, vix.com
Why Is Lake Hillier Pink?, worldatlas.com
Lake Hillier – Australia’s Pink Lake, unusualplaces.org
Lake Hillier, hillierlake.com
Lake Hillier – Western Australia, australianphysicalenvironments.weebly.com
Why Is Lake Hillier Pink?, thekidshouldseethis.com
Lake Hillier: The Pink Lake in Australia, twistedsifter.com
Lake Hillier: The Pink Lake in Australia, zmescience.com
Mystery of the 'pink lake' solved: Strange neon colour of Australia's Lake Hillier is caused by salt-loving microbes, dailymail.co.uk
Lake Hillier, In Western Australia ‘Pink Color Water’, foundtheworld.com
Interesting facts about Lake Hillier, justfunfacts.com
Lake Hillier: The Story Behind Australia’s Pink Lake, cntraveler.com