බොහෝ වෙහෙස මහන්සි වී රාජකාරි කටයුතුවල නිරත වන උදවිය විවේකයක් ලද විගසම සංචාරය කිරීමට ප්‍රිය කරන ස්ථානයක් නුවරඑළිය. ඒ, සුවදායී දේශගුණය පමණක්ම නිසා නොව, මනස්කාන්ත සංචාරක ඉසව් රැසක් නුවරඑළිය නගරය ආශ්‍රිතව පිහිටා තිබෙන නිසා යි. නුවරඑළිය ආශ්‍රිතව පිහිටා තිබෙන සොඳුරු ඉසව් අතරට හෝර්ටන් තැන්න, ග්‍රෙගරි වැව, හක්ගල උද්භිද උද්‍යානය, වික්ටෝරියා උද්‍යානය, පිදුරුතලාගල කන්ද, සඳතැන්න, අඹේවෙල ගොවිපොළ ආදිය අයත්. ඒවා අතරින් හක්ගල උද්භිද උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොඅඩුව දිනාගෙන තිබෙන ස්ථානයක්.
හක්ගල ප්‍රදේශය පිළිබඳව කියවෙන පුරාවෘත්ත
රාමායනය පුරාවෘත්තයට අනුව එවකට ලංකා රාජ්‍යය පාලනය කළ රාවණා රජු, ඉන්දියාවේ සිටි සීතා කුමරිය පැහැරගෙන විත් සැඟවූවායැ යි විශ්වාස කරන්නේ හක්ගල ආසන්නයේ ඇති සීතාඑළිය ප්‍රදේශයේ යි. එය සිහිපත් කරමින් ඉදිකෙරුණු සීතා අම්මාන් කෝවිල සහ උද්‍යානය හක්ගල ආසන්නයේ පිහිටා තිබෙනවා.
තවත් අප්‍රකට ජනප්රවාදයක සඳහන් වන්නේ රාවණා රජු දක්ෂ වෛද්‍යවරයකු ලෙසින් ප්‍රසිද්ධ වී සිටි බව යි. එකල රාජකීය ඔසු උයන හග්ගල ප්‍රදේශයේ පිහිටා තිබුණු බව ද පැවසෙනවා. රාමා - සීතා කතා පුවත්වල සඳහන් වන අන්දමට ස්ත්රීපුර ගල්ලෙනේ සඟවා සිටි සීතා දේවියට වැඩි කාලයක් ඝනඳුර මධ්‍යයේ ගත කිරීමට සිදුවුණා. ආලෝකය ලැබීම මඳවීම නිසා සීතා දේවියට අක්ෂි රෝගයක් වැළඳුණා. සීතා දේවියට ප්‍රතිකාර කිරීම සඳහා, ඇය රහසිගතවම හක්ගල ඔසු උයනේ ස්ථානයක සඟවා තබා තිබෙනවා. එම ප්රතිකරවලින් පසුව ඇස් රෝගය සුවවී, සීතා දේවිය යළි පෙනීම ලබාගත් ස්ථානය අද සීතා එළිය නමින් හඳුන්වනවා. අද හක්ගල උයනට ඉතා ආසන්න ස්ථානයක සීතා කෝවිල පිහිටා ඇති අතර ඉන් පහළ ඇති දොළෙහි සීතා දේවිය ස්නානය කොට තිබෙන බව හින්දු භක්තිකයන් විශ්වාස කරනවා. එම නිසා සීතාදේවී කෝවිල ලාංකික හින්දු භක්තිකයන් මෙන්ම, ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන් නොවරදවාම පැමිණෙන ස්ථානයක් බවට පත්ව තිබෙනවා.
හක්ගල උද්‍යානයේ ආරම්භය
1815 වසරේ දී බ්‍රිතාන්‍ය ජාතිකයන් කන්ද උඩරට රාජධානිය යටත් කරගත්තා. එම ප්‍රදේශයේ දක්නට ලැබුණු සුන්දර වටපිටාවත්, සෞම්‍ය දේශගුණයත් නිසා, එය උද්භිද උද්‍යානයක් සෑදීමට වඩාත් යෝග්‍ය බව බ්‍රිතාන්‍යයන් තේරුම් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1821 වසරේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානය ආරම්භ වුණා. එකල උද්‍යානයේ කටයුතු භාරව සිටි ඇලෙක්සැන්ඩර් මූන් කෝපි සහ කුරුඳු යන භෝග වගා කිරීම සඳහා එය යොදාගත්තා. 1849 වසරේ දී ජෝර්ජ් හෙන්රි ත්වේට්ස් නම් පුද්ගලයා පේරාදෙණිය උද්භිද උද්‍යාන භාරකරු වශයෙන් වැඩ භාරගත්තා.
1859 වසර පමණ වන විට ලංකාව තුළ මැලේරියා වසංගතය පැතිර ගියා. එකල මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිතා කළ ක්වීනින් නම් ඖෂධය නිෂ්පාදනය කෙරුනේ සිංකෝනා ශාකයෙන්. එම අවධියේ දී පේරාදෙණිය උද්භිද උද්‍යානය මඟින් සිංකෝනා වගාකළ හැකි ප්‍රදේශ පිළිබඳව අධ්‍යයනයක නිරත වුණා. එහි දී ඔවුන්ට සිංකෝනා වගාව සඳහා සුදුසු ප්‍රදේශයක් හමුවුණා. ඒ, නුවරඑළියේ හක්ගල ප්‍රදේශය යි. සිංකෝනා ශාකයේ නිජබිම වුණු මධ්‍යම ඇන්ඩීස් ප්‍රදේශයේ සහ හක්ගල ප්‍රදේශයේ දේශගුණික ලක්ෂණ බොහෝ සෙයින් සමාන වුණු නිසා එහි සිංකෝනා වගාව හොඳින් සිදුකිරීමට හැකි වුණා.
හක්ගල ප්‍රදේශයේ අක්කර 500ක් පුරාවට සිංකෝනා වගා කර තිබුණු ප්‍රදේශය 1861 වසරේ දී උද්භිද උද්‍යානයක් බවට පත්වුණා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ භාරකරු වශයෙන් කටයුතු කළ ජෝර්ජ් හෙන්රි ත්වේට්ස්ම යි.
හක්ගල උද්භිද උද්‍යානය දියුණු කළ ඉංග්‍රීසි ජාතිකයා
හක්ගල උද්‍යානය ආරම්භ කර වසර 21ක් පමණ ගතවන විට විලියම් නොක් නැමැති ඉංග්‍රීසි ජාතිකයා එහි උද්‍යාන භාරකරු තනතුරෙහි වැඩ භාරගත්තා. ඉතාමත් දක්ෂ නිලධාරියෙකු වුණු විලියම් නොක් 1883 වසරේ දී ලොත්සුඹුල් ශාක රැසක් උද්‍යානය තුළ රෝපණය කළා. ඉන් අනතුරුව උද්‍යානය අලංකාර අයුරින් සකස් කිරීමට මඟ පෙන්වූ විලියම් නොක්, විවිධ රටවලින් ගෙන්වූ විවිධ වර්ගවලට අයත් ශාකයන් රැසක් උද්‍යානයේ රෝපණය කළා. එම ශාක අතරින් 1893 වසරේ දී චීනයෙන් ගෙන්වා රෝපණය කළ කපුරු ශාකවලට ප්රමුඛස්ථානයක් හිමිවුණා.
1882-1904 කාල සමය තුළ හක්ගල උද්‍යානය භාරව කටයුතු කළ විලියම් නොක්, තමා විශ්‍රාම යන විට හක්ගල උද්‍යානය ඉතාමත් දියුණු තත්ත්වයකට පත්කර තිබුණා.
පියාගෙන් පසුව පුතුන්ගෙන් ඉටුවුණු සේවය
1904 වසරේ දී විලියම් නොක් විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහුගේ වැඩිමහල් පුත් ජේ.කේ නොක් උද්‍යාන භාරකරු තනතුරට පත්වුණා. ඔහු ද සිය පියා මෙන්ම හක්ගල උද්භිද උද්‍යානය දියුණු කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටු කළා. 1909 වසරේ නත්තල් නිවාඩුව ළඟාවන විට ඔහු සිය මව්බිම බලා යාමට තීරණය කළා. බ්‍රිතාන්‍යය බලා ගමන්කරන නැවකට නැගි කණිෂ්ඨ නොක්ට ගමනාන්තය කරා ළඟාවීමට තරම් වාසනාවක් තිබුණේ නැහැ. ඒ, 1909 දෙසැම්බර් 13 වැනිදා නොක් ගමන් කළ නැව මුහුදුබත් වුණු නිසා යි.
සිය වැඩිමල් සොහොයුරාගේ හදිසි අභාවයෙන් පසුව හක්ගල උද්‍යානයේ භාරකරු තනතුරට පත්වුණු ජේ.ජේ නොක් මුලින්ම කළේ සිය සොහොයුරා සිහිපත් වීම සඳහා “ගිම්හාන නිවහන” නම් ගොඩනැගිල්ල සෑදීම යි. එහි කටයුතු 1912 වසරේ දී නිමාවට පත්වුණු බව එහි පිහිටුවා තිබෙන සමරු ඵලකයක සටහන් වෙනවා. ජේ.ජේ නොක් යුගය ගැන සිහිපත් කරන විට 1921 වසරේ දී ස්ථාපිත කෙරුණු ගිරි උයන අමතක කරන්නට බැහැ. ගල්කුළුවලින් සමන්විත වුණු එම උයන හක්ගල උද්භිද උද්‍යානයට සුන්දරත්වයක් ගෙන එනවා.
වසර 31ක පමණ කාලයක් පුරාවට හක්ගල උද්භිද උද්‍යානයේ භාරකරුවා වශයෙන් කටයුතු කළ ජේ.ජේ නොක් 1940 වසරේ දී විශ්‍රාම ගියා. ඒ සමගම හක්ගල උද්භිද උද්‍යානයේ නොක් පරපුරේ පාලනය අවසන් වුණා.
නොක් යුගයෙන් පසුව අද දක්වා උද්‍යානය පැමිණි ගමන්මඟ
නොක් යුගයෙන් පසුව හක්ගල උද්‍යානයේ කටයුතු පාලනය කිරීමේ වගකීම ලාංකීය නිලධාරින්ට පැවරුණා. එයින් බොහෝදෙනා මෙම උද්‍යානය දියුණු කිරීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට ගිරි උයන, රෝස උයන, මීවන උයන, පළතුරු උයන, ඉහළ පුෂ්ප උයන, වීදුරු ගෘහය වැනි මල් උයන් මෙහි දී දැකගන්නට පුළුවන්. එසේම ලංකාවට ආවේණික ශාක, සහ විදේශීය රටවල්වලට ආවේණික ශාක 3000කට වැඩි ප්‍රමාණයක් ද, හග්ගලට ආවේණික ශාක 100කට වැඩි ප්‍රමාණයක් ද මෙහි රෝපණය කර තිබෙනවා. ආරම්භක යුගයේ දී මෙම උද්භිද උද්‍යානය අක්කර 500ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර තිබුණත් අද වන විට එය අක්කර 68කට සීමා වී තිබෙනවා.
මුහුදු මට්ටමේ සිට අඩි 5400ක උසකින් පිහිටා තිබෙන හක්ගල උද්‍යානයේ සෞම්‍ය දේශගුණයක් පවතිනවා. මෙහි උෂ්ණත්වය වාර්ෂිකව සෙල්සියස් අංශක 16-30 දක්වා විචලනය වන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව වැඩිම උෂ්ණත්වය අප්‍රේල් සිට අගෝස්තු දක්වා ද, අඩුම උෂ්ණත්වය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ද දැකිය හැකියි. එම නිසා අප්‍රේල්-අගෝස්තු අතර කාල සමයේ දී ඔබට හක්ගල උද්භිද උද්‍යානයට පැමිණ එහි අසිරිය විඳගත හැකියි.
කවරයේ ඡායාරූපය- හක්ගල උද්භිද උද්‍යානය (Lakpura)
මූලාශ්‍රයයන්- දන්නා හක්ගල ගැන නොදන්නා දේ