Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාමයේ කහ නගරය : හොයි ඈන්

ගෙවී ගිය සියවස තුළ වියට්නාමය මුහුණ දුන් දුක් කරදර බොහෝම යි. නමුත් ඒ කිසිවෙකින් හානියක් නොවී සහස්‍රයක ඉතිහාසය ලොව කියාපාන සොඳුරු නගරයක් වියට්නාමයේ දකුණු මධ්‍යම ප්‍රදේශය ඔස්සේ ගලා බසින තූ බොන් ගං ඉවුරේ පිහිටා තිබෙනවා.

15 – 19 වැනි සියවස අතර කාලයේ දී අග්නිදිග ආසියාවේ පැවති වැදගත් සහ කාර්යබහුල වරායක් වූ මේ සොඳුරු නගරයේ වැඩි වශයෙන් ම සැරිසරා ඇත්තේ චීන, ජපන් සහ ලන්දේසි වෙළෙන්ඳන්. සේද රෙදි, චීන පිඟන් භාණ්ඩ, මැටි භාණ්ඩ සහ කුළුබඩු අලෙවි කිරීමට වියට්නාමයට පැමිණි ඔවුන් පසු කාලීනව රටින් බැහැර ගියේ වියට්නාමයට අලුත් ගෘහ නිර්මාණ ශිල්පයන් සහ සාම්ප්‍රදායන් දායද කරමින්.

(© Phil Norton)
හොයි ඈන් නගරය රාත්‍රියේ දී

ඒ ගෘහ නිර්මාණ ශිල්පයන් සහ සාම්ප්‍රදායන් එලෙසින් ම රැක ගත් හොයි ඈන් නගරය, අද ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක්. මේ වියට්නාමයේ කහ නගරය ගැන තොරතුරු බිඳක්.

ආසියානු සංස්කෘතික මුසුවක ඉතිහාසය

හොයි ඈන් නගරය ඔස්සේ සෙමින් ඇවිදගෙන යන අයෙකුගේ නෙත ගැටෙන දසුනක් තමයි, නගරය පුරා ම පිහිටා ඇති මනාව සංරක්ෂණය වූ ඉපැරණි ගොඩනැගිලි. හොයි ඈන් හි දක්නට ලැබෙන ගොඩනැගිලි බොහෝමයක් කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇති නිසා එයට ‘කහ නගරය’ යන නාමය ද ලැබී තිබෙනවා.

මේ ගොඩනැගිලි බොහෝමයක් 17 – 18 වැනි සියවසේ දී ගොඩ නංවන ලද ඒවා යි. සියවස් කිහිපයකට පෙර කාර්යබහුල වෙළඳ වරායක් වූ හොයි ඈන් නගරය ලෝකයේ නොයෙක් දෙසින් වෙළඳුන් පැමිණි අතර එයින් චීන සහ ජපන් වෙළඳුන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ ඔවුන් ආසියානු රටවල් කිහිපයකට සංස්කෘතීන් එකිනෙක මුසු කිරීමට සමත් වීම හේතුවෙන්. මෙසේ වියට්නාමය තුළට ආ විදේශ ආභාසයන් සිරිත් විරිත් සහ භාෂාවට පමණක් නොව ගෘහ නිර්මාණ ශිල්පයට පවා බලපෑම් එල්ල කර තිබෙනවා.

(© John Barrow)
18 වැනි සියවසේ හොයි ඈන් වරාය

යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන ආකාරයට හොයි ඈන් නගරය තුළ මනාව සංරක්ෂණය වී ඇති දැව සැකිල්ලක් සහිත ගොඩනැගිලි 1,107 ක් පවතිනවා. මේවායේ බිත්ති නිර්මාණය කර ඇත්තේ ගඩොල් හෝ දැව යොදාගෙන යි. මේ ගොඩනැගිලි අතරේ ස්මාරක, විවෘත වෙළඳපොළක්, දේශීය වෙළඳ සහ ගෘහස්ථ ගොඩනැගිලි, තොටුපොළක් සහ ආගමික සිද්ධස්ථාන රැසක් දැක ගැනීමට හැකි යි. එසේ ම 18 වැනි සියවසේ දී ගොඩ නංවන ලද ජපන් දැවමය පාලම සහ පැගෝඩාව සඳහා හිමි වී ඇත්තේ ද ඉහළ ම සංචාරක ආකර්ෂණයක්.

ලෝකයේ ම අවධානය ලද පුංචි කහ නගරය

හොයි ඈන් නගරයේ ඇති සංස්කෘතික සහ ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත්කම​ හේතුවෙන් 1999 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය එය ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා. මේ නිසා හොයි ඈන් නගරය ලද අවධානය ද ඉහළ යි. මෙයට අමතරව හොයි ඈන් නගරයේ සමස්ත ඉතිහාසයම ලේඛනගත කර තිබීම ද විශ්මයජනක කරුණක්. එහි නගරයේ භූමි සැකැස්ම, වෙළඳ නගරයක් ලෙස අතීතයේ දී එහි වැදගත්කම, හොයි ඈන් නගරයේ නැගී සිටීම සහ එහි වර්තමානය යන සියලු ම කරුණු නිසි ලෙස සටහන් කර ඇත්තේ පුරාවිද්‍යාඥයන්ට මිල කළ නොහැකි අවස්ථාවක් උදා කර දෙමින්.

© Martín Silva Cosentino

හොයි ඈන් නගර පුරා විසිරී ඇති ගොඩනැගිලි සියල්ලක්ම පාහේ වර්ණ ගන්නා ඇත්තේ රන්වන් පැහැයට සමාන කහ පැහැයෙන්. එය පෙනී යන්නේ හිරු කිරණ සෑම මොහොතක ම නගරය වෙළාගෙන ඇති ලෙස යි. නගර වැසියන්ගේ විශ්වාසය​ වන්නේ කහ පැහැය රාජ්‍යත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරන බව යි. එසේ ම වියට්නාම් ජනශ්‍රැතීන්ට අනුව කහ පැහැය වාසනාව, අභිමානය සහ සෞභාග්‍යය සංකේතවත් කරනවා.

විසිතුරු භාණ්ඩ පාරාදීසයක්

සංචාරයේ පමණක් නෙමෙයි සාප්පු සවාරියේ යෙදීම සඳහා ද හොයි ඈන් නගරය කදිම ස්ථානයක්. අඩු මිලට නවාතැන් ගත හැකි ස්ථාන එහි ඇති අතර​ විසිතුරු භාණ්ඩ බොහෝමයක් ද හොයි ඈන් හි අලෙවි කිරීම සිදු වෙනවා.

(© Johannes Wienke)
හොයි ඈන් හි අලෙවි කරන විසිතුරු ලන්තෑරුම්

හොයි ඈන් නගරයේ දී මිල දී ගත හැකි දේවල් මූලික වශයෙන් ආකාර 3 ක් පවතිනවා. ඒ සිහිවටන, ඇඳුම් සහ ආහාර යි. හොයි ඈන් හි දී මිල දී ගත හැකි සිහිවටන සියල්ලක්ම පාහේ වියට්නාමයේ සංස්කෘතිය විදහා දක්වන අතර නෙතට ප්‍රිය දසුනක් මවන ලෙස වර්ණ ගන්වා තිබෙනවා. නමුත් වැඩි සංචාරක ආකර්ෂණයක් හිමි වී ඇත්තේ හොයි ඈන් හි නිර්මාණය කරන ඇඳුම් සඳහා යි. පාරිභෝගිකයාගේ අභිමතය පරිදි ඇඳුම් සඳහා මෝස්තර රටාවන් එක් කර ගත හැකි අතර ඇතැම් විටෙක සාම්ප්‍රදායික වියට්නාම් ඇඳුම් මෝස්තර සමග යුරෝපීය මෝස්තර එක් කිරීම ද සිදු වෙනවා. අඩු මිලට අසමසම ඇඳුම් මෝස්තර සැපයීම හේතුවෙන් ඇතැම් සංචාරකයන් ඇඳුම් මිල දී ගැනීම සඳහා පමණක් ම හොයි ඈන් බලා පැමිණෙන අවස්ථා ද නැතුවා ම නෙමෙයි.

© Marco Verch

ඇඳුම් පමණක් නොව හොයි ඈන් හි අලෙවි කරන ආහාර ද වියට්නාම් සහ යුරෝපීය ආහාරවල මුසුවක්. එසේම  විදී දෙපස පිහිටා ඇති නිවෙස් බොහෝමයක් නිවසේ සැකසූ ආහාර අලෙවි කිරීම ද සිදු කරනවා. හොයි ඈන් නගරයේ දී සෑම සංචාරකයෙකු ම රස විඳිය යුතු ම ආහාරයක් ලෙස සැලකෙන්නේ චාඕ ලාවූ යි. නූඩ්ල්ස්, ඌරු මස් සහ කොළ පැහැ එළවළු සහ පළා වර්ග යොදා ගනිමින් සකස් කරන සාම්ප්‍රදායික වියට්නාම් ආහාරයක් වන එය අලෙවි කරන්නේ හොයි ඈන් හි දී පමණ යි.

කවරයේ පින්තූරය : © Pablo Gonzalez

Related Articles