අලංකාර මාල පැළඳි මහාශිලා තරුණියෝ

ඉබ්බන්කටුව දඹුල්ල නගරයේ සිට කි. මී. 4ක් පමණ දුරින් කුරුණෑගල පාර අද්දර පිහිටි ගමක්. කොළඹ ඉඳන් යනවා නම් දඹුලුගල පේනමානයේ මෙම ගම පිහිටා තිබෙනවා. අප රටේ පූර්ව ඓතිහාසික මහා ශිලා හෙවත් මෙගලිතික යුගය ගැන හොඳම සාධක හමුවන්නේ මෙම ස්ථානයේ කළ කැණීම්වලින්.

ඉබ්බන්කටුව පිහිටා ඇත්තේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ. එය කලාඔයේ පෝෂක ශාඛාවක් වූ දඹුලුඔයේ වම් ඉවුරු  ප්‍රදේශයේ පිහිටි බිමක්. ඔබටත් දඹුලු යනවා නම් පහසුවෙන්ම මෙම පූර්ව ඓතිහාසික කැණීම් බිමට ගොස් අප නොදන්නා අපේ අතීතය ගැන අපූරු අත්දැකීමක් විඳගත හැකියි. ඉබ්බන්කටුව කැණීම් භූමිය සංචාරක ආකර්ශනය සහිත ස්ථානයක් බවට පත් කර 2017 පෙබරවාරියේ විවෘත කළා. මේ නිසා පුරාණ සුසාන ක්‍රම, ඔවුන්ගේ ජීවිතය ගැන දැනුමක් ලබාගන්න අතරම පුරාවිද්‍යා පොතපත  මිල දී ගැනීමටත් විවේකයක් ගැනීමටත් එහිදී ඔබට ඉඩ ලැබෙනවා.

ඉබ්බන්කටුව කැණීම්

පුරාවිද්‍යා උරුම බිමට මඟපෙන්වන නාම පුවරු- lakdana.lk

1970 වර්ෂයේ මෙය මුලින්ම අනාවරණය කර ගෙන තිබෙනවා. 1988-90 කාලය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සමග ජර්මනියේ කාවා ආයතනය ද එක්ව සිදුකළ පරීක්ෂණවල දී සොහොන් කොත් 16කින් සමන්විත මහාශිලා සුසාන පොකුරක් සොයාගැනීමට හැකිව තිබෙනවා. කාබන් 14 කාලනීර්ණයට අනුව මෙය කි‍්‍ර.පූ. 770-350 අතර කාලපරිච්ජේදය තුළ පැවති ජනාවාස ප්‍රදේශයක් බව හෙළි වී තිබෙනවා. ජර්මනියේ ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ වලට අනුව මෙහි ඇතැම් අඟුරු අවුරුදු 2,700 පැරණි බවට ඔප්පු වී තිබෙනවා.  

හෙක්ටයාර් 18ක් පුරා විහිදී ඇති සුසාන භූමියේ ගමේ පවුල් විස්සක් පමණ පදිංචි වී සිටින බැවින් දැනට මෙම භූමිය වර්ග මීටර 700-400 ප්‍රමාණයේ බිම් කඩකට පමණක් සීමාවෙලා. මෙහි කැණිම් කර සංරක්ෂණය කළ භූමියට පිටතින් ද සොහොන්ගෙවල් පිහිටා තිබෙනවා.

මෑතක දී කළ කැණීම්

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ වර්ෂ 2015 දී නැවත කැණීමක් කළා. එහි දී සුසාන ගර්භ 47ක් අනාවරණය කරගත් අතර, එයින් 26ක් ශිලා මංජුසා සුසාන යි. බරණි සුසාන 21ක් හමුවුණා. සෑම බරණියකම වාගේ මළ සිරුරුවල අස්ථි, පබළු, සහ ආභරණ කොටස්, මෙවලම් කොටස් ආදිය තිබුණා. මේ බරණිවලින් කිහිපයක් ඉබ්බන්කටුව විවෘත අවකාශීය කෞතුකාගාරයේ දී ඔබට නැරඹීමටත් පුළුවන්. ඉබ්බන්කටුව සුසාන භූමියේ විශාලත්වයෙන් එහි භූමදාන කර ඇති මිනී 300කට අධික ප‍්‍රමාණයක් අනාවරණය වීමෙන් පෙනෙන්නේ ප‍්‍රදේශය අවට විශාල පූර්ව ඓතිහාසික මානව ජනාවාස ස්ථාපිතව තිබෙන්නට ඇති බවයි.

මහාශිලා සංස්කෘතිය කියන්නේ..

සොහොන් බිම නරඹන සංචාරකයෙක්- කුසුම්සිරි විජයවර්ධන

ක්‍රි. පූ. 1000-300 කාල පරාසයට අයත් මේ සංස්කෘතිය පැතිර පැවති කාල සීමාව මිනිස් ඉතිහාසයේ ප්‍රධාන විපර්යාස කිහිපයක් වුණු සමයක්. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී දඩයමින් ආහාර සොයාගත් මාවනයා ආහාර වගාකිරීමට යොමුවන්නේ මේ කාලයේ. කුඩා වාරිමාර්ග, කෘෂිකර්මය, යකඩ භාවිතය, ස්ථිර වාසස්ථාන සහ විශේෂ සංස්කෘතික ලක්ෂණ සහිත සුසාන භුමි ගොඩනැගීම මේ කාලයේ දක්නට පුළුවන්. අපට අද මේ සංස්කෘතික යුගය ගැන විමසා බැලීමට ඉතිරිව පවතින්නේ ඔවුන්ගේ සුසාන භුමි සහ මැටි භාණ්ඩ කොටස් ආදිය පමණයි. ඒ අතරින් කාන්තාවන් අලංකාර ආභරණ පැළඳි බවට සාධක රාශියක් ලැබෙනවා. ලංකාවේ මෙවැනි සුසාන භූමි 100ක් පමණ සොයාගෙන ඇතත් ඉන් විශාලතම මෙන්ම විධිමත් කාලනිර්ණයක් කළ ස්ථානය වශයෙන් ද ඉබ්බන්කටුව හඳුන්වන්න පුලුවන්.  ලෝකයේ බොහෝ රටවලින් ද මහාශිලා සුසාන හමුවෙනවා.

නිවසක් අසල ඇති කැණීම් නොකළ ශිලා මංජුසාවක්- කුසුම්සිරි විජයවර්ධනCaption

මේ කාලයේ ඔවුන් විවිධ සුසාන ක්‍රම භාවිත කර තිබෙනවා. ඒවා නම්,

ශිලා මංජුසා සුසාන (Cist Burial)
වෘත්තාකාර ශිලා කැට සුසාන (Cairn circle Burial)
ඩොල්මන් (Dolman Burial)
බරණි සුසාන (Urn Burial)
ආදිය යි. මේ අතරින් ඉබ්බන්කටුවේ දකින්න ලැබෙන්නේ ශිලා මංජුසා සහ බරණි සුසාන ක්‍රමය යි.

සොහොන් ගෙවල්

කුඩා සොහොන් ගෙයක්- කුසුම්සිරි විජයවර්ධන

ඊජිප්තුවේ සොහොන් ගෙවල් ගැන ඔබ අසා ඇති. මහාශිලා මානවයත් තම ඥාතින්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර අවසන් කටයුතු කර ඇත්තේ ගල් පතුවරුවලින් කළ කුඩා සොහොන් ගෙවල් වැනි ඒවා තැනීමෙන්. මෙම සොහොන් කොත් තුළ භෂ්මාවශේෂ බහාලන ලද මැටි බරණි තැන්පත්කර එය ගල්පතුරු හතරකින් වටකර පියන් ගලකින් වසා  තිබෙනවා. ඇතැම් සොහොන් කොත් වැසීම සඳහා පියන් ගල් යොදා නැහැ.

නැරඹීමට විවෘත කළ කැණීම් බිම- කුසුම්සිරි විජයවර්ධන

ඉබ්බන්කටුවේ සුසාන අතර කුටීර දෙක, තුන සහිත සුසාන ගෙවල් ද කාමර කිහිපයක් සහිත පොකුරු ගෙවල් ද හමු වී තිබෙනවා. විශාල සුසාන ගෙවල් එවකට සමාජයේ ප්‍රභූ පාන්තිකයන් සඳහා ද කුඩා හෝ පොකුරු ඒවා ඔවුන්ගේ දැසි දස්සන් වැනි පහළ මට්ටමේ අය සඳහා වෙන් කරන්නට ඇති බවට ද  අදහසක් පවතිනවා. ශිලා මංජුසා සුසානවල මරණයට පත් පුද්ගලයා භාවිත කළ මෙවලම් දැමූ කුඩා වළං තැන්පත් කර තිබුණා. ඉබ්බන්කටටුව සුසානයෙන් පමණක් එවැනි වළං 180ක් හා වළං කැබලි 14,000ක් පමණ හමු වී තිබෙනවා.

අලංකාර මාල පැළඳි මහාශිලා තරුණියෝ

එකල පැළඳි පබළු මාලයක්( කානීලියන් සහ ඇගේට්)-youtube.com

අද වගේම මහාශිලා සංස්කෘතිය පැවති කාලයේත් කාන්තාවන් ආභරණවලට දක්වා ඇත්තේ විශාල කැමැත්තක්. මොවුන් විසින් භාවිතා කර ඇති මාල වළළු, පබළු වැනි දෑ මෙම සොහොන් කොත්වල තිබී සොයාගෙන තිබෙනවා.  එයින් පැහැදිලි වන්නේ එම අවධියේ දියුණු තාක්ෂණයක් ශ්‍රී ලාංකිකයන් සතුව තිබූ බවයි. එවකට කාන්තාවන් නෙත්වල අංජන ගල්වා ඇති බව හෙළිවන්නේ මිලිමීටර් 190 දිගැති අංජන කූරු හමුවීමෙන්.

සොහොන් බරණිවලින් ලැබුණු පබළු -youtube.com

තඹ, යකඩ ලෝහ කොටස්, සුවඳ විලවුන්, පබළු, තඹවලින් නිමකරන ලද ලෝහ පළඳනා, ඉතා සුළු වශයෙන් රත්රන් කොටස්, ධාන්‍ය අවශේෂ, සත්ත්ව ඇටකටු, ඇත්දල වලින් සකසන ලද භාණ්ඩ ද හමුවී තිබෙනවා. සුසානයෙන් හමු වී ඇති පබළු වර්ගවලින් වැඩි ප‍්‍රතිශතයක් කානිලියන්, ඇගේට්, ඛනිජ වර්ගවලින් නිමවා තිබෙන ඒවායි. එම ඛනිජ වර්ග මෙරට නොමැති අතර පැහැදිලිවම ඒවා වයඹදිග හෝ නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව ආචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චිගේ පවසනවා. ඇත්දළ, පබළු, රන් ආලේප කරන ලද පබළු ඇටයක් ද හමුවූ භාණ්ඩ අතර තිබෙනවා.

පුරාණ අක්ෂර

විවෘත කෞතුකාගාරයේ ඇති බරණි සහ වළං – කුසුම්සිරි විජයවර්ධන

ඉබ්බන්කටුව සොහොන් භූමියේ ඇති සමහරක් ශිලා මංජුසා පියන්පත් මත හා මැටි බඳුන් මත සංකේත දක්නට පුළුවන්. මෙහි පියන්පතක් මත හමු වී ඇති චතුරස‍්‍රාකාර සංකේතය පූර්ව බ‍්‍රහ්මී “බ” අක්ෂරයට සමාන බවත් එවැනි ජ්‍යාමිතික රූපයක් වයඹ පළාතේ කඩිගාව කටාරම් සහිත ගල්ලෙනකින් හමු වී ඇතිබවත් ආචාර්ය පියතිස්ස සේනානායක සඳහන් කරනවා. මහාචාර්ය රාජ් සෝමදේවගේ මතය වන්නේ මේවා ආසියාවෙන් හමු වී ඇති පැරණිතම ශිලා අක්ෂර විය හැකි බවයි.

මහාශිලා ජනාවාසය

සංචාරකයන්ට ඇරුණු සුසානය – කුසුම්සිරි විජයවර්ධන

මෙම සොහොන් අයිති ජනතාව වාසය කර ඇත්තේ සුසානයට මීටර් 200ක් පමණ දකුණෙන් පොල්වත්ත නම් ස්ථානයේ පිහිටා තිබූ ජනාවාසයක බව 1988 දී කළ කැණීම්වලින් හඳුනාගත්තා. අද පවා මේ පුරාණ මානවයන් භාවිත කළ බැටිබඳුන් කැබලි හමුවෙනවා. 1988 දී මහාචාර්ය සේනක බණ්ඩාරනායක එහි කළ කැණීමෙන් කාලරක්ත මැටි බඳුන්, රතු වර්ණ මැටිබඳුන් මෙන්ම ඔනික්ස්, කානීලියන් වර්ගයේ පබළු ද ඊතල කොටස්, යබොර ආදියත් හමුවුණා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Archaeology.lk- ඉබ්බන්කටුවෙන් හෙළිවන පූර්ව ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ සුසානකරණය- (ඉසුරු  හේරත්ගේ ලිපිය)
ඉබ්බන්කටුව උරුමය නරඹමු- ප්‍රිශාන්ත ගුණවර්ධන ( මධ්‍යම සංස්කෘතික අරමුදල)

සොඳුරු සිරිලක චාරිකා සටහන්- කුසුම්සිරි විජයවර්ධන

Cover image: fgtt.jpg  ඉබ්බන්ක‍ටුව ගල් ලෑල්ලක සටහන් කර තිබූ අක්ෂර  (SriLanka Classic Art)

Related Articles