'අයිස්ලන්තය' යනුවෙන් නාමිකව හැඳින්වූවත්, අයිස් වලින් පිරීගිය භූමියකට වඩා මුහුකුරා ගිය ස්වභාව සෞන්දර්යයකට අයිස්ලන්තය හිමිකම් කියනවා. කර්කටක නිවර්තනයට බොහෝසෙයින් උතුරින්, උත්තර කවය අභිමුඛයේ පිහිටි නිසා ඉතා දැඩි ශීත සමයන්ට මුහුණ දීමට සිදු වූවත්, ග්‍රීෂ්මයේ දී අයිස්ලන්තයට ලැබෙන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. වසරේ වැඩි කාලයක් හිම දුහුල් සළුවෙන් සිය ගත වසා සිටින සුන්දර රුවැත්තියක් වන අයිස්ලන්තය, සිය හිම සළුව ඈත් මෑත් කරන සමයේ ඇගේ සුන්දරත්වය විඳීමට ලොව නන් දෙසින් ජනයා ඇදෙනවා. ඒ, ඇගේ රූ සපුවේ ඇති චිත්තාකර්ශණීය බව නිසා යි. ඇගේ වතගොත ඔබ වෙත ගෙන එන්නට අපි තීරණය කළේත් ඒ නිසාම යි.

අයිස්ලන්තයේ පිහිටීම

අයිස්ලන්තය පිහිටා ඇත්තේ උතුරු අත්ලාන්තික් සාගරයේ ග්‍රීන්ලන්තයට නැඟෙනහිරින්, උතුරු ඇමෙරිකාව හා යුරෝපයට අතරමැදිවත්, ආක්ටික් සාගරයට මදක් දකුණටත් වන්නට යි. මෙහි සම්පූර්ණ භූමි ප්‍රමාණය ව.කි.මී 103,000ක් වන අතර, ඉතා දැඩි කඩතොලු සහිත වෙරළ තීරයකට උරුමකම් කියනවා. මෙම වෙරළතීරයෙහි දිග කිලෝමීටර 3000ක් පමණ වෙනවා. අතීතයේ සාමුද්‍රික යමහල් විදාරණය නිසා ගැලූ ලාවා වල ප්‍රතිඵලයක් ලෙස නිර්මිත අයිස්ලන්තයෙහි අදටත් ක්‍රියාකාරී යමහල් දැකගන්නට පිළිවන්. මෙලෙස නිර්මාණය වීම නිසා වෙරළතීරය මෙන්ම භූ විෂමතාවයෙහි ඇත්තේත් දැඩි විෂම බවක්.

අයිස්ලන්තය -mapofeurope.com

අයිස්ලන්තයේ අගනුවර රේයික්යවීක් වන අතර භාවිතා කරන මුදල් ඒකකය අයිස්ලන්ත ක්‍රෝනා නම් වෙනවා. අයිස්ලන්තයේ ජනගහනය 350,000ක් වැනි කුඩා ප්‍රමාණයක් වෙන අතර, අති බහුතරය අයිස්ලන්ත ජාතිකයින්. මීට අමතරව සුළු ප්‍රමාණ වලින් පෝලන්ත ජාතිකයින් ද ජීවත්වෙනවා. අයිස්ලන්තයේ ජන ඝණත්වය වර්ග කිලොමීටරයකට 3කට වඩා මදක් වැඩි වන්නේ එය ලොව අඩුම ජන ඝණත්වයක් ඇති රාජ්‍යයන් අතරින් එකක් කරමින්. මෙහි බහුතරය අයිස්ලන්ත පල්ලියට අනුබද්ධ ක්‍රිස්තියානි ලබ්ධිකයින් වන අතර භාවිත භාෂාව අයිස්ලන්ත බස වනවා. මොවුන්ගේ සක්ෂරතාව 99%ක්.

රෙයික්යවික් -icelandnaturally.com

අයිස්ලන්තයේ ඉතිහාසය

අයිස්ලන්තයට දීර්ඝ මෙන්ම ප්‍රොඪ ඉතිහාසයක් තිබෙනවා. අයිස්ලන්තය ප්‍රථමයෙන් ජනාවාස වූවා යැයි සැලකෙන්නේ 9 වන සියවසෙහි අග භාගයේ දී යි. එම කාලයේ නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියා රටවලින් අයිස්ලන්තයට මිනිසුන් සංක්‍රමණය වී තිබෙනවා. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ එකල ස්කැන්ඩිනේවියා රටවල තිබූ දේශපාලනික ගැටළු හා භෝග වගාකිරීම උදෙසා සැකසිය හැකි භූමි භාගයන්හි තිබූ අඩුව යි. ක්‍රි.ව 874 දී අයිස්ලන්තයේ මුල්ම යුරෝපීය ජනාවාසකරණය සිදු වී ඇති අතර, ඒ වන විට එය කිසිදු ස්වදේශික ජන කොට්ඨාසයකින් තොර ජනශුන්‍ය එකක්ව තිබූ බව සඳහන් වෙනවා. ක්‍රි.ව 930 පමණ වන විට මෙහි හතලිස්දහසක් පමණ ජනයා ජීවත්ව සිටි බව සඳහන්.

බ්‍රිතාන්‍ය හමුදා රෙයික්යවික් අත්පත් කරගනිමින් (1940) -pinterest.co.uk

ඉතිහාසයේ දීර්ඝ කාලයක් පුරාවට අයිස්ලන්තය පැවතුණේ ඩෙන්මාර්කයේ අණසකට යටත්ව යි. කෙසේ නමුත් 20 වන සියවසෙහි මුල් භාගය වන විට අයිස්ලන්තයට ස්වාධීන බලයක් ගොඩනැඟීමේ අවස්ථාව ලැබුණු අතර ක්‍රි.ව 1918 දී දේශපාලනිකව ස්වාධිපත්‍යය ඇති රාජ්‍යයක් බවට ප්‍රකාශ කෙරෙනවා. කෙසේ නමුත් ඉන් පසුවත් එය පැවතියේ ඩෙන්මාර්ක අධිරාජ්‍යයේ කොටසක් ලෙස යි. දෙවන ලෝක යුධ සමයේ හෙවත් 1940 වසරේ දී බ්‍රිතාන්‍යයන් තාවකාලිකව අයිස්ලන්තයේ බලය තහවුරු කරගන්නා අතර 1944 වසරේ දී අයිස්ලන්තය ඩෙන්මාර්කයෙන් හා බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණ නිදහස ලබා පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා.

අයිස්ලන්තයේ ස්වභාව සෞන්දර්යය

අයිස්ලන්තය ලොව වැඩිම යමහල් ක්‍රියාකාරීත්වයක් ඇති රටක් ලෙස සැළකෙනවා. මීට අමතරව එහි ඇති ස්වභාව සෞන්දර්යය ඔප්නැංවීමට හිමෙන් ගැවසීගත් කඳු, ග්ලැසියර, විල් මෙන්ම වෘක්ෂලතාදියත් දක්වන්නේ නොමඳ දායකත්වයක්.

Almannagja -Arctic-images.com

අයිස්ලන්තයේ සුන්දරම ස්ථානයක් ලෙස තින්ග්වෙත්ලීර් ජාතික උද්‍යානය සැලකිය හැකි යි. මෙහි පිහිටන අල්මලග්‍ය නම් ශිලා ගිරි ශිඛරයේ පැල්මක් ඇති අතර, එම පැල්ම ඇති වී තිබෙන්නේ මධ්‍ය අත්ලාන්තික භේදය නිසා යි. මෙහි දී හමුවන උතුරු ඇමෙරිකානු හා යුරේසියානු භූ තැටි වසරකට සෙන්ටිමීටර 2 බැගින් ඈත්වීම සිදු වෙනවා. මෙහි පිහිටා ඇති තින්ග්වත්ලවහ් විල ද මනස්කාන්ත එකක් වන අතර, එහි පතුලෙහි පිහිටා ඇති පැල්මත් ඉහත කී භූ තැටි දෙක වෙන් කරමින් ඇදී යනවා. කිමිදුම් රිසි සංචාරකයින් අනිවාර්යයෙන් මෙම ස්ථානය නරඹනවා.

Thingvellir විල පතුලෙහි පිහිටා ඇති පැල්ම -Zoover

සමහරක් සංචාරකයින් අයිස්ලන්තයට පැමිණෙන්නේම ක්‍රියාකාරී ගිණිකඳු නැරඹීම සඳහායි. විශේෂයෙන් ඉන් ආකර්ෂණීයම යමහල වන එයියා‍ෆියත්ලායෙකිතුල් ගිණිකන්ද තරණය කිරීම හා ඒ අවට සංචාරය කිරීමට ඔවුන් ප්‍රියතාවයක් දක්වනවා. ඒ මතින් පැන නඟින ග්ලැසියරයත් ඉතාම සුන්දර එකක්.

විදාරණය වන Eyjafjallajokull ගිණිකන්ද (2010) - bookmundi.com

අයිස්ලන්තයේ භූමියෙන් 80%ක් පමණ වර්තමානය වන විටත් ජනශුන්‍ය වෙනවා. මෙහි ජනයා වැඩිමනක්ම ජීවත් වන්නේ වෙරළබඩ යි. එයිනුත් අති බහුතරය රේයික්යවීක් නුවර තදාසන්නව ජීවත් වෙනවා. ජනශුන්‍ය වුවත් අයිස්ලන්තයේ මධ්‍ය උස්බිම් අලංකාර භූ විෂමතා වලින් යුක්ත වෙනවා. මෙහි භූ සැකැස්ම චන්ද්‍රයාට යම් සමානකමක් දක්වන අතර මේ නිසාම ඇමෙරිකානු ගගනගාමීන් මෙහි පුහුණුවීම් වල ද නිරත වී තිබෙනවා.

Vatnajokull ග්ලැසියරය -adventures.is

අයිස්ලන්ත භූමියෙන් 11%ක් වසා පැතිරී පවතින්නේ විශාල ග්ලැසියර 3කිනුයි. ඉන් විශාලම ග්ලැසියරය වන වහ්නායෝකුල්, වර්ග කිලෝමීටර 8,100ක් පුරා පැතිරී පවතිනවා. කෙසේ නමුත් මේ වන විට එය දියවී යාමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. මෙය මධ්‍යකොට ගනිමින් සැකසී ඇති වහ්නායෝකුල් ජාතික උද්‍යානය තෙත් බිම්, දිය ඇළි මෙන්ම ගිණිකඳු වලින් ද සමන්විත මාහැඟි එකක්. මීට අමතරව අයිස්ලන්තය සතුව තවත් ග්ලැසියර කිහිපයක්ම ඇති අතර එහි අගනුවරට දිස් වන ස්නයිෆෙල්ස්යොකුල් පාදක කොට ගෙන මහා ගත්කරු ජූල්ස් වර්න් සිය ‘Journey to the center of the earth’ නම් කෘතිය රචනා කොට තිබෙනවා. අයිස්ලන්තයේ ඇති දියඇලි අතුරින් ගුත්ෆොස් දිය ඇල්ල වඩාත් ජනප්‍රිය වෙනවා. ඉහත සඳහන් ඒවාට අමතරව තවත් බොහෝ සුන්දර ස්ථාන අයිස්ලන්තයේ පිහිටා තිබෙනවා

Gulfoss දිය ඇල්ල -iceland.nordicvisitor.com

අයිස්ලන්ත භූමියෙන් ආර්ථික භෝග වගා කොට ඇත්තේ 1%ක් පමණ යි. මීට අමතරව මෙහි සත්ත්ව පාලනය ද සිදු කෙරෙනවා.

අයිස්ලන්තයේ දේශගුණය

සමකයට ඉතා උතුරින්, උත්තර අක්ෂාංශ 63-68 අතර සීමාවේ පිහිටා ඇති නිසා මෙහි බොහෝකොටම පවතින්නේ උපධ්‍රැවීය දේශගුණයක්. කෙසේ නමුත් කුඩා දූපතක් බැවින් මෙහි බොහෝ ප්‍රදේශ වලට සාමුද්‍රික බලපෑම තිබෙනවා. මේ නිසා මෙහි අගනුවර වන රේයික්යවීක් වැනි ප්‍රදේශ වල උෂ්ණත්වය නිතරම සාපේක්ෂව දැඩි ශීත හෝ උණුසුම් වීම වැලකෙනවා. ශීතකාලයේ දී අයිස්ලන්තයට උෂාලෝකය (‘Aurora borealis’) හොඳින් දර්ශනය වන අතර ජුනි හා ජූලි මාස වල හෙවත් ග්‍රීෂ්මයේ දී, ආසන්න වශයෙන් පැය 24ම සූර්යයා පායා පවතිනු දැකිය හැකි යි.

අයිස්ලන්තයට දිස් වූ අවුරෝරාවක් - Pétur Gunn

අයිස්ලන්තයට බල පවත්වන සුළඟ සාමාන්‍යයෙන් දැඩි අතර විශේෂම කාරණය වන්නේ නමින් අයිස්ලන්තය වුවත් සාමුද්‍රික බලපෑම නිසා අක්ෂාංශගත පිහිටීම සලකා බැලීමේදී අයිස්ලන්තයට සාපේක්ෂව අඩු හිම පතනයක් ලැබීම යි. අයිස්ලන්තයේ වාත්‍රාශය හොඳ පිරිසිදු තත්ත්වයක පවතිනවා.

ඔබ ලෝ වටා සංචාරය ප්‍රිය කරන අයෙක් නම්, ජීවිතයේ යම් දිනයක අවස්ථාවක් ලදහොත් අයිස්ලන්තයට ගොස් ඒමට අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය - heyiceland.is