යාපනේ නිලවරායි පතුල නැති ළිඳ අසල සංඛාභිශේකය

සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවියෙන් යාපනය වෙත ආ අපි මේ ගමන සුදානම් වෙන්නෙ පූතූර් (புத்தூர்) යන්නයි.

යාපනේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් පහළොවක පමණ දුරක් හරියට ම කිලෝමීටර් 14.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ. යාපනේ-නාවක්කිරි 986 බස් එකේ තමා පූතූර් යන්න ඕනේ. මතක හැටියට නම් රුපියල් තිහ හතළිහක දුරක්. පූතූර් තියෙන්නේ යාපනේ “වලිකාමම්” කියන කොටසේ.

උතුරු අර්ධද්වීපයට නම් හොඳට ම ඉර මුදුන් වෙලා. හිරු පොළොවට ළං වී ගමන් කරන කාල සීමාව නිසා මහ පොළොව ගිනිබත් කරන්න තරම් කාස්ටක අව්ව. කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා.

කාස්ටක අව්ව හැමෝට ම සමාන ව දැනුණා – facebook.com/palmyrahisland

යාපනය අර්ධද්වීපය කියන්නෙ කොටස් පහක එකතුවක්. වලිකාමම්, තේන්මරච්ච්, යාල්පානම්, වඩමාරච්චි හා දූපත් හතකින් නිර්මාණය වුණු භූමි භාගයක්. යාපනයේ මස්තිෂ්කය විදියට හඳුන්වන්නේ වඩා නැත්නම් වඩමාරච්චි. යාපනයේ මස්තිෂ්කය විදියට වඩමාරච්චි හඳුන්වන්නේ ඇයි කියා ඇසිය යුත්තේ වඩමාරච්ච්වලම අයකු ගෙන්.

ලංගම බස් එකක නැගලා අපි පූතූර් යන ගමන පටන් ගත්තා. තේනු, මගේ සගයා තමා නඩේ ගුරා. අපි යන්නේ එයාගේ ගමේ පන්සලේ එහෙම නැත්නම් කෝවිලේ උත්සවේට.

“සංඛාභිශේකම්” බලන්න. ඒ අතර ම තවත් විශේෂ දෙයක් බලන්නත් එක්ක.

යාපනේ ඉඳන් කිලෝමීටර් 13.9 ක් දුරින් තමයි පූතූර් තියෙන්නේ – Google Maps

යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන්

පූතූර් යන බස් එකේ වැඩි සෙනඟක් නෑ. අපි හතර දෙනා ම පිටිපස්සේ සීට් එකේ. යාපන ටවුමෙන් එළියට ආව බස් එක පලාලි පාර දිගේ ඉස්සරහට යනවා. ආරියකුලම් හංදියේ සිග්නල් එකෙන් දකුණට දාලා නාග විහාරේ පහුකරනවත් එක්ක ම නල්ලූර් කෝවිලට යන පාර. එතනින් පොයින්ට්පෙඩ්‍රෝ නැත්නම් පේදුරුතුඩුව පාරට හැරෙනවා.

මාත් වට පිට බල බල යනවා. පැත්තක පේනවා රියෝ එක. ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් කර්මාන්තශාලාව. පස්සේ ඔන්න ලින්ගම් අයිස්ක්‍රීම් කඩේ. කෝකෙත් අයිස්ක්‍රීම් හරිම රසයි. එයිට පොඩ්ඩක් නුදුරින් තමා තියෙන්නෙ යාපනයේ කෑම රසට කන්න පුළුවන් නල්ලූර් භවන් භෝජන ශාලාව.

රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල – facebook.com/palmyrahisland

ඒක පහුවෙනවත් එක්ක ම රතු, සුදු තීන්ත තීරු ආලේප කරපු උස් බිත්තිවලින් වට වුණු නල්ලූර් කන්දසාමි කෝවිල (நல்லூர் கந்தசாமி கோவில்; Nallur Kandaswamy Kovil) පහු වෙනවා. මේ නල්ලූර් කෝවිල යාපනයට හරි අපූර්ව තේජස් බවක් එකතු කරන්නෙ. කෝවිල පසුකරද්දි එන ලාක්ෂණික සුවඳ, බෙර නළා හා වන්දනා විධිවල හඬ හිතේ ඇතිකරන්නෙ අපූර්ව සංයමයක්.

දැන් බස් එකේ කලින් තිබුණු මන්දගාමී බව අඩු වෙලා. බස් රථය වේගයෙන් ඉස්සරහට යනවා.

ටිං……………….ටිං………………………

බස් එකේ හඬ මගේ දෑහන බිඳිනවා.

බස් රථයෙන් ඔළුව එළියට දාලා කුතුහලයෙන් අවට බලන මට පේන්නේ පාර දෙපැත්තේ තල් ගස් යායවල්, දිගේලි කරපු ගව පට්ටි, එළු රංචු. ඒ අස්සෙ ම පොඩි පොඩි වගා බිම්. රතු ලූනු, කැරට්, බණ්ඩක්කා, අමු මිරිස් , රතු අල , මෑ කරල් වගේ එළවළු. අතරින් පතර පේන සාරවත් කෙසෙල් වගාව නම් හරිම පලබරයි. තවත් වෙලාවක තල් ගස් අතරින් පේන්නේ හොඳින් වැඩෙන දුම්කොළ වගාවක්. මේ මොන කාස්ටක අව්වක් ආවත්, මහා සුළි සුළං එක්ක වැස්සක් ආවත් යාපන වියළි කලාප බිම පුරාවට ම සරුසාරෙට වැඩුණු ගොවිබිම්වලටනම්, මේ මහ පොළොව ඉරි තලන අව්ව මහා අරුමයක්යැ.

පීදීගෙන එන බටු වගාව – facebook.com/palmyrahisland

ඒ වගා කවදත් මේ භූමියෙන් පෝෂණේ උරාගෙන සරුසාරෙට වැඩෙනවා. මේ මහ කටෝර පොළොව ඕන දේකට ඔට්ටුයි. මහ පොළොව එක්ක පොරබදින යාපන ගොවියන්ගෙ සවිය,දිරිය, කැපවීම තමා වගාබිම් පුරාවට ම තියෙන්නෙ. මේ භූමිය සශ්‍රීකයි .සංචාරය කරන්නකු මග දෙපස හොඳින් නිරීක්ෂණය කළොත් පේන්නේ අක්කර ගාණක් ඈතට විහිදුණු කුඹුරු ඉඩම්.

රටට ම අල, ලූණූ , මිරිස් සැපයූ යාපනේ ගොවි රජවරු

බණ්ඩක්කා, අර්තාපල්, ලූණූ, අමු මිරිස්, බීට් රූට්, කැරට් ආදි එළවළුත්, කෙසෙල්, අඹ, මිදි වැනි පලතුරුත්, විවිධ පලා වර්ගත් සාරවත්ව වැඩෙන භූමියක්. අවුරුද්ද පුරාවට හරි හමන් වැස්සකුත් නැතිව වැවෙන මේ බව භෝගවල පලදාවෙන් පෙන්නේ උතුරු අර්ධද්වීපයේ ගොවි මහත්තුරුන්ගේ උත්සාහය හා කැපවීමක තරම බව තමා මගේ හැඟීම. අද පමණක් නෙවේ මින් දශක ගණනාවකට මත්තෙන් ‍රටට ම අල, ලූණූ , මිරිස් සැපයූවේත් මේ යාපනේ ගොවි රජවරුන් ම තමා.

හරි හරියේ වැඩීගෙන එන රට කජු වගා බිමක අසිරිය – facebook.com/palmyrahisland

ටිං……………….ටිං…………………………

තවත් අයෙක් බසයෙන් බසිද්දී එකා දෙන්නා බසයට නැවතත් ගොඩ වෙනවා. අපි තව තවත් ඉදිරියට යන්නේ අපේ ගමනාන්තය තවත් දුරක වූ නිසා විය හැකියි. රථය ඉදිරියට යන්නේ පාර පුරාවට ම දූවිලිත් අවුස්සාගෙනයි.

අව්වත් තදට ම සැරයි. අව්වෙ සැර හිසට ආරෝපණය කර ගත් බසයේ රියදුරු මහතා සුක්කානම කරකවන්නේ මහකලබලෙන් වගේ. රථයේ වේගයට වැඩි නිසා දෝ පාපැදිවල ගිය පිරිස් පාර දෙපැත්තේ ඒවා නවත්තාගෙන බස් රථය දෙස බලාසිටින්නේ මනා සංයමයකින්. දැන් බස් ගමනට හෝරාවක් ගත වී අවසන්‍.

කාස්ටක අව්ව එක්ක පොර බදින මහ පොළොව – facebook.com/palmyrahisland

ටිං………………ටිං……………….ටිං………….

ප්‍රසිද්ධ පතුල නැති ළිඳ (bottomless well) පිහිටලා තියෙන්නේ මේ ප්‍රදේශයේ. අදටත් ලක්දිව නොවිසඳුණු අබිරහස් ගණනාවක් ම ශේෂයි. කළු දිය පොකුණ, ත්‍රීකුණාමලේ ෆෙඩ්‍රික් කොටුවේ පාතාලමලේ හා රාවණා ගේ දඩු මොනරේ ඒ අතර ප්‍රධානයි.

ළිඳ ගැන ජනප්‍රවාද ගොඩක එකතුවක් 

යුද්ධයෙන් පස්සේ යාපනේ සංචාරය කළ කෙනෙක් නම් ඉතින් මේ තැනට ගිහින් ඇති. ජනප්‍රවාද ගොඩක එකතුවක් තමා මේ ළිඳ ගැන අහන්න ලැබෙන්න ඇත්තේ. එයින් කීපයක් මේ.

ලක්දිව ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර විසූ නාග ගෝත්‍රිකයන් මිහිපිට සිට නාග ලොවට යාමට යොදා ගත් පියගැට පෙළක් සහිත ළිඳ, නාවට්කන්නී මේ ළිඳ, නිලවරායි ළිඳ යි.

රාම රජු සමඟ යුද වැදී ඉන්දියාවට යන රාම කුමරු හා සීතා අතරමඟ දී දිය පිපාසය සන්සිඳුවා ගැනීමට රාම කුමරු ත්‍රිශූලයෙන් පොලවට ඇන දිය ලබා ගත් ස්ථානය නිලවරා යි.

නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට පැන් පානයට ශක්‍ර දේවේන්ද්‍රයා මැවූ ළිඳ, නිලවරායි ළිඳ යි.

බොහෝ දෙනකු ගේ මතය වන්නේ යාපනයේ නිලවරායි හන්දියට ආසන්න ව පිහිටා ඇති සුවිසල් ළිඳ පතුලක් නොමැති කුහරයක් පමණක් බවයි. එය ‘පතුලක් නොමැති ළිඳ’ යැයි හැඳින්වීමට බොහෝ අය පුරුදු ව ඇත්තේ එනිසා යි. සමහරුන් කියන්නේ මේ ළිඳ මීට කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. අභ්‍යන්තර දෝනාවකින් මාතලේ ප්‍රදේශයේ ඇති උල්පත්වලින් මේ ළිඳට ජලය ලැබෙන බව තවත් අය පවසනවා.

වගාබිම්වල පස සාරවත් කරගන්න නයිට්‍රජන් හොදින් තිර කරගන්න වගා කරන සනල් නම් ශාක විශේෂයක් – palmyrahisland

මෙය ළිඳක් ලෙස හැඳින් වුවත් බැලූ අයුරින් හුණුගල් ආවාටයක් බවයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසන්නේ. පිරිසුදු නිල්වන් දිය පිරුණු මෙම ළිඳ ඉතා ගැඹුරුයි. ඒ බව ළිඳ මතුපිට සිට බලන අයට පවා අවබෝධ වන්නක්.

මුහුදු ජලයත්, ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන් වන මායිම

මේ පළාතේ දිය පවස වසර සිය ගණනක් පුරා නිවූ මේ ළිඳ අසල පැරණි දාගබක නටබුන් හා හින්දු කෝවිල් කිහිපයක් ද වනවා. මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසත් නම් කර තිබෙනවා. මේ ළිඳ මීටර 14.5ක් දිගින් හා පළලින් මීටර් 10.7ක්. ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් ආරක්ෂිත වැටක් ද ඉදි කරලා.

රසිද්ධ පතුල නැති නිලවරායි ළිඳ – facebook.com/palmyrahisland

“මේ ළිඳේ ඝනත්වයෙන් වැඩි පතුලේ ඇති මුහුදු ජලයත්, ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලි ව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්.”

යැයි මෙහි ගවේෂණයක යෙදුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම පවසනවා.

පර්යේෂකයන් පවසන්නේ මේ ළිඳේ ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල මුහුදු පුරාවිද්‍යා කණ්ඩායමට හමු වී තිබුණා. ඔවුන් පවසන්නේ පතුලක් නොමැති බව පවසන මේ ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි.

ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩියි – facebook.com/palmyrahisland

ගවේෂකයන් කියන්නේ ළිඳේ කටට වඩා පතුලේ වට ප්‍රමාණය වැඩි බවයි. ළිං පතුළට යන විට ගුහාවක් තුළට යනවා සේ දැනෙන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනා ගත හැකි වුණු බව හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වූ බව ගවේෂකයන් පවසනවා.

ළිඳ පහුවෙද්දි ම අපේ ගමනාන්තය, තේනුජා ගේ ගම “පූතූර් “.

ටිං…………….ටිං…………….ටිං………….බසය ඉද්ද ගැසුවාක් මෙන් නවතියි.

ඉරන්කු ! (இறங்கு!- බහින්න!) ඒ තේනු හඬයි.

ඒ අපේ ගමනාන්තය නිලවරායි…!

නාගලොවට යන පියගැටපෙළ යයි ජනතාව විශ්වාස කරන තරන තැන – facebook.com/palmyrahisland

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්

අප බස් රථයෙන් බසිනවාත් සමඟ ම දූවිලි අතරි බසය නොපෙනී ක්ෂණිකව ඈතට ම දිව ගිය අයුරු පුදුමයක්.

දූවිලිවලින් නෑවිච්ච අතුරු පාරවල්.ඒ තරම් කාස්ටක අව්වක්.පාර දෙපැත්තේ නිල්ල ගැසුණු කුඹුරු වගා බිම්. සන්සුන් ඉරියව්වෙන් ඒවා මට කියා පාන්නේ යාපනේ පොළොවනම් කවදත් අපේ දෙමළ සගයන් හා උරණ වී නැති හැඩයි.

තේනුගේ ගමේ කෝවිල තිබුණේ විශාල නුග ගසක් අසල. පසෙක මහා සියඹලා ගසක්. තවමත් අවට සන්සුන්‍. සීනුවක් එල්ලා ගත් ගවයෙක් නොසන්සුන්ව ඒ මේ අත දුවන්නට පටන් ගත්තේ මේ ආගන්තුකයන් ගේ ආගමනය නිසාද?

මොකක්ද මේ ” සංඛාභිෂේකය” කියන්නේ? තේනුට මගෙන් පැනයක්.

“සංඛ “කියන්නේ හක්ගෙඩිය, අභිෂේකම් කියන්නේ යම් පූජනීය වස්තුවක් කිසියම් දියරයකින් නෑවීම. සංඛ පමණක් නෙවෙයි ප්‍රතිමා, ශිවලිංග ආදිය ජලය, කිරි, ගිතෙල්, දී කිරි, මී පැණි වැනි විවිධ දියර වර්ගවලින් නහවන එකයි.

මෙය සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් – facebook.com/palmyrahisland

මෙය නම් වාලම්පුරි,එහෙමත් නැත්නම් හක් බෙල්ලන් (සංඛ) එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක් බවයි තේනු කියන්නේ. ශිව ප්‍රතිමාවක් ඉදිරිපිට කුඩා ගිනි ගොඩක්. පසෙක නළා වාදකයෙක් හා බෙර කරුවෙක්. ස්වර ගළපමින් වයන ඔවුන් දෙදෙනා ගේ රිද්මය සමඟ පූජාව ආරම්භ වූවා. පූජකවරයා විවිධ දෑ ගින්නට දමමින් පාඨ මුමුනයි. ගිනි ජාලාවලින් ඒවා දැවී අලු වී යන්නේ ක්ලේශයන් දැවී යන්නා සේයි. පූජාවේ අරමුණ ද එයමයි. ඇදහිලි, විශ්වාස පුදුමාකාරයි.

සංඛ එක් දහස් අටක් යොදා ගෙන කරන පූජාවක්

තවත් අයෙක් ශිව ප්‍රතිමාව කහ දියර,එළ කිරි,තැඹිලි, ඖෂධ වර්ග ,පලතුරු යුෂයෙන් නාවයි. උඩු කය නිරුවත් වේට්ටියෙන් සැරසුණු පුද්ගලයන් සිව්දෙනෙක් ගණ දෙවි ප්‍රතිමාවක් ආසනයක හිඳුවා කර මතා තබා ගෙන පාඨ කියමින් කෝවිල වටේ රැගෙන යයි. මේවා විවිධ සංස්කෘතික අංගයි. හෝරා දෙකක් ම ගත වී අවසන්‍.

සන්සුන් මා නො සන්සුන්වී ගෙන එන පාටකි.කෝවිලේ සෙනඟ ද එකා දෙන්නා වැඩී වීගෙන එයි. ඔවුන්ගේ ඇස පූජාවටත් වඩා මේ නුපුරුදු ආගන්තුකයා දෙසට යොමු වී ඇත. පූජාව අවසන් වෙද්දී ඉර මුදුන් වී අවසන්.

දැන් ඉතින් ගමනේ රසවත් ම කොටසයි. කෝවිලේ දිවා භෝජන වේලාවයි. කෝවිලට ආ සියල්ලන් සිටින්නේ බිම අසුන් ගෙනයි. අයෙක් ඔවුන් ඉදිරිපිට කෙසෙල් කොළ එළා ගෙන යද්දී අනෙකුන් වෑංජනත්, බතුත් තවත් අයෙක් බෙදයි. බත රතු පාටයි. ඇට තරමක් විශාලයි. වෑංජන කීපයක් හා පපඩමක් සමඟ බැදපු මිරිස් කරලක්.‍ රස ගැන කිවයුතු නැත. කා හමාර වී නැවත නැගිටීමත් අපහසුයි.

භෝජනයෙන් පසු “පාලහාරම්” එනම් රස කැවිලි වාරයයි

භෝජනයෙන් පසු “පාලහාරම්” එනම් රස කැවිලි වාරයයි. ධාන්‍ය, පොල් පැණි එක් කළ “මෝතගම්” ප්‍රණීතයි. අසා ඇති අන්දමට එය නම් ගණ දෙවියන්ගේ ප්‍රියත ම ආහරයයි. ඉන්පසු රට ඉඳි – කෙසෙල් එක් කළ තවත් අතුරුපසක්.නම නම් නොදනියි. ඒ රසය මාගේ රස නහර තුළ තවමත් දුවනවා.

ටිං……….ටිං………ටිං………………………ඒ නම් කෝවිලේ සීනු හඬයි. එය සිහි කරන්නේ අප ආපසු යා යුතු වේලාව ළඟා ව ඇති බවයි. දුවිලි අවුස්සා ගෙන යාපනය බලා නැවත දිවෙන බස් රථය තව මොහොතකින් කෝවිල ඉදිරියට එනු ඇති. 

කවරයේ පින්තූරය -  සංඛාභිෂේකය - facebook.com/palmyrahisland
මූලාශ්‍ර :

facebook.com/palmyrahisland

lankadeepa.lk  

 

 

Related Articles