යාපනයේ සිරස පේදුරුතුඩුව මත්තෙන් කන්කසන්තුරේට

විඩාබර සතියක නිමාවත් සමඟ නැවතත් එළැඹෙන්නේ සඳුදාවකි.සති අන්තයේ සෙනසුරාදාවක හෝ ඉරිදා දිනයක යාපනයේ අස්සක් මුල්ලක් නෑර ම රස්තියාදු ගැසීම යාල් ආගන්තුකයාගේ ඇබ්බැහියක් වී අවසන්‍ ය. මේ පාර නම් ගමන යාපනයේ ශීර්ෂය වන පේදුරුතුඩුවට මත්තෙන් වූ කන්කසන්තුරේ දක්වා ය.

කුකුළාත් කරේ තබාගෙන ම ගමන ආරම්භ  කළොත් හිරු මුදුන්වීමට කලියෙන් කන්කසන්තුරේ දක්වා මෝටර් බයිසිකලය මෙහෙයවිය හැක.නැතහොත් සූර්ය රශ්මි  ධාරා ගත විඩාවට පත්කරමින් ගමනට අභියෝග කරයි.

යාපන – කන්කසන්තුරේ පාර – google.com/maps

එසේත් නැත්නම් ගමනාන්තයට  ළඟාවීමට යාපන – කන්කසන්තුරේ පාර (AB16) තෝරාගත යුතු ය. ඒ දුර 19.3 km ය. බසයකට ගොඩ වී ගමන් ආරම්භ කළහොත් මාර්ග අංක 768  යටතේ දිවෙන බස් රථයක් කදිම ය.

උදේ අටට පමණ යාපනේ නගරයට  ගෑටුවහොත් කන්කසන්තුරේ  මාර්ගයේ ධාවනය වන මිනි බසයකට හෝ පරණ ලංගම බස්‍ රථයකට ගොඩවී විනාඩි 32කින් පමණ එහි ළඟා විය හැකි ය.

මරතනාමඩම් ශ්‍රී අන්ජෙයිනගර් කෝවිල – Facebook.com/palmyrahisland

 

මරතනාමඩම් ශ්‍රී අන්ජෙයිනගර් කෝවිල

යාපනයේ නගර සීමාවේ සිට මෝටර් සයිකලයේ සුක්කානම මෙහෙයවන්නේනම් කොකුවිල් ,ඉනුවිල් ,උඩුවිල් යන ගම් පහු කර කන්කසන්තුරේ දෙසට ය. ගමනේ අතරමග දී හමුවන අපූරු ස්ථානයක් නම් “මරතනාමඩම් ශ්‍රී අන්ජෙයිනගර්” කෝවිලයි. ප්‍රධාන පාරට දකුණු පසින් පාරට මුහුණ ලා ගාම්භීර අයුරින් නිම කර ඇති විශාල හනුමාන් පිළිමයක් සහිත කෝවිල මෙයයි. යාල් ආගන්තුකයාගේ සිතෙහි වූ පෙරැත්තය නම් ගමනාරම්භයේදී ම හනුමාන් දෙවියන්ගෙන් ආශිර්වාදය පැතීම යහපත් බවයි.

හනුමන්තා හෙවත් හනුමාන් නම් සුළඟේ දෙවියා වූ වායූගේ පුත්‍රයායි. දැන්නම් මනසින් කල එළි බසින්නේ අපූරූ ප්‍රශ්න මාලාවකි. සුළං දෙවියන්ගේ පුත්‍රයා වංශාධිපතියකු නොවී හනුමන්තා  වූයේ කෙසේද?

විශාල හනුමාන් පිළිමයක් සහිත කෝවිල – Facebook.com/palmyrahisland

චුන්නාක්කම් නැත්නම් හුණුගම

මරතනාමඩම් කෝවිල පසුකරනවාත් සමඟ ම හමුවන්නේ චුන්නාක්කම් නගරය යි. යාපනය නම් මයෝසීන යුගයේ හුණුගල් පාෂාණ ස්ථරයක් මත වූ භූමියකි. පානීය ජලයේ කිවුල් ස්වාභාවයට නැතහොත් කඨින බවට හේතුව නම් මේ හුණුගල් /කැල්සියම් කාබනේට් ස්ථරයයි. චුන්නාක්කම් නැත්නම් හුණුගම, යාපනේ අර්ධද්වීපයේ තිබෙන දෙවන විශාල නගරයයි. මෙයත් එක්තරා ආකාරයක වෙළඳ නගරයකි.

නගරයේ මුල් නම මයිලානි වේ.ශතවර්ෂ කීපයකට මත්තෙන් චුන්නාක්කම්,  ශ්‍රී ලාංකික දෙමළ ජනයා වැඩි වශයෙන් ආධිපත්‍යය දැරූ ප්‍රදේශයකි. අසූව දශකය වන තුරුම කුඩා සිංහල ජනගහනයක් ජීවත් වී ඇති නමුත් ඉන්දියානු ද්‍රවිඩයන් සහ මලයාලි වැනි දකුණු ඉන්දියානු නොවන ද්‍රවිඩයන් ද චුන්නාකාම් හි ජීවත් වී ඇත.

යාපනේ රස මිදි – Facebook.com/palmyrahisland

රතු පසේ සාරවත් ව හැදෙන රස මිදි

චුන්නාකම් සිට කන්දරොඩෙයි (කදුරුගොඩ) දක්වා හෝ උරුම්පිරායි දක්වා සුක්කානම මෙහෙයවන්නේ නම් මග දිගට නැරඹිය හැකි සංචාරක  ස්ථාන බොහෝ ය. උරුම්පිරායි යාපනේ රතු පසේ සාරවත් ව හැදෙන රස මිදි යායවල් බොහෝමයක් දැකිය හැකි ප්‍රදේශයක්‍ ය. අවුරුද්දක් වැනි කාලසීමාවක් වයස්ගත වූ මිදි වගාවකින් මාසිකව මිදි අස්වැන්න ලබාගත හැක. රසවත් කාරණය නම් වැස්ස කාලයට යාපනේ මිදි  මඳක් ඇඹුල් බව ය. හොඳින් අව්ව ඇති කාලයට මිදිවල ඇඹුල් රසය මඳක් අඩු ය. යාපනේ සංචාරය කරන්නෙක් නම් යාපනේ වයින් හෝ මිදි යුෂවල ලාක්ෂණික රස අත්විඳිය යුතුම ය.

කදුරුගොඩ විහාරය

චුන්නාක්කම් සංධියෙන් රථය වමට හරවා කන්දරොඩෙයි දක්වා ගමන්කළහොත් කදුරුගොඩ විහාරය ගමනාන්තය වේ.දෙමළ භාෂාවට අනුව නම් මේ ප්‍රදේශය කන්දරොඩෙයි  වූවාට මහනුවර යුගයේ ලියැවුණු “නම්පොතට”නැත්නම් “විහාර අස්න” ට අනුව නම් මේ කදුරුගොඩයි. පුරාවෘත්ත කතාවට අනුව එන එක ජනප්‍රවාදයක් නම් චුල්ලෝදර මහෝදර ගැටුම විසදන්නට ලංකාවට වැඩි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි විහාරය කන්දරොඩෙයි ‍යන්නයි. අනිත් ජනප්‍රවාදය නම් “පුවන්න දිවයින” නැත්නම් පුන්කුඩතිව් දූපතේ වැඩ සිටි රහතන් වහන්සේලා හැට නමක් දානයක් විෂ වීම නිසා අපවත් වී භෂ්මාවශේෂ තැන්පත් කළ විහාරය මෙය යන්න යි.

කන්දරොඩෙයි විහාරය – Getty images – Theekshana Kumara

චුන්නාක්කම් සංධියේ සිට කන්දරොඩෙයි විහාරය දක්වා අතුරු පාරවල් කිහිපයක් ඔස්සේ මෝටර් සයිකලය ධාවනය කළ යුතු වේ. යන අතරවාරයේ දකින සරුසාරෙට වැඩුණු දුම්කොළ, අල, රතු ළූනු, අමු මිරිස්, මාළු මිරිස්, වට්ටක්කා, කැකිරි, කෙසෙල් වගා තල් රුප්පාව අතරින් අපූරු චමත්කාරයක් එක්කරයි.

මාළු මිරිස්, අමු මිරිස් වගා කරන්නේ බොහෝවිට නොවැම්බර්, දෙසැම්බර් කාලවලදී ය.රතු ළූනු වගා කරන්නේ පින්න වැටෙන්නේ නැති කාලයට ය. පින්න නිසා රතු ළූනු කුණු වී යා හැකි ය. යාපනේ කෙසෙල්වල රසය තරමක් වෙනස්‍ ය. හුණුගල් දිගේ ගලා එන ජලයෙන් මේ ශාක සිය පෝෂණය සපයා ගැනීම ඊට හේතු සාධකය යි.

රතු ළූණු – Facebook.com/palmyrahisland

යාපනයේ දුම්කොළ වගාව

දුම්කොළ යාපනයේ දැකිය හැකි තවත් එක් වගාවකි. දුම්කොළවල ලාංකේය ඉතිහාසය ලන්දේසි සමය දක්වා දිව යයි. ලන්දේසි යුගයේ ආරම්භ කළ මේ වගා කටයුතු සඳහා ඉදි කළ ආඬි ළිං අදටත් යාපනයේ නොයෙක් වගා භූමිවල දැකගත හැකි ය. යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා යන්නකුට නම් අක්කර ගණනක සිදු කළ දුම්කොළ වගාව හා තාප්ප මත හෝ තල් අතුවලින් සැකසූ වැටවල් ආශ්‍රිත ව වියළන දුම්කොළ සුලබ දසුනකි. අව්වේ වියළා ගත් පසු සුරුට්ටු නිෂ්පාදනයට හා බුලත් විටට මෙය මනා අමුද්‍රව්‍යයකි.

කන්ද උඩරට මෙන් සීත දේශගුණයක් යාපනයේ නොතිබුණත් මෝසම් වර්ෂාවේ පිහිටෙනුත් කඩිසරබවේ හා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසත් කර්කශ පොළොවෙන් රන්කහවනු නෙළීමට යාපනේ ගොවිමහතුන් හපන්නු ය. යුද්ධයේ අඳුරු මතක ගිලිහී යන සමයක යාපනය මලින් හා පලින් බර ව නැවතත් සශ්‍රීක වී තිබෙන බව යාල් ආගන්තුකයාගේ හැඟීම ය.

රතු ළූණු වගා බිමක් – Facebook.com/palmyrahisland

සරු පසක් සහිත මහ පොළොව

දකුණේ ජනතාව විඳින ස්වභාව සෞන්දර්යයේ පහස දැන් උතුරේ ජනතාවටත් විඳින්නට කාලය උදා වී තිබේ. දැඩි අව් රශ්මියෙන් හා කර්කෂ දේශගුණයෙන් පීඩා විඳින යාපනයේ වැසියාගේ එකම ආර්ථික සම්පත සරු පසක් සහිත මහපොළොව හා ඒ වටා ඇති මහා සමුද්‍රයයි. මේ සාරවත් භූමිය තුළ සීතල කඳුකරයේ ගොවිබිම්වලට පමණක් අවේණික ව තිබුණු බීට්, කැරට්, ගෝවා පවා වගා කරමින් ඔවුන් අද ලබා ගන්නේ මහන්සියේ රන් අස්වැන්නයි.

රතු ළූණු මල් පිපෙන ළා දුඹුරු බිම් තීරු

නිල් පාට සායමෙන් කරවමින් පින්තාරු

රැළි අතර හොවාගෙන වන්නියෙන් එන සේරු

උතුරට ම ගලා යයි කනගරායන් ආරු …….

(මීළඟ මීවිත – රුවන් බන්දුජීව)

සොබාදහමේ ආශ්චර්යය නම් හුදෙක් යම් පරිසර පද්ධතියක සමතුලිතතාවක් ගොඩනැගීම උදෙසා සම්පත් සමානාත්මතාවයෙන් එහි වූ ජීවින් අතර බෙදා දීමයි. සොබාදහම් මාතාව පවා විටෙක ආත්මාර්ථකාමී තීරණ ගන්නවා විය හැකි යැයි උපකල්පනය කළතොත් එයට කදි ම උදාහරණය නම් යාපනය දෙසට ගලා නොඑන මහවැලි නදියයි.

මහවැලිය ත්‍රිකුණාමලයෙන් මුහුදට එක්වීමට තරම් නොසන්සුන්,නොහික්මුණ තීරණයක් ගෙන ඇත්තේ සොබාදහම් මාතාවගේ ම දරුවන් අපහසුතාවට පත්කිරීමට ද? මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා ලක්මව් දෙරණේ මහ පොළවේ සෑම බිම් අගලක් නෑරම සාරවත් කරමින් සිව්කොනින් මහ මුහුදට ගලා ගියමුත් වියළි කලාපයෙන් මත්තට උතුරු අර්ධද්වීපය දෙසට ගලා නොඒමට තරම් මහවැලිය ආත්මාර්ථකාමී වූයේ මන් ද?

නගුලේෂ්වරම් කෝවිල ඈතට දිස් වන අයුරු – Facebook.com/palmyrahisland

නගුලේෂ්වරම් කෝවිල

කන්දරොඩෙයි සිට කන්කසන්තුරේ දෙසට ධාවනය කළහොත් තව කිලෝමීටර් දොළහකට එහා හමුවන තවත් සංධිස්ථානයක් නම් කීරමලේ පොකුණට නුදුරු “නගුලේෂ්වරම් කෝවිල”යි.

නගුලේෂ්වරම් නම් කෝවිල පැරණි ඉතිහාසයක් සහිත සිවන් කෝවිලකි.ශ්‍ රී නගුලාම්බිගා දේවී සමඟ නගුලේෂ්වරම් ස්වාමී වාසය කළ ලක්දිව ඇති ප්‍රධාන ඊෂ්වර කෝවිල් හතරෙන් එක් ස්ථානයක් නම් නගුලේෂ්වරම් කෝවිලයි. විජයාවතරණයෙන් පසුව විජය රජතුමා මේ කෝවිල ප්‍රතිසංස්කරණය කර ඇති අතර  දෙමළ බසින් “කන්ඩගි තිර්ක්තටි” ලෙස හඳුන්වන කීරමලේ පොකුණ මීට නුදුරින් පිහිටා ඇත. මේ කීරමලේ පොකුණ පෙරදී ඔසුපැන් පොකුණක් ලෙස භාවිත කර ඇති බව පැවසෙයි. 

නගුලේෂ්වරම් කෝවිල – Facebook.com/palmyrahisland

රාම, රාවණා,අර්ච්චුනන් ඔසුකිසිඳ යන රජවරුන් මේ පොකුණේ ස්නානය කර කෝවිලට පුද පූජා පවත්වා අපල උපද්‍රව හා සාප දුරු කර ගෙන ඇත. මේ සියල්ලට ම වඩා රසවත් කතාව හාත්පසින් ම වෙනස් එකකි. ශිව දෙවියන් යමදක්ති මුනිවර යන දේව ගැත්තාට කළ සාපයක් නිසා ඔහුගේ මුහුණ මුගටි ස්වරූපයක් ගෙන ඇත. පසුව කීරමලේ පොකුණ ගැන සැලවීමෙන් ලක්දිවට පැමිණි මුනිවරයා පොකුණේ ස්නානය කර කෝවිලට පුද පූජා පවත්වා නැවත මුල් ස්වරූපය ලබා ගෙන ඇති බව සඳහන්වේ.

කීරමලේ පොකුණේ ස්නානය

 මාර්දපුර වල්ලි කුමරිය කියන්නේ සෝල රජුගේ දියණිය යි.ඇයට කළ සාපයක් නිසාවෙන් ඇය උපන්නේ අශ්ව මුහුණක් සහිත ව ය. ඇය ද ඉන් මිදී  ඇත්තේ මේ කීරමලේ පොකුණේ ස්නානය කිරීමෙන් පසු ව ය.

කීරමලේ පොකුණ – Facebook.com/palmyrahisland

 

කීරමලේ පොකුණට යාබද ව පැරණි අම්බලමක් ඇත. සිරප්පාර් මඩම් ලෙස හඳුන්වන මෙය යාපනය අර්ධද්වීපයේ ඇති අම්බලම් කිහිපයෙන් එකකි.

බොහෝ දෙනා මෙහි ඉතිහාසය නොදන්නා නමුත් බොහෝ විට ඉදිකර ඇත්තේ නකුලේශ්වරම් කෝවිල් සහ කීරමලේ වන්දනා මාන කිරීමට පැමිණි බැතිමතුන් වෙනුවෙන් විය හැකි ය.

සිරප්පාර් මඩම් පැරණි අම්බලම – Facebook.com/palmyrahisland

වර්තමාන නටබුන් සලකා බලන කල නම් පෙනී යන්නේ බිත්ති කොරල් ගල්වලින් සාදා ඇති අතර මුළුතැන්ගෙය, ගබඩා කාමර සහ කුටි අදටත් ශේෂ වී ඇති ආකරයය .පරිශ්‍රයට පිවිසෙන්නට යුතුවන්නේ ආකර්ෂණීය ආරුක්කු හරහා ය. එය හින්දු සම්ප්‍රදායයේ විවිධ සංකේත හා ප්‍රතිමාවලින් සැරසී ඇත.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල

කීරමලේ දක්වා ධාවනය කරන කල කන්කසන්තුරේ පාරට මත්තෙන් ඈතට පෙනෙන්නේ කන්කසන්තුරේ පරණ සිමෙන්ති කර්මාන්තශාලාව යි. සුක්කානම මෙහෙයවන යාල් ආගන්තුකයාට දශක කීපයක අදුරු මතක නැවත ආවර්ජනය කිරීමට එය හේතු කාරණා එක්කරයි.

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල –  Sharmila Vinothini

සිමෙන්ති කර්මාන්තශාලාව පසු කර ගෙන කන්කසන්තුරේ දෙසට තවදුරටත් ධාවනය කරන්නේ නම් කන්කසන්තුරේ දුම්රිය නැවතුම තවත් නැරඹුම් ස්ථානයකි. ඊට මත්තෙන් වන්නේ ප්‍රදීපාගාරයි. ඇස් හමුවේ ගව්ගානකට විහිදුණු කන්කසන්තුරේ මහ මුහුදේ සිට ගොඩබිමට හමා එන සුළඟ ලුණු සහිත ය.

ගත වැලඳගන්නා මේ ලවන සුළඟ, කාෂ්කට අව්ව නිසා මිදී, ගත තැවරෙයි. කන්කසන්තුරේට නුදුරු මයිලිඩ්ඩි හි දී මුහුදේ අතහැර දැමූ අබලන් බඩු නැවක් දැකගත හැක. මෙය 2018 දී ගිනි ගෙන ඇති අතර ඊට පෙර එය ඉන්දියාව සහ ලංකාව අතර සිමෙන්ති ප්‍රවාහනය කර තිබේ.

හිරු අවරට යන කල විඩාව සන්සිඳුවා ගැනීමට සුදුසු ම ස්ථානය නම් තල් සෙවණ හෝටල් පරිශ්‍රය යි.දිවා භෝජනයෙන් පසුව හවස් කාලයේ බටහිර අහසේ ගිලෙන සූර්යයා නැරඹීමට ඇති කදිම ස්ථානය නම් කන්කසන්තුරේ සමුද්‍ර තීරය යි.

කවරයේ පින්තූරය - කන්කසන්තුරේ තල් සෙවණ හෝටල් පරිශ්‍රය - Sharmila Vinothini 

මූලාශ්‍ර:

facebook.com/palmyrahisland

 
 

Related Articles