කළු බුද්ධරක්ඛිත හිමියන්ගේ කළුදිය පොකුණ

මිහින්තලේ කියන්නේ බෞද්ධ ආගමික අතින් වැදගත් තැනක් විතරක් නෙවෙයි. එය පුරාණ ජල තාක්ෂයේ දියුණුව අපට පෙන්වන තැනක් විදිහටත් සලකන්න පුළුවන්. ඒ බව හෙළිකරන සාධක විදිහට කළුදිය පොකුණ, සිංහ පොකුණ, නාග පොකුණ, කටුසෑය පොකුණ ආදි ඉපැරණි පොකුණු අදටත් දැකබලා ගන්න පුළුවන්. මේ අතරින් විශාලම පොකුණ වන කළුදිය පොකුණ කුඩා විලක් වගේ. ඒ වගේම ඉතා අලංකාර නිම්නයක පිහිටි පොකුණක්.

මිහින්තලේ නගර මධ්‍යයේ සිට කි. මී. 1ක් පමණ දුරින් තමයි මේ වනගත ආරාම සංකීර්ණය පිහිටා තිබෙන්නේ. මාර්ගය අද්දරම නාම පුවරුවක් සවිකර තිබෙන නිසා පාර හොයාගන්න ලේසියි. එයට නුදුරින් ඉඳිකටු සෑයත්, රාජගිරි ලෙන කන්දත් පිහිටා තිබෙනවා.

සුන්දර උද්‍යානය

ආරාම බිමට පිවිසුම- Kusumsiri Wijayawardhana

මාවත අද්දර සිට ආරාම සංකීර්ණය වෙත ගල්පර්වත අතරින් ඇදීයන සේ මංපෙත සකසා තිබෙනවා. පලු, වීර, කළුවර, ඇහැටු, ඇහැළ, කොහොඹ, වෙලං, තිඹිරි, මයිල, වා ආදී ගස්වැල්වලින් සෙවණ වුණු වටපිටාව හරිම සිසිලක් ගෙන දෙනවා. අපේ පුරාණ වාස්තු විද්‍යාඥයන්ගේ උද්‍යාන අලංකරණ සැලසුම ගැනත් අවබෝධයක් මින් ලබාගත හැකියි. විවිධ උස්මට්ටම්වල රැළි සහිත භූමිය, ස්වභාවික පර්වත ආදිය ආරාම සංකීර්ණයේ අලංකාරත්වය සඳහා කදිමට යොදාගෙන තිබෙනවා. අද මෙම බිම සම්පූර්ණයෙන් සංරක්ෂණය කර ඇති නිසා පුරාණ ස්වභාවය මවා ගැනීමට පහසු යි. ගල්පර්වත බහුල බිමක් මනහර ලෙස තපෝවනයක් බවට පත් කිරීමට පැරණි ශිල්පීන් දක්වා ඇති දක්ෂතාවය මෙතැන වැඩවලින් ඔප්පු වෙනවා.

කඳුවැටි අතර වන අරණ

කඳුවැටි අතර හැදූ  පොකුණ-Sundayobserver.lk

අඩි 1000ක් පමණ උසට නැගී සිටින මිහින්තලේ කඳුවැටියේ ප්‍රධාන කඳුගැට කිහිපයක් තිබෙනවා. අම්බස්තල කන්ද, ඇත්වෙහෙර කන්ද, රාජගිරි කන්ද, අනායිකුට්ටි කන්ද ඒවා යි. මේ සෑම කන්දක්ම පුරාණ නටබුන් හා ලෙන්වලින් පිරී පවතිනවා. කළුදිය පොකුණ ආරාමය පිහිටියේ ඇත්වෙහෙර කන්ද හා අනායිකුට්ටි කන්ද අතර  පිහිටි නිම්න බිමක යි. මේ නිසා කඳුවලින් ගලාඑන ජල උල්පත් එයට ස්වභාවිකවම යොමුව තිබෙනවා. පොකුණෙහි ඊසාන සහ වයඹ කොන් සෘජු ලෙස පිහිටි අතර දකුණු සහ නිරිතදිග ඉවුරේ බැමිවලට යොදාගන තිබෙන්නේ පිහිටි ගල්පර්වත යි. ඒ පැති වක්‍රාකාර ස්වභාවයක් ගන්නවා. 

පොකුණේ උතුරු බැම්මේ දිග අඩි 280ක්. නැගෙනහිර බැම්ම දිගින් අඩි 720ක්. දකුණු බැම්ම අඩි 66ක් ද බස්නාහිර අඩි 890ක් ද වෙනවා. වම් ආධාරක බැම්ම තනා තිබෙන්නේ සක්කගල්වලින්. නැගෙනහිර බැම්මට සක්කගල් වගේම කැපූ කළුගල් ද යොදාගෙන තිබෙනවා. පොකුණේ දකුණු ඉවුර උසින් වැඩියි. එහි වැඩි ප්‍රමාණයකට ස්වභාවික පර්වතය මායිම් වී තිබෙනවා.

රමණීය සැලසුම- -Kusumsiri Wijayawardhana

ජලය වැඩිවූ විට පිටකිරීම සඳහා සවිකර තිබුණු ශෛලමය නළයක් ද මෙහි කැණීම්වල දී හමුවුණා. පොකුණට බැසීම සඳහා ප්‍රධාන සෝපාන පන්තිය තිබෙන්නේ බස්නාහිර පැත්තේ. එය තට්ටු දෙකකින් හා අත්වැල්වලින් යුක්තව ඉදිකර තිබුණ බව හෙළිවුණා. එහි පියගැට 32ක් මතුකර ගෙන තිබෙනවා. 

පාහියන් හිමිගේ දේශාටන වාර්තාවල සඳහන් වන්නේ මිහින්තලේ භික්ෂූන් 2000ක් වාසය කළ බව යි. උන්වහන්සේලාගේ ස්නානය සඳහා මේ පොකුණ භාවිත කළ බව නිසැක යි. අදත් අවට ගැමියන් මෙන්ම වන්දනාකරුවන් ද ස්නානය සඳහා මේ පොකුණට එනවා. ඉඳහිට පොකුණ මැද ගල්පර්වතවල හිඳ අව්ව තපින ඉබ්බන් ද දැකගැනීමට ලැබෙනවා. මිහින්තලේ අභය භුමියට අයත් මේ අවට වනසතුන් රැසක් ද වාසය කරනවා.

පොකුණ මැද දූපතක් ලෙස තැනූ ගොඩනැගිල්ල- Kusumsiri Wijayawardhana

මහාචාර්ය සෙනරත් පරණවිතාන 1947 දී පොකුණ පරික්ෂාකර මෙලෙස පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් කරනවා:

කලක සිට කළුදිය පොකුණට පිවිසෙන උතුරු හා දකුණු වාසල් දොරටු නටබුන්ව පැවතුණි. පස්ගොඩැල්ලක් වශයෙන් තිබුණු මේ බිම කැණීම් කළේ 1940 දී ඒ. එච්. ලෝංහර්ස්ට් විසිනි. උතුරු දොරුටුවේ කැණීම් කර හැකිතරම් පැරණි ස්වරූපය ලැබෙන සේ සංරක්ෂණය කර ඇත. ඒ සඳහා ඉතිරි වී තිබූ නටබුන් කොටස් ප්‍රයෝජනයට ගැනිණි. මේ ද්වාරය වහලට ගල්ලෑලි අල්ලා තිබූ අතර පොළොවට ද ගල්ලෑලි අතුරා තිබුණි.

මෙම දොරටුව අසල ඇති ප්‍රතිමා ගෘහය උතුරුට මුහුණ ලා තනා තිබෙනවා. එහි හිටි බුදු පිළිමයක් තිබූ බවට සාධක හමුවෙනවා.

හැදුවේ කවුරුන් ද?

කළුගල් සුන්දරව භාවිත කර ඇති අයුරු- Amazinglanka.com

මෙය කරවූයේ කුමන පාලකයාදැ යි නිශ්චිතව තොරතුරු හමුවන්නේ නැහැ. එච්. සී. පී. බෙල් සඳහන් කරන්නේ සිව් වන කාශ්‍යප රජුගේ (ක්‍රි. ව. 896-913) සෙන්පතියකු විසින් කරවන ලද හදයුන්හ පිරිවෙන මෙය බව යි. ඒ රජු  මිහින්තලයේ (චේතිය පබ්බතයෙහි) හදයුන්හ නමින් පිරිවෙනක් කරවා, එය ධම්මරුචි භික්ෂූන්ට පූජා කළ බව මහාවංශය සඳහන් කරනවා.

අනුරාධපුර යුගයේ අවසන් කාලෙ දී නගරයෙන් පිටත නිසංසල ප්‍රදේශවල ආරණ්‍යවාසී භික්ෂුන් සඳහා පබ්බත විහාර සහ පධානඝර ආරාම තැනුවා. මෙම ආරාමය ද බවුන් වඩන භික්ෂුන්ට කැපවූ පධානඝර ගොඩනැගිලි සහිත ආරාමයක්.

කළු බුද්ධරක්ඛිත හිමි

කළුදිය පොකුණ බලන්ට දෙවියොත් වැඩියා- Kusumsiri Wijayawardhana

ධර්මප්‍රදීපිකාව නම් පැරණි ග්‍රන්ථයේ කියැවෙන කළු බුද්ධරක්ඛිත හිමියන් කාලාම සූත්‍රම දේශනා කරන ලද්දේ, කළුදිය පොකුණ අසබඩ කළු තිඹිරි රුකක් පාමුල කළුවර පොහෝ දිනක බව ජනප්‍රවාදයේ කියැවෙනවා. ඒ ගැන සඳහන් ජන කවියක් අපි අහලා බලමු:

ගල් ගිගිරන් ගල් ගිගිරන් ගල් කැටියා

මල් ගිගිරන් මල් ගිගිරන් මල් කැටියා

කළු තිඹිරට පිට දීලා           වැඩ සිටියා

කළුදිය පොකුණ බලන්ට දෙවියොත් වැඩියා

මේ පොකුණට කළුදිය පොකුණ කියලා කියන්න පටන්ගෙන ඇත්තේ එහි ජලය ගැඹුරු බව නිසා මෙන්ම අවට පර්වත නිසා කළු පැහැයෙන් දිස්වන නිසා බව යි පේන්නේ. ඓතිහාසික මූලාශ්‍රවල එවැනි නමක් හමුවන්නේ නැහැ. ඉතිහාසඥයන් කියන්නේ සිව්වැනි මහින්ද රජුගේ (ක්‍රි. ව. 956-972) මිහින්තලා පුවරු ලිපිවල දැක්වෙන පොරොදෙනි පොකුණ මෙය විය යුතු බව යි. ඒ බව පුවරු ලිපියේ මෙලෙස දැක්වෙනවා:

මෙහි සග්වැල්ල ඉසා පහතැවිල් වට්හි බිම් ඉසා පෙරොදෙණි පොකුණ වටැ බිම් ඉසා මෙතුවක් තන්හි ලබනු…

ඉන් කියැවෙන්නේ පොකුණ අවට බිම්වලින් ලැබෙන ආදායම මිහින්තලේ විහාරයට හිමිවිය යුතු බව යි.  

පධානඝර ආරාම

ආරාම බිමට පිවිසුම – Kusumsiri Wijayawardhana

මිහින්තලේ ආරාම අතර කළුදිය පොකුණට හිමිවන්නේ සුවිශේෂත්වක්. එයට පිවිසෙන වාහල්කඩ ගඩොල් හා කළුගල් යොදාගෙන තනා තිනෙවා. ඒ අසල උස්බිමක දාගැබක් සහ සංඝාරාම ගොඩනැගිල්ලක් දැකගත හැකියි.

පොකුණ මැද්දේ දූපතක් වැනි ගල්පර්වතයක් මැද පිහිටි ගොඩනැගිල්ල මේ පුදබිමට අලංකාරයක් ගෙන එනවා. එය උස් වේදිකාවක් මත අඩි 8ක් උසට අණ්ඩාකාර මළුවක් තනා ඒ මත ගඩොල්වලින් ඉදිකර තිබෙනවා. මේ දූපතට ගමන් කිරීමට පුරාණයේ පාලමක් තනා තිබුණත් එය පසුව විනාශ වෙලා. මෙහි පොළොව ගඩොල් අතුරා වහලයට උළු සෙවෙණි කොට තිබූ බව හෙළි වී තිබෙනවා.

දූපතේ ගොඩනැගිල්ල- Kusumsiri Wijayawardhana

කළුදිය පොකුණේ සිට කන්දට නගින පියගැට පෙළේ පිහිටා ඇති ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපියක මණිකර මුලගුතහ පද ගඩිනි (මැණික්කරු මුලගූත්තගේ පියගැට පෙළ) යයි සඳහන් වෙනවා. මෙහි ගොඩනැගිලි නටබුන් අනුරාධපුර අග කාලයට අයත් වුවත් මේ බිම ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ආරාමයක් වශයෙන් පැවති බව ඉන් හෙළිවෙනවා.

දූපත තවත් කෝණයකින් – Kusumsiri Wijayawardhana

මෙහි පධානඝර ගොඩනැගිලි සංරක්ෂණය කළේ 1968 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ අධීක්ෂණය යටතේ. ඔහු ඒ ගැන මේ විදිහට පවසනවා:

මේ බිම් කොටසේ ගල්පරයත්, ඒ මත ඇති ගොඩනැගිල්ලත් කැපී පෙනෙන ස්මාරක හෙයින් වැඩ පටන් ගන්නා ලද්දේ ඒ ස්ථානයේ ය. ලදු කැලය එළිකර ද්විත්ව වේදිකා ගොඩනැගිල්ල කැණ පාදවා කපා සකස් කළ ගල්වලට අංක යොදන ලදී. නැගෙනහිර පැත්තේ සිට විහිදුණු පඩි පෙළත් ඒවාට පහළින් මාලක බැමිත් අවුල් වී තිබුණේ ය. මෙහි එක් වේදිකාවක සිට අනෙකට යාමට තිබූ ගල්පාලම චතුරස්‍ර ගල්පුවරු තුනකින් යුක්ත වීම විශේෂත්වයකි. 

(1967-68 පුරාවිද්‍යා පාලන වාර්තාව)

ගල්ලෙන

ලෙන් ගෘහය- Kusumsiri Wijayawardhana

පොකුණට නුදුරින් පිහිටි ගල්ලෙන ඉදිරිපසින් කළුගල් පුවරුවලින් කළ බිත්තිවලින් යුක්ත යි. එහි පියස්ස ද කළුගල් ලෑලිවලින්  කර තිබෙනවා.  එහි බොරදම් බේරූ ගල්උළුවස්සක් ද ජනෙල් උළුවහු දෙකක් ද දැකගත හැකියි. පුරාණ ලෙන් ගෘහයකට කදිම උදාහරණ මේ ලෙන සපයනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සිංහල විශ්ව කෝෂය 6 කාණ්ඩය

පුරාවිද්‍යා පාලන වාර්තාව 1958

Archaeological survey 1947 S. Paranavithana

කවරය - කළුදිය පොකුණ -Kusumsiri Wijayawardhana

Related Articles