උඩරට හමුදාව වනසා දැමූ කටුවන ලන්දේසි කොටුව

කටුවන කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවට අයත් පුරාණ ගම්මානයක්. කටුවන මහනුවර රාජධානි සමයේ උඩරට රාජ්‍යයත්, මුහුදුබඩ ප්‍රදේශයත් වෙන් කරන ලද වැදගත් මුරපොළක් ලෙස සැලකුණා. මාතර සිට හක්මන හරහා වලස්මුල්ලට පැමිණ, වලස්මුල්ලේ සිට මිද්දෙණිය නගරය පසුකර කිලෝමීටර පහළොවක් පමණ ගමන් කළ විට ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවට පිවිසිය හැකියි. වර්තමාන කටුවන නගරයේ, කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ළඟ මහා මාර්ගය අසලම  තමයි බලකොටුව පිහිටා තිබෙන්නේ.

කටුවන කොටුව හැදුවේ ඇයි?

කොටුව 1734 දී පැවති අන්දම හයට්ගේ කෘතියෙන් -facebook

ලන්දේසි ජාතිකයන් විසින් රට අභ්‍යන්තරයේ ඉදිකරන ලද බලකොටු අතරින් වඩාත් සුරක්ෂිතව පවත්නා බලකොටුව කටුවන කොටුව වීම නිසා එහි පුරාවිද්‍යාත්මක වටිනාකම ඉහළ යි. ඒ අතරම බොහෝ ලන්දේසි බලකොටු පසුව ඉංග්‍රිසින් විසින් අලුත්වැඩියාකර භාවිත කළත්, කටුවන කොටුව එසේ වෙනසකට ලක්කර හෝ නැවත භාවිතයට ගෙන නැහැ.

ලන්දේසින් කටුවන බලකොටුව ඉදිකිරීමේ දී මූලික වශයෙන් අංශ දෙකක් කෙරෙහි සිය අවධානය යොමුකර තිබෙනවා. දකුණු මුහුදුබඩ දේශ සීමාව හා කන්ද උඩරට දේශ සීමාව අතර කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම එක් අරමුණක්. සිය වාණිජ අරමුණු ඉටුකර ගැනීමේ දී අවට මිල දී ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමත් ඔවුන්ගේ තවත් අරමුණක් වුණා. අගනුවර වූ මහනුවර සිට දකුණට දිවෙන ප්‍රධාන මාර්ගය පිහිටියේත් කටුවන හරහා යි. ලන්දේසීන්ගේ ප්‍රධාන නගරයක් වූ මාතර දක්වා දිවෙන මාර්ගය ආරක්ෂාකර ගැනීම මෙන්ම උඩරට සමග වෙළඳ සබඳතා ආරක්ෂාකර ගැනීම ද මෙම බලකොටුව පවත්වා ගැනීමට හේතුවක් වී තිබෙනවා. කටුවන කුඩා ආරක්‍ෂක මුරපළක්‌ වශයෙන් ද ආහාර ද්‍රව්‍ය හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්‌රැස්‌ කරනු ලබන මෙන්ම බෙදාහැරීමේ ගබඩා මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් ද ක්‍රියාකර ඇති බව පැහැදිලි යි.

කොටුව දැක්වෙන ලන්දේසි සිතියමක්- Wikipedia.org

කටුවන බලකොටුව ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටීම ද, බලකොටුවක් නිර්මාණය කිරීම උදෙසා සුදුසු ලක්ෂණවලින් යුක්ත යි. අවට රැළි බිම් සහිත භූමි ලක්ෂණ පෙන්නුම් කරන අතර, බටහිර හා වයඹදිග මායිම්වල තරමක් උස කඳු පන්ති පිහිටා තිබෙන්නේ ආරක්ෂක ප්‍රාකාර ලෙස යි. රම්මලකන්ද, හිඟුරකන්ද, කරවිලකන්ද ඒ අතරින් කැපී පෙනෙනවා. බලකොටුවට නැගෙනහිර දෙසින් වූ ප්‍රදේශය වෙරළ දක්වා තැනිතලා භූමි ප්‍රදේශයක් ලෙස පැතිර යනවා.

ඉතිහාසය

බලකොටු බිමට පිවිසුම- N. H. Samarasingha- sarisaraweb.wordpress.com

පො‍‍ළොන්නරු අවධි‍යේ දී I වන විජයබාහු රජු ද ආරක්ෂිත බල ප්‍ර‍දේශයක් ‍ලෙස ‍මෙම භූමිය ‍තෝරා‍ගෙන තිබෙනවා. මහා පරාක්‍රමබාහුට එරෙහිව රුහුණේ සිට යුද්ධ සංවිධානය කළ සුගලා බිසවගේ බලකොටුවක් ද කටුවන තිබූ බව ඉතිහාසයේ සඳහන්.

ලන්දේසින් ලංකාවේ මුහුදුබඩ පළාත් යටත්කර ගත්තේ 1658 දී යි. ඔවුන් මුහුදුබඩ තිබූ පෘතුගීසි බලකොටු වඩාත් ශක්තිමත්ව ඉදිකරමින් යන අතර රට ඇතුළේ ද අලුතින්ම බලකොටු තැනුවා. වර්ෂ 1697 දී ලන්දේසීන් මේ බලකොටුව තනා නිම කළ බව සඳහන්. බලකොටුව දිග සහ පළලින් අඩි 150ක් වන චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක්. මෙහි ප්‍රධාන කොටු පවුර පිටතින් අඩි 20ක් පමණ උස යි. ප්‍රාකාරයේ අභ්‍යන්තරය දළ වශයෙන් අඩි 8 සිට 12 දක්වා වෙනස්වන උසකින් සමන්විත යි. ප්‍රකාරය විශාල ගල් කුට්ටි යොදා ගනිමින්, හුණු බදාමයෙන් තනා තිබෙනවා.

කොටු දොරටුව- dinamina.lk

ගොඩනැගිල්ලට ප්‍රවේශ දොරටු තිබී ඇත්තේ එකක් පමණ යි. එය ආරුක්කු හැඩයට තනා තිබෙනවා. දොරටුවට වම් පසින් බලකොටුව තුළ ඉතා උස් වූ ගොඩනැගිල්ලක් ස්ථාපිතව තිබුණා. එහි ඔර්ලෝසුවක් ද සවිකර තිබී පැවති බව සඳහන්. එය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් දර්ශනය වූ බවත්, කොටුවේ ප්‍රකාරයට යාබදව දකුණු පසින් ප්‍රධාන අණ දෙන නිලධාරියාගේ නිල නිවෙස පිහිටා තිබූ බවත්, බලකොටුවේ ඇති ඓතිහාසික තොරතුරු ඇතුළත් සැලැස්මේ සඳහන්ව තිබෙනවා.

ඇතුළත පිහිටි ළිඳ – amazing lanka.com- Nishan Weerasooriya

මිදුලේ දිග පැත්තෙහි ගබඩා ගෘහයක් ද, එහි කෙළවර යුද්ධෝපකරණ තැන්පත් කළ දෙමහල් ගොඩනැගිල්ලක් ද තිබුණා. එහි ඉහළ මාලය සෙබළුන්ගේ පදිංචිය සඳහා වෙන්ව තිබූ බව සඳහන් වෙනවා. බලකොටුවේ තවත් කෙළවරක වෛද්‍ය උපකරණවලින් පරිපූර්ණ ශල්‍යගාරයක් හා ප්‍රධාන දොරටුවට වම් පසින් දිය පිරුණු විශාල ළිඳක් ද තිබුණා. මේ ළිඳ අදත් දැකගත හැකියි. බලකෙටුව පිහිටි බිම අක්‌කර 05ක පමණ වපසරියකින් යුක්‌ත යි.

හයට් දුටු කොටුව

කොටුව ඇතුළත -themiracleceylon.com

1734 දී ලංකාවට පැමිණි යොහාන් වුල්ෆ්ගැන්  හයට් 1744 දී ලංකාව ගැන ලියූ කෘතියේ මේ බලකොටුව ගැන කදිමට විස්තර කෙරෙනවා:

කටුවන කොටුව මාතර සිට පැය අටක කාලයකින් යා හැකි දුර ප්‍රමාණයක් තුළ රට තුළට වන්නට පිහිටා ඇත. පහත්බිම ආරක්ෂාකර ගැනීම සඳහා මෙය තනා තිබේ. කොටුව අසල ඇත්තේ වල්බිහිවුණු තරමක කඳු සහිත පෙදෙසකි. මෙම කැලෑවේ වඩු වැඩටත් ගිනි දැල්වීමටත් අවශ්‍ය තරම් දැවදඬු තිබේ.

කොටුව වටා ගලින් නිමවුණු උස් ප්‍රාකාරයකි. එහි උස සපත්තු දහසයක් වේ. එය මත පළල් ප්‍රාකාර වේදිකාවක් ද වේ. කොටුවට පිවිසීමට ඇත්තේ එක් දොරටුවකි. වම් පැත්තේ ඔරලෝසුවක් සවිකර ඇති උස් ගොඩනැගිල්ලකි. මෙය යුද්ධෝපකරණ ගබඩාවට ඉහළින් පෙනේ. සම්පූර්ණ ගොඩනැගිල්ල තනා තිබෙන්නේ කාලතුවක්කු 12ක් පමණ සවිකිරීමට හැකි ඉඩ ප්‍රමාණයක ය. ඒ නිසා එහි ආරක්ෂාවට අවශ්‍ය වුයේ 40ක් පමණ වූ සුළු පිරිසකි.

(කිරිඇල්ලේ ඥාණවිමල හිමි- කටුවන මාතර හටන)

කොටුව බිඳ හෙළීම

කොටු පවුර – themiracleceylon.com

ලන්දේසීන් මුහුදුබඩ පෙදෙස් පාලනය කළේ උඩරට රජු සමග ඇතිකර ගත් ගිවිසුමට අනුව නොවේ. ඔවුන් වෙළෙඳාම මුල්කර ගෙන සිටි ජාතියක් ලෙස පෙනී සිටියා. උඩරට රජුට ලන්දේසි පාලනය හිසරදයක් වී තිබුණා. මේ නිසා දකුණේ ප්‍රධාන බලකොටුවක් වූ කටුවනට පහර දීමට ඌවේ සහ සබරගමුවේ නායකයන් සැලසුම් කළා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ උපදෙස් පරිදි ඌවේ නිලධාරින් තිදෙනෙක් සහිත යුද හමුදාවකුත්, සබරගමුවේ පන්දහස් පන්සියයක් සහිත සේනාවක් ඒ සඳහා පිටත් වුණා.

සේනා තඹලගමුව, මඩුවන්වෙල, මිද්දෙණිය හරහා මුල්කිරිගලට ගොස් තවත් රුහුණේ හමුදාවකුත් එක්කර ගෙන කටුවන බලකොටුව බලා පිටත්වී තිබෙනවා. කටුවන බලකොටුව විනාශ වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ, වර්ෂ 1761 පෙබරවාරි මස 06, 07, හා 08 යන තෙදින පුරාම සිංහල හමුදාව විසින් කාලතුවක්කු උපයෝගීකර එල්ල කරන ලද අඛණ්ඩ ප්‍රහාරය යි. කොටුවේ ප්‍රධාන දොරටුව මෙන්ම අභ්‍යන්තර ගොඩනැගිලි ද මේ ප්‍රහාරවලින් විනාශ වී ගොස් තිබෙනවා. කොටු තාප්පයට මඳක් දුරින් ශක්තිමත් අට්ටාල බැඳ ඒ මත කාලතුවක්කු සවිකර සිංහල හමුදා දිවා රාත්‍රී නොකඩවා වෙඩි තබා තිබෙනවා. දේශීය ජනයා උණ බම්බුවලින් සකසන ලද හිනිමං ආධාරයෙන් උසැති කොටු පවුර තරණය කළ අතර තවත් පිරිසක්‌ කොටුව වටකර ඒ දෙසට වෙඩි ප්‍රහාර එල්ලකර තිබෙනවා. දේශීය වැසියන්ගේ ප්‍රහාරයකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් පිරිසක්‌ කටුවන කොටුවේ සිට නැහැ. එතෙක්‌ එල්ල වූ ප්‍රහාරයන්ගෙන් එකොළොස්‌දෙනෙකු මියගොස්‌ සිටි අතර සෙසු පිරිස්‌ අතරින් කිහිප දෙනකු දැඩි ලෙස තුවාල ලබා සිටි බව පැවසෙනවා. දින දෙකක් ගතවත විට කොටුව රැකගැනීම අපහසු බව ලන්දේසි හමුදාවලට පෙනී ගියා. බලකොටුවේ අණ දෙන නිලධාරියා වූ ආනවුඩ් වාන් වර්ඩේ යටත්වීමේ සලකුණක් ලෙස සුදු කොඩි එසවුවා. කෙසේ වුවත් සිංහල හමුදා ප්‍රධානීන් යටත්වූ ලන්දේසින් කැලයට රැගෙනගොස් මරා දැමූ බව සඳහන් වෙනවා.

කටුවන යටත් වෙයි 

ඇතුළත සක්මන් කිරීමට තැනූ පවුර- themiracleceylon.com

දුෂ්කර සටනකින් පසුව 1761 පෙබරවාරි 08 වන දින මේ බලකොටුව සිංහල හමුදාව අත්පත්කර ගත්තා. මෙම ප්‍රහාරයෙන් කොටුවේ ප්‍රධාන දොරටුව මෙන්ම අභ්‍යන්තර ගොඩනැගිලි ද විනාශ වී තිබුණා. ඊට පසු මාතර බලකොටුව ද විනාශ කළ සිංහල හමුදාව පස් මසක් දකුණු  ප්‍රදේශය පාලනය කළ බව ද පැවසෙනවා. ඔවුන් මහනුවරට ගොස් ඇත්තේ 1761 නොවැම්බර් 2 දා යි. ඊට පසු මේ සටනට සහභාගී වූ නායකයන්ට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ගම්බිම් සහ වරප්‍රසාද ලබාදී තිබෙනවා. සබරගමුවේ ප්‍රධානින් 15 දෙනෙකුට  පමණ නින්දගම් ප්‍රදානය කළ බව කියැවෙනවා. කුරුවිටි කෝරළයේ කිරිඇල්ලේ ජයසුන්දර මුදියන්සේ, මාටුවාගල අභයනායක කරුප්පු මුදියන්සේ, අටකලන් කෝරළයේ ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මුදියන්සේ, මාකඳුරේ ධර්මාලංකාර සෙනෙවිරත්න මුදියන්සේ, කොලොන්න කෝරළයේ මඩුවන්වෙල විජයුන්දර ඒකනායක මුදියන්සේ එසේ ගම්බිම් ලැබූ පිරිසෙන් කිහිපදෙනෙක්.

කොටු පවුරේ වැවුණු ගස්- Amazing Lanka.com- Nishan Weerasooriya

කටුවන සටන ගැන රාජාධිරාජසිංහ සමයේ (1788) ලියූ කැටකිරිලි සංදේශයේ මෙසේ සඳහන් වෙනවා;

තුටුවන දිගත ලක පසිඳු                    රිවිකුල

දෙටුවන සෙවන මහසෙන් මැතිඳු     යුද කළ

කටුවන කොටු තුඹස සිටි දිටු           නයින්බල

බොටු ගෙන කපා දැමූ බව කරඹ    නොපැකිල

නටබුන්ව පැවති බලකොටුව 1980 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර 2007 දී නෙදර්ලන්ත රජයේ මූල්‍යාධාර යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කටුවන කොටුවේ සංරක්ෂණ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරුණා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

කටුවන මාතර හටන- කිරිඇල්ලේ ඥාණවිමල හිමි

Archaeology.gov.lk

Dinamina.lk

Silumina.lk

කවරය- කටුවන කොටු පවුර- N. H. Samarasingha- sarisaraweb.wordpress.com

Related Articles