සිරිසඟබෝ රජ්ජුරුවන් තම හිස දන්දුන් කථාව ගැන අහපු නැති කෙනෙක් නැති තරම්. ඒත් එය සිදුවුණු ස්ථානය ගැන දන්නේ කීයෙන් කී දෙනාද?

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති හත්ථිකුච්ජි විහාරය සිරිසඟබෝ රජ්ජුරුවන් තම දිවියේ අවසන් කාලය ගත කල ස්ථානය ලෙස ඉතිහාස පොත්වල සඳහන් වන අතර, මේ සටහන හත්ථිකුච්ජි විහාරය ගැනත් එහි ඓතිහාසික වටිනාකමත් ගැනයි.

ලඟාවෙන හැටි

තුරුලතා වලින් ගහන පරිසරය (Dinesha Fernando)

පාලි භාෂාවෙන් හත්ථිකුච්ජි නැත්තම් ඇත් කුස් වෙහෙර ලෙසද හඳුන්වන මෙම විහාරයට මේ නම ලැබී තිබෙන්නේ දණින් වැටී සිටින අලියෙකු ලෙස දිස්වෙන මහා පර්වතයක් මෙම විහාර භූමියේ තිබීම හේතුවෙනි.

අක්කර 100ක පමණ විශාල භූමියක, ඉතා මනරම් පරිසරයක් මැද පිහිටා ඇති හත්ථිකුච්ජි විහාර සංකීරණයට ළඟාවීමට කොළඹ සිට පැමිණෙන ඔබට පහසුම මාර්ගය වන්නේ ගිරිඋල්ල, නාරම්මල, පාදෙණිය පසුකොට A28 මාර්ගයේ මහව හරහා ගල්ගමුවට පැමිණීමයි. ගල්ගමුව දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටර 7ක් පමණ තඹුත්තේගම දෙසට ගමන් කර මහගල්කඩවලින් වමට හැරී මහගල්කඩවල-වෙරවැව මාර්ගයේ කිලෝමීටර 5ක් පමණ ගියතැන මෙම විහාරභූමිය හමුවේ.

පෞද්ගලික වාහනයක ගමන් කරන ඔබට වාහන නවතා තැබීමේ ඉඩ පහසුකම්ද ඇති හත්ථිකුච්ජි විහාරය ගූගල් සිතියම් වල පැහැදිලිව සලකුණු කොට ඇති නිසා කුමන දෙසින් වුවත් ඔබට අපහසුවකින් තොරව විහාර සංකීර්ණයට ලඟා වීමේ හැකියාව තිබේ.

විහාරයේ ඉතිහාසය

වසර දහසකට වැඩි කාලයක් තිස්සේ අවු වැසි හමුවේ නොසැලී සිටි ශිලා ලේඛනයක්. (Dinesha Fernando)

මෙහි ඇති නටඹුන් සහ ශිලා ලේඛන වලට අනුව ක්‍රි.පූ. 3 වන සියවස දක්වා දිවෙන ඉතිහාසයක් ඇති හත්ථිකුච්ජි විහාරය මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩමකල යුගයේ ගොඩනැගුනු විහාර සංකීරණයක් බවට සාධක ඇති බව කියැවේ.

වංශ කතා වලට අනුව මුල් යුගයේ තිබූ ප්‍රධාන සංඝාරාම හතර වී ඇත්තේ මිහින්තලේ, සිතුල්පවුව, දක්ෂිණගිරි සහ හත්ථිකුච්ජියි. වසර දහසකටත් වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියුවද හත්ථිකුච්ජි විහාරය ඉතිහාසයේ නොමැකෙන ලෙස සනිටුහන් වී ඇත්තේ සිරිසඟබෝ රජුන් හා බැඳි පුරාවෘත්තය නිසාවෙනි.

සිරිසඟබෝ රජුගේ කතාව

විහාර භූමියේ ඇති නටඹුන්. (Triposo Travel Guide, www.triposo.com)

ක්‍රි.ව. 251-253 දක්වා වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රජකළ සිරිසඟබෝ රජු, ඔහුගේ රාජ්‍ය කාලය තුළ කැපී පෙනෙන සංවර්ධන හෝ වාරිමාර්ග කටයුතු සිදු නොකලත් ලංකාව පාලනය කල රජුන් අතරින් නම් දැරූ පාලකයෙක් ලෙස හැඳින්විය හැකියි.

බෝධිසත්වයෙකුට සමකල හැකි ජීවන රටාවක් ගතකල සිරිසඟබෝට ඔහුගේ පියාණන් වූ සංඝාතිස්ස රජුගේ මරණයෙන් පසු රජකම ලැබුණ අතර ඔහුගේ සොයුරා වූ ගෝඨාභයට භාණ්ඩාගාරික තනතුර ලැබෙනවා.

ගෝඨාභය ඇතුළු බොහෝ දෙනෙක් සිරිසඟබෝ රජුට ඔහුගේ නිර්ව්‍යාජ අවංක සහ සංවේදී බව හේතුවෙන් සාර්ථකව රටේ පාලනය ගෙනයා හැකි බවට බලාපොරොත්තු නොවුනත් සැවොම විමතියට පත් කරමින් ඔහු රටේ පාලන කටයුතු ඉතා සාමකාමීව සහ සාර්ථකව ඉටු කරනවා.

අධිෂ්ඨානශීලී චරිතයක්වූ සොයුරු ගෝඨාභය, රාජ්‍ය බිඳ වැටී රජකම තමා වෙත ලැබෙන තුරු කල් මරමින් බලා සිටියත්, ඉතා සාර්ථකව පාලන කටයුතු හසුරවමින් සිටි  සිරිසඟබෝ රජු දැක තවත් ඉවසිය නොහැකි තැන රජය පෙරළා දමා බලහත්කාරයෙන් බලය අල්ලා ගැනීමට සැලසුම් කරනවා.

ගෝඨාභය මෙහෙයවූ සන්නද්ධ කැරළිකරුවන් අගනුවර දෙසට පැමිණෙන බවට කනවැකුණු සිරිසඟබෝ රජු, යුද්ධයක් ඇරඹුනහොත් වියහැකි ලේ වැගිරීම් ගැන සිහිවී තම සොයුරාට සිහසුන තබා, කිසිවෙකුටත් ඇස නොගැසෙන පරිද්දෙන් වෙස්වළාගෙන රාජධානිය හැර යන්නේ, වතුර පෙරා ගැනීමට කුඩා රෙදි කැබැල්ලක් පමණක් රැගෙන බව සඳහන්ය.

අපහසුවකින් තොරවම රටේ බලය අල්ලා ගත්තත් සැකයෙන්, බියෙන් රජකම් කල ගෝඨාභය සිතුවේ තම සොයුරා ජීවත්ව සිටින තෙක් තමා සුරක්ෂිත නැති බවයි. මේ සිතුවිල්ලෙන් ජීවත්වූ ගෝඨාභය අවසානයේ තම සොයුරාගේ හිස ගෙනෙන කෙනෙකුට විශාල ත්‍යාගයක් දෙන බව ප්‍රසිද්ධ කරන්නේ අවාසනාවන්ත මරණ රැසකට ආරම්භය සලසමින්.

රජකම අතහැර පළා ආ සිරිසඟබෝ තම දිවියේ අවසන් කාලය හුදෙකලාව, භාවනා යෝගී ජීවිතයක් ගතකර ඇත්තේ හත්ථිකුච්ජි විහාරයේ බවයි ඉතිහාස පොත්වල සඳහන් වන්නේ. දිනක් මෙහිදී සිරිසඟබෝට හමුවන පිටිසර වැසියෙකු ක්ෂණිකව ඔහු පෙර රජකම් කල අය ලෙස හඳුනා ගන්නා අතර, ඔහුගේ හිස ගෝඨාභය රජුට ගෙනයාමෙන් ලබාගත හැකි ත්‍යාග සහ වරප්‍රසාද තම පවුලේ සුභසිද්ධියට යොදා ගන්නා ආකාරය ගැන සිතන්නට පටන් ගන්නවා.

ගැමියා සිතන දේ වහා අවබෝධ කරගත් සිරිසඟබෝ, තම නිර්ව්‍යාජ සහ සංවේදී ගුණාංග නිසාවෙන්ම ගැමියාව මිනීමරුවෙකු නොකර තම කඩුවෙන්ම තම හිස කඳෙන් වෙනකොට ගැමියාට පිරිනැමූ බව මූලාශ්‍ර වල සඳහන් වනවා.

විහාර භූමියේ අවට ඇති නටඹුන්

පිළිමගෙය තුල ඇති සැතපෙන බුදුපිළිමය. (Amazing Lanka, amazinglanka.com)

හත්ථිකුච්ජි විහාර සංකීර්ණය අක්කර සියයේ සිට තුන්සියයක් දක්වා පැතිරුණු ප්‍රදේශයක් පුරාවට විහිදී ඇති බව සඳහන්ය. දැනට හඳුනාගෙන ඇති මූලික ගොඩනැඟිලි අතර වටදාගෙයක්, පිළිමගෙයක්, පොහොය ගෙයක්, දාන ශාලාවක්, ස්තූප කිහිපයක්, අර්ධකවාකාර ගොඩනැගිල්ලක්ද ඇති අතර නුවර යුගයේ අලුත්වැඩියා කල පිළිම ගෙයක්ද, පොකුණු සහ භාවනා කුටිද වසර දහස් ගණනක් ඈත අතීතයට යන නටඹුන් අතර වේ.

වටදාගෙයි දැනට දකින්නට ඇති ස්ථූප ගරා වැටුණු ස්වභාවයක් ගත්තද, ඉතුරුව ඇති ගලින් නෙළන ලද අගනා දොරකඩ දෙකක් වටදාගෙයි නටඹුන් අතර දැකගත හැකිය. වටදාගෙය සහ ගල මුදුනට නැගීමට ඇති පඩිපෙළ අතරින් ඇති අඩි පාරෙන් මීටර 150 ක් පමණ කැලය දෙසට ගමන් කරනවිට, බුදු දහම ලංකාවට පැමිණි මුල් යුගයේ භික්ෂූන් විසින් භාවිත කල බව පැවසෙන භාවනා කුටි වල නටඹුන් දැකගත හැක.

කඳු පාමුල ස්වාභාවික පාෂාණයම යොදවා නිමවා ඇති පිළිම ගෙය තුල සැතපෙන බුදු පිළිමයකි. නුවර යුගයේ තනවා ඇති මෙම පිළිම වහන්සේ ආවරණ වන පරිදි පිළිම ගෙය තනවා ඇත්තේ පසුකාලීනව ගම්මුන් විසින් බව පැවසේ.

කඳු මුදුනට නැගගත් කල විහාරයේ ඇති ඉපැරණිම ස්ථූපය දැකගත හැකි අතර ගරා වැටී ඇති ස්ථූපය අසල යමක් අතින් රැගෙන දිවයන මිනිසෙකුගේ රූපයක් සහිත කැටයමක් දැකගත හැකියි. මෙය සිරිසඟබෝ හිස අතින් රැගත් ගැමියා තම ත්‍යාගය ලබා ගැනීමට ගෝඨාභය රජු වෙත දිවයන අවස්ථාවේ කැටයමක් බව සඳහන් වේ.

අවට ඇති අනෙකුත් ආකර්ෂණීය ස්ථාන

නිල්ලක්ගම බෝධිගරය. (Chief Ministry NWP, cm.nw.gov.lk)

රසවත් අතීත කතා වලින් සමන්විත මෙවැනි ඓතිහාසික උරුමයන් පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. ඔබ ලංකාවේ සංචාරය කර ඇති අප්‍රකට ස්ථාන පිළිබඳ තොරතුරු කොමෙන්ට් එකක් හරහා අපි සමඟ බෙදාගන්න අමතක කරන්න එපා!

කවරයේ පින්තුරය: Dinesha Fernando

මූලාශ්‍ර – amazinglanka.com, mysrilankatrip.com, srilankaview.com.