නැසීගිය නක්ල්ස් එනසාල් වගාවේ නෂ්ඨාවශේෂ වූ කේ එම් පී වාඩිය

නක්ල්ස් කියන්නේ ලංකාවේ සුන්දර වනාන්තර පරිසරයක්. මේ නක්ල්ස් වනයේ තියෙන සුන්දර දිය ඇලි, කඳුවැටි, ගම්මාන සොයා යන අය අතර කේ එම් පී වාඩිය බොහොම ප්‍රසිද්ධ තැනක්. කේ එම් පී කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස. මේ කේ. එම් පියදාස කියන්නේ මේ කේ එම් පී වාඩිය කලින් අයිතිවෙලා තිබුණ මුදලාලි මහත්තයා. ඒ මුදලාලි මහත්තයාටත් කලින් මේ කේ එම් පී වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලි මහත්තයෙක්ට. අපි මේ කේ එම් පී වාඩිය, සහ වාඩි ගහලා, කැලේ එලිකරලා කරපු එනසාල් වගාව ගැන විස්තර ටිකක් දැනකියාගමු.

කේ එම් පී වාඩියට යන පාර

එනසාල් වගා ඉතිහාසය

එනසාල් වගාව ලංකාවේ ජනප්‍රිය වෙන්නේ සුද්දා ලංකාවෙන්  යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දි වගේ. මුල් කාලේ ද්‍රවිඩ ජාතිකයින් යොදාගෙන වගා කටයුතු කළත්, පසුව අනෙක් අයත් එනසාල් වගාවට යොමු වුණා. එනසාල් වගාව පස්සේ කාලෙක බොහොම සරුවට ගියා. සමහර එනසාල් වගා කළ ලොකු ලොක්කෝ හෙලිකොප්ටරෙන් එනසාල් වගා කරපු බිම්වලට බහින තරමට වැඩේ නැගලා ගියා කියලා තමයි ආරංචිය. කොහොම වුණ්ත් 2000න් පස්සේ වගාකරුවන්ට නම් එච්චරම සුබ වුණේ නැහැ. එනසාල් වගාකරුවන්ගේ කෝණයෙන් ගතහොත් ඔවුණ්ට විකල්ප නොදී රජය එනසාල් වගාව නැවැත්තුවා. ඔවුණ් අසරණ වුණා. උසාවි නියෝග ආවා. එනසාල් වගාව කළ වනාන්තර පළාත් පිටින් මිනිස්සුන්ට අතහරින්න වුණා. කොහොම වුණත් නක්ල්ස්වල තිබුණ එකම එක වාඩියක් ඉතුරු වෙලා අදටත් තියෙනවා. ඒක තමයි කේ එම් පී වාඩිය.

කේ එම් පී වාඩියට ගිය පිරිසක්

නකල්ස් රක්ෂිතයක් වීම

ලංකාවේ තියෙන මීටර 1500ට වැඩිය උස මුදුන් ගොඩක් 1873 දි සංරක්ෂිත කලාප විදියට නම් කෙරුනා. සුද්දා තේ වැව්වාට තේ කෑලිවලට උඩින් කඳුවල තිබුණ වනාන්තර ගැනත් ඇහැ ගහගෙන හිටියා. අපේ රටේ වැහි නැති කාලයට වතුර එන්නේ ජල උල්පත් හරහා වනාන්තරවලින්. මෝසම් වැස්ස සහ වෙනත් වැහි ඔක්කෝම වගා බිම්වලට වැටිලා පසත් එක්ක හෝදගෙන යනවා. ඒත් ඉහල කඳුකර වනාන්තරයට වහින වැස්ස ස්පන්චියකට වතුර එකතුවුණා වගේ එකතු වෙලා අපට වැහි නැති කාලෙටත් වතුර දෙනවා. ඉතින් 1873 දි නක්ල්ස් වනාන්තරයත් සංරක්ෂිත එකක් වුණා. ඒත් 2000 වසරෙ දි දුම්බර නක්ලස් වනය අධිරක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කෙරුණා.

දුම්බර වනයේ දිය දහරාවන්

එනසාල්වලින් වනයට වෙන හානිය

එනසාල් වගාව කියන්නේ වනාන්තරයේ යටි රෝපණය විනාශ කරලා කරන වගාවක්. එතැන දී වනයේ ඊළඟ පරම්පරාව විදියට හැදෙන පොඩි පැළවලට ඉඩක් ලැබෙන්නේ නැහැ. එනසාල් වගා කරපු වනයක මහා වනාන්තරය යට තියෙන්නේ එනසාල් විතරම යි. ඉතින් මෙහෙම කාලයක් යද්දි අර මහා වනාන්තරයේ විසාල ගස් මැරුණාම ඊළඟට ලොකුවෙන්න පොඩි පැළ නැතිම වෙලා කාලෙක දි වනාන්තරය නැති හිස් ඉඩම් ටිකක් විතරක් ඉතිරි වෙනවා.

වනාන්තරය කියන්නේ මහ උස ගස් විතරක්ම නෙවෙයි. කුඩා පදුරු, ඒවායේ සිටින ජීවින් පද්ධතියක් ද වනයට හිමියි. ජලයෙන් පොහොසත් නක්ල්ස් බිමේ වනාන්තරවල ජලය එක්ක බැඳුනු ජෛව පද්ධති රාශියක් තියෙනවා. ඉතින් ඒ හැම එකකටම කණකොකා හඬවමින් තමයි පෝර දාලා, වනාන්තරයේ යට ගස් කපලා එළිකරලා එනසාල් වගාව කරන්නේ. මේක මහ විනාශයක්. එනසාල් වගාව ඉබේම තහනම් වෙන්නේ නැහැ. එනසාල් වගාවට පක්ෂ ප්‍රාදේශීය දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, ගම්මු, නිලධාරීන් ආදි ලොකු පිරිසක් හිටියා. ඒ හැම බලවේගයක්ම පසුපසට දාලා වනාන්තරය රැකගන්න වන සංරක්ෂණ අංශවලට සහ පරිසර සංවිධානවලට හැකි වුණා.

දූවිලි ඇල්ල ආසන්නයේ දර්ශනයක්

එනසාල් වගාවට කණකොකා හැඬීම

2000 දි දුම්බර වනාන්තරය රක්ෂිතයක් වුණාට විවිධ දේශපාලන බලපෑම් එක්ක සවිමත් වුණු එනසාල් වගාකරුවෝ රක්ෂිතය ඇතුළේ වගාකටයුතු කරගෙන ගියා. ඒත් 2010 දි තවත් වැඩේ තද වුණා. නක්ල්ස් අඩවිය ලෝක උරුමයක් වුණා. ඉන් පස්සේ උසාවි නියෝග ආවා. එනසාල් වාඩි බොහොමයක් අත් හැරුණා. ඒවායේ වැඩ කළ ජනයා දුකසේ වෙනත් පළාත්වලට සංක්‍රමණය වුණා. සමහරු හොරෙන් හොරෙන් තවමත් කැලේ ගිහින් එනසාල් කඩාගෙන එනවා. ඒත් ඒක නීතිවිරෝධි වැඩක්. මේ එනසාල් වගාව නිසා පවුල් 300කට විතර රැකියා මාර්ග අහිමි වුණා.

කේ එම් පී වාඩියේ ඉතිහාසය

කේ එම් පී වාඩියේ දැනට ඉන්න ලොකු තැන තමයි මහතුන් අයියා. මහතුන් අයියා මේ තැනට පයිත්තියන් වෙච්චි මනුස්සයෙක්. කේ එම් පී වාඩියේ ඉතිහාසය ගැන කතාකරන ඔහු පොලිසියෙන් සහ බලධාරින් පැමිණීම, වාඩිවලට ගිනි තැබීම, ඔහුට පමණක් මේ එනසාල් වගාව කරගෙන යන්නට ඉඩ දීම ගැන දිග කතාවක් කියනවා. මේ කේ එම් පී වාඩිය දැනට තියෙන්නේ කොටස යි. ඉස්සර මීට වඩා ලොකුවට තිබිලා තියෙනවා. එ වගේම මේ ආසන්නයේ හේමචන්ද්‍ර වාඩිය කියලා අතහැරදාපු වගාබිමක් එක්ක පරණ ගරාවැටුණු වාඩියක් තියෙනවා. ඒ කාලේ පවුල් සිය ගානක් මේ තැන්වල පදිංචි වෙලා එනසාල් වගා කටයුතු කරන්නට ඇති.

මං සලකුණක් ලෙස කේ එම් පී

සිරිපාදේ මහගිරිදඹේ යනවා වගේ අමාරුවෙන් නැගගෙන යන්න ඕනි කන්දක් තමයි තුන් හිස් ගල. මීදුම එක්ක වගේම මීදුම නැතුවත් බොහොම සුන්දර භූමි දර්ශන මේ තුන්හිස්ගල නැගීමෙදි බලාගන්න පුළුවන්. ඒ නිසාම තුන්හිස්ගල බලන්න කැම්පස්වල කොල්ලෝ කුරුට්ටො වගේම තවත් පිරිස් යනවා. නක්ල්ස් දූවිලි ඇල්ල, දුම්බර ඇල්ල, මීමුරේ, නාරංගමුව, තෙල්ගමු ඔය, මානිගල වගේ නක්ල්ස්වල හැම තැනකටම වගේ කේ එම් පි වාඩිය හරහා වනාන්තරයෙන් යන්නට පුළුවන්. කේ එම් පි කියන්නේ මේ නක්ල්ස් හරහා කරක් ගහන සංචාරකයින්ට හොද නවාතැනක්, හොද මං සලකුණක් වෙලා තියෙනවා.

කේ එම් පී වාඩියේ සිට තුන්හිස්ගලට ගිය ගමනක් https://youtu.be/I2_e-jHHDe4

ඔන්න නඩයක් ආවා. කෙල්ලොත් උන්නා. ඒ කට්ටියට වැස්ස නිසා මං යන්න එපා කිව්වා. ඇහුවෙ නෑ ගියා. ආවෙ නෑ රෑ  වෙනකල්. මං ඒ පාර අනික් අයත් එක්ක ටෝච් අරං රෑ ගියා. මෙන්න මඟක් යද්දි ලේ වැක්කෙරි වැක්කරි එනවා පාර හොයාගන්නත් බැරිවෙල ද කොහෙද?”, හිතුවක්කාර ලෙස නක්ල්ස්වලට පිවිසි පිරිසක් ගලවාගත් අවස්ථාවක් ගැන මහතුන් අයියා කියන්නේ එහෙම. ඒ විදියට විවිධ හිතුවක්කාර කණ්ඩායම් නක්ල්ස් වනය ලේසි පාසු තැනක් කියලා හිතාගෙන ඇවිත් විවිධ අකරතැබ්බවලට මුහුණ පානවා. ඉතින් ඒ අවස්ථාවන්වල දි මේ වනාන්තරය මැද තියෙන පහසුකම් අඩු වාඩිය ඒ හැමෝටම පිහිට වෙනවා.

තුන්හිස්ගල මුදුනේ සිට

වාඩිය සහ ජීවිතේ

වාඩිය කියන්නේ ලොකු පෙට්ටියක් වගේ පරණ තාලෙට හදපු ගෙයක්. ඒ පිවිසුම පැත්තේම වගේ තියෙනවා කුස්සිය. නක්ල්ස්වල අලි ඉන්නවා. ඒ අලි කේ එම් පී වාඩියටත් එනවා. ඇවිල්ලා එක වතාවක් අලියා ලාවට හේත්තු වෙලා කේ එම් පී වාඩියේ ජනේලයක් ආසන්නයේ බිත්තියේ තඩි පිපිරීම් ඇතිවෙලා තියෙනවා. ලුණු රසට ලැදි අලියා කුස්සිය නම් ඉතිරි කරලාම නැහැ. වාඩියේ කුස්සියට දෙවතාවක් අලි ගහලා තියෙනවා. අලි මේ වගේ කඳු මුදුන්වලට තෙත් පරිසරවලට එනවා කියලා හිතන්න අමාරු යි. ඒත් කාලෙකදි මේ තැන්වලටත් අලි එනවා.

කේ එම් පී වාඩිය තියෙන්නේ ගමේ ඉදලා කිලෝමීටර 7-8ක් කැලේ. ඉතින් හාල් ඇටේ ඉදලා හැම දේම කරගහගෙන වාඩියට අරන් යන්න වෙනවා. මීටර 1000ක් විතර උසින් තියෙන මේ කේ එම් පී වාඩිය තියෙන තැනට ජනේරු, දෙසැම්බර් සීත කාලෙට ඇට ගල්වෙන සීතලක් අල්ලනවා. ඒ සීත එක්ක රෑ ගතකරනවා කියන්නේ අමාරු වැඩක්. කැලේ කියන්නේ සතා සරුපයා අරක් ගත් තැනක්. ඒ වගේ අතුරු ආන්තරාවක් වුණොත් ඒත් ඉතින් යන්න කියලා හරිහමන් තැනක් නැහැ. වාඩියේ දැනටත් තියෙන එනසාල් ටික විකුණාගත්තාම ටිකක් ලොකු පහේ කොළ ටිකක් අතපතගාන්න වාඩියේ උදවියට අවස්ථාව ලැබෙනවා ඇති. ඒත් ඒ වෙනුවෙන් කරන කැපකිරීම සුළුපටු නැහැ.

කේ එම් පී වෙත පිවිසීම සහ කූඩැල්ලෝ

හැමෝම තුන්හිස්ගල පැත්තට යනවා නම් තෝරගන්නේ බඹරැල්ල ලෙබනන් වතුයාය හරහා පටන් ගන්නා පාර. ඒ පාරේ වුණත් පැය 4ක් විතර කඳු නැගලා පල්ලම් බැහැලා ගියාම තමයි කේ එම් පී වාඩිය හමු වෙන්නේ. කේ එම් පී වාඩිය, සහ ඒ කලාපයේ ස්වභාවික හමුදා භටයින් ආරක්ෂකයින් ලෙස කූඩැල්ලන් ඉන්නවා. මහත්වරු හිටියොත් පගාව දීලා හෝ කතා කරලා මාරුවෙන්න යම් චාන්ස් එකක් තිබුණත් කූඩැල්ලන්ට අපේ ලේ හැර වෙන කිසිම විසදුමක් නැහැ. කූඩැල්ලෝ නැති කරන්න බෙහෙත් ගොඩායි. කූඩැල්ලෝ කකුල්වල එල්ලෙන්නේ නැතිවෙන්න ගාන්න දේවලුත් ගොඩායි. ඒත් ඒ මොක ගෑවත් ටික වෙලාවකින් ඒ තියෙන තෙත් පරිසරය තුළ හේදිලා යනවා. කොහොම හරි කූඩැල්ලා ටික එකතුවෙලා කටුව ගහන්න අපේ සමේ තැනක් සොයාගන්නවා.

ලේ උරා බී ලොකු වුණ කූඩැල්ලෙක්

කේ එම් පී සහ එනසාල්

එනසාල් වගාව නවත්වන්න උසාවි නියෝග දීලා තියේ නම්, තවදුරටත් සංරක්ෂිත වනය තුළ වාඩි තියාගන්නත් බැරිනම්, කොහොමද කැලෑව ඇතුළේ එක වාඩියක් විතරක් තියෙන්නේ? ඒක සෑහෙන අමාරු ප්‍රශ්නයක්. මහතුන් අයියා හොඳ මිනිහෙක්. ඒත් මහතුන් අයියා සහ පිරිස කරන වැඩේ හොඳයි කියලා අනුමත කරන්න පුළුවන් ද කියලා ප්‍රශ්නයක් අපි හැමෝටම එනවා. කේ එම් පීවලින් පස්සේ වනාන්තරය යටිරෝපණය වහගෙන ඉන්න එනසාල් ගස් ඉබේම ඇතිවුණා කියාල හිතන්නත් බැහැ. ඒ වගේම ඒ එනසාල් වගාවෙන් එනසාල් කඩාගෙන කැලේම දර යොදගෙන දුම් ගස්සවන වැඩේ කැලේ ඇතුළෙ දි පරිසර හිතකාමීය කියලා හිතන්නත් බැහැ.

chayaruupa.blogspot.com

එනසාල් වගාව ලාබ තියෙන වැඩක්. පයිනස් වවලා තියෙන ඉඩම්වල එනසාල් වගාව කරන්න තියෙන හැකියාව ගැන පරීක්ෂණත් කෙරිලා තියෙනවා. ඊට අමතරව අතෑරලා දාපු තේ ඉඩම් සහ ලාබ නොලබන කඳුකර තැන්වල මුලින් විසාල හෙවන විදියට ගස් හිටවලා එනසාල් වගාකරන්න විද්‍යාත්මක ක්‍රමවේදත් පර්යේෂණ කරලා හොයාගන්න පුළුවන් නම් වටිනවා. ලංකාව පොඩියි. මේ පුංචි රටේ මෙච්චර මිනිස්සු තොගයක් ජීවත් වෙලා මේ තරම් වනාන්තර තියෙන එක ගැන, වන ජීවින් පිරිසක් ජීවත් වීම ගැන ඇත්තටම විදේශිකයින් පුදුම වෙනවා. අපේ රටේ ඉපදුන කෙනෙක්ට රට අමතක කරන්න බැරි එකම ලොකු හේතුව රටේ සුන්දරත්වය. ඉතින් ඒ සුන්දර සොබාදහම වනාන්තරය ආරක්ෂා කරගන්න අපට අකමැත්තෙන් වුණත් පියවර ගන්න වෙනවා.

කවර පොටෝව : 30 නක්ල්ස් සුන්දර දිය ඇල්ලක් මුදුනේ සිට

Related Articles