Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යන්න කලින් බලමු ද තායිලන්තයේ හතර දිසාව?

තායිලන්තය විශාල රටකි. තායි රට ලංකාව මෙන් අට ගුණයකට ආසන්න විශාලත්වයකින් යුක්ත ය. රටවල් ගණනාවකට මායිම් වන තායිලන්තය අලංකාර මුහුදුබඩ පරිසරයකින් මෙන්ම කඳුකර පරිසරයකින් ද හෙබි ය. තවමත් රාජධානියක් ලෙස හඳුන්වන තායිලන්තයේ රාජ අණ ක්‍රියාත්මක වේ. බුදුදහම මූලික කරගත් සංස්කාතියක් තිබෙන තායිලන්තය වසර දහස් ගණනක් තිස්සේ පැවත එන සංස්කෘතියකින් ද යුක්ත ය.

තායිලන්තයේ පළාත්

තායි රට පැරණි කාලයේ හැදින්වූයේ සියම් දේශය නමිනි. බැංකොක් ලෙස දැන් හඳුන්වන කලාපයට පෙර තායිලන්තයේ අයුත්තයා, සුකෝතායි ආදි පළාත්වල රාජධානි පැවතී ඇත. ඒ රාජධානිවල නටඹුන් ආදිය අද ද අප පොළොන්නරු නටඹුන් බලනවා ආකාරයෙන් බලාගත හැකි ය. තායිලන්තය විශාල රටක් නිසා සංචාරයකට යෑමට පෙර කොහි යන්නේදැ යි දැනගැනීම වැදගත් වේ.

තායිලන්ත සිතියම. (www.nationsonline.org)

උතුරුදිග තායිලන්තය

උතුරුදිග තායිලන්තයේ මූලිකම නගරය චියං මායි නගරය යි. බැංකොක් සිට දුම්රියෙන්, බසයෙන් හෝ, එසේ නැතිනම් ගුවනින් චියන් මායි කරා ළඟා විය හැකි ය. කඳුකර පළාතක් නිසා සෞම්‍ය කලාපයේ සිට එන සංචාරකයින් ආශා කරන දේශගුණයක් උතුරුදිග තායිලන්තයේ තිබේ. තායිලන්තයේ මියන්මාර දේශ සීමාව ආසන්නයේම චියං රායි පිහිටා තිබේ. චියං රායි කඳුකර පළාතට පසුගිය කාලයේ ජාත්‍යන්තර මාධ්‍ය අවධානය යොමු වූයේ කුඩා ළමයින්ගේ පාපන්දු කන්ඩායමක් ගුහාවක් තුළ සිරවීම හේතුවෙනි.

උතුරු තායිලන්තයේ දර්ශනයක්. (www.allaroundasia.fi)

දකුණු තායිලන්තය

තායිලන්තය ගැන කියවෙන බොහෝ ට්‍රැවල් වීඩියෝවල දකින්නට ලැබෙන අලංකාර මුහුදු වෙරළ දර්ශන ඇත්තේ දකුණු දිග තායිලන්තයේ ය. ගොඩබිමින් තායිලන්තයට පිවිසෙනවා නම් දකුණු තායිලන්තයේ හට් යායිවලින් මැලේෂියාවේ සිට තායිලන්තයට පිවිසිය හැකි ය. දූපත් සහ අලංකාර කඳුවැටි, හිරිගල් වැටිවලින් මේ දකුනු දිග වෙරළ තීරය පොහොසත් ය. ක්‍රාබි, ෆුකට්, කෝ සමොයි, කෝ ලන්ටා, කෝ සොක් ආදී ජනප්‍රියම සංචාරක ස්ථානයන් රැසක් දකුණු දිග තායිලන්තයේ පිහිටා තිබේ.

දකුණු තායි පළාත වියදම වැඩිය. උතුරු සහ ඊසාන දෙසට වඩා සංචාරකයින් ද වැඩි ය. සංචාරකයින්ටම නිර්මාණය වුණු  බීච් පාටි සංස්කෘතියක් ද දකුණුදිග තායිලන්තයේ තිබේ. ලිංගික සුව විකුණන ස්ථාන රාත්‍රී මත්පැන් හල් ආදී සතුට වෙනුවෙන් වියදම් කිරීමට සීමාවක් නැති අයට දකුණු දිග තායිලන්ත වෙරළ තීරය කදිම තෝතැන්නකි.

දකුණු තායිලන්තයේ වෙරළ බඩ පරිසර කොටසක් https://www.thecrazytourist.com/top-25-things-to-do-in-krabi-thailand

මධ්‍යම තායිලන්තය

තායිලන්තයේ ප්‍රධානතම ගුවන්තොටුපල දෙක වන ස්වර්ණභූමි ගුවන්තොට සහ දොන් මුවන් ගුවන්තොට යන ගුවන්තොටුපල දෙකම පිහිටා ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවර ය. තායිලන්තය පුරා දිවෙන දුම්රිය සේවාවේ අරම්භකස්ථානය ද බැංකොක්වල පිහිටා තිබේ. බැංකොක් ද සංචාරකයින්ගේ සිත් ගත් තැනකි. බැංකොක් හි ජනාකීර්ණ පළාතේ සංචාරකයින්ට විනෝදාංශ රැසකි. දැවැන්ත කඩ සාප්පු, සිනමා ශාලා, හෝටල, විනෝද අවකාශයන් සහිත බැංකොක් ලංකාව සහ ඉන්දියාව වැනි රටවල සංචාරකයින්ගේ ද අවධානයට ලක් වී තිබේ.

බැංකොක් නුවර විශාල ය. එහි සංචාරකයින් සිටින පළාත මෙන්ම සංචාරකයින් නැති සාමාන්‍ය තායි ජනයා සිටින පළාත් ද වේ. සංචාරකයින් සිටින පළාත්වල නවාතැන්, කෑම බීම මෙන්ම අනෙකුත් සෑම සියලු දෙයක්ම මඳක් මිල අධිකය. තායිලන්තයේ බැංකොක් හි ඇති ප්‍රධානතම විශේෂතාවයක් නම් බැංකොක් නගරය පිහිටා ඇත්තේ ඇලමාර්ග පද්ධතියක් ද සමග වීම් ය. අලුතින් බැංකොක් බහින අපට නම් තරමක් තේරුම් ගන්නට අපහසු වුවත් බැංකොක් වාසීන් තැනකින් තැනකට යන්නට ඇල මාර්ග හරහා ධාවනය වන බෝට්ටු ඔරු ආදිය පාවිච්චි කරයි. දවසට ඩොලර් 20-30 සිට අවශ්‍ය නම් ඇමරිකානු ඩොලර් 500-600 දක්වා වියදම් කොට කාමර බැංකොක් හි දී වෙන්කරගත හැකි ය.

බැංකොක් නුවර සන්ධ්‍යා දර්ශනයක්. (bangkokattractions.com)

ෆුකට් ද බැංකොක්වලට ආසන්නව පවතින ජනප්‍රිය සංචාරක ස්ථානයකි. බටහිර රටවල ජීවිතයේ සන්ධ්‍යා සමය ගෙවන “නාකි මනමාලයන්” තරුණ, හොඳ පෙනුමැති තායි ළඳුන්ගේ සුව පහස පතා ෆුකට් කරා ඇදී එති. සිය සංස්කෘතික අවකාශයන් තුළ සිර වී, එහෙත් ලිංගික සුඛය, සැපය ගැන සිහින හිතේ තියා සිටින ඉන්දියානුවන් ද ෆුකට් කරා එති. ෆුකට් සංචාරක අඩවිය එයටම ආවේණික සාද වෙළදපොල, හෝටල සහිත මනරම් අවකාශයකි.

ලංකාවේ රූපගත කළ ක්වායි ගඟේ පාලම සැබැවින්ම පිහිටා ඇත්තේ බැංකොක් සිට පැයක දෙකක දුරිනි. එම දුම්රිය මඟ දෙවන ලෝක යුධ සමයේ සිරකරුවන් විසින් තනා තිබේ. එම අපහසු කඳුකර දුර්ගයේ දිවෙන දුම්රියක් අද ද බැංකොක් සිට කන්චන්බුරි කරා ධාවනය වේ. බොහෝ සංචාරක පිරිස තායි යනවායැ යි බැංකොක් ගොස් සංචාරක පාරාදීසය විඳගෙන එති. එහෙත් කලාතුරකින් සංචාරකයෙක් සුලබ සංචාරක අත්දැකීම්වලින් පරිබාහිරව සැබෑ තායි ජීවිතය දැක බලාගැනීමට තායි ජනයාගේ නගර සහ ගම් දනව්වල සැරි සරයි. තායි රටේ කෑම සහ සංස්කෘතික අංග විශාල ගණනකි. ඒවායේ මිහිර විදගැනීම ඇතැම් බැක්පැකර්ස්ලාට විනෝදයක් ලැබෙන වැඩකි.

ඊසාන සහ නැගෙනහිර ඉසාන් පළාත

බැංකොක්හි රතු ලයිට් වීදියක හෝ පතායා ෆුකට්වල රතු වීදියක ඇවිදින විට ඔබට සුන්දර ලලනාවන් රැසක් හමුවේ. ඒ යුවතියන් එක්කෝ ඔවුන් සේවය කරන බාර්වලට බොන්නට ඇරයුම් කරති. නැතිනම් තව මඳක් දුරට කතා කළහොත් ඔවුන්ගෙන් මුදලට ලිංගික සේවා ලබාගත හැකි ය. මේ කාන්තාවන් රැසක් තායිලන්තයේ දුප්පත්ම පළාත්වලින් නගරයට රක්ෂාවට පැමිණි කාන්තාවන් ය. ෆුකට්වල වීදිවල සිටින සුන්දර කාන්තාවන් රැසක් ඉසාන් පළාතෙන් පැමිණි අය වෙති.

ඉසාන්වල දකුණුදිග තායිවල මෙන් ලස්සන මුහුදවත්, උතුරු තායිලන්තයේ මෙන් කඳුකරයවත්, මධ්‍යම තායිලන්තයේ මෙන් නාගරික ශ්‍රී විභූතියවත් නැත. සරලවම වීඩියෝ ආදිය නැරඹූ කල ඉසාන් හි ඇතැම් පළාත් පෙනෙන්නේ අපේ රටේ හම්බන්තොට, පුත්තලම දෙස වියළීගිය ගම් ආකාරයෙනි. තායි රටේ වැඩිම වපසරියක් හිමි පළාත ඉසාන් ය. යාබද තායි රටට මායිම් වූ ලාඕසය සහ කාම්බෝජය කරා පිවිසෙන්නට ඇත්තේ ද ඉසාන් හරහා ය. ඉසාන්වල නගර කිහිපයකි. උදොන් තානි, උබොන් රත්චතානි, කොන් කයින් ආදි නගර කිහිපයක්ම දැන් ඉසාන් හි සංවර්ධනය වෙමින් පවතී.

ඉසාන් පලාතේ පෙරහැරක් (commons.wikimedia.org)

ඉසාන් හි නගර මාර්ග ආදිය තායි රජය විසින් දියුනු කළත් ජනතාව සිටින්නේ තවමත් පහත අඩියක ය. බැංකොක් හි බැක්පැකර්ස්ලාගේ තිප්පලක් වෙන කෝසාන් වීදියේ ගැඹුරු තෙලේ බැදගත් ගෝනුස්සන්, කෘමින් ආහාර වශයෙන් විකුණන්නට තිබේ. ඒවා සංචාරක විදේශිකයින් ආහාරයට ගෙන ඒ අත්දැකීම ගනිති. එහෙත් සාම්ප්‍රදායික බැංකොක් තායි වාසීන් දැන් මේ කෘමින් ආහාරයට ගැනීම කරන්නේ ඉතා අඩුවෙනි. එහෙත් ඉසාන් පළාතේ නම් තවමත් ගැමියන් කෘමින්, කැරපොත්තන්, මකුළුවන් ආදී සතුන් ආහාරයට එකතු කරගෙන රසවත් ආහාර නිපදවාගනිති. ඇතැම් විට කර්කශ ඉසාන් පළාතේ ජනතාව සිය ජීවිතය රැකගන්නට දකින සෑම සියලු දෙයක්ම ආහාරයට ගන්නට හුරුවන්නට ඇත.

ඉසාන් ලාබ ය. ඉසාන් පළාතේ දී හමුවන නගරවල සෑම දෙයක්ම ලාබ ය. කාමර, රටබීම, සමාජ ශාලා, මසාජ් ආදී බොහෝ දේ ඉසාන් හි උදොන් තානි, කොන් කොන් වැනි නගරවල දී ලාබෙට ලබාගත හැකිය.

තායි සිරි සහ කාලය

අපේ රටේ දි රට සංචාරයක් යන්නට තබා අනුරාධපුරේ අටමස්ථාන වන්දනාවක් යන්නට පවා නිවාඩු පාඩුවක් සොයාගන්නට බහුතර ජනයාට අමාරු ය. කාර්යයාල සහ සේවා ස්ථානවලින් නිවාඩු වැඩිම වුණොත් ගත හැක්කේ සතියකි. ඉතින් වඩාත්ම ජනප්‍රිය බැංකොක් සහ දකුණුදිග දිවයිනක් දෙකක්, මූදු වෙරළක් බලාගෙන එනවා මිස වැඩියමක් ලාංකික අපිට තායිලන්තයේ දී විදගන්නට අපහසු ය. මාස ගණන් නිවාඩු තිබෙන සුදු ජාතිකයෝ ලංකාවේ ද සති ගණන් මාස ගණන් වටේ යමින් සංචාරික අත්දැකීම් එකතු කරගනිති. සම්පූර්ණ රටේම සංචාරයට යන්නට ප්‍රායෝගිකව අපහසු වුවත්, තායි යනු ලොකු රටක් බවත්, අපට බලාගන්නට හැකිවන දේවල්වලට වඩා මිස් වන දේවල් වැඩිබවත් අප අවබෝධ කරගත යුතු ය.

Related Articles