මොනරාගල පුංචි නුවරඑළියට චාරිකාවක්

මොනරාගල මරගල කන්දත්, රිටිගල කන්ද මෙන් අපූරු දේශගුණ ලක්ෂණ සහිත කඳුකරයක්. පහළ දැඩි වියළි දේශගුණයක් පැවතිය ද කඳු මුදුනේ දැකගත හැක්කේ නුවරඑළියට සමාන සිසිල් දේශගුණයක් සහ එම පරිසරයට ගැළපෙන ශාක විශේෂ යි. වියළි කලාපයේ පිහිටියත් තෙත් කලාපයේ ලක්ෂණ සහිත වනාන්තරයක් ද මෙහි පැතිර තිබෙනවා. පවුල් දස දහස් ගණනකට පානීය දිය සපයන ජල උල්පතක් ලෙස ද මරගල වැදගත්.

 මරගල කන්ද ඈතට දිස්වන අයුරු- Charith Hettiarachchi – Monaragala Api facebook page

 

පිහිටීම

මොනරාගල නගරයට පිටුපසින් ඉහළ නගින කඳුවැටිය එහි පැමිණ ඇති කාටත් අමතක නොවන දර්ශනයක් බව කිව හැකි යි. මේ කන්දේ මුදුන නිතර මිහිදුමෙන් වැසී පවතින ආකාරයත් මොනරාගල ජනතාවට නම් අමුත්තක් නොවේ.  උප කඳුකර වනාන්තරයක් පිහිටි මේ වියළි කලාපීය වනපෙත තවත්  වටිනා පරිසර පද්ධතියක් බව වැඩි දෙනෙක් නොදන්න කරුණක්. ජෛව විවිධත්වයෙන් පිරුණු මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත යටතේ 2008 අගෝස්තු මස 01 දින දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් කඳුවැටිය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කන්දේ විශාලත්වය වර්ග කිලෝමීටර් 25ක් පමණ වෙනවා. එය දිගින් කිලෝමීටර් 10ක් පමණ වෙනවා. මරගල කඳුවැටිය මොනරාගල,සියඹලාණ්ඩුව හා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන ආකාරයට පිහිටා ඇති හුදෙකලා කඳු පන්තියක්. මෙය ලැකසීස්, මොනරකැලේ අලියාවත්ත හා ජිලෝන්ලෙස උප කඳු පන්ති තුනකින් සමන්විත යි. එය මොනරාගල, සිරිගල, ගලබැද්ද හරහා ඇතිමලේ දක්වා විවිධ උස්මට්ටම්වලින් ඇදී යනවා. මෙහි උස ම කඳු මුදුන වන අඩි 2500ක් උස  මරගල පිහිටා තිබෙන්නේ මොනරාගල නගරයට පිටුපසිනු යි.

  කඳු බෑවුමේ රබර් වතු යාය- gamunupdassanayake.blogspot.com

 

ජීලෝන්ගේ වත්ත

 වැඩි උසකින් යුක්ත නිසා මේ කන්දේ සීත දේශගුණයක් පවතිනවා. මේ නිසා ම ඉංග්‍රීසි පාලනය පැවති කාලේ  මෙහි ජීලෝන් නමින් යුත් වතු සමාගමක් ආරම්භ කර තිබෙනවා. එම  වතු වගාවන් සිදුකොට ඇත්තේ ජී – ලෝන් නමැති ඉංග්‍රීසි ජාතිකයා බව යි පැවසෙන්නේ. මේ නිසා ම කන්දටත් ජීලෝන් කන්ද යන නම ලැබී තිබෙනවා. මොනරාගල අවට පිරිස් තවමත් මේ කන්දට භාවිත කරන්නේ ඒ නම යි. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස තේ වගාවත් කරතියෙනවා. තේ වගාකර තිබෙන්නේ කඳු මුදුන අවට බෑවුමෙ යි.

අදත් කැලෑවට යටවුණු විශාල තේ ගස් එහි දැක ගත හැකි යි. පසුව කන්දේ පහළ බෑවුම් ආශ්‍රිත ව රබර් සහ යටි වගාවක් ලෙස කොකෝවා වගා කර තිබෙනවා. ඝන වනාන්තරයක් ලෙස පැවති මරගල වනාන්තර ඉංග්‍රීසි යටත් විජිත කාලයේ අක්කර දහස් ගණනක් එළි කර එසේ වතු වගාවක් බවට පත් කර තිබෙනවා. පසුව තේ වගාව අත්හැර දැමුවත් රබර් වගාව නම් අදත් දැක ගත හැකි යි. මේ කඳුවැටියේ වනාන්තරවලට අමතර ව ජනාවාසත් පැතිර තිබෙනවා. සීතා කන්ද, ගලබැද්ද කන්ද, ඇත්ගල, හබරත්තාගල ආදී කඳු මුදුන් එහි පිහිටා තිබෙනවා.

 කන්දේ තවත් දසුනක් – googleusercontent.com

 

ඉංග්‍රීසින් තැනූ ජීලෝන් බංගලාව සහ කුමාරවත්ත බංගලාව යන නිවාස දෙකක් ද මෙහි කඳු මුදුනට ආසන්න ව පවතිනවා. පසුගිය කාලයේ කුමාරවත්ත බංගලාව ආශ්‍රිත ව ඌව පළාත් සභාව මඟින් සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබුණා.

නුවරඑළියේ වැවෙන මල් වර්ග සමහරක්, එළවළු වර්ග සමහරක් සහ පලතුරු වර්ග ද කුමාරවත්ත බංගලාව අවට ප්‍රදේශයේ සරුසාර ලෙස වැවෙන බව නිරීක්ෂණය කළ හැකියි. ඒ අතරකානේෂන් හා රෝස වැනි මල් වර්ග, රාබු, ගෝවා, ලීක්ස්, බීට් ආදී උඩරට එළවළුත් එහි තිබෙනවා.

 කදු මුදුනේ තණ බිම්- තෝතැන්න facebook page

 

යන්නෙ කොහොමද?

මොනරාගල ඔරලෝසු කණුව අසලින් දකුණට දිවෙන පාර ඔස්සේ ගිය විට ජීලොං වතුයායට දිවෙන මාර්ගය හමුවෙනවා. එය අද හඳුන්වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත නමින්. එම රබර් වතු යාය හරහා පටුපාරක් කඳු මුදුන ආසන්නය දක්වා ඇදී යනවා. තැනින් තැන කම්කරු නිවාස පේළිත් දැකගත හැකියි.

ඒ මාර්ගයේ කිලෝ මීටර් 8ක් වාහනයක දුෂ්කර මඟක ගමන්කර තවත් ටික දුරක් පයින් ගමන් කිරීමෙන් කඳු මුදුනට ළඟා වීමට පුළුවන්. කඳු මුදුනට පහළ ඌවේ සුන්දර දර්ශනයක් දැකගත හැකි යි. මොනරාගල සිට කිලෝ මීටර් 4ක්  දුරින් පිහිටි වැලියාය කනිටු විදුහල අසලින් ගමන් කිරීමෙන් ද මේ කන්දට පැමිණීමේ මාර්ගයක් පවතිනවා.

 වනයේ පිපුණු හීන් බෝවිටියා මල්-steemit.com

 

ජල මූලාශ්‍රයක්

මොනරාගල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 600-2000 දක්වා වුණත් මෙම කඳුවැටියට මිලි මිටර් 2500 ක වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙනවා. මොනරාගල නගරයේ සම්පූර්ණ පානීය ජල අවශ්‍යතාව සම්පුර්ණ කරන්නේ මරගල කඳුවැටියේ ජල උල්පත්වලින්. හුලන්දා ඔය, හැඩ ඔය හා මරගල ඔය යන ජල මාර්ග මෙම කඳුවැටියෙන් ආරම්භ වෙනවා. වසර පුරා එම ජල උල්පත්වල දිය සැපයෙන අතර පවුල් පන්දහසකට අධික පිරිසක පානීය ජල අවශ්‍යතා ඒ මගින් සපුරනවා.

ජල පොම්පාගාරය කන්ද පාමුල වතුයායේ පිහිටා තිබෙනවා. ඊට අමතර ව ගලබඩ අරාව, ඔබ්බෙගොඩ ගම්මානවලට ජලය සැපයෙන්නෙත්  මෙහි ජල මාර්ග හරස් කර තැනූ ජලාශයකින්.

 කදු මුදුනේ සැවනා තණබිම් සහ වනාන්තර- තෝතැන්න facebook page

 

කන්දේ වනාන්තර

වියළි කලාපයක් තුළ පිහිටිය ද ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් යුත් මෙම පාරිසරික කලාපයේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක් පිහිටා තිබෙනවා. විවිධ දේශගුණික ලක්ෂණ සහිත වනාන්තර රැසක්, සැවානා තණ භුමි හා සැවනා පතන්බිම් මෙහි දක්නට පුළුවන්.

බදුල්ල, ඉත්තවැල්, කුකුළු වැල්, කටුබොඩ, කළු හබරලිය, ගුරුකීන, හොර මෙහි පැතිරි තෙත් කලාපයේ ලක්ෂණ සහිත ශාක අතරින් කිහිපයක්. ඊට අමතර ව  බුරුත, ගොඩපර, හල්මිල්ල, බුලු, දොඹ, ගල් සියඹලා, ගොරකා ඇතුළු ගස් වර්ගත් වනයේ වැඩී තිබෙනවා. වනයේ තැනින් තැන වන වගා වශයෙන් කළ පයිනස් වගාවන් ද දකින්න පුළුවන්. මෙම කඳුවැටියේ ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වෙනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරත් මෙහි තිබෙනවා.

 නුවරඑළියේ කඳු සිහිපත් කරනා අලංකාරය-Kapila Jayawardhana, facebook

 

සුන්දර දසුන්

නිම්න, සානු, ද්‍රෝණි, බෑවුම් සහ තැනිතලාත් කඳු මුදුන අවට දැකගත හැකි යි. කඳුමුදුනේ දී අමතක නොවන සුන්දර දසුන් දැක ගැනීමටත් පහළ ඌවේ වැව්, වනාන්තර, කුඹුරු ආදී අලංකාර දසුනින් සිත් පහන් කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.  

එක් පසෙකින් මධ්‍ය කඳුකරයේ කඳුවැටි වගේ ම  අනෙක් පසින් නැඟෙනහිර මුහුදු තීරය දක්වා අලංකාර දසුනක් ද දැකගත හැකි වෙනවා. සියඹලාණ්ඩුව පෙදෙසේ ගෝවින්ද හෙළ කන්දත් අලංකාර ව මෙහි සිට දැක බලා ගත හැකි යි.

 හිටිහාමිගේ දිවා සැරි හූනා- reptile-database.reptarium.cz

 

ජෛව විවිධත්වය

මේ සමස්ත කඳුවැටියේ ශාක සහ සත්ව විශේෂ ගැන පූර්ණ අධ්‍යයනයක් කර නැති බවයි වාර්තා වෙන්නේ. මෙහි මරගල කඳු මුදුන අවට කර ඇති අධ්‍යයනවලින් කඳුවැටියට ආවේණික හූනන් විශේෂ දෙකක් හා ශ්‍රී ලංකාවට ආවේණික සත්ව විශේෂ 66ක් වාර්තා වී තිබෙනවා. මරගලට පමණක් සීමා වූ මෙම හූනු විශේෂ දෙක වන්නේ හිටිහාමිගේ දිවාසැරි හූනා (Cnemaspis hitihamii– 1818 කැරැල්ලේ ඌවේ සටන්කරුවකු වූ හිටිහාමි රටේරාළ සිහිපත් කිරීමට තැබූ නමක්)  සහ කුමාරසිංහගේ දිවා-සැරි හූනා (Cnemaspis kumarasinghei) යි.

හිටිහාමිගේ හූනා කරුණාරත්න ඇතුළු පර්යේෂක කණ්ඩායමක් 2019 දී සොයා ගත් අතර කුමාරසිංහගේ හූනා 2007 දී මෙන්ඩිස් වික්‍රමසිංහ සහ මුනින්ද්‍රදාස  සොයා ගෙන තිබෙනවා.  මෙහි දිවි ගෙවන සත්ව විශේෂ අතරින් දැඩි තර්ජනයට ලක් ව ඇති සත්ත්ව විශේෂ 03 ක් සිටින අතර, තර්ජනයට ලක් ව ඇති සත්ත්ව විශේෂ 18ක් ද, වඳවීමේ අවදානමට ලක් ව ඇති සත්ත්ව විශේෂ 23ක් ද, තර්ජනයට ආසන්න තත්ත්වයේ සිටින සත්ව විශේෂ 34ක් ද සිටින බව වාර්තා වෙනවා.

 කුමාරසිංහගේ දිවා-සැරි හූනා- reptile-database.reptarium.cz

 

මරගල දිය මාර්ගවල දිවි ගෙවන මසුන් ලෙස දන්කොළ පෙතියා, ගල් පාඬියා, කොට පෙතියා, මස්පෙතියා, මගුරා  උභයජීවින් ලෙසවකරැලි මැඩියා, හිරිගඩු පඳුරු මැඩියා, ෆර්ගසන්ගේ පඳුරු මැඩියා, ජලාභ පඳුරු මැඩියා, තඹවන් දිය මැඩියා යන මැඩි විශේෂ ද දැක්විය හැකියි. පිනුම් කටුස්සා, කරමල් බෝදිලියා, රන්වන් ගල් හූනා,කුඩාදිවා-සැරි හූනා, පුල්ලි වකනිය හූනා, මහ ගල් හූනා, කුඹුක් හූනා, හුඹස් හූනා, පිඹුරු හූනා, පුල්ලි හිකනලා, ඩිග්නන්ගේ ලංකා හීරලුවා, සුලබ ලංකා හීරලුවා, දෙයන්ගුලි සර්ප හීරලුවා, දෙපත් නයා, ඇහැටුල්ලා, හෙනකඳයා, කබර දත් කැටියා, උල්තුඩුල්ලා, පලා පොළඟා යන ජීවීන් ද මෙහි දිවි ගෙවනවා.

ආවේණික පක්ෂි විශේෂ  අතර වලි කුකුළා, හබන් කුකුළා,  ලේපිට මහකෑරලා, ශ්‍රී ලංකා කොට්ටෝරුවා, ශ්‍රී ලංකා කහ මුහුණත් කොට්ටෝරුවා, අළුකෑදැත්තා ,අළු ගිරවා, ගිරාමලිත්තා, ශ්‍රී ලංකා මයිල පරෙවියා, ශ්‍රී ලංකා බටගොයා,  වන සැරටිත්තා, ශ්‍රී ලංකා ලක්ලිහිණියා, ශ්‍රී ලංකා කළුහිසැති කොණ්ඩයා, ශ්‍රී ලංකා බොරග පිරි-දෙමළිච්චා, ශ්‍රී ලංකා දෑ-දෙමළිච්චා ආදීන් සිටිනවා.

 සුන්දර දසුන්- facebook

මෙහි වනාන්තරවල සිටින ආවේණික  ක්ෂීරපායින් ලෙස  රිළවා, කළු වඳුරා, රන් හෝතඹුවා, ශ්‍රී ලංකා මීමින්නා සැලකීමට පුළුවන්. පුංචි ලේනා, තිත් මුවා, ගෝනා, ඉත්තෑවා, වල් ඌරා, හාවා යන සතුන් ද මෙහි සිටිනවා.

 

පරිසර විනාශය

අනවසරයෙන් කැලෑ එළිකිරීම මෙන්ම කැලැ ගිනි තැබීමත් මරගල කන්දට ලොකු තර්ජනයක් වෙලා. සෑම අවුරුද්දකම පාහේ වියළි කාලයට මෙහි ගිනිගැනීම් දකින්න ලැබෙනවා.  මේ නිසා වන ජීවින් වගේම ජල මූලාශ්‍රත් අවදානමට ලක්වන බවයි වාර්තා වෙන්නේ.

 මයුරගිරි විහාරයේ ලෙනක්- Ashan Geeganage- Amazing Lanka.com

 

උදුන්දොර රාජධානිය

පොළොන්නරු යුගයේ සුගලා දේවිය පිහිටුවා ගත් රෝහණයේ උදුන්දොර රාජධානිය පිහිටා තිබුණේ මරගල කන්ද පාමුල යි. අදත් උදුන්දොර නටබුන් ගලබැද්ද ප්‍රදේශයේ දී දැකගත හැකි යි. අලංකාර පොකුණක් සංරක්ෂණය කර තිබෙන අතර තවත් ගොඩනැඟිලි සමූහයක නටබුන් විශාල ප්‍රමාණයක් කැලයෙන් යට වී පවතින බව යි පුරාවිද්‍යා වාර්තාවල සඳහන් කර ඇත්තේ. අනුරාධපුර යුගය දක්වා දිව යන ඉතිහාසයක් සහිත මයුරගිරි ලෙන් විහාරය පිහිටා තිබෙන්නෙත් මරගල කඳු බෑවුමේ. එම විහාරයට අයත් ලෙන් මෙන් ම තවත් කටාරම් කෙටූ ලෙන් සහිත ස්ථාන කිහිපයක් ම මරගල කන්ද ආශ්‍රිත ව පිහිටා තිබෙනවා.

කවරයේ ඡායාරූපය- මරගල කඳු මුදුනේ සුන්දරත්වය- facebook.com

මූලාශ්‍ර:

Dinamina.lk

badullanews.com

reptile-database.reptarium.cz

iucn.org

Related Articles