ලොරි බාගවල නැගී ගමම සංචාරේ ගිය එ් කාලේ වන්දනා චාරිකා

රටකින් රටකට හෝ පලාතකින් පලාතකට සංචාරය කොට ස්ථාන, පරිසරය, සංස්කෘතිය දැකබලාගැනීම සෑම මනුෂ්‍යයෙක්ගේම එක්තරා ආශාවකි. නූතන ඒකාකාරී ජීවන රටාව වෙනස් කරගැනීමේ එක් අංගයක් ලෙසද චාරිකාවේ යෙදීම දැක්විය හැක. “බුකින් ඩොට් කොම්” වලින් කාමර වෙන් කරගෙන, සුවපහසු වාහනයක් රැගෙන හිතුණු හැටියේ ගමන් යන නූතන ගමන් රටාවට වඩා එකල ගැමියෝ චාරිකා කළ ආකාරය වෙනස්ය. මීට වසර තිහ හතලිහකට එපිට සන්නිවේදනය මෙතරම් දියුණු නොවූ, බස්රිය හෝ මාර්ග පද්ධතිය දියුණු නොවූ කල ගිය ගැමියාගේ සියලු චාරිකා බොහෝවිට වන්දනා ගමන්ම විය.

මේ ලිපිය තුළින් අපිත් එදා නඩයක් හදාගෙන වන්දනාවක ගිය ආකාරය ගැන දැන ගනිමු.

නඩය සකස් කරගැනීම සහ වන්දනාව

මෙකලද ජනප්‍රියව පවතින අනුරාධපුර අටමස්ථාන චාරිකාව එකලද පැවතුණි. කතරගම වන්දනාව, යාපනේ නාගදීප වන්දනාව, කැළණි විහාරය වැඳීම ආදී විවිධ පලාත්වල වූ වෙහෙර විහාර වන්දනාවට නඩ හදාගෙන පිටත්වීම වසර කිහිපයකට වතාවක් හෝ සිදුකෙරුණි. පන්සල ආශ්‍රිතවම බිහිවන මෙම වන්දනා නඩයකට ලොකු, කුඩා, බාල, මහලු සියලු දෙනාම එකතු විය.

මුල් කාලයේ සිරිපා වන්දනාව වැනි වන්දනාවන්ට යොමු වූයේ තරමක් හැඩි දැඩි, ශක්තිමත් පිරිස පමණි. වර්තමානයේ පවා රත්නපුර සිරිපා මගේ දක්නට ඉතිරි වී ඇති දම්වැල් මතින් එල්ලී ගෙන සිරිපා කරුණා කළ යුතු වූ එකල සිරිපා වන්දනාව අභියෝගයක් සහ තරමක භාරදූර ඉලක්කයක් ලෙස හැඳින්වුණි.

නඩේ ගුරා (රචකයාගෙනි)

අද මෙන් මාධ්‍ය මුදල් දී මිනිසුන්ට දැන්වීම් අස්සවන කලක් නොවූ එකල ගැමියා සිය ගම සහ අසල ගම් හැර ඈත පිහිටි රට රටවල් ගැන වැඩිමනක් දැනුමක් සහිත අයෙක් නොවීය. එබැවින් ගැමියෝ රට තොට ගමන් විස්තර දන්නා කෙරුමෙකු සිය ගමන මෙහෙයවීම  සඳහා පත් කරගත් අතර ඔහු නඩේ ගුරා විය. ආගමික චාරිකාවලදී මෙම නඩේ ගුරා විසින් සියලු ම කටයුතු පාහේ මෙහෙයවනු ලැබීය. නවාතැන් සොයා බැලීම, වන්දනාමාන කිරීම පමණක් නොව යන එන විට තුන්සරණේ කවි කීම පවා මෙම නඩේ ගුරාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණි.

වැඩිමනක් භක්තියක් නැති ඇතැමුන් කටකැඩුණු කතා කියා ගමනේ කට වරද්දාගන්නට හැදූ කල නඩේ ගුරාණෝ රවමින් බනිමින් සිය විරෝධතාවය පෙන්වා එවැන්නන් නිවැරදි කිරීමට කටයුතු කර අැත.

නවාතැන් සහ බස් එක

වර්තමානයේ නම් කතරගමට ලඟා වීමට කොළඹ සිටම වුවත් ගතවන්නේ පැය පහ හයකි. එහෙත් ආදි කාලයේ බස් රිය මාර්ග මෙතරම් දියුණු නොවූ බැවින් මාතර සිට කතරගම යන අයද මග තැනක නැවතී ගිමන් හැර නැවත ගමන් කිරීම සිදු විය. නැවතීම පිණිස විශාල හෝටල කාමර වෙන්කර ගැනීමට අපහසු ගැමියෝ අම්බලම් හෝ පන්සල් ආසන්න විශ්‍රාම ශාලාවල රැය පහන් කළහ. අදද විශාල බස්රියවලින් වන්දනාවේ යන බැතිමතුන් සිය පිරිස සමග විශ්‍රාම ශාලාවල රැය පහන් කොට වන්දනාමාන කටයුතු ඉෂ්ඨ සිද්ධ කරගනු දැක ගත හැකිය.

අනුරාධපුරයේ නම් මහා වැව්, කතරගම නම් මැණික් ගඟ ආදී ලෙස වන්දනා නඩ පිරිසිදු වීම්, නා කියා ගැනීම් සඳහා යොදාගත් කවුරුත් දන්නා ජලමාර්ගද විය. අනුරාධපුර හෝ පොලොන්නරුවේ දී නම් එක නඩයක් නොව නඩ සීයකට, හමාරකට වුව එකවර නා පිරිසිදු වීමේ හැකියාව ඇති සුවිසාල වැව් තිබීම වන්දනා නඩ වල ජල පහසුවට මනා පිටුවහලක් විය.

“ලොරිබාගේ මග සිටියා එනකොට රෑ යාමේ, නිදිමැරුවා තැන් තැන්වල තිස්සමහාරාමේ

මාලනිය ගයන මන්දනාව ගීයෙන් ලොරිබාගය මග නැවතීම නිසා තිස්සමහාරාම ආසන්නයේදී මග තැන් තැන්වල රැය පහන් කිරීමට සිදු වූ ආකාරය ගැන කියවෙනු කවුරුත් අසා අැත. එකල වන්දනා ගමන්වලට පමණක් නොව ගම්බද බොහෝ තැන්වල ගමන් වලට යොදාගනු ලැබුවේ ලොරි බාගයයි. මෙය කුඩා ලොරියක් පිටුපස ආසන පේලි දෙකක් අැති පරිදි සකස් කොට, මගීන්ට යා හැකි ලෙස සකස් කළ වාහනයකි. ආසන පහසුව, වායුසමනය, නූතන තිරිංග, දුනු පද්ධති හා කාපට් කළ පාරවල් නොතිබූ එකල ලොරි බාගේ ගිය ගමන වර්තමානයේ සුවපහසු වාහනයක යනවා මෙන් එකදිගට පැය ගණනාවක් තිස්සේ සිදු කළ නොහැකි විය. එබැවින් නඩේ පිරිසට විටින් විට විවේක ගැනීමට ඉඩ දෙමින් ලොරි බාගේ ගමන සෙමෙන්ම කරන්නට සිදු විය.

harivarasanam.files.wordpress.com

ආහාර සැපයීම සහ අවශ්‍ය දෑ සපයා ගැනීම

හාල්, පොල්, හට්ටි මුට්ටි, ඇතිලි, පිඟන් කෝප්ප ටිකක්ද ලොරිබාගේ උඩ හෝ ඇතුලේ පටවාගෙන යන හෙයින් ගමන අතරතුර යම් තැනක නැවතුණු විට ආහාර සකස් කරගැනීමට තවත් උවමනා වන්නේ යම් ප්‍රමාණයක ගල් ගෙඩි තුනක් පමණි. ඒ අවටින්ම හෝ රැගෙන එන දර යොදා ලිපක් අවුලුවා, පිරිසම එකතු වී බතක් එලෝලුවක් සකස් කොට ආහාර පිස ගැනුණි. අච්චාරු මුට්ටියක් හෝ කරවිල, ළූණු, හාල්මැස්සෝ, කරවල ආදී දේ යොදා සැදූ බැදුම් මල්ලක් ද ගෙන එන ඇතැමෙක් මුළු නඩේටම සිය බැදුම් හෝ අච්චාරු බෙදා දෙති.

කඩචෝරු බිස්කට් තිබුනත් ඒවා ගැනීමට වැඩි කාසිපනම් නැති ගැමියෝ රසකැවිලි ආදිය නිවසේදීම සකස් කරගෙන ආවෝය. සිරිපා වන්දනාවක් නම් අග්ගලා අනිවාර්ය විය. තෙල් යොදා හැදෙන කැවුම් වර්ග, අලුවා වර්ග දින කිහිපයක් තබාගෙන වුවත් ආහාරයට ගැනීමට හැකි විය. බසය නැවතූ තැනක වතුර ටිකක් උණු කරගෙන තේ වතුර, බෙලිමල්, එරමුසු වැනි පානයක් සාදාගන්නා වන්දනා නඩේ පිරිස වෙහෙස මහන්සී වී සියතින්ම සදාගෙන පැමිණි රසකැවිලි එකිනෙකා හා බෙදා හදාගෙන අනුභව කළෝය.

වන්දනා ගමනේ විනෝදය

අද කාලයේ නම් සති අන්තයකට හෝ දීර්ඝ නිවාඩුවකට එකතුවෙන පිරිස හනි හනික තැනක් දෙකක් බලා තවත් තැන් සොයා කඩිමුඩියේ සිය සංචාර නිම කරති. එහෙත් එකල ගැමියාට එවැනි ලොකු හදිස්සියක් තිබුණේ නැත. ඔවුහු සිය ගමන බස්රියේ තාලයට සැදී ගමන් ගත්හ. කෑම උයා පිහා ගන්නට, වාහනයට විවේක දෙන්නට කිහිප විඩක් තැන් තැන්වල නවත්වන ඔවුහු ඒ ඉඩකඩේදී ඒ අවට රට තොට දැකබලා ගනිති. ඇතැම් තැනෙක මනරම් විහාර ආරාම සංකීර්ණයක් වෙත් නම් ඒ අසබඩම ආහාර පිණිස නවත්වා ආහාර සකස්කොට එතැන වැඳ පුදාගෙනම ගමන නැවත ආරම්භ කරති.

ඉපැරණි පිටකොටුව (රචකයාගෙනි)

මේ වන්දනා ගමන් සියල්ලම පාහේ යොදාගන්නේ විශාල පිරිසක් ගමක් ලෙස එක්රැස් වීමෙනි. ගමේ එකිනෙකා අතර නොහොඳ නෝක්කඩු වෙත් නම් ඒවා ස්වල්ප කාලයකට හෝ තුරන් වීම වන්දනාවේදී සිදු වේ. කසාද බදින වයසේ සිටින නෑම්බියන් සහ ඉලන්දාරින් වෙත් නම් එකිනෙකා සමග දින දෙක තුනක් යකඩ පෙට්ටිය තුළ දොඩමලු වී යනෙන ගමන අවසනදී සම්බන්ධතා වර්ධනය කොටගෙනම ඔවුන් වන්දනා ගමන හමාර කරති. හැකිතාක් පිරිස අඩුවෙන්, සමහරවිට තනිව පවා චාරිකාවේ යෙදෙන මෙකලට වඩා එකල වන්දනාව ගැමියන්ගේ එක්තරා උපසංස්කෘතික අංගයක් කියා වුව කිව හැකි දෙයක් විය.

අද කාලයේ ද අැතැම් ගම්බද පලාත්වල විශාල නඩ බස් රියවල නැගී වන්දනා ගමන් ගොස්, ගස් යට උයා පිහා ගෙන කා සිය වන්දනාව සම්පූර්ණ කරති. විශාල පිරිසක් ඒකරාශි වී ඒ කරන වන්දනා කාර්යය ඇතැම්විට විදේශිකයන්ට හා විදේශිකයින් මෙන් බලන්නට හුරු වූ නාගරිකයාට තවත් කෝලමක් සේ පෙනී යා හැකි වුවත් එම වන්දනා නඩ යනු වෙනමම විනෝදයක් ලබා දෙන්නාවූද, භක්තිමත් වූද සංසිද්ධි දාමයකි. එහි රස එවන් වන්දනාවක් කවර කලක හෝ යෙදුණු අයම හොදින්ම දන්නවා ඇත.

අද කාලයේ වෙසෙන බොහෝ දෙනාට හැකියාව අැත්තේ මෙවන් ලිපියක් නිදහසේ කියවා එ් අත්දැකීම සිතින් මවා ගන්නට පමණකි.

කවරයේ රූපය (trekearth.com)

Related Articles