Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිලෝන් ටී පුරෝගාමී ටේලර්ගේ ලූල්කඳුරේ මතක සටහන්

ලෝකයම කතා කරන සිලෝන් ටී කර්මාන්තයේ නිජබිම ලෙස සැලකෙන්නේ මහනුවරට නුදුරු දෙල්තොට ලූල්කඳුර වතුයාය යි. මෙම තේ වත්ත පාලනය වන්නේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ යි. සුන්දර වටපිටාවක පිහිටි මේ වතුයායේ තිබෙන ලංකාවේ ප්‍රධාන වැවිලි අපනයන භෝගයේ ප්‍රාථමික අවදියේ සිහිවටන නැරඹීමට බොහෝ සංචාරකයන් ඇදී එනවා. ඒ ගැන මඟපෙන්වීමක් කිරීමට යි මේ උත්සාහය.

ගමන් මඟ

ටේලර් වතු කම්කරුවන් සහ කංකානිවරු සමග -jedb.lk

පේරාදෙණිය හන්දියෙන් හැරී ගලහ පාරේ කි. මී. 36ක් දුරින් පිහිටි ගලහ හන්දියෙන් දෙල්තොට හේවාහැට පාරට හැරී තවත් කි. මී. 16ක් ගමන් කිරීමෙන් ලූල්කඳුර තේවත්තට පැමිණිය හැකියි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ හේවාහැට ප්‍රා. ලේ. කොට්ඨාසයේ ගන්නෑව උඩගම ග්‍රාම සේවා වසමේ පිහිටා තිබෙනවා. නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්ක දෙකටම මේ තේවත්ත අයත්.

ලංකාවට පැමිණි යොවුන් වැවිලිකරුවා

ලූල්කඳුර වත්තේ ටේලර්ගේ ප්‍රතිමාව- jedb.lk

1835 දී ස්කොට්ලන්තයේ දී උපත ලැබූ ජේම්ස් ටේලර් 1852 වසරේ ලංකාවට පැමිණියේ රැකියාවක් සොයාගෙන යි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17 යි. ලංකා දිවයිනේ වැවිලි කර්මාන්තයට තමයි මේ යෞවනයාගේ හිත ගියේ. ඒ වන විට මහනුවර අවට විශාල බිම් ප්‍රදේශයක් යටව පැවතුණේ කෝපි වගාවට යි. 1852 වසරේ පෙබරවාරි 20 වැනිදා ලංකාවට පැමිණ නාරන්හේන කෝපි වත්තේ සේවය කළ ඔහු, පසුව එයට යාබද වල්ඔය වත්තේ සේවයට ගොස් තිබෙනවා. ටේලර් සේවය කළ වතු දෙකම අද අයත් වන්නේ ලූල්කඳුර වතුයායට යි.

පුරාණ දළුමඩුවක් -lankapura.com

මේ කාලයේ කෝපි කොළ රෝගය නිසා ඒ වගාව විනාශ වී යමින් පැවතීම වතු හිමිකරුවන්ට විශාල ප්‍රශ්නයක් වුණා. විකල්ප වාණිජ බෝග ගැන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පර්යේෂණත් කෙරුණා. තේ පැළය ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ 1839 දෙසැම්බර් මාසයේ ඉන්දියාවෙන්. ආචාර්ය වොලීච් නම් අයෙක් විසින් ඇසෑමයෙන් ගෙන එන ලද තේ බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කර තිබෙනවා. තේ වගාව ඒ වන විට ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පැවතුණා. 1866 දී ඉන්දියාවට ගොස් තේ වගාව පිළිබඳ අවබෝධයක් ලද ටේලර් 1867 දී ලුල්කඳුර නාරන්හේන ප්‍රදේශයේ වතුයායේම නිවසක පදිංචි වී සිටියා. පසුව එහි කැලෑ ඉඩමක් ලබාගෙන කම්කරුවන් 200 දෙනෙකු යොදවා අක්කර 19ක කැලෑ බිම් එළි පෙහෙළි කොට තේ වගාවට උචිත පරිදි සකස් කළා. ටේලර් පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ලබාගත් ඇසෑම් තේ බීජ ලුල්කඳුරේ වගා කිරීමට පියවර ගත්තේ අභියෝගයකට මුහුණදෙමින්.

රු. 58 තේ තොගය

කරත්තවල පටවා තේ පෙට්ටි කොළඹට ප්‍රවාහනයට සූදානමින් – leavla.com

ඔහු මුලින්ම තේ වගාව ආරම්භ කළ කලාපය අදත් ලූල්කඳුර වතුයායේ දකින්න ලැබෙනවා. එය  හැඳින්වෙන්නේ “7 වැනි ක්ෂේත්‍රය” නමින්. මුල් තේ වගාවේ සිහිටවන ලෙස එහි අක්කර පහක පමණ කොටසක් තවමත් තිබෙනවා. 

ටේලර්ගේ මුල්ම තේ වගාවේ තේ දළුවලින් තේ කොළ නිෂ්පාදනය කිරීමට වත්තේ තේ කම්හලක් තිබුණේ නැහැ. ඔහුගේ නිවස තමයි ටීහවුස් හෙවත් තේ නිෂ්පාදනාගාරය ලෙස යොදාගත්තේ. තේ ඇඹරීම සිදුකළේ නිවසේ ආලින්දයේ සවිකළ ඇඹරුම් යන්ත්‍රයකින්. එම යන්ත්‍රයත් ටේලර්ගේම නිෂ්පාදනයක්. එහි ප්‍රතිඵලයක් ලෙස සිලොන් ටී ලෙස සඳහන් කළ තේ රාත්තල් 23ක් අපනයනය කිරීමට ඔහුට හැකි වූයේ 1872 දී යි. එහි වටිනාකම රු. 58ක් ලෙස සඳහන් වෙනවා. ලන්ඩන් තේ වෙන්දේසියේ දී ඒවාට ඉහළ ඇගැයුමක් ලැබුණා. තේ නිෂ්පාදනය සාර්ථක වුණා. 

1872 ඔහු තේ කර්මාන්ත ශාලාවක් ද ලූල්කඳුරේ ආරම්භ කළා. රාත්තල් 23කින් ඇරඹි ලූල්කඳුරේ තේ අපනයනය 1890 වන විට ටොන් 22,900 දක්වා වර්ධනය වී තිබෙනවා. ජේම්ස් ටේලර් ලූල්කඳුර හැඳින්වූයේ ලූල්කොන්දේරා නමින්. ඒ අතරම මහනුවර, මාතලේ අවට වගේම නුවරඑළිය අවට කඳුකරයත් එළිකරමින් තේ වතු මතු වුණා.

තේවලට පෙම්බැඳි අවිවාහකයා

ටේලර් සහ ඔහුගේ සොහොන් කොත – ceylonteamuseum.com

සුප්‍රකට තේ ව්‍යාපාරිකයකු වූ තෝමස් ලිප්ටන් 1890 දී ලංකාවට පැමිණි අතර ඔහු මෙරට තේ නිෂ්පාදන ව්‍යාපාරයට එක්වන විට ඔහුට ජේම්ස් ටේලර් සහාය වූ බව පැවසෙනවා. තේ වගාවටම ජීවිතය කැප කළ ටේලර් විවාහ වුණෙත් නැහැ. 

ජේම්ස් ටේලර් තේ වගාව සම්බන්ධයෙන් දිනෙන් දින පරීක්ෂණ කරන්නට වුණා. වාණිජමය වශයෙන් ජාත්‍යන්තර තේ අපනයන ක්ෂේත්‍රයට පිවිසීමට සිලෝන් ටීවලට කෙටිකලකින්ම හැකියාව ලැබුණා.  වසර 40ක් ලංකාවේ ජීවත් වූ ජේම්ස් ටේලර් එකී කාලය තුළ වතු හිමිකරුවන්ගෙන් සේවා නිවාඩු ඉල්ලාගෙන ඇත්තේ ඉන්දියාවේ ඩාජිලිංවලට ගොස් තේ කර්මාන්තය ගැන අධ්‍යයනයට පමණ යි.  

අසනීප තත්ත්වයේ සිටි ටේලර් අසනීප නිවාඩු ලබා සිටි අතර 1892 මැයි 2 දා මියගියේ අතීසාරය වැළඳීමෙන්. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 57ක් වුණා. ඔහුගේ සිරුර සහිත මිනීපෙට්ටිය ලූල්කඳුරේ සිට මහනුවර දක්වා ඇති සැතපුම් 18ක් දුර කම්කරුවන් සහ කංකානිවරු 24 දෙනෙක් ඔසවාගෙන ගිය බව වාර්තා වෙනවා. ඔහු මහනුවර මහයියාව සුසාන භූමියේ දී මිහිදන් කෙරුණා. ඔහුගේ සොහොන්කොත අදත් එහි දැකගත හැකියි.

ලූල්කඳුර වතුයාය

ලූල්කඳුර තේ වත්ත – jedb.lk

මේ වතුයාය මුහුදු මට්ටමේ සිට අඩි 3374ක් උසින් පිහිටා තිබෙනවා. මෙහි පවතින්නේ සෞම්‍ය ශීත දේශගුණයක්. ස්වභාවික ජල මූලාශ්‍ර රැසක් ලූල්කඳුර වතුයාය ඉහළ කෙළවරේ දැකගත හැකියි. ඒ නිසාම දේශීය සංචාරක ආකර්ෂණය විශාල වශයෙන් මේ වතුයායට ලැබී තිබෙනවා.

ලූල්කඳුරේ තේ වගාව – jedb.lk

වත්ත හෙක්ටයාර් 1048කින් සමන්විත යි. ඉන් තේ වගාවට යොදවා ඇත්තේ හෙක්ටයාර් 351ක් පමණ යි. ඉතිරි භූමිය ලූල්කඳුර තේ කර්මාන්ත ශාලාව, මාර්ග පද්ධතිය, රක්ෂිත වනාන්තර හා පරිපාලන ගොඩනැගිලි සහ නේවාසික ගොඩනැගිලි සඳහා වෙන් වී තිබෙනවා. අත්හැර දැමූ තේ ඉඩම් ද මෙහි පවතිනවා. අප රටේ කඳු නඟින්නන්ගේ  ජනප්‍රිය ගිරි තරණ ඉසව්වක් වූ ජේම්ස් ටේලර් ස්මාරකය පිහිටා ඇති කොණ්ඩගල කඳුශිඛරයත්, අංශක 360ක කෝණයකින් කඳුකරය දැකගත හැකි බැලුම් ගලක්.  

ටේලර් සිහිවටන

ටේලර් සීට් – jedb.lk

ජේම්ස් ටේලර්ගේ ඓතිහාසික තේ වගාවේ ආරම්භය සනිටුහන් වන බොහෝ දෑ ආරක්ෂා කර ඔහුගේ මතක සටහන් නැරැඹීමට සුදුසු ආකාරයට නඩත්තු කිරීමටත් වත්මන් වතු පරිපාලනය කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා 1992 දී ලූල්කඳුර වත්තේ කෞතුකාගාරයක් ආරම්භ කළ අතර පසුව මහනුවර හන්තාන තේ කෞතුකාගාරය ආරම්භ කිරීමේ දී ටේලර්ට අයත් සිහිවටන එහි තැන්පත් කර තිබෙනවා.

බංගලාවේ නටබුන්- exploresrilanka.com

 

ලූල්කඳුර පැමිණෙනක ඔබට  ජේම්ස් ටේලර් බංගලාව් නටබුන් ද දැකගත හැකියි. එහි පෝරණුවේ කොටසක් පමණක් ඉතිරිව පවතිනවා. ඔහු විවේකය ගතකළ  ගල් ආසනය තවත් අපූරු තැනක්. ස්වභාවික ගල් කිහිපයක් එක්කර තනාගත් එකක්. ටේලර් ස්නානය කළ පැරණි ළිඳත් මෙහි පිහිටා තිබෙනවා. මුල්ම තේ වගාව සිදුකළ කොටසත් නැරඹීමට පුළුවන්. වතුයායට යාබදව පිහිටි කොණ්ඩගල තරණයත් අපූරු අත්දැකීමක්.

ලංකාවේ දිගම තේ කම්හලක්

තේ කම්හල- jedb.lk

පැරණි කම්හල ඉවත් කර 1923 දී මෙහි නව තේ කම්හලක් ඉදිකළ අතර, එය ලංකාවේ දිගම තේ කර්මාන්ත ශාලා කිහිපයෙන් එකක්. මහල් හතරකින් යුත් කර්මාන්ත ශාලාව දිගින් අඩි 325ක් ද, පළලින් අඩි 72ක් ද වෙනවා. එහි උස අඩි 60ක්. ඉදිකර තිබෙන්නේ වානේ තහඩු යොදාගැනීමෙන්. එහි දිනකට අමු තේ දළු කිලෝග්‍රෑම් 18,000ක් ඇඹරීමේ ධාරිතාවයක් පවතිනවා. ඒ සඳහා වියළන යන්ත්‍ර දෙකක් තියෙනවා. නමුත් දැන් ක්‍රියාත්මක වන්නේ එක් යන්ත්‍රයක් විතර යි. ඒ නිසා  දිනකට අමු තේ දළු අඹරන්නේ කිලෝග්‍රෑම් 8,000ක් පමණ යි. සෞම්‍ය කාලගුණයක් ඇති කාලවල දී තේ කර්මාන්ත ශාලාවට අමු තේ දළු කිලෝග්‍රෑම් 10,000ක් පමණ ගෙන එනු ලබනවා. අහිතකර කාලගුණ තත්ත්වයන් ඇති විට මේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 6000 – 7000ත් අතර පවතිනවා.

පැරණිම තේ වගා බිම – exploresrilanka.com

මෙහි තේ නිෂ්පාදනාගාරය තුළ පැරැණි යන්ත්‍ර රාශියක් දැකගත හැකියි. තේ වගාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන, අධ්‍යයනය කරන කාට වුණත් ඉන් ලබාගත හැකි දැනුම විශාල යි.

අදටත් කර්මාන්ත ශාලාවේ තේ කුඩු වියළීම සඳහා යොදාගෙන තියෙන යන්ත්‍රයට තාපය එක් කරන්නේ දර පෝරණුවකින්. ඒ වගේ ඉපැරැණි යන්ත්‍ර උපකරණ යොදා ගනිමින් තමයි අදටත් තේ නිෂ්පාදනය සිදුකරන්නේ. ඒක මේ කර්මාන්ත ශාලාවටම සුවිශේෂී වූවක්. මෙහි නිෂ්පාදිත තේ “ලූල්කඳුර” යන වෙළෙඳ නාමය යටතේ තේ වෙන්දේසිවලට ඉදිරිපත් කෙරෙනවා.

ආශ්‍රීත මූලාශ්‍රයයන්:

පුරාවිදු වැලිපිල - 2020 ජූලි

historyofceylontea.com

ceylonteamuseum.com

dailymirror.lk

jedb.lk

කවරය- ජේම්ස් ටේලර් සහ පැරණි තේ සැකසීමේ අවස්ථාවක්-damrotea.com

Related Articles