Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය: මැඩීරා

 මැඩීරා දූපත් යුරෝපයේ ඉතාමත් සුන්දර සංචාරක ගමනාන්තයක්. සංචාරකයන් දහස් ගණනක් වසර පුරා පැමිණෙන දූපතක් ලෙසත් එය ප්‍රකට යි. මෙම කුඩා බිම්කඩ අත්ලාන්තික් සාගරයේ  මුතු ඇටය යන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වනවා. කෙසේ නමුත්, මැඩීරාව එලෙසින් හඳුන්වන්නේ මූලික ව ම සොබාදහම පදනම් කරගෙන යි.

ඒ අනුව අත්ලාන්තික් සයුරේ “සොබාදහමේ මුතු ඇටය” ලෙස මැඩීරා දිවයින හැඳින්වීම වඩාත් නිවැරදි යි. අවුරුද්ද පුරා පවතින සෞම්‍ය දේශගුණය, සුවිශේෂී ජෛව විවිධත්වයෙන් සුසැදි සොබා සුන්දරත්වය සහ අගනා ගෘහ නිර්මාණ ශිල්පයෙන් හැඩ වුණු නගර නිසා අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය වශයෙන් මැඩීරා දූපත හැඳින්වීමේ වරදකුත් නැහැ. අපරාධ සිදුවීමේ අවම හැකියාව නිසා ආරක්ෂිත ම ගමනාන්තයක් ලෙසත් මැඩීරා දිවයින හඳුන්වන්න පුළුවන්.

  සොබා සුන්දරත්වයට අමතර ව රාත්‍රී ජීවිතය සහ සංස්කෘතික අංගවලින් හැඩවුණු සමාජීය ක්‍රියාකාරකම් නිසා කුඩා දිවයිනක් වුණත් සංචාරකයන්ට ජීවිතය විඳිය හැකි බොහෝමයක් දේ මෙහි තිබෙනවා. මැඩීරා දිවයිනේ මූලික වැදගත් කරුණු සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගැන විස්තරයක් දැනගැනීමට ඔබත් කැමති ඇති.

මැඩීරා දූපත් සමූහයේ පිහිටීම – www.pinterest.com 

 පිහිටීම සහ භූගෝලීය කරුණු

 මැඩීරා දූපත්, අප්‍රිකා මහද්වීපයට අයත් මොරොක්කෝ රාජ්‍යයේ සිට කිලෝ මීටර් 700ක් පමණ ඈතින් අත්ලාන්තික් සයුරේ පිහිටා තිබෙනවා. කිලෝ මීටර් 900ක් පමණ ඈතින් පිහිටි පෘතුගාල රාජ්‍යයට අයත් වුවත්, ස්වයං පාලන ප්‍රදේශයක් ලෙස මැඩීරා දූපත් හි පරිපාලන කටයුතු සිදු කෙරෙනවා. මැඩීරා නම් ප්‍රධාන දූපතට අමතර ව පොර්ටෝ සැන්ටෝ, ඩෙසෙර්ටස්, සෙල්වජන්ස් යනුවෙන් තවත් කුඩා දූපත් කිහිපයක් මෙම මුහුදු කලාපයේ පිහිටා තිබෙනවා. පොදුවේ මේ සියල්ල ම “මැඩීරා දූපත්” යනුවෙන් හඳුන්වනවා. සංචාරකයන් මූලික වශයෙන් පැමිණෙන්නේ ප්‍රධාන දූපතට යි. මැඩීරා දූපත් හි මුළු විශාලත්වය වර්ග කිලෝමීටර් දහසක් පමණ වෙනවා.

  දූපත් සමූහ‍යට ගිනිකඳු සම්භවයක් ඇතත්, දේශ ගවේෂණයෙන් අනාවරණය කරගත් දා සිට එහි ගිනිකඳු ක්‍රියාකාරකමක් සිදුවූ බවට පැහැදිලි වාර්තාවක් නොමැති බව සඳහන්. දිවයිනේ කඳුකර ප්‍රදේශය විවිධත්වයක් සහිත භූ දර්ශන රැසකින් සමන්විත යි. දිවයිනේ උස ම ස්ථානය “පිකෝ රුවෝ” ලෙස හඳුන්වන අතර, මුහුදු මට්ටමේ සිට මීටර් 1861ක් පමණ උසකින් එය පිහිටා තිබෙනවා. ගැඹුරු නිම්න මෙන් ම, විශාල සානුත්  මැඩීරා දිවයිනේ දක්නට ලැබෙනවා.

 විශාල දූපතක් නොවුණත්, එක දිනකින් ගවේෂණය කළ නොහැකි තරමටම මැඩීරා හි  ස්ථාන රැසක් තිබෙනවා. ඒවායින් වැදගත් ස්ථාන කිහිපයක විස්තර සැකෙවින් අපි දැන් සලකා බලමු.   

සුන්දර ෆන්චාල් නගරය – globalgrasshopper.com 

මැඩීරාවේ ප්‍රධාන නගරය, ෆන්චාල්

මැඩීරාවේ ප්‍රධාන නගරය වන ෆන්චාල්, බොහොම සුන්දර නගරයක් ලෙස සැලකෙනවා. ඉහළ පෙළේ අවන්හල්, තරු පහේ හෝටල් රැසක් ෆන්චාල් නගරයේ පිහිටා තිබෙනවා. පාපන්දු ලෝකය තුළත් ෆන්චාල් නගරය ප්‍රසිද්ධ යි. ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩකයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ උපන් බිම ෆන්චාල් නගරය වීම එයට හේතුව යි. මුළු නගරය ම එක ම රංග පීඨයක් සේ පෙනෙන තරමට විචිත්‍ර ස්වභාවයක් උසුලනවා. හිරු එළිය නොමඳ ව ලැබෙන වෙරළ තීර, කඳුකරයේ පිහිටි අවුරුද්ද පුරා ම මල් පිපෙන අලංකාර උද්‍යාන, සක්‍රීය රාත්‍රී ජීවිතය, ප්‍රධාන වශයෙන් නගරයේ අලංකාරය කෙරෙහි බලපා තිබෙනවා.

මලින් පිරි ෆන්චාල් නගරයේ උත්සව – www.timeout.com 

 ෆන්චාල්, අතීතයේ සිට ම වරාය නගරයක් ලෙස ප්‍රචලිත ව තිබුණා. ෆන්චාල් වරාය ප්‍රවේශය ඉතාමත් දැකුම්කළු දර්ශනයක් සහිත ස්ථානයක්. වර්තමානයේ බොහෝ යුරෝපීය නැව් සිය මංගල ගමන සඳහා ෆන්චාල් වරාය වෙත පැමිණීම සම්‍ප්‍රදායක් බවට පත් ව තිබෙනවා. ඩොල්ෆින් සතුන් සමඟ පිහිනීම, රළ මත ලිස්සා යාම, බෝට්ටු චාරිකා, වෙරළ සාද වැනි බොහෝමයක් අත්දැකීම් ෆන්චාල්වලදී සංචාරකයකුට අත් විඳිය හැකි යි. නගරයට යාබදින් පිහිටි වනයෙන් වැසුණු කඳුකරයේ සංචාරය කිරීමටත් මීට අමතර ව අවස්ථාව ලැබෙනවා. කුඩා දූපතක පිහිටි වෙරළබඩ නගරයක රාත්‍රි සමාජ ශාලාවක අත්දැකීම් නොමඳ ව විඳ ගන්න පුළුවන් තැනක් තමයි ෆන්චාල්.

  මෙම නගරය වාර්ෂික උත්සව කිහිපයකට උරුමකම් කියනවා. වරෙක ගිනස් ලෝක වාර්තාවක් පවා තැබූ නව අවුරුදු උදාවේ ගිනිකෙළි සංදර්ශනය ඒ අතරින් විශේෂ යි. සම්බා නැටුමින් සහ වර්ණවත් ඇඳුම් ඇඳගත් පෙළපාලි සහිත විචිත්‍රවත් සැණකෙලිවලිනුත් ෆන්චාල් නගරය පොහොසත්. මීට අමතර ව වසර පුරා පිපෙන විවිධාකාරයේ මල්වලින් අලංකෘත වූ මල් උත්සව සහ වයින් උත්සවත් මෙහි පැවැත්වෙනවා.

ලෙවාඩස් ජල මාර්ග දිගේ ඇවිද යාම මැඩීරාහි ප්‍රකට සංචාරක ක්‍රියාකාරකමක් – blog.madeira.best 

ලෙවාඩස් ජලධර පද්ධතියේ ඇවිදිමු

 ලෙවාඩස් යනු මැඩීරා දූපතට ආවේණික ජල ඉංජිනේරු කාර්යයක් ලෙස හැඳින්විය හැකි යි. එහි ඉතිහාසය 15 වන සියවස දක්වා ඈතට විහිදෙනවා. මේවා විවිධ මූලාශ්‍රවලින් ජලය ගෙන ඒම සඳහා සැකසුණු ජලධර පද්ධතියක් ලෙස ක්‍රියා කරනවා. ලෙවාඩස්  බොහෝවිට දිවයිනේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිත ව දැකිය හැකි යි.

 කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය සැපයීම, මානව අවශ්‍යතා සඳහා ජලය ගෙන ඒම, ජල විදුලිය නිපදවීම, වැනි වැදගත් කාර්ය භාරයන් “ලෙවාඩස් ජලධර පද්ධති” මඟින් ඉටු වෙනවා.

මැඩීරා දූපතේ ලෙවාඩස් ජල මාර්ගයක් – www.flickr.com 

සොබාදහම සහ කෘෂිකාර්මික බිම් එකිනෙකට සම්බන්ධ කරමින් ජාලයක් ලෙස ක්‍රියා කරන නිසා ලෙවාඩස් ඇළ මාර්ග දිගේ ඇවිදීම මඟින් මැඩීරා දූපත හොඳින් ගවේෂණය කරන්න පුළුවන්. ඒ නිසාම ලෙවාඩස් ඇළ මාර්ග දිගේ ඇවිදීම සංචාරකයන් අතර ප්‍රචලිත වී තිබෙනවා. ජලධර පද්ධතිය දිගේ ඇවිදින්නකුට දූපතේ උතුරින් පිහිටි තෙත් ප්‍රදේශවල සිට දකුණේ වියළි ප්‍රදේශ දක්වා සොබාදහම විඳින්නට අවස්ථාව ලැබෙනවා.

හිම වැටෙන පිකෝ දෝ අරියිරෝ – www.touropia.com 

හිම වැටෙන පිකෝ දෝ අරියිරෝ

 අපේ රටේ ලෝකාන්තය කියන්නේ දර්ශනීය දෘෂ්ඨි පථයක අත්දැකීම් ලබා ගත හැකි බොහොම දුර්ලභ ස්වභාවික පිහිටීමක්. මැඩීරා දූපතේ පිහිටි “පිකෝ දෝ අරියිරෝ” කියන්නේත් එවැනි තැනක්. මෙම කන්ද මැඩීරා දිවයිනේ තුන්වෙනි උස ම ස්ථානය ලෙස හැඳින්වෙනවා. පළපුරුදු කඳු නඟින්නකුට පැය දෙකකින් හෝ තුනකින් මෙහි මුදුනට ළඟා වෙන්න පුළුවන්. මැඩීරා කියන්නේ යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව උණුසුම් දේශගුණයක් පවතින ප්‍රදේශයක්. ඒ නිසා හිම පතනයත් අවම යි. එහෙත්, යුරෝපයට ශීත සෘතුව එළඹෙන සමයේදී මැඩීරා දූපත තුළ හිම පතනය දැකිය හැකි ස්වල්ප ස්ථාන අතරින් “පිකෝ දෝ අරියිරෝ” ප්‍රමුඛ යි. අවට දසුනත් ඉතා මනස්කාන්ත බව පැවසෙනවා.

ගොඩබිමත්, මහ සයුරත් එකවර දර්ශන පථයට හසුකර ගත හැකි “කැබෝ ජිරාඕ” – www.touropia.com 

කැබෝ ජිරාඕ

 සාගරයට මායිම් වූ ඉතා උස් කඳු ප්‍රපාත ශ්‍රී ලංකාවේ නම් තරමක් විරල දර්ශනයක්. එහෙත්, මැඩීරා දිවයිනේ “කැබෝ ජිරාඕ” යනු ලෝකයේ පිහිටි සාගරයට මායිම් වූ උස ම ප්‍රපාතවලින් එකක්. ගොඩබිම සහ මහා සාගරය එකවිට දර්ශන පථයට හසුකර ගත හැකි නිසා දිවයිනේ මනස්කාන්තම ස්ථානයක් ලෙස “කැබෝ ජිරාඕ” හැඳින්වෙනවා. මෙම ස්ථානයේ උස මීටර් 500 කට වැඩි යි. අද වනවිට මෙහි වීදුරුවලින් තැනූ අහස්පථයක් ද නිර්මාණය කොට තිබෙනවා. එමඟින් සංචාරකයකුට පථය තුළින් මීටර් ගණනාවක් පහළින් තිබෙන මහ සයුර කෙළින් ම දැක බලා ගන්න පුළුවන්. ෆන්චාල් නගරයට තරමක් නුදුරින් පිහිටා ඇති නිසා නගරයේ විශාල පරාසයක් නෙතට හසුකර ගැනීමේ හැකියාවකුත් තිබෙනවා.

පෝටෝ මොනිස් ස්වභාවික ජල තටාක – madeira.best 

පෝටෝ මොනිස් ස්වාභාවික ජල තටාක

 පෝටෝ මොනිස්, දිවයිනේ වයඹදිග කෙළවරට වන්න පිහිටා තිබෙනවා. ස්වභාවික තටාක මෙන් ම, සුවිශේෂී ආහාර සංස්කෘතිය නිසා මෙම ප්‍රදේශය සංචාරකයන් අතර ප්‍රසිද්ධ යි. 

 පෝටෝ මොනිස් ස්වභාවික තටාක ගිනි කඳු ලාවා සිසිලනය වීමෙන් සෑදී තිබෙනවා. ඒවාට ජලය සැපයෙන්නේ මහ සයුරෙන්. තටාක ස්වභාවික වුවත්, කෘත්‍රිම පිහිනුම් තටාකවලදී ලැබෙන අනෙකුත් පහසුකම් මේවා ආශ්‍රිතවත් පිහිටුවා තිබෙනවා. සංචාරකයන් සඳහා වෙන ම යතුරු දැමිය හැකි කුඩා අල්මාරි, කරදිය සෝදා හැරීම සඳහා නාන කාමර පහසුකම් පොටෝ මොනිස් ස්වභාවික තටාක ආශ්‍රිත ව පිහිටුවා තිබෙනවා.

 තටාකවල පිහිනා නැවුම් අත්දැකීමක් ලබාගත් සංචාරකයන්ගේ ඊළඟ අරමුණ වන්නේ ප්‍රදේශයට ම ආවේණික වූ බේකරි නිෂ්පාදනවල රස බැලීම යි. ඒ අතරින් මී පැණි යොදා සැකසූ කේක් විශේෂ යි. උක් ආශ්‍රිත රසවත් ආහාර සඳහාත් පෝටෝ මොනිස් ප්‍රසිද්ධ යි.

මොන්ට් පැලස් නිවර්තන උද්‍යානය – www.touropia.com 

මොන්ට් පැලස් නිවර්තන උද්‍යානය

 මොන්ට් පැලස් යනු කලකට ඉහත හෝටලයක් ලෙස ක්‍රියාත්මක වූ ස්ථානයක්. එහෙත්, දැන් මොන්ට් පැලස් ප්‍රසිද්ධ වී තිබෙන්නේ ඒ අවට තිබෙන මනස්කාන්ත උද්‍යානය නිසා යි. මෙම උද්‍යානයේ ශාක විශේෂ 100,000ක් පමණ දක්නට ලැබෙන අතර, ෆොසිල සාක්ෂි සහිත දිගු ඉතිහාසයක් ඇති සයිකඩ්ස් ශාකවලට නිවහන සපයන නිසා උද්‍යානය සුවිශේෂී වී තිබෙනවා. ලොව පුරා විසිරුණු ඛනිජ සහ අප්‍රිකානු මූර්ති කලාව විදහාපාන කෞතුකාගාරයකුත් මෙහි පිහිටා තිබෙනවා.

පොර්ටෝ සැන්ටෝ දූපතේ පිහිටි ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ නිවහන. අද මෙය කෞතුකාගාරයක් – madeira.best 

මැඩීරාවෙන් එපිට අසිරිය, පොර්ටෝ සැන්ටෝ

 ප්‍රධාන මැඩීරා දූපතට අමතර ව තවත් දූපත් කිහිපයක් මෙම සමූහයට අයත් බව කලින් සඳහන් වුණා. මැඩීරාවට උතුරු දෙසින් පිහිටි පෝටෝ සැන්ටෝ දූපත, දර්ශනීය මුහුදු වෙරළ නිසා සංචාරකයන්ගේ සිත් දිනාගෙන තිබෙනවා. ප්‍රධාන මැඩීරා දූපත මෙන් දියුණු නොවුණත්, සොබාදහමට ආදරය කරන්නන්, කඳු නඟින්නන් මේ දූපත පැමිණෙන්නට උනන්දු වෙනවා.

 පෝටෝ සැන්ටෝ ඉතා හොඳ ඉතිහාසයක් තිබෙන දූපතක්. ක්‍රිස්ටෝපර් කොලොම්බස් එහි ඉතිහාසය පෝෂණය කිරීමෙහි ලා වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා. දූපතේ උපන් ෆිලිපා ඩි මොනිස් සමඟ විවාහ වීමත් සමඟ ක්‍රිස්ටෝපර් කොලොම්බස් පොටෝ සැන්ටෝ දූපතේ යම්කිසි කාලයක් ජීවත් වූ බව සඳහන්. ඔවුන් දෙපළ ජීවත් වූ නිවස අදත් පෝටෝ සැන්ටෝහි දක්නට ලැබෙන අතර, අද එය කෞතුකාගාරයක් බවට පරිවර්තනය කිරීමට වගකිව යුතු පාර්ශව ක්‍රියා කොට තිබෙනවා.

සාඕ විසෙන්ට් ගුහා සංකීර්ණ – www.touropia.com 

සාඕ විසෙන්ට් ගුහා සංකීර්ණ

 මීට වසර  890,000 කට පෙර ගිනිකඳු පුපුරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස සාඕ විසෙන්ට් ගුහා සංකීර්ණය නිර්මාණය වී තිබෙනවා. ගිනිකඳු පිපිරුමකින් පසු පිටතට පැමිණෙන ලාවා ඉක්මණින් සිසිල් වුණත්, ගිනිකඳු අභ්‍යන්තරයේ ලාවා සිසිල් වීමට බොහෝ කාලයක් ගත වෙනවා. මෙමඟින් ගණන් කළ නොහැකි තරමේ “ලාවා නළ” සංඛ්‍යාවක් නිර්මාණය වෙනවා. සාඕ විසෙන්ට් ගුහා සංකීර්ණයත් මේ අයුරින් නිර්මාණය වී තිබෙනවා.

 1990 ගණන්වල මහජනයා සඳහා විවෘත වීමත් සමඟ මැඩීරා දූපතට අයත් සුවිශේෂී ම සංචාරක ගමනාන්තයක් බවට සාඕ විසෙන්ට් පත් වුණා. ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත් පසු ඇදහිය නොහැකි අන්දමින් නිර්මාණය වී ඇති ගුහා සංකීර්ණය ගවේෂණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව උදා වෙනවා. ගුහා සංකීර්ණය හරහා ගිනිකඳු මධ්‍යට පවා යෑමේ හැකියාවක් සාඕ විසෙන්ට්වල තිබෙනවා. 

 අත්ලාන්තික් සාගරයේ සොබාදහම් මුතු ඇටය ලෙස ගෞරව ලැබූ මැඩීරා දූපත් සමූහය රැක ගැනීම සඳහා පෘතුගාල රජය සාධනීය උත්සාහයක් දරනවා. මැඩීරාවේ නගර ඉතා නිස්කලංක මෙන් ම, පිරිසුදු යි. අවම අපරාධ අගය නිසා දූපත තුළ නිදහසේ සැරි සැරීමත් ගැටලුවක් නොවෙයි. ඔබ කවදා හෝ යුරෝපයට සංචාරය කරනවා නම් මැඩීරා නමැති මුතු ඇටයට ගොඩ වදින්නත් අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: මැඩීරා දූපතේ මනස්කාන්ත දර්ශනයක්- globalgrasshopper.com

මූලාශ්‍ර:

whc.unesco.org 

www.touropia.com

madeira.best 

Related Articles