Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහල සංස්කෘතියේ තොටිල්ල: මිහින්තලේ

මිහින්තලය සිංහල සංස්කෘතියේ මුල්ම සාධක දැකගත හැකි වටිනා පුරාවිද්‍යාත්මක උරුමයන් රැසක් සහිත ස්ථානයක්. අනුරාධපුර රාජධානියේ සෑම රජෙකුම පාහේ මිහින්තලය වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇතිබව ඉතිහාසය තොරතුරු හෙළි කරනවා. මුල්ම බ්‍රාහ්මී අක්ෂර වගේම මුල්ම ගල්කැටයම් එහි දී හමුවෙනවා. මේ, පොසොන් කාලෙ දී මිහින්තලේ දී දැකගත හැකි වටිනා පුරාවිද්‍යාත්මක උරුමයන් කිහිපයක් ගැන සොයාබැලීමට ගත් උත්සාහයක්.

සංස්කෘතියේ තොටිල්ල

කඳු අතර නටබුන් – wikipedia.org

විද්වතුන් සඳහන් කරන්නේ සිංහල සංස්කෘතියේ තොටිල්ල මිහින්තලේ බව යි. පස්වන සියවසේ දී මිහින්තලයේ භික්‍ෂූන්වහන්සේ දෙදහසක් පමණ වැඩ සිටි බව පාහියන් හිමිගේ දේශාටන වාර්තාවල  සඳහන් වෙනවා. 

මිහි­න්ත­ලය පිහිටා ඇත්තේ පුරාණ අනු­රා­ධ­පුර – සේරු­විල දක්වා දිවෙන ප්‍රධාන ගමන් මාර්ග­යට ඉතා සමී­ප­ව යි. එම මාර්ගය පුරා­ණයේ දී ලෝහ සම්පත් අනු­රා­ධ­පු­ර­යට රැගෙන ඒම සඳහා භාවි­ත­යටගත් මාර්ගය බව පුරා­විද්‍යා පර්යේ­ෂ­ණ­ව­ලින් මේ වන විට තහ­වුරු කර­ගෙන ඇති කරුණක්. මේ මාර්ගය නිසා එකල බැතිමතුන්ට පහසුවෙන් මිහින්තලේ  වන්දනාකර ගැනීමටත් අවස්ථාව හිමි වුණා. පේසා වළලු තුනකින් යුත් දාගැබේ විෂ්කම්භය අඩි 425ක්. එහි උස අඩි 40ක්. මෙම දාගැබේ අවධීන් දෙකක ඉදි­කි­රීම් හඳු­නා­ගෙන තිබෙනවා

කණ්ඨක චේතිය

කණ්ඨක චේතිය –  preepik.com 

මිහින්තලේ පියගැට පෙළ තරණය කරන විට දකුණු පසින් කඳුගැටයක් මුදුනේ පිහිටි දාගැබ හඳුන්වන්නේ කණ්ඨක චේතිය කියලා යි. දාගැබට පිවිසීමට පුරාණයේ තැනූ කළුගල් පියගැට පෙළ අදත් දැකගත හැකියි. ගරාවැටී පස් කන්දක් වශයෙන් තිබුණු මේ දාගැබ කැණීම්කර සංරක්ෂණයකර තිබෙන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින්. එය මෙරට කළ මුල්ම පුරාවිද්‍යා කැණීම් අතරට අයත් වෙනවා. පරණවිතාන මෙහි කැණීම් ආරම්භ කළේ  1934 දෙසැම්බර් මාසයේ දී යි. එය 1935 ජුනි මාසයේ අවසන්කර සංරක්ෂණයකර තිබෙනවා.

පරණවිතානගේ කැණිම්

වාහල්කඩක කැටයම් — wikipedia.org 

කැණීම් ඇරඹීමට පෙර එහි ස්ථුපයක් පිහිටි බවට කිසිම ලකුණක් පෙනෙන්නට තිබුණේ නැති බවත්, කඳුගැටයේම කොටසක් සේ ගස්වැල් වැවී තිබුණු බවත් පුරාවිද්‍යා වාර්තාවල සඳහන් වෙනවා. සියවස් කීපයකට පෙර ස්ථුපයේ උඩ කොටස කඩා වැටී ඒ සුන්බුන්වලට මුළු යට කොටසම වැසී පැවතුණා. මේ කඳු ගැටය කිරිබඩපවු දාගැබ, කිරිබත්වෙහෙර ගිරිභණ්ඩ යන නම්වලින් හඳුන්වා තිබුණා. එහෙත් ස්ථුපය අසල පිහිටි පළමුවැනි සියවසට පමණ අයත් සෙල්ලිපියක කණ්ඨක චේතියට (කටක චෙත) පූජා කළ පූජාවක් ගැන සඳහන් කෙරෙනවා. ශෛලමය සන්නසකින් විස්තර කෙරෙන ඒ පූජාව අසල ඇති ස්ථුපයට කරන ලද පූජා වශයෙන් සැලකීම හේතු සහිත බැවින්, එම සෙල්ලිපිය අසල ඇති නටබුන් කණ්ඨක චේතිය  ලෙස මහාචාර්ප පරණවිතාන නම් කර තිබෙනවා. දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රිස්තු පූර්ව 250-210 පමණ) කණ්ඨකචේතිය අවට ගල්ගුහා සැට අටක් පිහිටුවීමේ කටයුතු ඇරඹුවේයැ යි මහාවංසයේ දහසය වැනි පරිච්ඡේදයේ 12-13 යන ගාථාවල සඳහන් වන විස්තරයෙනුත්, මෙම නිගමනය තවත් ස්ථිරකර ගැනීමට අවස්ථාව ලැබුණා. 

(පුරාවිදු පරියේසන- සෙනරත් පරණවිතාන).

වාහල්කඩක අලංකාරය-gamana.lk

නමුත් ඉතින් මේ දාගැබ හැදුවෙ කවුද කියන ගැටලුවට නම් තවමත් ඉතිහාසයෙන් පිළිතුරක් ලැබී නැහැ. ලජ්ජිතිස්ස රජු (ක්‍රි. පූ. 119-109) මේ දාගැබට ගල් කංචුකයක් කරවූ බව මහාවංසයේ සඳහන් වෙනවා. 

කණ්ඨක චේතිය ලංකාවේ මුල්ම යුගයේ ඉදිවූ දාගැබ් අතරට අයත් වෙනවා. මුල් ස්ථුපය ක්‍රිස්තු පූර්ව පළමුවැනි සියවසට පෙර ඉදිකරන ලද බවට සැලකෙනවා. එමෙන්ම පසුකාලීන අලුත්වැඩියාවලට ලක්වී නැති නිසා එහි පුරාණ ස්වරූපය වෙනස් නොවී පැවතීමත් විශේෂිත කරුණක්.

බ්‍රාහ්මී අකුරෙන් ලියන ලද සෙල්ලිපි කීපයක් මේ ස්ථුපය අවට කඳුබෑවුමේ ලෙන්වල දකින්න පුළුවන්. තවමත් මේ අවට වනගත වටපිටාව පුරාණ ආරාමීය පරිසරය සිහිපත් කිරීමට සමත්.

වාහල්කඩ කැටයම්

වාහල්කඩවල හස්ති සහ හංස කැටයම් – lanka-excursions -holidays.com

ලංකාවේ පැරැණිම බෞද්ධ මූර්ති කැටයම් හමුවන්නේ මිහින්තලේ කණ්ඨකචේතියෙන්. ඒවා ඇත්තේ දාගැබේ වාහල්කඩවල යි. මෙහි සිව් දිසාවේ වාහල්කඩ හතරක් තිබෙන අතර ඉන් දෙකක් හොඳින් ආරක්ෂා වී පවතිනවා. ඒ, නැගෙනහිර සහ දකුණු වාහල්කඩ යි. ගඩොලින් තනා ඇති වාහල්කඩවල කැටයම් කළ හුණුගල් පුවරු අල්ලා තිබෙනවා.

ඈතට පෙනෙන දාගැබ- faceboook

මේ වාහල්කඩ පිළිබඳව මහාචාර්ය පරණවිතාන මෙසේ සඳහන් කර සිටිනවා:

“සුන්බුන් ඉවත් කළ පසු දාගැබ් අණ්ඩයේ පහළ කොටසක් මළුවට සම්බන්ධකොට එක පිට එක තනා තිබුණු පේසාවළලු තුනත්, වාහල්කඩ හතරත් හෙළි විය. මෙරට වෙනත් කවර පුරාතන දාගැබක වුව;ද දකින්නට නැති තරම් හොඳින් මේ වාහල්කඩ දෙකකුත්, පේසාවළලු තුනත් ආරක්ෂා වී තිබිණි. පේසාවළලු තුන කොඳුවලින් යුක්ත ය. මේ අතින් එය අනුරාධපුරයේ මිරිසවැටියට සමාන වේ. වෙනසකට ඇත්තේ, මිරිසවැටියේ මූණත ගඩොලින් බැඳ තිබීමත්, කණ්ඨක චේතියේ රුවන්මැලිසෑයේ මෙන් හුණුගලින් බැඳ තිබීමත් ය.”

(පුරාවිදු පරියේසන- සෙනරත් පරණවිතාන)

පුරාණ බිතුසිතුවම්

අනුරාධපුර යුගයේ සිතුවම් – lanka-excursions -holidays.com

මිහින්තලේ කණ්ඨක චෛත්‍යයට නැගෙනහිරින්, තිඹිරි පොකුණට ඉහළින් කඳුගැටයක පිහිටි ස්ථුපයක ගර්භයේ තිබී අනුරාධපුර යුගයට අයත් සිතුවම් කොටස් හමුවී තිබෙනවා. දාගැබේ යූප ගලේ තිබූ අක්ෂර අනුව මෙම සිතුවම් ක්‍රි. ව. 7-8 ශතවර්ෂවලට අයත් බව සැලකෙනවා. අඩි 88ක විෂ්කම්භයකින් යුත් එය 1951 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්  කැණීම්කර තිබෙනවා. මෙහි ධාතු ගර්භයේ ඇතුළත චිත්‍ර 28ක් පමණ දක්නට ලැබුණා.    

“යටිකය වළාකුලින් වැසුණා වූ දේව රූප ඒ සිතුවම්වලින් නිරූපණය කරයි. රතු සහ කළු යන වර්ණ දෙක යොදන ලද මූල රේඛාවන්ගෙන් පමණක් යුක්ත වූ මේ සිත්තම් චිත්‍ර ශිල්පය අතින් ඉතා වැදගත් වෙයි. රේඛාවන්ගේ ලාලිත්‍යය, රූපයන්ගේ හැඩය, දර්ශනයේ සමබර ස්වභාවය ආදි ශිල්ප නිපුණත්වයක් එහි දැක්වෙයි. නිදන් සොරුන්ගෙන් පහරලත් පසු ගර්භය සුන්බුන්වලින් වැසීමට මත්තෙන් එහි රැස් වූ ජලයෙන් බිත්තිවල පහළ කොටසෙහි බදාම දිරාපත්ව, ගලවා හැලෙන ලද්දේ ය. වාසනාවකට මෙන් එහි සිත්තම් නොවී ය. මෙම චිත්‍ර තිබුණු දාගැබ පසුකලෙක පිළිසකර කළ බවට සාක්ෂි නොමැති වූයෙන් දාගැබ මුලින් කළ අවධියටම ඒ චිත්‍ර අයත්යැ යි සැලකීම යුක්ති සහගත ය”. 

(පුරාවිද්‍යා පාලන වාර්තාව 1951)

මෙම බිතුසිතුවම් සහිත බදාම කොටස් කාටත් දැකගත හැකි පරිදි  මිහින්තලේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත්කර තිබෙනවා.

සිව්වන මහින්ද රජුගේ පුවරු ලිපි

පුවරු ලිපි පිහිටුවා ඇති අන්දම – wikipedia.org

ක්‍රි. ව. 10වන ශතවර්ෂයේ අනුරාධපුරය අග නගරයකොට ගනිමින් රජකම් කළ සිව්වන මිහිදු රජුට (ක්‍රි. ව.956-972) අයත් මෙම පුවරු ලිපි දෙක මිහින්තලේ කඳු පාමුල දාන ශාලාව අසල දී දැකගත හැකියි. එක්‌ පුවරුවක්‌ පේළි 58 බැගින් යුත් පුවරු යුගලයකින් සෙල්ලිපිය සමන්විත යි.

දැනට හමුවන සුවිශාලම සෙල්ලිපි අතරින් එකක් වන මිහින්තලා සෙල්ලිපිය මඟින් එම යුගයේ විහාර පාලනයේ සංවිධානාත්මකබව පිළිබිඹු කරනවා. එය මිහින්තලා විහාරාරාම පරිපාලනය, භික්ෂූන්වහන්සේ කෙරේ බලපවත්වනු ලබන නීති රීති, භික්ෂූන් සම්බන්ධ විෂයයෙහි රාජ්‍ය මැදිහත්වීම්, අරම්වැසි සේවක කාරකාදීන්ගේ වේතන හා දීමනා, ආරාමික ආදායම් මාර්ග හා වෙහෙර දාගෙය ආදී වෙසෙස් පරිශ්‍රයන්හි කටයුතු පිළිබඳ තොරතුරු රාශියක් අඩංගු යි. මෙම ලිපිවලට අනුව එකල මිහින්තලේ විහාරයේ සේවකයන් 170 දෙනකු සිටි බව පැවසෙනවා.

පළමු වැනි පුවරු ලිපිය

ආරාම පාලනයට දුන් උපදෙස් – lanka-excursions -holidays.com

පළමුවැනි පුවරු ලිපියෙන් විහාර ආදායම් හා වියදම් පිළිබඳ  ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධව නීතිගත කෙරුණු විස්තර අඩංගු වෙනවා. ආදායම් හා වියදම් වාර්තා පවත්වා ගැනීම, මාසික ගිණුම් පිළියෙල කිරීම, සහ වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ප්‍රසිද්ධියට පත් කිරීම ආදී කරුණු නියෝග වශයෙන් මෙයට අන්තර්ගත කොට තිබෙනවා. භික්ෂු සංඝයාට රජයෙන් කළ සැලකිලි ගැන ද එහි විස්තර අඩංගු යි. භික්ෂූන් විසින් පිළිපැදිය යුතු චාරිත්‍රවාරිත්‍ර ගැනත් එහි කරුණු සඳහන්කර තිබෙනවා.

මිහින්තලේ එකල තිබූ සිද්ධස්ථාන ගැනත් මෙහි සඳහන් වෙනවා. ඒවා නම් ඇත්වෙහෙර, කණ්ඨක චෛත්‍යය, කිරිබඩපව් දාගැබ, මගුල් මහ සල පිළිම ගෙය, මහබෝ ගෙය, නාථ දේවාලය, දාගේ පිළිමගෙය, අම්බස්ථල දාගැබ, බත්ගෙය ආදිය යි.

පැරණි ලංකාවේ ආරාම පරිපාලනයේ ස්‌වරූපය හා බදුක්‍රම පිළිබඳවත්, ආරාමයක ගිහි නිලධාරී පන්තිය පිළිබඳවත් තොරතුරු රැසක්‌ මෙහි අඩංගු වෙනවා. මේ ලිපිය භික්‌ෂු කතිකාවතක්‌ ලෙස ද සැලකිය හැකි බවට මහාචාර්ය ඒ. වී. සුරවීර ස්‌වකීය “සිංහල කතිකාවත් හා භික්‌ෂු සමාජය” ග්‍රන්ථයේ සඳහන් කරනවා.

දෙවන පුවරු ලිපිය

ලිපිවල සඳහන් අක්ෂර- lanka-excursions -holidays.com

චේතියගිරි විහාරයේ (මිහින්තලය) පාලක ස්වාමීන්වහන්සේට හා සෑම තරාතිරමකම සේවකයින් වෙනුවෙන් ලබා දිය යුතු දීමනා නියම කිරීම හා විහාරයට අයවිය යුතු බදු  දීමනාවන් සම්බන්ධ තොරතුරු මෙම පුවරු ලිපියෙන් විස්තර කෙරෙනවා. විහාරාරාම ආදායම පාලනය කිරීම ද භික්‌ෂූන් වෙත පවරා දී තිබු බවට මින් තොරතුරු දත හැකියි. එමෙන්ම උසස්‌ නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්‌වා අදාළ වැටුපක්‌ නියමකර තිබූ බවත්, ඒවා විහාරාරාම ආදායමෙන් ගෙවිය යුතු බවත් තොරතුරු දැක්‌වෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ශ්‍රී ලංකාවේ පුරාණ උරුමය –අංක 1 – සිරිසමන් විජේතුංග

සිවුර සහ නගුල- රණවීර ගුණවර්ධන

සිංහල ශිෂ්ටාචාරයේ උදාගිර- මිහින්තලේ- අනුරාධ සෙනෙවිරත්න

කවරය- මිහින්තලේ පුදබිම-polarsteps.com

Related Articles