Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලක්දිව සොඳුරු ම වෙරළ තීරයන්

වසර පුරා හිරු එළියෙන් නැහැවෙන ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ සොඳුරු වෙරළ තීරයක් හිමි රටක් ලෙස ලෝක ප්‍රසිද්ධ යි. බොහෝමයක් විදෙස් සංචාරකයින් ශ්‍රී ලංකාව කරා ඇදී එන්නේ තඹවන් වැල්ලෙන් වැසුණු සොඳුරු වෙරළ තීරයක වැතිරී හිරු රැස්වල උණුසුම විඳින්නට යැයි පැවසීම බොරුවක් නෙවෙයි.

දෙස් විදෙස් සංචාරකයින් අඩුවක් නැති ව දක්නට ලැබෙන ලක්දිව වෙරළ තීරයන් අතරින් වඩාත් ශෝභමාන දසුන් මවන සොඳුරු වෙරළ තීරයන් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

උණවටුන

(©Iris Liu)

කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 140 ක් දකුණු දෙසින් පිහිටා ඇති උණවටුන, ශ්‍රී ලංකාවේ දර්ශනීය ම වෙරළ තීරයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නෙමෙයි. කිලෝමීටරයක පමණ භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන අඩ සඳක හැඩයෙන් යුක්ත එය සෙවණ වී ඇත්තේ මනා ව වැඩුණු පොල් අරඹකින්. උණවටුන වෙරළ තීරය දෙපසින් ප්‍රධාන ගොඩබිම පෙන්වන තුඩු දෙකක් දක්නට ලැබෙන අතර එය දුර්ලභ භූගෝලීය පිහිටීමක් ලෙස සැලකෙනවා. මෙයින් වයඹ දෙසින් ඇති තුඩු වඩාත් දර්ශනීය වී ඇත්තේ එය මත වැජඹෙන සුදෝසුදු දාගැබ නිසාවෙන්.

(© Migara Luvis)

බිත්තර දැමීම සඳහා වෙරළට පැමිණෙන කැස්බෑවුන් නැරඹීමට අනගි අවස්ථාවන් සලසා දෙන උණවටුන වෙරළ තීරයේ සංචාරය සඳහා වඩාත් සුදුසු වන්නේ අගෝස්තු – සැප්තැම්බර් අතර කාලය යි. එසේ ම ගල් පර ද්විත්වයකින් ආරක්ෂා වෙමින් ස්වභාවික නාන තාටකයක් නිර්මාණය කර ඇති උණවටුන මුහුදු තීරය, ආරක්ෂාකාරී ව පිහිනීම සහ කිමිදීම සඳහා කදිම ස්ථානයක්.

බෙන්තොට

ලක්දිව නිරිතදිග වෙරළ තීරය හැඩ කරන බෙන්තොට පිහිටා ඇත්තේ කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 64 ක් පමණ දකුණු දෙසින්. නිල් මැණිකක් මෙන් බබළන බෙන්තොට මුහුදු තීරයට නවාතැන් සපයන රන් පැහැ වෙරළ, දෙස් විදෙස් බොහෝමයක් දෙනාගේ සොඳුරු මංගල උත්සවයක සිහිනය සැබෑ කර දෙන බව ප්‍රකට කරුණක්. බෙන්තොට වෙරළ තීරයේ උතුරු අන්තයේ දක්නට ඇති පටු ගං මෝය ‘පාරාදීස දූව’ ලෙස නම් දරන්නේ එහි ඇති සුන්දරත්වය හේතුවෙන් බවට සැකයක් නැහැ.

(© Maite Elorza)

කිමිදීමට සහ ජල ක්‍රීඩාවන් හි යෙදීමට වඩාත් සුදුසු බෙන්තොට වෙරළ තීරය අගෝස්තු මාසයේ අග භාගයේ සිට ඔක්තෝබර් මාසයේ මැද දක්වා සංචාරය සඳහා වඩාත් යෝග්‍ය වෙනවා. සොඳුරු බෙන්තොට වෙරළ තීරයේ නිවාඩුවක් ගත කරන්නන්ට නවාතැන් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මගින් එකවර පුද්ගලයින් 6 දෙනෙකුට නවාතැන් ගත හැකි නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යනවා.

ආරුගම් බොක්ක

(© Jayaruwan Gunathilake)

දැනට ශ්‍රී ලංකාවේ ඇති රළ මත ලිස්සා යාම (surfing) සඳහා වඩාත් සුදුසු මුහුදු තීරය ලෙස ආරුගම් බොක්ක හැඳින්වීම වරදක් නෙමෙයි. මාර්තු සිට ඔක්තෝබර් අතර කාල සීමාව අතරතුර දී සංචාරය සඳහා වඩාත් සුදුසු එය පිහිටා ඇත්තේ කොළඹ නගරයේ සිට කිලෝමීටර් 314 ක් ඈතින්, අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් නගරයට කිලෝ මීටර් 2½ ක් දකුණු දෙසින් ලක්දිව ගිනිකොන දිග වෙරළ තීරයේ යි.

(© Gonzalo Carmen)

රළ මත ලිස්සා යාමට පමණක් නොව පිහිනීම සඳහා ද යෝග්‍ය ආරුගම් බොක්ක, 2004 වසන්ත ඍතුවේ දී අන්තර්ජාතික රළ මත ලිස්සා යාමේ සංවිධානය විසින් පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර රළ මත ලිස්සා යාමේ තරඟාවලිය පැවැත් වූ ස්ථානය බව ඔබ දැන සිටියා ද? එසේ ම ලාහුගල අලි හුවමාරුව පෙනෙන මානයේ පිහිටා ඇති ආරුගම් බොක්ක, වන සතුන් සහ සංක්‍රමණික පක්ෂීන් නිරීක්ෂණ කිරීම සඳහා ද අපූරු තැනක් බව නොකියා ම බැහැ.

මිරිස්ස

(© Chris Nener)

මිරිස්ස යන නම ඇසූ පමණින් ම කාගේත් සිහියට නැගෙන්නේ තල්මසුන් නැරඹීම යි. ශ්‍රී ලංකාවේ දකුණු කොනේ පිහිටා ඇති මිරිස්ස, මනරම් හිරු බැස යාමේ දසුනක් රස විඳීමට කදිම ස්ථානයක් බව පැවසෙනවා. මිරිස්ස තල්මසුන් නැරඹීමට පමණක් නොව කැස්බෑවුන් නිරීක්ෂණයට සහ කිමිදීමට ද සුදුසු යි. වෙරළ තීරයේ සුන්දරත්වය විඳීමට අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා වන කාල සීමාව මැනවින් ගැළපෙන අතර කැස්බෑවුන් නිරීක්ෂණය කරන්නෙක් එහි යා යුත්තේ දෙසැම්බර් සිට මාර්තු අතර කාලයේ යි.

නිලාවේලි

(© Sgananthan)

ත්‍රස්තවාදී ගැටුම් පැවති සමයේ සංචාරකයින්ට තහනම් වූ නිලාවේලි වෙරළ තීරය යළිත් සංචාරකයින් සඳහා විවෘත ව ඇත්තේ ලක්දිව සොඳුරුත ම වෙරළක සුන්දරත්වය විඳ ගැනීමට දෙස් විදෙස් සැමට අවස්ථාවක් සලසා දෙමින්. ත්‍රිකුණාමල නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ උතුරු දෙසින් පිහිටා ඇති එහි දර්ශනීය බව වඩාත් ඉස්මතු වන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා වන කාල සීමාවේ දී බව පැවසෙනවා. කොරල් පර බිඳී යාමෙන් සුසැදි සුදුවන් වැල්ලෙන් සපිරි නිලාවේලි වෙරළ තීරය, උප්පුවේලි නම් කුඩා ගම්මානයෙන් ඇරඹී කුච්චවේලි හි ළඳු කැලෑ දක්වා ඇදී යනවා.

(© Charith Gunarathna)

නිලාවේලී වෙරළ තීරයට නැගෙනහිර දෙසින් පිහිටි පරෙවි දූව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටත ම නොගැඹුරු දියේ කිමිදුම් (snorkeling) ස්ථානයක් ලෙස යි. ජල ක්‍රීඩා සඳහා ද යෝග්‍ය නිලාවේලි මුහුදු තීරයේ දී මනා ව සංරක්ෂණය වූ ජීව පරයක් (live reef) දැක ගැනීමට හැකි අතර එය වර්ණවත් නිවර්තන මසුන් එකතුවකට ද නවාතැන් සපයනවා.

ගල්කිස්ස

මේට්ලන්ඩ්-ලොවීනා ප්‍රේම වෘත්තාන්තය ගැන සාක්ෂි දරණ ගල්කිස්ස වෙරළ තීරය‍, ‘රන්වන් සැතපුම’ ලෙස නම් දරා සිටින්නේ එහි පවතින සුන්දරත්වය හේතුවෙන්. අද වන විට සංචාරක කර්මාන්තයට මෙන් ම කොළඹ රාත්‍රී ජීවිතයට පණ පොවන ස්ථානයක් ලෙස ද එය ප්‍රසිද්ධ යි. මුහුදේ දිය නෑම සඳහා ලක්දිව ජනප්‍රිය ස්ථානයක් වන ගල්කිස්ස වෙරළ තීරය ඒ සඳහා සුදුසු වන්නේ ජනවාරි සහ මාර්තු දක්වා වන කාල සීමාවේ දී සහ අගෝස්තු සිට නොවැම්බර් දක්වා වන කාලයේ දී යි. අනෙකුත් මාසයන් හි ගල්කිස්ස මුහුදු තීරය රළු ස්වභාවයක් ගන්නා අතර දිය වැල්වලින් ද යුතු වෙනවා.

(© Prashant Toprani)

මුහුදු බොක්කක පිහිටා නොමැති නිසා එතරම් ආකර්ෂාකාරී නොවන ගල්කිස්ස වෙරළ තීරය, මනස්කාන්ත හිරු බැස යාමක් සිතුවමකට නගන්නට කදිම ස්ථානයක්.

කවරයේ පින්තූරය : (© Anna Shtraus)

Related Articles