මුල්කිරිගල වට වන්දනාව

මුල්කිරිගල කන්ද-  panoramio.com

පුරාණයේ අපේ ඇත්තන් වට වන්දනාවේ ගිය සිද්ධස්ථාන අතර මුල්කිරිගලට මුල් තැනක් හිමි වුණා. එදා වන්දනාකරුවන් මේ විහාරයට ගියේ බෙලිඅත්ත වීරකැටිය පාරෙන්. බෙලිඅත්තේ සිට විහාරයට දුර කි. මී. 6ක්. මුල් කාලයේ එය ගුරු පාරක්. දැන් නම් විහාරයට යන තෙක් හොඳ මාර්ග පහසුකම් තිබෙනවා. මුල්කිරිගල දකුණු  පළාතේ සංචාරය කරන කාටත් පහසුවෙන් ගොස් සොඳුරු අත්දැකීමක් ලබා ගත හැකි තැනක්. දික්වැල්ල හෝ තංගල්ල හරහා බෙලිඅත්තට පැමිණීමෙන් මේ වෙත ළඟා වීමට පුළුවන්. කොළඹ සිට අධිවේගී මාර්ගය හරහා මුල්කිරිගලට දුර කි. මී. 193ක්. එය වෙත ළඟා වීමට පැය 4ක් පමණ ගත වෙනවා.

රජමහා විහාරය

මැදමළුවේ ලෙන් විහාරය – රචකයාගෙනි

මුහුදු මට්ටමේ සිට අඩි 672ක් පමණ උස් වූ වනයෙන් ගැවසුණු ගල් පර්වතයක ගොඩනගා ඇති මුල්කිරිගල රජමහා විහාරය ප්‍රධාන මළු පහකින් සමන්විත යි. සියඹලා මළුව, පහළ මළුව, මැද මළුව, රජමහා මළුව, උඩහ මළුව යන මළු ඊට අයත් වෙනවා.  පර්වතයෙහි මුදුනට පිවිසීම සඳහා ආසන්න වශයෙන් පියවර 550ක පමණ පඩි තරණය කළ යුතුයි. දේශීය සංචාරකයන් වගේම විදේශීය සංචාරකයන් ද  මුල්කිරිගලට විශාල වශයෙන් පැමිණෙනවා. මේ නිසා විහාරය අසල වගේම කන්දේ ඉහළත් විවිධ විසිතුරු බඩු විකුණන අලෙවි සැල් රැසක්ද අපට දැක ගැනීමට ලැබෙනවා. ඒ වගේම රිළවුන් බහුලව  මුල්කිරිගල කන්දට නගින ඔබට විසුලු කරමින් සැරිසරාවි.

මැද මළුවට පියගැට පෙළ – රචකයාගෙනි

බෑනගල, කොන්දගල, සීලවතී ගල, බිසෝ ගල යන පර්වත හතරකින් මෙම කන්ද වට වී තිබෙනවා. පර්වතය පාමුල දක්නට ලැබෙන්නේ පලොස්පිටිය වැවයි.

පැරණි නම්

ඉහළ මළුවට දුෂ්කර පියගැට පෙළ- hambantotazone.com

බෝධිවංශයෙහි ගිරුවාගල නමින් ද පූජාවලියෙහි මුහුදුගිරි නමින් ද පාලි පොත්වල සමුද්දපබ්බත නමින් ද මේ විහාරය හැඳින්වෙනවා. මුහුන්ද්ගිරි කියන නම මෙහි පිහිටි සෙල්ලිපියකත් සඳහන් කර තිබෙනවා. ඈතට මුහුදු පෙනෙන නිසා මුහුදු ගිරි යන නම යොදාගෙන තිබෙන බව නිසැකයි.

මුල්කිරිගල පුරාණය

ලෙන් විහාරය ඇතුළත- hambantotazone.com

ජනප්‍රවාද සාධක අනුව පැවසෙන්නේ සද්ධාතිස්ස රජු (ක්‍රි.පූ. 137– 119) මේ අවට දඩය‍මේ යන විට විහාරයක් ඉදි කිරීමට ‍යෝග්‍ය භූමියක් මෙහි පිහිටි බව වැද්‍‍දෙකු විසින් ‍පෙන්වා දුන් බවයි. ඒ නිසා  මූ- කිවු- ගල පිහිටි භූමිය පසු කාලයේ මුල්කිරිගල නම් වූ බව පැවසෙනවා. කඳු මුදුනේ තිබෙන දාගැබත් සද්ධාතිස්ස රජු විසින් ඉදි කළ බව විශ්වාසයයි. හත්වන සියවසට අයත් මුල්කිරිගල ශිලා ‍ලේඛන‍යේ සාධක මත ‍මෙම විහාරය එකල රාජකීය අනුග්‍රහය ලැබූ මුල් පෙළේ විහාරයක් ව පැවති බව තහවුරු වෙනවා. 12 වන සියවසට අයත් මානාභරණ රජු‍ගේ කටගමුව ශිලා ‍ලේඛන‍යේ “තලා මුහුද්ගිරි විහාරය” වශ‍යෙන් හඳුන්වන විහාරය මුල්කිරිගල බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. ක්‍රි. පූ. 2 වන සියව‍‍සේ දී කාවන්තිස්ස රජු කර වූ බවට වංශ කථා‍වේ සඳහන් සමුද්ගිරි විහාරයත් මෙය විය හැකි බවට ද අදහස් ඉදිරිපත් වී තිබෙනවා.

උඩහ මළුවේ ලෙන්- රචකයාගෙනි

මුල්කිරිගල විහාර‍යේ ආරම්භය පිළිබඳව නිශ්චිත මත ඉදිරිපත් වී නැතත් අවට ‍ලෙන් පද්ධතිය හා විහාරය ඉදි කිරීමට ‍‍ගෙන ඇති පරිශ්‍රමය අනුව පැහැදිලි වන්‍‍නේ ‍‍‍මෙරටට බුදුදහම ලැබුණු අනුරාධපුර මුල් යුගයේ සිට ම රාජ්‍ය අනුග්‍රහයක් ලද භූමියක් බව යි.

පර්වතය මුදුනේ පොකුණ- රචකයාගෙනි

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සම‍‍යේ දී  විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු ‍කොට ලෙන් කිහිපයක් මහනුවර සම්ප්‍රදා‍යේ පහතරට ශෛලියේ සිතුවමින්  හා මුර්තිවලින් සරසා තිබෙනවා. ලන්‍‍දේසින් මුහුදුබඩ පාලනය කළ අවධි‍යේ ‍මෙම විහාරය පිහිටි කන්ද හඳුන්වා තිබෙන්නේ ‘අඩම්ස් බර්ග් නමින්’.

මුල්කිරිගල මළු

පර්වතයට පෙනෙන ගිරුවා පත්තුවේ ඈත දසුනක්- රචකයාගෙනි

පර්වතයේ විවිධ උස් මට්ටම් කිහිපයකම විහාර පිහිටා තිබෙනවා. මේ ලෙන් විහාර දැක බලා ගනිමින් පර්වතය තරණය කිරීම අපූරු අත්දැකීමක්. විහාරයේ පහළින්ම සියඹලා මළුවේ සංඝාවාසය, කෞතුකාගාරය, විශ්‍රාම ශාලාව ආදී ගොඩනැගිලි පිහිටා තිබෙනවා. ඊට පසු හමුවන පහළ මළුවට, ස්ථූපය, බෝධිය, රජමහා නාලෙන් විහාරය, පදුම රහත් විහාරය, සෙල් ලිපිය, පැරණි සීමා මාලකය, භාණක ලෙන සහ ගිරි ලිපිය අයත් වෙනවා. මැද මළුවට ස්ථූපය, බෝධිය, මැද මළුව ලෙන් විහාරය අයත්. රජමහා මළුවට අයත් වන්නේ සාල ගල් ගේ, සෙල් ලිපිය, පොකුණ, අලුත් විහාරය, නාග විහාරයයි.

පර්වත මුදුනේ උඩහ මළුව

සූවිසි විවරණ සිතුවමක්- panoramio.com

පර්වත මුදුනට පිවිසීමට සෘජු ගල් පර්වතයක කැපූ දුෂ්කර පියගැට පන්තියක් තරණය කළ යුතුයි. ඊට පසු තරමක තැනිතලා ස්වරූපයක් ගත් භූමියක මළුව පිහිටා තිබෙනවා. එහි තැන් තැන්වල වනය වැවී තිබෙනවා. උඩහ මළුවට ස්ථූපය, දෙතිස් ඵල රුහ බෝධිය, ඝණ්ඨාර කුලුන අයත්. මීට අමතරව ගැරඬි කපොල්ල හා අලංකාර පොකුණක් ද මෙහි දැකගත හැකියි.

ගිරුවා පත්තුවේ රමණීය දර්ශනයක් මේ කඳු මුදුනට දැකගත හැකියි. මේ නිසාම සංචාරකයන් කඳු මත සැරිසැරීමට වැඩි කැමැත්තක් දක්වනවා. මුහුදට යන තෙක් පොල් රුප්පා සහ වනපෙත් මැදින් දිවෙන දසුන සිත් සුවපත් කරනා සුන්දරත්වයක් ගෙන දෙනවා.

ගල් ලෙන්

(විහාර ප්‍රතිසංස්කරණයක් ගැන සඳහනක්)- රචකයාගෙනි

කටාරම් කෙටූ ගල් ලෙන් 25ක් පමණ මුල්කිරිගල කන්දේ පැතිර තිබෙනවා. එයින් හතක්ම විහාර ගෙවල්. අනෙක් ලෙන් වවුලන්ට හා වන සතුන්ට වාසභූමි වෙලා. මෙහි පිහිටි ලෙන් විහාර මන්දිරවලින් හමු වන්නේ මහනුවර යුගයට අයත් බිතු සිතුවම් සහ මූර්ති.

සෙල් ලිපි

මුල්කිරිගල ඉතිහාසය පවසන මූලාශ්‍ර අතර සෙල් ලිපිවලට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. භාණක ලෙනේ දැකගත හැකි ලෙන් ලිපිය ක්‍රි. පූ. 2-1 සියවසට අයත්. මඤ්ධිමභාණක උපසෝණ නම් භික්ෂුවගේ ලෙන පැමිණි නොපැමිණි භීක්ෂූන්ට පූජා කිරීම ගැන විස්තර එහි ඇතුළත්. බත සදතිස ලෙන නමින් තවත් ලෙන් ලිපියක් හමුවෙනවා. එහි අර්ථය ස්වාමි වූ සද්ධාතිස්සගේ ලෙන කියලයි. විහාරයේ පොකුණ අසල කොටා ඇති පර්වත සෙල්ලිපියේ කියැවෙන්නේ ගල් පඩිපෙළ කරවීම ගැනයි. ඒ ගිරි ලිපිය ක්‍රි. ව. 9-10 සියවසට අයත් වෙනවා.

බිතු සිතුවම්

තේලපත්ත ජාතකය- Wikipedia.org

මුල්කිරිගල විහාරස්ථානයේ වූ ලෙන් සිතුවම් මහනුවර සිතුවම් සම්ප්‍රදායේ විශේෂ ස්ථානයක් හිමිකර ගන්නවා. ඒවා ඇඳ තිබෙන්නේ පහතරට සිත්තරුන් වීම විශේෂත්වයක්. මෙහි වෙස්සන්තර, තේලපත්ත හා ශිවි වැනි ජාතක කතා විශිෂ්ට ලක්ෂණ පළ කරන බව විචාරක මතයයි. මෙහිලා විශේෂිත සිතුවමක් ලෙස තේලපත්ත ජාතක සිතුවමේ උඩුකය නිරුවත් ආභරණ පැළැඳි කතුන් බෙර හොරණෑ රබන් වාදනයේ යෙදෙන අවස්ථාව  සැලකෙනවා.

(පහළ මළුව විහාර බිතු සිතුවම්)- Wikipedia.org

වෙස්සන්තර ජාතක සිතුවමත් බොහෝ කලා විචාරකයන් අගය කරනවා. එම සිතුවම් අතර රෝස මල්, මිදි පොකුරු යනාදිය දක්වා තිබීම මගින් මෙරට සිතුවම් කලාවට ලැබුණු යටත් විජිත බලපෑම් පෙන්නුම් කරනවා.

ආශ්‍රිත මූලාශ්‍ර

සිංහල වෙහෙර විහාර- ජේ. බී. දිසානායක

Mulkirigala –  Somapala Jayawardhana

www. Archaeology.lk

captions

කවරය- උඩහ මළුවේ ලෙන් විහාර, රචකයාගෙනි

Related Articles