ආනවිලුන්දාවේ කුරුල්ලන් නරඹමුද‍?

කොළඹ – පුත්තලම A3 ප්‍රධාන මාර්ගයේ හලාවත නගරයේ සිට කිලෝමීටර් 15 ක්‌ ගමන් කරන විට ආනවිලුන්දාව ගම්මානයට යන මාවත හමුවෙනවා. කොළඹ සිට ආනවිලුන්දාවට දුර කි. මී. 95ක්. වයඹ පළාතේ වියළි කලාපයට අයත් වුවත් මේ අවට ඇවිදින ඔබට තෙත් කලාපයක සිටින බවක් හැඟේවි. ඒ වැව් හා දියකඩිති සිප එන සිසිල් සුළං ගත වැදෙනා නිසයි.

ආනවිලුන්දාවට යන මඟ (කුසුම්සිරි විජයවර්ධන)

ආනවිලුන්දාව දුම්රිය ස්ථානය පසුකරමින් යන විට මඟ දෙපස ජලයෙන් පිරි පොකුණු සහිත මේ තෙත්බිම ඔබට දැක ගත හැකියි. හැබැයි වියළි කාලයට මේ පොකුණුවල ජලය තරමක් අඩුවෙනවා. ඒ නිසා ආනවිලුන්දාවේ සංචාරයට තරමක වැසි සමයක් තෝරා ගතහොත් වඩාත් හොඳ අත්දැකීමක් ලබාගත හැකිවේවි. මහාමාර්ගය අද්දර වගේම දුරකථන හා විදුලි රැහැන්වලත් කිචිබිචි නද දෙන පක්ෂි සමූහයා ඔබට පවසන්නේ කුරුලු පාරාදීසයකට පැමිණ ඇති බවයි. විශේෂයෙන් අගෝස්තු මාසයෙන් ආරම්භ වන පක්ෂි පර්යටනික කාලයේදී දහස් ගණනක් පක්ෂින් මේ අවට ගස්වැල්වල ලැගුම් ගන්නවා. ඒ වගේම වැව් මැද පිහිටි ගස්වලත් උන් කැදලි තනනවා.

රම්සාර් තෙත්බිමට මඟ පෙන්වන නාම පුවරු (කුසුම්සිරි විජයවර්ධන)

යන්නේ කොහොමද?

ගමන හරිම ලේසියි. දුම්රියෙන් යන්නේ නම් පුත්තලම දුම්රියෙන් ගොස් ආනවිලුන්දාව දුම්රිය ස්ථානයෙන් බහින්න පුළුවන්. බස් රථයෙන් යන්නේ නම් මයියාව හන්දියෙන් බැහැලා අතුරු මාවතේ ගමන් කර ළඟාවිය හැකියි.

ප්‍රධාන ප්‍රවේශ මාර්ගය වන මයියාව මංසන්දියෙන් ඇරඹෙන මාර්ගය ඔස්‌සේ ආනවිලුන්දාව වැව අසලට පැමිණ ඉහළවැව – ඉරක්‌කවෙල පසුකරගෙන නැවතත් උතුරු දෙසින් හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයට පැමිණිමටත් හැකියාව තිබෙනවා. ආනවිලුන්දාව වැව් බැම්මේ සිට සුරුවිල වැව් බැම්ම මතින් සුරුවිල – ගනේගොඩ ගම්මානය හා වෙල්යාය මැදින් පාරු ඇළ දක්‌වා (මුතු පංතිය ධීවර ගම්මානය) ගමන් කර මුහුදු වෙරළට ළඟාවීමටත් පුළුවන්.

ආනවිලුන්දාව දුම්රිය ස්ථානය (කුසුම්සිරි විජයවර්ධන)

පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ආරච්චිකට්‌ටුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ පිහිටා ඇති මෙම තෙත්බිම් අභයභුමියේ උතුරු මායිම බත්තලුඔය – උඩප්පුව මහා මාර්ගයයි. නැගෙනහිරින් හලාවත – පුත්තලම දුම්රිය මාර්ගයට මායිම වෙනවා. දකුණු මායිම සෙන්ගල්ඔයයි. බටහිර මායිම පුත්තලම කලපුවේ සිට දකුණට විහිදෙන පැරණි ඕලන්ද ඇළ හෙවත් පාරු ඇළයි.

වැව් කණ්ඩි අතරින් දිවෙන මාවත් (කුසුම්සිරි විජයවර්ධන)

මෙය අභය භූමියක් වුවද ඒ සඳහා නිශ්චිත ගමන් මාර්ගයක් නැහැ. ගම්මාන ද ඇතුළත් වැව් සහිත තෙත්බිම් පද්ධතියම අභය භූමියට ඇතුළත්. ගම්මානවලට යන මාර්ග ඔස්සේ ඔබට ඒ වෙත ගමන් කිරීමට පුළුවන්.

රම්සාර් තෙත්බිම

ආනවිලුන්දාව වැව (කුසුම්සිරි විජයවර්ධන)

ශ්‍රී ලංකාවේ පවතින අන්තර්ජාතික රැම්සා තෙත් බිම් හයෙන් දෙවැනි වරට ප්‍රකාශයට පත්කරන ලද තෙත්බිම ආනවිලුන්දාවයි. 2001 අගෝස්‌තු මස 03 වැනිදා මෙය ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක්‌ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු අතර එයට පෙර පටන්ම ආනවිලුන්දාව අභය භූමියක් වශයෙන් ප්‍රකාශ කර තිබුණා. හෙක්‌ටයාර් 1357 (අක්‌කර 3393) ක් විශාල මෙම ප්‍රදේශය අභය භූමියක් ලෙස නම් කළේ 1997 ජුනි මස 11 වැනිදායි.

වැව් පද්ධතිය (කුසුම්සිරි විජයවර්ධන)

මෙම තෙත් බිමෙහි විශේෂත්වය වන්නේ මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව් පද්ධතියකින් සමන්විත වීමයි. ඊට පසු කාලයත් සමඟ ස්‌වභාවික තත්ත්වයට පත්වූ තෙත්බිමක්‌ වශයෙන් මෙය වැදගත් වෙනවා.

දොළොස්‌වන ශත වර්ෂයේදී, එනම් පළමුවන පරාක්‍රමබාහු කුමරු දක්ෂිණ දේශය පාලනය කරන සමයේ දී ඒ ප්‍රදේශවල වාර්මාර්ග ඉදිකළ බව මහාවංශය සඳහන් කරනවා. මෙම එල්ලංගා වැව් පද්ධතියත් ඔහු විසින් ඉදිකරන ලද බවයි පැවසෙන්නේ. එල්ලංගා වැව් යනු එකිකෙනට ඉහළ සිට පහළට යනතෙක් සම්බන්ධිත වැව් කිහිපයක් සහිත වාරි පද්ධතියකටයි. වැව් හතක්‌ මෙයට ඇතුළත්වනවා. මහා සාගරයේ සිට මෙම තෙත් බිම දක්‌වා ඇත්තේ කිලෝමීටර් දෙකක්‌ පමණයි.

අභය භුමියේ පිහිටීම (කුසුම්සිරි විජයවර්ධන)

එල්ලංගා වැව්

එල්ලංගා වැව් පද්ධතියට අයත් මෙහි තිබෙන වැව් අතර ප්‍රධාන වැව් පහක් පිහිටා තිබෙනවා. ඒවා පිංකට්‌ටිය (හෙක්ටයාර් 40), මරදන්සෝල (හෙක්ටයාර් 12), ආනවිලුන්දාව (හෙක්ටයාර් 40), සුරුවිල (හෙක්ටයාර් 32) හා මයියාව (හෙක්ටයාර් 50) එම වැව් පහයි. ඊට අමතරව වෙල්ලාවෙල (වෙදාගේවැව) හා ඉරක්‌කාවෙල හෙවත් ඉහළවැව යනුවෙන්ද තවත් කුඩා වැව් දෙකක් ද තිබෙනවා. වෙල්ලාවෙල වැවේ දැනට ජලය රඳන්නේ නැහැ. මේ සියලුම වැව් නොගැඹුරු ඒවා වන අතර උපරිම ගැඹුර මීටර් 4 – 5 ක්‌ පමණ වෙනවා.

මයියාව වැව (කුසුම්සිරි විජයවර්ධන)

තෙත්බිම වැව්වලින් ඔබ්බටද පැතිර පවතින්නේ වැව්වල පිටාර දිය ගලායැම නිසයි. මේ නිසා දියපිරි පොකුණු රාශියක් අවට පැතිර තිබෙන්නේ සුන්දර දසුනක් මවාපාමින්. වැව් පිහිටි ප්‍රදේශයට ඔබ්බෙන් පිහිටි සුවිසල් කුඹුරු යායක්‌ ද අභයභූමියට අයත් වෙනවා. මෙම වැව්වලින් හෙක්ටයාර් 415ක ඉඩම් ප්‍රමාණයක් අස්වද්දනවා.

බටහිර මායිම් ප්‍රදේශයේදී ලවණහැල් ද දක්‌නට ලැබෙනවා. අභය භූමියේ ජල ධාරා වශයෙන් සෙංගල්ඔය, බත්තුළු ඔය හා පාරු ඇළ පිහිටා තිබෙනවා. මේවාට ජලය සැපයෙන්නේ රතඹලා ඔය ද්‍රෝණියෙන්. වර්ෂා කාලයේදී දැදුරුඔය ඔස්‌සේ ජලය ලබන වාරි ඇළකින්ද ආනවිලුන්දාව පෝෂණය වෙනවා.

යටත්විජිත යුගයේ දී නටබුන් වී තිබූ මෙම වැව් පද්ධතිය ඩී. එස්. සේනානායක කෘෂිකර්ම ඇමැතිව සිටි යුගයේදී (1940 දශකයේදී) නැවත ප්‍රතිසංස්කරණය කළා. ඊට පසු මේ අවට යළිත් ජනාවාස ඇතිවී තිබෙනවා. පහතරට වියළි කලාපය තුළ පිහිටා ඇති බැවින් මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1000 – 1500ක්.

ශාක විවිධත්වය ඉහළයි

දිවුල් ගසක් (කුසුම්සිරි විජයවර්ධන)

අභයභූමිය තුළින් ශාක විශේෂ 290 ක්‌ හඳුනාගෙන තිබෙන අතර ඉන් විශේෂ 120 ක්‌ දැවමය ශාක වර්ගයි. විශේෂ 61 ක්‌ පඳුරු ශාක වන අතර විශේෂ 68 ක්‌ පැළෑටි වෙනවා. වැල්වර්ග 34 ක්‌ හා අපිශාක දෙකක්‌ද මෙහි දක්නට ලැබෙනවා. මෙහිදී හමුවන පුපුළු ශාකය ශ්‍රී ලංකාවට ආවේණික දුලබ ඔසුවක්. දේශීයව තර්ජනයට ලක්‌වූ කෙකටිය විශේෂයක් හා කළුවර ශාකයද මෙහි පැතිර පවතිනවා.

සත්ව විශේෂ 274ක්

නිල් පෙඳ බිගුහරයන් (කුසුම්සිරි විජයවර්ධන)

අභයභූමිය තුළින් පෘෂ්ඨවංශික ජීවී විශේෂ 274 ක්‌ වාර්තාවෙනවා. මෙයින් 237 ක්‌ දේශීය විශේෂයි. සමස්‌තයෙන් විශේෂ 10 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකයින්. 19 ක්‌ දේශීය වශයෙන් තර්ජනයට ලක්වූ විශේෂ වෙනවා. මෙහිදී වාර්තා වන මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 47ක් වන අතර උභයජීවී විශේෂ 11 ක්‌ හා උරග විශේෂ 34 ක්‌ ද වාර්තා වෙනවා. මෙයින් මගුරා, දංකොළ පෙතියා, ඉපිලකඩයා, ලංකා බැඳි මැඩියා සහ සිකනලුන් විශේෂ 2 ක්‌ ශ්‍රී ලංකාවට ආවේණිකයි.

පක්ෂි පාරාදීසයක්

බළල් සේරා (කුසුම්සිරි විජයවර්ධන)

ආනවිලුන්දාවට යන්නේ නම් බයිනෝකියුලරයක් රැගෙන යන්න උත්සාහ කරන්න. එය පක්ෂීන් නැරඹීම ලොකු පහසුවක් වේවි. දේශීය පක්‍ෂි විශේෂ 131 කට හා පර්යටනික පක්‍ෂි විශේෂ 37 කට මෙම තෙත්බිම වාසස්ථාන සපයනවා. ශ්‍රී ලංකාවට ආවේණික වළිකුකුළා, අළු කෑඳැත්තා, හීන් කොට්‌ටෝරුවා යන විශේෂ මෙහිදී වාර්තා වෙනවා.

පර්යටනික සමයේදී ජලාශ්‍රිත පක්ෂීන් විශාල ප්‍රමාණයක්‌ මෙහිදී නැරඹිය හැකියි. සේරුන්, සුදු කොකුන්, දියකාවන්, විවරතුඩුවා, නිල්කිතලා, කොරවක්‌කා, බළල්සේරා, සිලිබිල්ලා, වැලිඔලෙවියා, කහකරමල් කිරලා, රත්කරමල් කිරලා, පැස්‌තුඩුවා, පාත්තයින්, වල්තාරාවන් මෙහි වැව්වල ගොදුරු සොයමින් සිටිනු දැකගත හැකියි.

තෙත්බිමේ පොකුණක් (කුසුම්සිරි විජයවර්ධන)

ක්ෂීරපායින් සහ සමනළුන්

සේරුන් (භුෂණ කල්හාර)

තැන් තැන්වල පිහිටි වන වදුලුවල ක්ෂීරපායි විශේෂ 21 ක්‌ ජීවත් වන බව හෙළි වී තිබෙනවා. තර්ජනයට ලක්‌වූ විශේෂ වන හඳුන් දිවියා, වල් බළලා, උණහපුළුවා ඒ අතර සිටිනවා. රිළවුන් මෙහි අතුපතර සරනු ඕනෑම මොහොතක දැකගත හැකියි. ආනවිලුන්දාවෙන් වාර්තා වන සමනල විශේෂ සංඛ්‍යාව 78 ක්. මේ නිසා සමනලුන් නැරඹීම සඳහාත් මෙම අභය භූමිය කදිම අවස්ථා සපයනවා.

ආනවිලුන්දාව සුරකිමු

පොකුණක දසුනක් (කුසුම්සිරි විජයවර්ධන)

දිගු කලක් සුන්දර පාරිසරික ඉසව්වක් ලෙස පැවති ආනවිලුන්දාවට පසුගිය කාලයේ තර්ජන එල්ලවන බවක් වාර්තා වුණා. ඒ ආසන්නයේ ඉදිවන කර්මාන්ත ශාලාවකින් අභය භූමියට හානි සිදුවිය හැකි බව පරිසරවේදීන් පවසනවා. ඒ වගේම අවට ගස් කැපීමේ අවස්ථා ගැනත් අසන්නට ලැබුණා. ආක්‍රමණික ශාක නිසාත් ජලජ පරිසරය අනතුරකට ලක්වී තිබෙනවා.

අපේ රටේ වටිනා ස්වභාවික සම්පතක් වන අානවිලුන්දාව රැක ගැනීම සියලුම දෙනාගේ වගකීමක්.

කවරයේ රූපය – ආනවිලුන්දාව වැවේ සුන්දරත්වය (කුසුම්සිරි විජයවර්ධන)

මූලාශ්‍ර:

  1. දිවයින Jan 12, 2010 – ආනවිලුන්දාව  ජගත් කණහැරආරච්චි
  2. සිරිලක රක්ෂිත වනාන්තර -කුසුම්සිරි විජයවර්ධන, පහන් ප්‍රකාශන 2010
  3. http://www.sundaytimes.lk/160508/news/photo-focus-anawilundawa-wetlands-under-threat-
  4. www.researchgate.net/publication/260217055_A_Biodiversity_Status_Profile_of_Anawilundawa_Sanctuary_A_Ramsar_Wetland_in_the_Western_Dry_Zone_of_Sri_Lanka

Related Articles