Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෝර්වේ හි ශිලා චමත්කාරය: ට්‍රොල්තුංගා

නෝර්වේ දේශය ශීත දේශගුණයට පමණක් නොව මනස්කාන්ත ස්වභාවික දර්ශනයන් රාශියකින් සපිරුණු රටක් හැටියට ද ප්‍රසිද්ධියක් උසුලනවා. හිමෙන් වැසුණු කඳු බෑවුම්, රිදීවන් දිය සහිත විල් මෙන්ම සුදෝසුදු ග්ලැසියරත් මේ චමත්කාරයේ ප්‍රධාන වගඋත්තරකරුවන් වෙනවා. සංචාරකයෙක් සාමාන්‍යයෙන් නෝර්වේහි සංචාරය කරන්නේ ශීතල හා හිම හා බැඳුණු ස්ථානවල අත්දැකීම් ලබාගැනීමේ අටියෙනුයි.

නෝර්වේ හි අනෙකුත් සංචාරක ආකර්ශනය ඇති ප්‍රදේශ හා සැළකීමේ දී ට්‍රොල්තුංගා විශේෂිත එකක් වෙන්නේ එය සම්පූර්ණයෙන් පාහේ පාෂාණ වලින් නිර්මාණය වී තිබීම නිසායි. ඉදිරියට විහිදාගෙන සිටින දිවක් වැනි ගල් පොත්තක් ඔස්සේ හාත්පස නැරඹිය හැකි මේ ස්ථානයට ඒ නාමය පටබැඳී ඇත්තේත් මේ ගල් පොත්තේ ස්වභාවය නිසායි. සංචාරය හා සම්බන්ධ ලිපි වලට පාඨක ඔබ වැඩි වශයෙන් ප්‍රිය කරන නිසා ට්‍රොල්තුංගා සංචාරය පිළිබඳව ඔබ වෙත වටිනා කරුණු කිහිපයක් ගෙන එන්නට අපි තීරණය කළා.

Javarman /Shutterstock.com

මොකක්ද මේ ට්‍රොල්තුංගාව?

ට්‍රොල්තුංගා යන නොර්වීජියානු වදනෙන් අදහස් වන්නේ ‘යෝධයාගේ දිව’ යන්නයි. මෙය ශිලා පර්වතයක් වන අතර නෝර්වේ හි රින්ගඩැල්ස්වාට්නෙට් නම් විලට මීටර 700 ක් පමණ ඉහළින් පිහිටා තිබෙනවා. මෙහි විශේෂ පිහිටීමට හේතු වී තිබෙන්නේ මීට වසර 10000කට පමණ පෙර සිදු වූ ග්ලැසියර ඛාදනයකුයි. ඇත්තෙන්ම තවමත් ට්‍රොල්තුංගාවට යන මඟ හාත්පස කඳුමුදුන් වල මනස්කාන්ත ග්ලැසියර දකින්නට පිළිවන්.

ට්‍රොල්තුංගා යන අතරමග – viaggiosoloandata.it

ට්‍රොල්තුංගාව නැරඹීමට යාමේ සවාරියත් ඉතා සුන්දර අත්දැකීමක්. සාමාන්‍ය පා ගමනින් මේ ස්ථානය නැරඹීමේ සවාරිය තනි දිනකින් නිමා කිරීම අපහසු වන අතර පසු කාලීනව හඳුන්වාදුන් රේල් හා කේබල් කාර් ගමන් සේවාව නිසා එය තනි දිනකින් නරඹා පැමිණීමේ අවස්ථාව සංචාරකයින්ට ලැබුණා. කෙසේ නමුත් 2010 වසරේ දී මේ සේවාව අත්සිටවුණු අතර සංචාරකයින් හාත්පස චමත්කාරය නරඹමින් මේ සංචාරය පා ගමනින්ම යාම ප්‍රිය කිරීම, හා කේබල් කාර් පා ගමනටත් වඩා අනතුරුදායක වීම ඊට හේතු වී තිබුණා.

ට්‍රොල්තුංගාව පිහිටා ඇත්තේ කොහේද?

නෝර්වේ හි ඔඩ්ඩා නම් ගම්මානය ට්‍රොල්තුංගාවට ආසන්නම ගම්මානයයි. මෙය පිහිටා ඇත්තේ සැෆියොඩින් සමුද්‍ර තීරයේ දකුණු කෙළවරට වන්නටයි. මෙය නෝර්වේ හි අගනුවර වන ඔස්ලො සිට පැය කිහිපයක ගමනකින් ළඟා විය හැකි ප්‍රදේශයක් වෙනවා. ට්‍රොල්තුංගාවට යන පා ගමන ආරම්භ කළ යුතු ස්ථානය ‘ස්චෙගිඩල්‘ ලෙස හඳුන්වනවා.

ට්‍රොල්තුංගා සවාරියේ ආරම්භක ස්ථානය-nordiksimit.org

ට්‍රොල්තුංගාවට යන පා ගමනේ වගතුග

ට්‍රොල්තුංගාවට යන මාර්ගයෙහි වාහනයකින් යා හැකි උපරිම දුරේ ඇති නැවතුම් ස්ථානයේ සිට පළමු කිලෝමීටරය සම්පූර්ණයෙන් පාහේ සමන්විත වන්නේ සීඝ්‍ර නැග්මක් සහිත ගල් පඩි පේලියකිනුයි. මෙහි තැනින් තැන ගල් පර්වත ඇති ස්ථාන හමුවන අතර සංචාරකයින්ගේ පහසුව සඳහා අවශ්‍ය ස්ථාන වල කඹයක් මෙන්ම ගල් විද සාදන ලද ආධාරක ද සවි කර තිබෙනවා. මේ පළමු කිලෝමීටරය ගමනෙහි එක් අපහසු ප්‍රදේශයක් වන අතර ගමන් වෙහෙස නොදැනෙන්නේ හාත්පස දර්ශනයේ ඇති චමත්කාරජනක බව නිසා සහ පරිසරයේ සුවදායක බව නිසායි.

ට්‍රොල්තුංගා ගමනේ අසීරුම ස්ථානයක්-Bjørn Heidenstrøm

පා ගමනෙහි දෙවන අදියර හෙවත් පළමු කිලෝමීටරයේ සිට දෙවන කිලෝමීටරය දක්වා කොටසෙහි එතරම් තීව්‍ර නැගීම් හමු වන්නේ නැහැ. මේ කොටස නිම්න භූමියක ලක්ෂණ පෙන්නුම් කරන අතර වසරේ සමහර කාලයක වගුරු ලක්ෂණ ද පෙන්වනවා. ගිමන් හැරීම සඳහා කුටි කිහිපයක් ද, පිරිසිදු ජලය සහිත දිය දහරා කිහිපයක් ද මේ කොටසේ දී සංචාරකයින්ට දැකගන්නට පිළිවන්.

දෙවන කිලෝමීටරයෙන් පසු නැවතත් තීව්‍ර නැග්මක් හමුවෙනවා. මේ කොටස විශාල ගල් පොත්තක මුහුණතක් වන අතර ලිස්සා වැටීමේ අවදානමක් සහිත බැවින් ප්‍රවේශම් විය යුතුයි. විශේෂයෙන් හිම දිය වී යන කාල වල දී මේ ස්වභාවය වැඩි වශයෙන් අත් විඳින්නට පිළිවන්.

ගමනෙහි තෙවන කොටස අවසන නැවත භූමිය තැනිනලා එකක් බවට පත් වන අතර කුඩා විලක් හමු වනවා. ඉන් අනතුරුව ඇත්තේ බැස්මකුයි. මේ කොටස දිව්‍යමය චමත්කාරයක් සහිත එකක් වෙනවා. මෙලෙස මද දුරක් ගිය පසු නැවත සීඝ්‍ර නැග්මක් හමු වන අතර ඉතා දැඩි ශීතලක් මේ ප්‍රදේශයේ පවතිනවා. මෙහි ඇති දැඩි ශීතලෙන් ආවරණය වීම සඳහා අවශ්‍ය වුවහොත් භාවිතා කිරීමට කුටි ඉදි කර තිබෙනවා. උණුසුම් කරන ලද ඒවා තුල බ්ලැන්කට්ටු, ආහාර, නිදාගැනීමේ බෑග වැනි දෑ අන්තර්ගතයි.

ඉදි කර ඇති කුඩා කුටි – earthtrekkers.com

පා ගමනෙහි ඊළඟ අදියරේ දී මුල්ම වරට රින්ගඩැල්ස්වාට්නෙට් විලෙහි චමත්කාර දර්ශනයක් සංචාරකයින්ට දැකගන්නට පිළිවන්. නිල් කැටයක් වන ජලය හා හිමෙන් වැසී ගිය මුදුන් සහිත පරිවාර කඳු මවන්නේ ඇස ඉවතට ගත නොහැකි තරමේ චමත්කාරයක්. කෙසේ නමුත් මේ ප්‍රදේශයේ පොළොව මඩ සහිත එරෙන ස්වභාවයක් ගන්නා නිසා ප්‍රවේශම් වීම ද වැදගත් වනවා. මෙතැන් සිට ගමනාන්තය දක්වා ඒ තරම් තීව්‍ර නැගීම බැසීම් හමු නොවන තරම්.

රින්ගිඩැල්ස්වැඩ්නෙට් විල -miriadna.com

පා ගමනෙහි අවසාන කොටසේ දී විශාල ගල් පොත්තක් සංචාරකයින්ට හමු වනවා. එහි අවසානයේ විශාල දුර්ගයක් ඇති අතර පහළට එබී බැලුවහොත් තමන් සිටින්නේ විශාල ලෙස ඉදිරියට නෙරා ගිය ගල් පොත්තක බව සංචාරකයින්ට වැටහෙනවා. මේ කොටස ට්‍රොල්තුංගාවයි. මෙහි සිට පහළ බලන විට රින්ගඩැල්ස්වාට්නෙට් විලෙහි ද හාත්පස විශාල ප්‍රදේශයක ද මනස්කාන්ත දර්ශනයක් පෙනෙනවා. උස් ස්ථාන වල  බොහෝ විට තද සුළං ඇති වන බැවින් සෑම අයුරකින්ම ප්‍රවේශම් වීම සංචාරකයින්ගේ වගකීමක්.

ගමනට ගත වන කාලය

ට්‍රොල්තුංගාවට යන හා එන පා ගමනට සාමාන්‍යයෙන් වර්තමානය වන විට පැය 11 ක් පමණ ගත වෙනවා. එය, සාමාන්‍යයෙන් නැග්මට පැය 6 කුත් රැඳී සිටීමට පැයකුත් බැසීමට පැය 4 කුත් වශයෙනුයි. බොහෝ දෙනා අතරමඟ ඇති කුටි වල නැවතී රැය පහන් කර ට්‍රොල්තුංගාව නඟිනවා.

ට්‍රොල්තුංගාවේ කඳවුරු බැඳීම

ලිපියෙහි පෙර සඳහන් කළ පරිදි ට්‍රොල්තුංගා ගමන එක් දිනකින් අවසන් කළ හැකි වුණත් බොහෝ දෙනා ඒ සඳහා දිනක් දෙකක් හෝ කිහිපයක් ගන්නවා. විශේෂයෙන්ම මෙහි පැමිණෙන සංචාරකයින් අතර කඳවුරු බැඳීම ප්‍රකටයි. ට්‍රොල්තුංගාව පාමුළ හෝ එහි යන මාර්ගය අතරමැද කඳවුරු බැඳීම සිදුකිරීම කිසිදු බාධාවකින් තොරව සිදු කළ හැක්කේ නොර්වීජියානු නීතියට අනුව පොදු දේපලක් ලෙස සැළකෙන ඕනෑම ස්ථානයක එසේ කිරීමට අවසර ඇති නිසායි. කෙසේ වෙතත් කඳවුරු බැඳීමේදී දැඩි සීතල පිළිබඳව නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්නට සිදුවෙනවා.

ට්‍රොල්තුංගා සංචාරයේදී සංචාරකයින් විසින් කඳවුරු බැඳීම සිදු කරනවා -Troltunga Adventures

ඉතින් ඔබටත් කෙදිනක හෝ නෝර්වේ රටට යාමට ලැබුණහොත් මේ මාහැඟි ස්ථානයට සංචාරය කිරීමට අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය – trolltunga-active.com

Related Articles