Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංචාරකයින්ට දොරටු විවර කළ පුරාණ සිරගෙවල්

රටක දේශපාලන ඉතිහාසය හැදෑරීමේ දී අමතක කළ නොහැකි ස්ථානයක් ලෙස බන්ධනාගාර හෙවත් සිරගෙවල් හැඳින්වීමේ වරදක් නැහැ. නීතිය ඉදිරියේ වැරදිකරුවන් වූ දහස් ගණනක් රට වැසියන් රඳවා තබන ලද සිරගෙවල් සියවස් ගණනාවක් තිස්සේ සාමාන්‍ය ජනතාවට ඇතුළු විය නොහැකි තහනම් ස්ථාන වුණා. නමුත් පුරාණයේ භාවිතා කරන ලද සිරගෙවල් කිහිපයක්ම වර්තමානයේ දී සංචාරකයින් සඳහා විවෘතව පවතිනවා. එවැනි සිරගෙවල් කිහිපයක් ගැන තොරතුරු යි මේ.

රොබෙන් දිවයින (දකුණු අප්‍රිකාව)

© Kent Speiran

කේප් ටවුන් ආසන්නයේ ටේබල් බොක්කේ පිහිටා ඇති රොබෙන් දිවයින 17 – 20 වැනි සියවසේ දී විටින් විට බන්ධනාගාරයක් ලෙස මෙන්ම රෝහලක් ලෙස ද භාවිතා කර තිබෙනවා. 1999 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද එය ලොව පුරා වඩාත් ප්‍රකට වුණේ දකුණු අප්‍රිකාවේ ඇපාතයිඩ් නීතිය (රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වූ වර්ණභේදවාදී ක්‍රමවේදයක්) ක්‍රියාත්මක වූ සමයේ භාවිතා කරන ලද අධි ආරක්‍ෂිත සිරගෙයක් ලෙස යි. දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලා ද වසර 18ක කාලයක් රොබෙන් දිවයිනේ රඳවා තබා ඇති අතර, 1990 දශකයේ මුල් කාල සීමාවේ දී එය තව දුරටත් සිරගෙයක් ලෙස භාවිතා කිරීම නතර කර තිබෙනවා. වර්තමානයේ රොබෙන් දිවයින ස්ථිර පදිංචිකරුවන් වන්නේ වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති සත්ත්ව විශේෂයක් ලෙස නම් කර ඇති අප්‍රිකානු පෙන්ගුයින් පක්ෂීන්.

පැරණි මෙල්බර්න් සිරගෙය (ඕස්ට්‍රේලියාව)

© Kris Wang

වර්ෂ 1842 – 1929 අතර කාල සීමාවේ දී කිහිප වතාවක්ම සිරභාරයෙන් පලා ගිය නෙඩ් කෙලී සහ අනවරත ඝාතකයෙකු වූ ෆ්‍රෙඩ්රික් බේලි ඩීමිං වැනි, ඕස්ට්‍රේලියාව සතු වූ දරුණුම අපරාධකරුවන් රඳවා තබන ලද පැරණි මෙල්බර්න් සිරගෙය වර්තමානයේ දී භාවිතා වන්නේ කෞතුකාගාරයක් ලෙස යි. සිරගෙය භාවිතයේ පැවති කාලයේ එහි එල්ලා මරණයට පත් කරන ලද සිරකරුවන් 133 දෙනෙකුගේ මළ සිරුරු භූමදාන කර ඇත්තේ ද බන්ධනාගාර අංගනයේ බවයි සඳහන් වන්නේ. වර්තමානයේ දී පැරණි මෙල්බර්න් සිරගෙයෙහි ඉහළ සංචාරක ආකර්ෂණයක් සතු ප්‍රදර්ශිතය වන්නේ මරණ වෙස්මුහුණු එකතුව යි. යම් සිරකරුවෙකු එල්ලා මරණයට පත්කළ පසු ඔහුගේ හිසේ බදාම තට්ටුවක් ආලේප කිරීම මගින් එම වෙස්මුහුණු නිර්මාණ කර තිබෙනවා.

ඇල්කට්‍රාස් දිවයින (ඇමෙරිකා එක්සත් ජනපදය)

© Joe R. G. Nielsen

සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ පිහිටා ඇති ඇල්කට්‍රාස් දිවයින 1850 දශකයේ දී යුද හමුදා බලකොටුවක් සහ බන්ධනාගාරයක් ලෙස භාවිතා කර ඇති අතර, වර්ෂ 1934 – 1963 කාලයේ දී ෆෙඩරල් චරිතශෝධනාගාරය ලෙස යොදාගෙන තිබෙනවා. පලා යාමට නොහැකි සිරගෙයක් ලෙස සැලකෙන ඇල්කට්‍රාස් දිවයින ප්‍රධාන ගොඩබිමේ සිට කිලෝමීටර් 2ක පමණ දුරකින් මුහුද මැද පිහිටා තිබෙනවා. 1962 වර්ෂයේ දී ජෝන් ඇන්ග්ලින්, ක්ලැරන්ස් ඇන්ග්ලින්, සහ ෆ්‍රෑන් මොරිස් නම් සිරකරුවන් තිදෙනා වැහි කබා යොදාගෙන නිර්මාණය කරන ලද පාරුවක් භාවිතා කරමින් ඇල්කට්‍රාස් දිවයිනෙන් පලා යාමට උත්සාහ කර ඇති අතර, ඔවුන්ට අත් වූ ඉරමණ පිළිබඳව මේ දක්වා කිසිම තොරතුරක් වාර්තා වී නැහැ.

එල්මිනා මාලිගය (ඝානාව)

© Demerzel21 / Deposit Photos

පෘතුගීසින් විසින් 1482 වර්ෂයේ දී ගිනියා බොක්ක පෙනෙන මානයේ ඉදි කරන ලද එල්මිනා මාලිගය මුල් කාලයේ දී යුරෝපා ජාතිකයන් සහ සහරා කාන්තාරය ආශ්‍රිතව වාසය කළ අප්‍රිකානු ජාතිකයන් පොදුවේ භාවිතා කරන ලද වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනුනා. පසු කාලීනව වහලුන් රඳවා තැබීම සඳහා භාවිතා කර තිබෙන එය 1979 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවා. යුරෝපයට යැවීම සඳහා අල්ලාගන්නා ලද දහස් ගණනක් කළු ජාතිකයින් නෞකාවන්ට පටවන තෙක් සිර කර තබා ඇත්තේ එල්මිනා මාලිගයේ යි.

ටුඔල් ස්ලෙන්ග් (කාම්බෝජය)

© Tim Willems

වර්ෂ 1975 වර්ෂයේ දී කාම්බෝජයේ කොමියුනිස්ට් පක්ෂය හෙවත් ඛ්මේර් රූෂ් සංවිධානය විසින් කාම්බෝජයේ බලය අල්ලා ගැනීමෙන් අනතුරුව, එවකට උසස් පාසලක්ව පැවති ටුඔල් ස්ලෙන්ග් ගොඩනැගිල්ල ‘Security Prison 21 (S-21)’ ලෙස නම් කරන ලද රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර තිබෙනවා. එය භාවිතා කර ඇත්තේ ඛ්මේර් රූෂ් සංවිධානය විසින් දියත් කරන ලද ජන සංහාර වැඩසටහනේ දී අල්ලා ගන්නා ලද පුද්ගලයින්ට දරුණු වධහිංසා පමුණුවන වධකාගාරයක් ලෙස යි. වර්ෂ 1979 දී ඛ්මේර් රූෂ් පාලනය බිඳ වැටීමෙන් පසුව, එය ජන සංහාරයේ ගොදුරු බවට පත් වූ මිලියන 1.7ක් පමණ දෙනා සිහි කිරීම සඳහා වන කෞතුකාගාරයක් බවට පරිවර්තනය කර තිබෙනවා.

යක්ෂයාගේ දිවයින (ප්‍රංශ ගයනා)

© Will Jones

අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටා ඇති යක්ෂයාගේ දිවයින අයත් වන්නේ ප්‍රංශ ගයනාවට යි. 1850 දශකයේ මුල් කාලයේ සිට එවකට ප්‍රංශ අධිරාජ්‍යයා වූ තෙවැනි නැපෝලියන්ගේ අණ පරිදි දණ්ඩන යටත් විජිතයක් ලෙස භාවිතා කිරීමේ අරමුණෙන් එය නිර්මාණය කර තිබෙනවා. සියවසකට අධික කාලයක් තිස්සේ දේශපාලන සිරකරුවන් සහ දරුණු අපරාධකරුවන් දහස් ගණනක් එහි රඳවා තබා ඇති අතර බන්ධනාගාර තුළ මරණ අනුපාතය 75%ක් වැනි ඉහළ අගයක් ගත් බවයි සඳහන් වන්නේ. සිරකරුවන් කිහිප දෙනෙකුම යක්ෂයාගේ දිවයිනෙන් පලා යාමට සමත් වී ඇති අතර, වඩාත්ම ප්‍රකට පලා යාම ලෙස සැලකෙන්නේ මිනීමැරීමට වරදකරුවෙක්ව වසර 11ක කාලයක් දිවයිනේ රැඳී සිටි හෙන්රි චැරියර්ගේ පලා යාම යි. පොල් ගෙඩි යොදාගෙන නිර්මාණය කරන ලද පාරුවකින් පලා ගිය ඔහු පසු කාලීනව සිර කඳවුරේ ගත කළ කාලය පිළිබඳව ‘Papillon’ නමින් ග්‍රන්ථයක් පවා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශතෝ දීෆ් (ප්‍රංශය)

© Yann Droneaud

16 වැනි සියවසේ ගොඩ නගන ලද ‘Château d’If’ බලකොටුව ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණේ 1844 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද ඇලෙක්සාන්ඩ්‍රේ ඩූමාගේ ‘මොන්ටි ක්‍රිස්ටෝ’ ග්‍රන්ථ මාලාව හේතුවෙන්. මාර්සේ බොක්කේ පිහිටා ඇති බලකොටුව වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ දේශපාලන සහ ආගමික සිරකරුවන් රඳවා තැබීම සඳහා යි. සියවස් තුනකට අධික කාලයක් තිස්සේ භාවිතයට ගන්නා ලද එය 19 වැනි සියවසේ අවසන් කාලයේ දී වසා දමන ලද අතර වර්තමානයේ දී ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත් ව තිබෙනවා.

කවරයේ පින්තූරය : © Sadana Silhol

Related Articles