උතුරෙන් කතරගමට එන භක්තියේ පාද යාත්‍රාව

කතරගම ඇසළ පෙරහරේ පණිවිඩය රටට මුලින් ම දන්වන්නේ උතුරේ සිට කතරගම බලා එන පාද යාත්‍රාව යි. මෙවරත් පාද චාරිකාවේ යෙදෙන පිරිස් ජූලි 26 වැනි දා වනවිට ඔකඳ දේවාලයෙන් යාල වනාන්තරයට ඇතුළු වුණු බව වාර්තා වුණා. ඔබ මෙය කියවන විටත් වන්දනා නඩ යාල කැලේ හරහා දුක් විඳිමින් කතරගම දෙවිඳුන් නැමදීමට ගමන් කරනවා.

අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සිදුකරන මෙම පා ගමනට මෑතක සිට සොබාදහමට මෙන් ම චාරිකාවලට කැමති විවිධ පිරිස් ද එකතුවීමටත් පටන් අරන්.

පාද යාත්‍රාව ගමන් ගන්නා මාර්ගය- padayatra.org

 උතුරෙන් නැඟෙනහිරින් පැමිණ වන මැදින්

යාපනය, නාගදීප, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකළපුව ආදී ප්‍රදේශවල සිට එලෙස කණ්ඩායම් වශයෙන් පැමිණෙන බැතිමතුන් පානම ඔකඳ දේවාලයේ දී මුරුගන් හෙවත් කතරගම දේවියන්ට පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගෙනයි මහ වනයට ඇතුළු වන්නේ. තවත් පිරිසක් මඩකලපුව, කොමාරි, අම්පාර, පොතුවිල් සහ අරුගම්බේ යන මාර්ග ඔස්සේ ද පානමට පැමිණෙනවා.

බෞද්ධ පිරිස් ද මෑතක සිට පානමට පැමිණ හින්දු බැතිමතුන් සමඟ එක් ව ගමන් කරනු දකින්න පුළුවන්. සමහර අවස්ථාවල දී විදේශිකයන් කිහිප දෙනෙක් ද පිටරට සිට පැමිණ මේ චාරිකාවට එක් වෙනවා. ඔවුන් යාල නැඟෙනහිර හෙවත් කුමන ජාතික වන උද්‍යානයට පිවිසේනේ ඔකඳ දේවාලය අසලිනු යි. පානමින් කිලෝමීටර 16ක් දුරින් තමයි ඓතිහාසික දෙවොලක් වන ‛ඔකඳ’ පිහිටා තිබෙන්නේ.

 ඔකඳ දේවාලයෙන් ආශිර්වාද ලබා ගනිමින් – prashanth.blogspot.com

යාල මහ වනය හරහා

පානම ගම්මානය පසු කර කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම බලා ගමන් කරනවා. ඔවුන් මේ ගමනේ වැඩි කොටසක් ගමන් කරන්නේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් යාල වනෝද්‍යානය මැදිනු යි. කලකට පෙර උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාව මගින් කලකට වසරකට 35000 ක් පමණ බැතිමතුන් කතරගම පුරවරයට පැමිණි බව සඳහන් වෙනවා.

අද වන විට එය 5000ක් පමණ දක්වා අඩුවෙලා. කණ්ඩායම් වශයෙන් සෑදි පේවී පැමිණෙන මෙම බැතිමතුන් දින 20 -25ක් වැනි කාලයක් වන්දනා ගමන සඳහා ගත කරනවා. මේ අවුරුද්දේ යාපනයේ සිට කතරගම බලා පාගමනින් පැමිණෙන වන්දනාකරුවන් චාරිකාව ආරම්භ කළේ පසුගිය ජුනි දෙවැනි සතියේ යි. ඔවුන් දින 40කට වැඩි කලක් ගමන් කර කතරගමට පැමිණෙන්නේ එහි ඇසළ උළෙල ඇරඹෙන ජුලි අග සතියේ යි.

 දුෂ්කර මඟක් ගෙවමින් – padayatra.org

 

ඇසළ පෙරහර දිනයට මාසයකට පමණ පෙර යි වන්දනා නඩ ත්‍රිකුණාමලය, යාපනය, කිලිනොච්වීය, සහ මඩකළපුව වැනි ප්‍රදේශවලින් සිය ගමන් අරම්භ කරන්නේ. අද වනවිට තවත් පිරිසක් පානම හා කුමනට රථවාහනවලින් පැමිණ මේ දුෂ්කර පාද යාත්‍රාවට එක් වෙනවා.

මහා වනාන්තරය මැදින් දින 10ක් පමණ ගමන් කරන්නේ අතරමඟ කඳවුරු තනා නවාතැන් ගනිමින්. ඔවුන් වනමැද ආහාර පිසීමත් කරනවා. ඒ සඳහා අවශ්‍ය හට්ටි, මුට්ටි ආදියත් රැගෙන තමයි එන්නේ.

කුඩා දරුවන් ද සමඟ – facebook.com/groups/Travelguidesrilanka/Lakshitha Chirath

 

මේ ආහාර සම්පූර්ණයෙන් නිර්මාංශ යි. කතරගම පෙරහර මංගල්‍යය පැවැත්වෙන පුරා දින 15 පුරා ම මෙලෙස වරින් වර පාද යාත්‍රාවෙන් කතරගම පුරයට බැතිමතුන් පැමිණෙනවා.

පාද යාත්‍රාවේ යෙදෙන බැතිමතුන් වනෝද්‍යානය හරහා කිලෝමීටර 110ක් පමණ දුර ගෙවා තමයි කතරගම පුදබිමට ළඟා වන්නේ. යාල මහා වනය මැදින් යන ගමනට ගතවන කාලය දින 10 පමණ වෙනවා.

 කතරගම පුදබිමට පැමිණි පාද යාත්‍රා වන්දනාකරුවෝ – serendib.btoption.lk

දේව කතා

අතීතයේ සිට මේ පාද යාත්‍රාව හා බැඳුණු රසවත් කතා බොහොමයක් පවතිනවා. වල්ලි දෙවඟන සරණ පාවා ගැනීමට පැමිණි කඳ කුමරුන් ඔකඳ මුහුදු වෙරළට පැමිණණ ඇත්තේ රන් ඔරුවකින් බව දේව කතාවල දැක්වෙනවා. එ තැන් සිට පා ගමනින් මහා වන මැදින් ස්කන්ධ කුමරු ගමන් කිරීම ආරම්භ කළා.

මේ අතර කඳ කුමරුන් පැමිණි රන් ඔරුව දැක මිනිසුන් පිරිසක් එය බෙදා ගැනීමට ගහ මරා ගැනීමට යන බව කඳ කුමරුන්ට දැනී තිබෙනවා. එනිසා ඔහු ආපසු පැමිණ රන් ඔරුව ගල් කර ඔරුව අනිත් පැත්ත පෙරළා දමා තිබෙනවා. ඉන්පසු තමයි කතරගමට පැමිණ ඇත්තේ.

වනමැද ආහාර පිසීම – facebook.com/groups/Travelguidesrilanka/Lakshitha Chirath

 

ගල්කළ ඔරුව යයි විශ්වාස කරන ගල්පර්වතය පානමට නුදුරින් ඔකඳ මහ මුහුදේ පිහිටා තිබෙනවා. එය ඔරුවක හැඩය ගත් ගල් පව්වක්. එදා කඳ කුමරුන් පැමිණි මාර්ගයේ තමයි අද බැතිමතුන් පාද යාත්‍රාව මඟින් පැමිණෙන්නේ.

වන්දනාවේ යමු පේවීලා

පසුකාලීන ව ඔකඳ සිට කුමන, මඩමෙතොට, පිළින්නාව, කටුපිල, වරහන, කටගමුව, කොච්චිපතාන හරහා කතරගම පිහිටි වැඩහිටි කන්දට කතරගම දෙවියන් පැමිණි බව විශ්වාස කෙරෙනවා.

තමන් බලන්නට එන දෙමළ ජනතාව ද තමන් ආ ලෙස ම පා ගමනින් ආයුතු බවට නියම කළ දඬුවමකට අනුව මෙසේ පාද යාත්‍රාවෙන් මහ කැලෑව හරහා කතරගම බලා යන්නේ යැයි පානම වැඩිහිටියන් අතර පවතින ජනප්‍රවාදයක කියවෙනවා.

 යාල වනය මැදින් ගමන් කරමින් – gatewaytoeast.com

 

‘කතරගම පාද යාත්‍රාව’ ශ්‍රී ලංකාවේ පවත්වන දිග ම ආගමික වන්දනා පාද චාරිකාව ලෙස හැඳින්විය හැකි යි. එහි ඉතිහාසය ගැන නිශ්චිත සාක්ෂි නම් හමුවන්නේ නැහැ. වසර සියයකට වැඩි දිගු ඉතිහාසයක් ඊට තිබෙන බව සැලකෙනවා.

නැගෙනහිර පළාතේ වාකරේ ආශ්‍රිත ව විසූ දෙමළ සම්භවයක් ඇති වැදි ජනතාව මුලින් ම මේ ආකාරයට වනාන්තරය හරහා පා ගමනින් කතරගමට පැමිණ වන්දනාමාන කළ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

 වනය මැදින් ගමන් කරමින් – facebook.com/groups/Travelguidesrilanka/Lakshitha Chirath

 

ඉන් පසුව කතරගම දෙවියන් අදහන උතුරු නැඟෙනහිර හින්දු භක්තිකයන් ද මේ චාරිකාවට එක්වී තිබෙනවා. අදත් තරාතිරම නොබලා මාස තුනකට පෙර සිට මස් මාංශ, සුරාපානය ආදියෙන් වැලැකී ‘පේවී’ දැඩි දේව භක්තියකින් තමයි මේ ගමන ඔවුන් එන්නේ.  

මස් මාංශයෙන් තොර ආහාර – facebook.com/groups/Travelguidesrilanka/Lakshitha Chirath

 

මස් මාංශයෙන් තොරව කිලිවලට හසුනොවී අනුන් අඳින ඇඳුම් නොඇඳ සිත කය වචනයෙන්ද මේ පේවීම සිදු කරනවා. පිරිමි මෙන්ම ගැහැනුද පිරිසුදුව පේවීම මෙහි මූලික කටයුත්ත යි.
පාද වන්දනාවට සහභාගී වීමට පෙර බැතිමතුන් බත් වියළා හබල පෙති සාදා ගැනීම දක්නට පුළුවන්. ඒවා සමඟ කිතුල් හකුරු මිශ්‍ර කර රසවත් කෑම පිළියෙල කර ගැනීම පුරුද්දක් ලෙස සිදු කරනවා.

 කහ පැහැයෙන් සැරසී- Silumina.lk

 

පා ගමනේ බැතිමතුන්ගේ ඇඳුම

‘පාද යාත්‍රාවේ’ එන හින්දු බැතිමතුන් හඳුනා ගත හැකි වන්නේ ඔවුන් සැරසී සිටින ඇඳුමෙන්. කෂාවන් ඇඳුමත් නවගුණ වැලත් මොනර පිහාටුවකින් සැරසූ වේලායුදයත් නිසා අතීත වන්දනාකරුවන් මතකයට නැංවුණා.

වර්තමානයේ එහි යම් වෙනසක් පෙනෙනවා. ‘පාද යාත්‍රාවේ’ එන හින්දු බැතිමතුන්ගේ ඇඳුම් ආයිත්තම් ආදිය වෙනස් වී නවීකරණය වී ඇති බව හින්දු භක්තික වැඩිහිටියන් ද පවසන්නේ කනස්සල්ලෙන්.  

 අතරමඟ නවාතැන් ගත් අවස්ථාවක්- prashanth.blogspot.com

වන මැද නවාතැන්

පාද යාත්‍රාවේ පැමිණෙන බැතිමතුන් ගමන අතරමඟ රාත්‍රී ගෙවීමට තෝරා ගනුයේ එදා අතීතයේ දී පාද යාත්‍රාවේ පැමිණි බැතිමතුන් නතර වීමට තෝරා ගත් තැන් පමණයි. කිසිවිටෙකත් එම ස්ථානවලින් පරිබාහිර ස්ථානවල නතරවීමක් සිදු කරන්නේ නැහැ.

යාල වන මැද කුඹුක්කන් ඔය ඉවුරේ ගිමන් හරිමින් – facebook.com/groups/Travelguidesrilanka/Lakshitha Chirath

 

බාගුරා කළපුව, කුඹුක්කන් ඔය, යාල අංක දෙක කලාපය, කටුපිලආර, පිළින්නාව, වරහන, පොත්වල, උඩපොත්වල, කතරගම මැණික් ගඟ, යාල අංක 3 කලාපය, කටගමුව සහ කොච්චිපතාන ඔවුන් එසේ රාත්‍රී නවාතැන් ගන්නා තැන් ලෙස සැලකෙනවා.

බඩුමුට්ටු කර තබාගෙන පා ගමනින් ම කුඹක්කන් ඔය සහ මැණික් ගඟ තරණය කිරීමට වන්දනා නඩවලට සිදුවෙනවා. වගුරු සහ ආරවලින් ඔවුන් ගමන් ගන්නේ බඩු මුට්ටු හිස තබා ගෙන කරවටක් ජලයේ බැස ගෙන යි.

 යාල වන මැද කුඹුක්කන් ඔය තරණය කරමින් -prashanth.blogspot.com

අද වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගමන් මඟේ තැනින් තැන පානීය ජලය ලබා ගැනීමට ප්ලාස්ටික් ජල ටැංකි ස්ථාපිත කොට තිබෙනවා.
අවසානයේ විශාල වෙහෙසකින් පසුව කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන් ආගමික කටයුතුවලට එක්වන්නේ මැණික් ගඟෙන් නා පිරිසුදුවීමෙන් පසුව යි.

ඉන්පසු කතරගම මහ දේවාලයේ පූජා පවත්වා කාවාඩි නැටීමටත් ඔවුන් එක් වෙනවා. ඔවුන් ආපසු ගම්බිම් බලා යන්නේ ආපු පාරෙන් නම් නොවෙ යි. කතරගම පෙරහර අවසන් වීමෙන් පසු ව කතරගම සිට පොදු මගී ප්‍රවාහන බස් සේවා ඔස්සේ ඔවුන් නැවත ගම්බිම් බලා ගමන් කරනවා.

 කතරගමට දැන් ළගයි – serendib.btoption.lk

රජයෙන් මූලික පහසුකම්

මෙම වන්දනාකරුවන්ට අවශ්‍ය මූලික පහසුකම් වන ජලය ආහාර පාන ලබා දීමට පොලිසිය, වනජීවි නිලධාරීන් මෙන් ම රජයේ නිලධාරීන් ද කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් කුමන සිට මහ වනය හරහා අනවසරයෙන් ගමන් කිරීමට බැහැ.

පාදා යාත්‍රාව තිබෙන කාලයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එම මාර්ග විවෘත කර වන්දනාකරුවන්ට ගමන් කිරීමට අවසරය ලබා දෙනවා. එහිදී පැමිණෙන බැතිමතුන් ලේඛනගත කිරීමක් ද සිදුවෙනවා. කුමන සහ කටගමුවේ දී එම ගණන් ගැනීම සිදුවෙනවා. ඕකන්ද දේවාල භූමියේ වන්දනාකරුවන්ට සෞඛ්‍ය සායන සහ ප්‍රථමාධාර කඳවුරු ද පැවැත්වෙනවා.

කවරයේ ඡායාරූපය- ජල මාර්ග තරණය කරමින් කතරගම බලා - serendib.btoption.lk

මූලාශ්‍ර:
Lankadeepa.lk
Silumina.lk
Bbc.com
දුටු නොදුටු කතරගම- කේ. ඩී. දේවප්‍රිය

Related Articles

Exit mobile version