පන්කුලිය අශෝකාරාමයේ සිනහවෙන පිළිමය

අනුරාධපුර පූජනීය නගරයේ පිහිටි නටබුන් ආරාම අතරින් වැඩි දෙනෙක් නොයන, ඒත් ඉතා සුන්දර විහාරයක් තමයි පන්කුලිය අශෝකාරාමය. එහි පිහිටි මඳ සිනහවකින් යුත් හිඳි බුදු පිළිමය අපේ කලාකරුවන්ගේ ඉතා විශිෂ්ට නිර්මාණයක්. සංඝමිත්තා මාවතේ උතුරු දෙසට පෙරිමියන්කුලම පසුකර කි. මී. 2ක් ගමන් කරන විට අශෝකාරාමය වෙත දිවෙන ගුරු පාර හමුවෙනවා. මේ ගම හඳුන්වන්නේ පන්කුලිය කියලා යි. පන්කුලියට ළඟාවීමට හාල්පානු ඇලෙන්  එගොඩ විය යුතු යි. මෙම පෙදෙස උතුරින් වගුරු බිමකින් ද, දකුණින් වෙල්යායකින්, නැගෙනහිරින් මල්වතු ඔයෙන්, හා බටහිරින් විශාල පොකුණකින් ද සිමා වී තිබෙනවා. මේ අවට මොණරුන් බහුලව ගැවසෙනු දැකගත හැකියි. එය අයත් වන්නේ අශෝකාරාම ග‍්‍රාම සේවා වසමට යි.

ජනප්‍රවාද

පන්කුලියේ නටබුන් 1892 දී – H.C.P Bell Archaeology Survey of Ceylon Annual Report -1892

ජනප‍්‍රවාදවල පැවසෙන්නේ දුටුගැමුණු රජුගේ පුත් වූ සාලිය කුමාරයා සිය බිසව වූ අශෝකමාලාගේ නමින් අශෝකාරාමය කරවන ලද බව යි. ඔවුන්ගේ පේ‍්‍රම වෘතාන්තය හා සම්බන්ධ මල් උයනෙහි එය පිහිටා තිබුණු බවත් ජනප‍්‍රවාදයේ කියැවෙනවා. සාලිය විසින් අඩු කුලයේ කාන්තාවක වූ අශෝකමාලාව විවාහකර ගැනුණු නිසා ඔහුට රාජ්‍යත්වය අහිමි වූ බවත්, ඇතුළු නුවරට පිවිසීම ද තහනම් වූ බවත්, ඒ නිසා පූජනීය ස්ථාන වන්දනාකර ගැනීමට නොහැකි වූ හෙයින් නගරයෙන් පිටත මෙම ස්ථානයේ විහාරයක් කරවා වැඳපුදාගත් බවත් පැවසෙනවා.

මෙහෙණි ආරාමයක්

ආරාම ගොඩනැගිල්ලකට පිවිසුම- N. H. Samarasingha-sarisaraweb.wordpress.com

අනුරාධපුරයේ විශාල ආරාම සංඛ්‍යාවක් දැකගත හැකි වුණත් භික්ෂුණීන්, සඳහා වෙන්වූ ආරාම හඳුනාගත හැක්කේ කලාතුරකින්. මෙම විහාරය භික්ෂුණීන් සඳහා වෙන්වූ මෙහෙණවරක් හෙවත් භික්ෂුණී ආරාමයක් බව මෙහි තිබී හමුවූ සෙල්ලිපියකින් පැහැදිලි වී තිබෙනවා. මහාවංසයේ සඳහන් වන පරිදි ක‍්‍රිස්තු වර්ෂ 276ට ආසන්න කාලයේ දී මහසෙන් රජු (ක‍්‍රි. ව. 276 -303) විසින් මෙහෙණවර දෙකක් අභයගිරියට උතුරින් කරවූ බව සඳහන් වෙනවා. එය ‘උත්තර මෙහෙණවර’ ලෙස සඳහන් වෙනවා. එයින් එක් විහාරයක් පන්කුලිය අශෝකාරාමය ලෙස හඳුනාගත හැකි යි. භික්ෂුණීන් සඳහා ථූපාරාමයේ ද ‘හත්ථාල්ලක’ නමින් මෙහෙණවරක් ඉදිකර තිබුණා. සංඝමිත්තා රහත් තෙරණිය වැඩ වාසය කර තිබෙන්නේ ද එම ආරාමයේ යි.

මුරගලක්- Amazing Lanka.com- Nishan Weerasooriya

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම විහාරය පබ්බත විහාර ගණයට අයත් වන බව යි. එය ‘මංජු ශ්‍රී භාෂිත වාස්තු විද්‍යා ශාස්ත්‍රය’ නම් පුරාණ ග්‍රන්ථයේ දැක්වෙන ‘ගෝකුලාරාම වික්‍රාන්ත’ නම් සැලසුමේ පබ්බත විහාරයක්. සියලු පබ්බත විහාරවලට පොදු අංගලක්ෂණ වන පිළිමගෙය, ප්‍රතිමාඝරය, ස්ථුපය, බෝධිඝරය, සහ උපෝසථඝරය යන ගොඩනැගිලි මෙයින් ද හඳුනාගෙන තිබෙනවා. මෙම ස්ථානයේ තිබූ හතර වන මහින්ද (ක‍්‍රි. ව. 956-972) රජුගේ සෙල්ලිපියකට අනුව නව වැනි ශතවර්ශයේ දී මෙම විහාරය ප‍්‍රතිසංස්කරණ කටයුතු කළ බවත්, එය මෙහෙණවරක් උදෙසා කළ බවත් සඳහන් වෙනවා. සෙල්ලිපිය හමුවී තිබෙන්නේ ජන්තාඝර ගොඩනැගිල්ලට බටහිර දෙසින් පිහිටි ගොඩනැගිල්ලක් අසලින්.

මෙහි පිහිටි උපෝසථඝරයේ වරකට භික්ෂූණින් 210කට විනය කර්ම කළ හැකි තරම් විශාල බව ආචාර්ය ඒ. ලගමුව සඳහන් කරනවා.

පන්කුලිය  ගැන ගවේශන

ජන්තාඝර ගොඩනැගිල්ලේ සැලසුම- H.C.P Bell Archaeology Survey of Ceylon Annual Report -1892

පන්කුලිය බුදු පිළිමය පිළිබඳව මුලින්ම සඳහන් කරන්නේ 1887 දී ඒ. අයිවර්ස් විසින්. පසුව පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බෙල් මෙම ස්ථානය පූර්ණ ගවේශනයකට ලක් කරනවා. ඒ ගැන සවිස්තරාත්මක වාර්තාවක් 1892 දී චිත්‍ර සටහන් සහ සැලසුම් ද සහිතව පළ කරනවා.  එම කැණිම්වල දී හමුවූ ලෝහ භාණ්ඩවල කොටස්, මැටි රූප, මැටි උළු ආදිය ගැන ද බෙල් සඳහන් කරනවා.

කැණීම්වලින් හමුවූ මැටි රූප කොටස් – H.C.P Bell, Archaeology Survey of Ceylon Annual Report -1892

පසුව මහාචාර්ය පරණවිතාන, මහාචාර්ය සේනක බණ්ඩාරනායක, ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ඩී. ටී. දේවේන්ද්‍ර, චන්ද්‍රා වික‍්‍රමගමගේ, අනුරාධ සෙනවිරත්න ආදීන් ද මෙම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව අවධානය යොමු කළ විද්වතුන් අතර සිටිනවා. කෙසේ වුවත් අනුරාධපුර නටබුන් නගරයෙන් තරමක් එපිටින් පිහිටි මේ ස්ථානය ගැන බලධාරින් එතරම් උනන්දුවක් දක්වා ඇති බව නම් පෙනෙන්නෙ නැහැ. තවමත් පන්කුලිය සම්පූර්ණ කැණීමක් කර සංරක්ෂණයකර නැහැ. එහි බොහෝ ගොඩනැගිලි පවතින්නේ පොළොව තුළ සැඟවුණු නටබුන් විදිහට යි. 

බුදු පිළිමය

පිළිමයේ ශාන්ත ස්වභාවය – N. H. Samarasingha-sarisaraweb.wordpress.com

අශෝකාරාමයේ හිඳි බුදු පිළිමය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බුද්ධ ප්‍රතිමාව බව බොහෝ විද්වතුන් පවසනවා. එය මඳ සිනහවක් සහිත අප රටේ එකම බුදු පිළිමය ලෙසින් සැලකෙනවා. හුණුගලින් නිර්මාණයකර ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාව මුලින්ම සොයාගන්නා විටත් පොළොවට යටවීම නිසා විනාශවීම් ගණනාවකට ලක්ව පැවතුණා.

බුදු පිළිමයේ පැති පෙනුම – H.C.P Bell, Archaeology Survey of Ceylon Annual Report -1892

මෙම පිළිමයේ උස අඩි හය යි අඟල් නවයක් වන අතර දණහිස් හරහා පළල අඩි හයක්. අභයගිරියේ දෙවන සමාධිය ලෙස හඳුනාගන්නා ආසනඝරයේ ඇති බුද්ධ ප‍්‍රතිමාවත්, පන්කුලිය අශෝකාරාමයේ ඇති මෙම බුද්ධ ප‍්‍රතිමාවත් තරමක් සමාන යි. එච්. සී. පී. බෙල්ගේ ගවේශනයේ දී මෙම පිළිමය බිම වැටී කොටස් දෙකකට වෙන්ව තිබී ඇති අතර, ඔහු එය සංරක්ෂණයකර තිබෙන බව සඳහන්. මෙහි බුදුන් වහන්සේගේ කය ඉතා සුන්දරව, බැතිමතා තුළ ප්‍රසන්න හැඟීම් ජනිත වන ආකාරයෙන් නෙළා තිබෙනවා. උසේ තරමට මහතින් යුත් කය සෘජු යි. තේජාන්විත යි.

පිළිමයේ විශේෂ ලක්ෂණ

බෙල්ට හමුවන විට කොටස් දෙකකට කැඩී තිබූ පිළිමය- H.C.P Bell, Archaeology Survey of Ceylon Annual Report1892

මෙම බුද්ධ ප‍්‍රතිමාවේ ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ හිස මුදුණේ සිරස්පතක් සවිකර තිබු බවට සාධක හමුවීම යි. අඟල් දෙකහමාරක් තරම් ගැඹුරකින් යුත් සිදුරක් ඒ සඳහා බුද්ධ ප‍්‍රතිමාවේ සිරසෙහි හාරා තිබෙනවා. සිරස්පත බුදු පිළිමයට එකතු වන්නේ මහනුවර යුගයේ දී බව පිළිගැනීම යි. බුදු පිළිමයේ උර්ණරෝම ධාතුවක් සටහන්කර නැහැ. මුහුණ ඉතා රවුම් ආකාරයෙන් දක්වා තිබෙනවා. අඩවන් වූ දෙනෙත්, තරමක් දික් වූ නාසය, විශාල නොවු තොල්පෙති හා සිහින් දෙබැම බුදු පිළිමයට පිරිපුන් භාවයක් එක් කරන අංග ලක්ෂණ වෙනවා.

පිළිමයට ඉදිකර තිබෙන ආවරණය-flickr.com

බුද්ධ ප‍්‍රතිමාවේ සිවුර සමාධි පිළිමයේ මෙන් සිරුරටම ඇලී ඇති ආකාරයක් පෙන්නුම් කරනවා. එය ඒකාංශ පාරුපන හෙවත් එක් උරහිසක් ආවරණය වන ආකාරයෙන් තමයි සකස් කර තිබෙන්නේ. වම් උරහිස හරහා වැටි ඇති චීවරය වම් අත මත එකතුකර ගනිමින් වම් කකුල මත විසුරුවා හැර තිවෙනවා. මෙම ප‍්‍රතිමාවේ පිටුපස සිවුරේ රැලි දැක්වීම ද විශේෂ ලක්ෂණයක්. මෙහි දකුණු අතේ ඇඟිලි මැදින් කැඩීගොස් ඇතත් එයින් විතර්ක මුද්‍රාව නිරූපණය වන අතර, වම් අතෙන් කටකහස්ත මුද්‍රාව නිරූපණය වන බව ආචාර්ය චන්ද්‍රා වික‍්‍රමගමගේ සඳහන් කරනවා.   

දාගැබ තනා ඇති වේදිකාව-  N. H. Samarasingha-sarisaraweb.wordpress.com

මෙම බුදු පිළිමය හය වැනි සියවසට අයත් බව මහාචාර්ය සෙනරත් පරණවිතාන ප්‍රකාශ කරනවා. ඩී. ටී. දේවේන්ද්‍ර එය ක‍්‍රිස්තු වර්ෂ 4 වන සියවසට අයත් වන බව සඳහන් කරන අතර, ආචාර්ය චන්ද්‍ර වික‍්‍රමගමගේ පවසන්නේ ක‍්‍රිස්තු වර්ෂ 8 වන සියවසට අයත් වන බව යි. 

අතීතයේ පිළිමයේ දෙනෙත්වලට මැණික් ගල් අල්ලා තිබූ බව පැවසෙනවා. මෙම පිළිමයේ ආසනය යට තැන්පත්කර තිබුණු යන්ත්‍රගල ද තවමත් දැකගත හැකියි. පිළිමය තැන්පත් කර තිබූ ප්‍රතිමා ගෘහයේ නටබුන් ද එහි දැකගත හැකියි. එහි සඳකඩපහණ, කොරවක්ගල්වලින් යුක්ත ප්‍රවේශය චාම් නිර්මාණයක්. දැනට පිළිමයට තාවකාලික ආවරණයක් සකස්කර තිබෙනවා.

නටබුන්

සඳකඩ පහණක් – N. H. Samarasingha-sarisaraweb.wordpress.com

නටබුන් වූ ගොඩනැගිලි රාශියක් අශෝකාරාම බිමේ දැකගත හැකියි. පිළිමයට ඉදිරියෙන් දාන ශාලාවක් සහ දාගැබක නටබුන් දැකගත හැකියි. ජන්තාඝරයක සහ සංඝාවාස ගොඩනැගිලි රාශියක නටබුන් ද මෙහි පැතිර තිබෙනවා. මෙහි එක් ස්ථානයක ජලය රැඳවීමට තනි කළුගලින් කළ ගල් භාජනයක් ද දක්නට ලැබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ලක්දිව බුද්ධ ප‍්‍රතිමාව- මාලිංග අමරසිංහ

Bell, H.C.P. (1892), Archaeology Survey of Ceylon Annual Report, Government Press, Colombo.

Archeaology.lk

උපෝසථඝරය- ඒ. ලගමුව

අනුරාධපුරය- ඓතිහාසික සහ ආගමික ස්මාරක- කේ. එම්. අයි. ස්වර්ණසිංහ

කවරය- හිඳි බුද්ධ ප්‍රතිමාව- Archeaology.lk

Related Articles