වසර පුරා මලින් බර රාජකීය උද්භිද උද්‍යානය

පාසල් මිතුරු මිතුරියන් සමග පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යාපන චාරිකාවට එක් නොවූ අයෙක් සිටිනවා නම් ඒ බොහෝම කලාතුරකින්. දැනට ශ්‍රී ලංකාවේ ඇති ජනප්‍රිය ම උද්භිද උද්‍යානය ලෙස හැඳින්විය හැකි රාජකීය උද්භිද උද්‍යානය අක්කර 147 (හෙක්ටයාර 59) ක භූමි ප්‍රමාණය පුරා විහිදි ඇති අතර සෑම වසරක ම සංචාරකයින් මිලියන 1.2 ක් පමණ එය නැරඹීමට පැමිණෙන බව යි සඳහන් වෙන්නේ. එසේ ම එහි දී සියවස් ගණනාවක් පැරණි තුරු ලතා ද දැක ගැනීමට හැකි යි. මේ ලිපිය දෙස් විදෙස් උද්භිද විද්‍යාඥයින්ගේ මෙන් ම සංචාරකයන්ගේ නොමද පැසසුමට ලක් වූ ආසියාවේ ඇති සොඳුරුත ම උද්භිද උද්‍යානයන්ගෙන් එකක් ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ විශාලත ම උද්භිද උද්‍යානය ගැන යි.

© R. Igor

සොඳුරු පරිසරයක පිහිටි මල් උයන

මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක් උසින් සෞම්‍ය දේශගුණයක් සහිත මහනුවර කඳුකර බිමක පිහිටා ඇති රාජකීය උද්භිද උද්‍යානයේ තුන් පැත්තක් ම මායිම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගංගාවට යි. කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 110 ක් ඈතින් හා මහනුවර නගර සීමාවේ සිට කිලෝ මීටර් 6 ක් බටහිර දෙසින් පේරාදෙණිය නගරයේ එය පිහිටා තිබෙනවා.

උද්‍යානයේ මායිම ලකුණු කරන මහවැලි ගංගාව (© Ramón)

පොදුවේ පේරාදෙණිය උද්භිද උද්‍යානය ලෙස හඳුන්වන එහි නාමය නිර්මාණය වූ කතාව ද අපූරු යි. ඒ ‘පේර’ සහ ‘දෙණිය’ යන වදන් ද්විත්වය එක් වීමෙන්. ශ්‍රී ලංකාවට ආවේණික පලතුරක් නොවන පේර, බ්‍රිතාන්‍යයන් ලක්දිවට පැමිණීමට පෙර සිට ම ශ්‍රී ලංකාවේ වගා කරන ලද බවට ඇති හොඳ ම සාක්ෂියක් වන්නේ පේරාදෙණිය යන නාමය යි.

පැරණි රජ දවස නිම වූ උද්භිද උද්‍යානයේ ඉතිහාස කතාව

රාජකීය උද්භිද උද්‍යානයේ ආරම්භය ක්‍රිස්තු වර්ෂ 1371 තෙවැනි වික්‍රමබාහු රජ දවස දක්වා දිව යනවා. පසු කාලීන ව ක්‍රිස්තු වර්ෂ 1747 – 1780 දක්වා මහනුවර සිහසුන හෙබ වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු එය රාජකීය උද්‍යානයක් ලෙස නම් කර ඇති අතර එහි තාවකාලික මාළිගාවක් ගොඩ නැංවූ රාජාධි රාජසිංහ රජු ක්‍රිස්තු වර්ෂ 1780 – 1798 අතර කාලයේ දී වාසය කර ඇත්තේ ද එහි යි. එසේ ම එතුමන් පළමු වැනි විමලධර්මසූරිය රජු විසින් ගොඩ නංවන ලද විහාරය සහ දාගැබ වැඩිදියුණු කළ ද, පසු කාලීන ව ඉංග්‍රීසින් ඒවා විනාශ කර තිබෙනවා. එසේ ම දෙවැනි රාජසිංහ රජු විසින් පෘතුගීසීන්ට එරෙහි ව ගන්නෝරුව සටන මෙහෙය වන ලද්දේ ද මහවැලි ගංගාවේ උතුරු ඉවුරේ සිට යි.

© Lindsey Renton

ක්‍රිස්තු වර්ෂ 1813 දී උද්‍යානය කළුතරට මාරු කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 1821 දී ඇලෙක්සැන්ඩර් මූන්ගේ මෙහෙය වීම යටතේ එය යළිත් පේරාදෙණියට රැගෙන විත් තිබෙනවා. ශ්‍රී ලංකාවේ තුරු ලතා ගැන මහත් ඇල්මක් දැක් වූ උද්භිද විද්‍යාඥයෙක් වූ ඔහු ක්‍රිස්තු වර්ෂ වර්ෂ 1824 දී ශ්‍රී ලංකාවේ දී දක්නට ලැබෙන පැළෑටි 1,127 ක දේශීය නාමයන් සහ විද්‍යාත්මක නාමයන් ඇතුළත් කරමින් ‘Catalogue of Ceylon Plants’ නමින් ග්‍රන්ථයක් පවා ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ ගස, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කරන ලද්දේ ද එම වසරේ දී ම යි.

ගාඩ්නර් ස්මාරකය (© Bastien Poirier)

ඇලෙක්සැන්ඩර් මූන්ගේ අභාවයෙන් පසු ව ක්‍රිස්තු වර්ෂ 1844 දී උද්භිද උද්‍යානයේ පාලකයා ලෙස ජෝර්ජ් ගාඩ්නර් මහතා වැඩ භාර ගත්තා. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර බ්‍රසීලයේ සංචාරය කළ ඔහු එහි දී සොයා ගත් රබර් සහ සිංකෝනා ශාක ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා. පේරාදෙණිය උද්භිද උද්‍යානය වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ජෝර්ජ් ගාඩ්නර් ක්‍රිස්තු වර්ෂ 1849 දී අභාවප්‍රාප්ත වූ අතර ඔහු වෙනුවෙන් උද්‍යානයේ ස්මාරකයක් ද ඉදි කර තිබෙනවා.

ඉන් පසු ව පාලක තනතුරුට පත් වූ ආචාර්ය ත්වේට්ස් දශක තුනකට අධික කාලයක් තිස්සේ රාජකීය උද්භිද උද්‍යානය මැනවින් නඩත්තු කළ අතර එය ගෝලීය වශයෙන් ප්‍රචාරණය කිරීමට ද කටයුතු කළා. එසේ ම ක්‍රිස්තු වර්ෂ 1861 දී හක්ගල උද්භිද උද්‍යානය සහ 1876 ගම්පහ උද්භිද උද්‍යානය ආරම්භ කිරීමට මූලික වුණේ ද එතුමා යි.

© Boris Voronin

මෙසේ විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩිදියුණු වූ රාජකීය උද්භිද උද්‍යානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත පැවරුණේ ක්‍රිස්තු වර්ස 1912 දී යි. වර්තමානයේ දී එය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ අධීක්ෂණය යටතේ පාලනය වෙනවා.

උද්‍යානය නරඹන්නට යනවා නම්

වසර පුරා ම උදෑසන 7.30 සිට සවස 5 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත රාජකීය උද්භිද උද්‍යානයට ඇතුළු වීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු යි. උද්භිද උද්‍යානයට පිටතින් ආහාර රැගෙන යා හැකි අතර උද්‍යාන තුළ ඇති ආපනශාලා දිනපතා ම උදෑසන 10 සිට සවස 5 දක්වා විවෘත ව පවතිනවා.

© Michael Renner

නරඹන්නන්ගේ පහසුව සඳහා උද්‍යානයට ඇතුළු වන ස්ථානයේ ම උද්‍යානයේ සිතියම් රැගත් පුවරුවක් දැක ගත හැකි අතර එහි මුළු උද්‍යානය කොටස් 30 ක එකතුවක් ලෙස දක්වා තිබෙනවා. එසේ ම ප්‍රවේශ පත්‍ර මිල දී ගන්නා අවස්ථාවේ දී ම මෙහි මුද්‍රිත පිටපතක් ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ලබා ගත හැකි යි.

උද්‍යානයේ ඉහළ ම සංචාරක ආකර්ෂණ

විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති රාජකීය උද්භිද උද්‍යානයේ දී නොයෙක් පැහැයෙන් යුතු සොඳුරු මල් වර්ග, බෙහෙත් පැළෑටි, විදේශීය ශාක, තාල වර්ගයට අයත් ශාක වැනි විවිධ ශාක විශේෂයන් 4,000 ක අධික ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

දෙබිඩි පොල් ගස්

© Tazmaniyak

රාජකීය උද්භිද උද්‍යානයේ දී තාල වර්ගයට අයත් ශාක විශේෂ 200 ක් පමණ දැක ගැනීමට ලැබුණ ද ඒ අතරින් සැමගේ අවධානය යොමු වන්නේ සීෂෙල්ස් දූපත්වලින් ගෙන එන ලද දෙබිඩි පොල් ගස් කෙරෙහි යි. උද්‍යාන සිතියමේ අංක 2 යටතේ පෙන්වා ඇති දෙබිඩි පොල් ගස් සැලකෙන්නේ තාල වර්ගයේ ශාක අතරින් විශාලත ම ගෙඩි හට ගන්නා ශාක ලෙස වන අතර සාමාන්‍යයෙන් දෙබිඩි පොල් ගසක් පරිණත වීම සඳහා වසර 5 ක පමණ කාලයක් ගත වෙනවා.

උණ ගස් එකතුව

© Michael Renner

උද්‍යාන සිතියමේ අංක 8 ලෙස දක්වා ඇති උණ ගස් එකතුව පිහිටා ඇත්තේ කෘතිම විලට දකුණු දෙසින්. එහි දී ලෝකයේ විශාලත ම උණ ගස් ලෙස සැලකෙන බුරුමයේ යෝධ උණ ගස් දැක ගැනීමට හැකි යි. සාමාන්‍යයෙන් මීටර් 30 – 40 ක පමණ උසකින් යුතු මේවා දිනක දී සෙන්ටි මීටර් 30 ක් තරම් වේගයෙන් වැඩෙන බව සඳහන් වෙනවා. මීට අමතර ව කහ පැහැ උණ ගස්, පිහාටු වැනි පත්‍ර සහිත උණ ගස් මෙන් ම චීන කුරු උණ ගස් ද උණ ගස් එකතුවේ දී දැක ගත හැකි යි.

මීවන උයන

© Leonora Enking

අලංකාර ලෙස සකසන ලද භූමි පෙදෙසක හොඳින් සෙවණ ලබා දෙන ගස් වටා වැවී ඇති රාජකීය උද්භිද උද්‍යානයේ මීවන එකතුව දැක ගත හැකි යි. උද්‍යාන සිතියමේ අංක 20 ලෙස දක්වා ඇති එහි දී ශ්‍රී ලංකාවට ආවේණික මෙන් ම විදේශීය මීවන වර්ග ද 100 ක් පමණ දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

කෘත්‍රිම විල

© Geoff Buck

උද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට ප්‍රධාන දොරටුවේ සිට වම් පසින් පිහිටා ඇති කෘත්‍රිම විල සමන්විත වන්නේ නොයෙක් ආකාරයේ ඕලු, නෙළුම් සහ මානෙල් මල්වලින්. ඊට අමතර ව නයිල් ගං ඉවුරේ දක්නට ඇති පැපිරස් ශාක ද එහි දී දැක ගැනීමට හැකි යි. කෘත්‍රිම විලට මදක් ඔබ්බෙන් ජෝර්ජ් ගාඩ්නර් වෙනුවෙන් තනන ලද ස්මාරකය දැක ගැනීමට ලැබෙනවා.

ඕකිඩ් නිවස

© R. Igor

උද්‍යාන සිතියමේ අංක 29 යටතේ දක්වා ඇති ඕකිඩ් නිවසේ දී දෙස් විදෙස් ඕකිඩ් විශේෂ රාශියක් මෙන් ම ඒවා දෙමුහුම් කිරීමෙන් නිපදවා ඇති ඕකිඩ් මල් බොහෝමයක් දැක ගැනීමට හැකි යි. එසේ ම ඕකිඩ් ලොවේ විශාලත ම පැළෑටිය ලෙස සැලකෙන මීටර් 2.5 ක දිගින් යුතු මල් කිනිත්තක් සහිත Grammatophyllum speciosum මෙන් ම හරිත ඕකිඩ් (Coelogyne meyeriana) ද මෙහි දී දැක ගැනීමට ලැබෙනවා.

කුළුබඩු උයන

සාදික්කා ගසක් (© Leonora Enking)

ප්‍රධාන පිවිසුමට දකුණු දෙසින් පිහිටා ඇති කුළුබඩු උයන උද්‍යාන සිතියමේ අංක 30 ලෙස දක්වා තිබෙනවා. සෙවණ සහිත ස්ථානයක නිර්මාණය කර ඇති එහි දී ආහාර රස ගැන්වීමට යොදන කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු වැනි කුළුබඩු ශාක බොහෝමයක් දැක ගැනීමට හැකි යි. එසේ ම ක්‍රිස්තු වර්ෂ 1840 වර්ෂයේ දී රෝපණය කරන ලද පැරණිත ම සාදික්කා (nutmeg) ගස් ද රම්පෙ සහ කරපිංචා ගස් ද එහි දී දැක ගැනීමට ලැබෙනවා.

ප්‍රභූ කවය

© Jorun Tharaldsen

රාජකීය උද්භිද උද්‍යානය මධ්‍යයේ පිහිටා ඇති අක්කර 4 ක පමණ වපසරියකින් යුතු ප්‍රභූ කවය නිර්මාණය කර ඇත්තේ උද්‍යානය නැරඹීමට පැමිණෙන උසස් දෙස් විදෙස් නිලධාරීන්ට මතක සටහනක් ලෙස ශාක රෝපණය කිරීම සඳහා යි. මෙහි දී ක්‍රිස්තු වර්ෂ 1857 දී හත් වැනි එඩ්වඩ් රජු විසින් රෝපණය කරන ලද බෝ ගසක්, ක්‍රිස්තු වර්ෂ 1891 දී රුසියාවේ සාර් රජු විසින් රෝපිත නා ගසක්, ක්‍රිස්තු වර්ෂ 1893 දී ඔස්ට්‍රියානු අධිරාජ්‍යයා විසින් රෝපණය කරන ලද අසෝක ගසක් මෙන් ම ක්‍රිස්තු වර්ෂ 1901 දී ජෝර්ජ් රජු සහ මේරි රැජින විසින් රෝපිත සල් ගසක්ද දැක ගැනීමට ලැබෙනවා.

නිතරම පේරාදෙණිය මල්වත්තට ගියත් මේ කියපු තැන එකක් හරි මගහැරුණා නම් ආයෙත් ගිහින් බලන්න වටිනවා නේද?

කවරයේ පින්තූරය : (© Leonora Enking)

Related Articles