සුන්දර නිලාවැලියේ පරෙවි දූපත් වනෝද්‍යානය

දූපතක පිහිටි මේ වනෝද්‍යානය තිබෙන්නේ  ත්‍රිකුණාමලයට උතුරින් ඉතාම රමණීය වෙරළ තීරයක් වන නිලාවැලි වෙරළේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. නිලාවැලි වෙරළට මේ දුපත ඉතා හොඳින් දැකගත හැකියි. දූපතට ගමන් කිරීමට බෝට්ටු සේවාවක් පවත්වාගෙන යනවා. බෝට්‌ටු ගමනට ගතවන කාලය විනාඩි 12ක්‌ වගේ කෙටි කාලයක්.

වනෝද්‍යාන ප්‍රවේශපත්‍ර කාර්යාලය පිහිටා තිබෙන්නේ නිලාවැලි වෙරළ තීරයේ යි. පරෙවි දූපත ජාතික වනෝද්‍යානයට කොළඹ සිට කි. මී. 312ක් දුර යි. ත්‍රිකුණාමලයේ සංචාරය කරන අයට මේ වන උයනට ඉතා පහසුවෙන් ළඟා විය හැකියි. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වාලෙයිඋක්‌කු ග්‍රාමසේවා වසම තුළ මෙම ජාතික උද්‍යානය  පිහිටා තිබෙනවා.

නම ලැබුණේ කොහොමද?

දූපත ගුවනට පෙනෙන අයුරු -srilankantourhub.com

මෙයට පරෙවි දූපත යන නම ලැබිල තියෙන්නේ බ්ලූ රොක් පරෙවියන් හෙවත් නිල් ගල් පරෙවියන් සිය ගණනක් දුපත වාසස්ථානය කරගෙන ජීවත්වන නිසා යි. දුපතේ උස් ගල්පර්වත අතර කැදලි තනමින් හැසිරෙන පරෙවියන් අලංකාර දර්ශනයක් ගෙන එනවා. පක්‌ෂි විශේෂඥයන් පවසන්නේ  ශ්‍රී ලංකාවේ දැනට ගල් පරෙවියන් හමුවන ස්‌ථාන කිහිපය අතර පරෙවි දූපත ඉතා වැදගත් බව යි. ඒකට හේතුව තමයි, ගෘහාශ්‍රිත පරෙවියන් සමග දෙමුහුන් නොවූ ගල් පරෙවියන් හමුවන ස්‌ථාන අතරින් විශ්වසනීයතම ස්‌ථානය මෙය වීම. මෙම පරෙවි විශේෂය උප විශේෂ කිහිපයකින් හමුවන අතර ශ්‍රී ලංකාවේ හමුවන උප විශේෂය මෙරට මෙන්ම ඉන්දියාවේ ද ජීවත් වෙනවා.

දූපතේ නිල්ගල් පරෙවියා -serendib.btoptions.lk

ලංකාවේ ගල් පරෙවියන් හමුවන වෙනත් ස්‌ථාන වන්නේ රන්දෙණිගල ජලාශයේ දූපත් කිහිපයක්‌ සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ අම්බලන්තොට වැලිපටන්විල උස්‌සන්ගොඩ ප්‍රදේශය යි. එම ප්‍රදේශවල ගෘහාශිත පරෙවියන් හමුවන බැවින්, එම ගල් පරෙවියන් දෙමුහුන් වී ඇද්ද නැත්ද යන්න ගැන පක්ෂි විශේෂඥයන්ට සැකයක් පවතිනවා. ඒ සඳහා ජාන විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු වෙනවා.  

මුද්දරයකින් සැමරුම් ලැබූ වනෝද්‍යානය- jungle.lk

පරෙවි දූපත මුහුදෙන් වෙන්වී ඇති නිසා එම පරෙවියන් දෙමුහුන්වීමේ ඉඩකඩ ඉතා අඩු යි. විවිධ කාලවලට ලංකාවට ඇදී එන සංක්‍රමණික කුරුල්ලන් ලැගුම් ගන්නා ස්‌ථානයක්‌ ලෙස ද මෙම දූපත හැඳින්විය හැකියි. මෙහි සංචාරකයන් වෙනුවෙන් සොබා මංපෙතක්‌ ද ඉදිකර තිබෙනවා.

ජාතික වනෝද්‍යානය

වනෝද්‍යාන නාම පුවරුව -timeout.com

පරෙවි දූපත සමුද්‍රීය අභය භූමිය මුලින්ම අභය භූමියක් ලෙස නම් කළේ 1973 මැයි මාසයේ දී යි. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 97ක් වුණා. පසුව එහි පාරිසරික වැදගත්කම සලකා වර්ෂ 2003 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කළා. එහිදී දූපත වටා තිබෙන කොරල්පරවල වැදගත්කම සලකා ඒවා ද වනෝද්‍යානයට ඇතුළත් කළ නිසා භූමි ප්‍රමාණය හෙක්ටයාර් 471.43ක් බවට පත්ව තිබෙනවා. ඉන් හෙක්ටයාර 9ක් ගොඩබිම් භූමිවලින් ආවරණය වී ඇති අතර, ඉතිරිය මුහුදු ජලයෙන් යටව පවතින කොරල් පරවලින් සමන්විත යි. 

වනෝද්‍යානය නිල වශයෙන් සංචාරකයන්ට විවෘත කරනු ලැබුවේ 2011 මැයි 28 වැනිදා යි. නමුත් එයට පෙර පටන්ම සංචාරකයන් මෙය නැරඹිමට යාම සිරිතක් කොටගෙන සිටියා.

වන උයනේ විනෝදවන සංචාරකයන්- negombotourservice.com

ජාතික වනෝද්‍යානයක් කිරීමේ දී මෙහි පරෙවියන්ගේ බිත්තර දමන වාසස්ථාන ආරක්ෂා කිරීම සහ කොරල් පර ආරක්ෂා කිරීම අරමුණු කරගෙන තිබෙනවා. අභය භූමියක් ලෙස පවතිද්දිත් එහි කොරල් අනවසරයෙන් කැඩීම සිදු වුණා. ඒවා කඩා නිලාවැලි වෙරළේ දී ගල්මල් වශයෙන් සංචාරකයන්ට අලෙවි කිරීම සුලබව දැකගත හැකි වුණා. දැන් එවැනි ක්‍රියාකාරකම් අපහසු යි. 

පරෙවි දූපත අවට කිලෝමීටරයක සීමාව තුළ මසුන් ඇල්ලීම තහනම්. දූපතට ලොකුම තර්ජනයක්‌ වී ඇත්තේ අනවසරයෙන් ඩයිනමයිට් යොදා මසුන් ඇල්ලීම යි. හොර රහසේ දැල් දැමීම, බිලී බෑම වැනි කටයුතුවල නිරතවන්නන් අත්අඩංගුවට ගැනීම නාවික හමුදාව සහ වන අඩවි නිලධාරීන් විසින් සිදුකරනු ලබනවා. ඉරක්‌කණ්‌ඩිය වාලෙයියුක්‌කු, ගෝපාල්පුරම් වැනි ධීවර වාඩි පරෙවි දූපත අසල පිහිටා තිබෙනවා.

දූපතේ පර්වත අතර සුන්දරත්වය -Lonleyplanet.com

පරෙවි දුපතට පෙනෙන මානයේ තවත් කුඩා දූපතක් දැකගත හැකියි. එයට කියන්නේ සින්නපුරාමලේ, එහෙමත් නැතිනම් කාක දූපත කියල යි. කුඩා පරෙවි දූපත කියන නමත් භාවිත කරනවා.  එහි පරිසරය පරෙවි දූපත තරම් ආකර්ෂණීය නම් නැහැ.                                                                                                                                පරෙවි දූපතට තරම් මෙම දුපත වෙත සංචාරකයන් පැමිණෙන්නෙ නැහැ. කාක දූපත අවට මුහුද තරමක් ගැඹුරු වීම හා දූපතට වෙරළ තීරයක් හිමි නොවිම එයට එක් හේතුවක් .

කොරල් පර

කොරල් පර අතර කිමිදෙන සංචාරකයන්- Cinnomanhotels.com

මෙහි විශාල දූපත ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ  මීටර 200ක් පමණ දිගින් හා මීටර 100ක් පමණ පළලින් යුතු කලාපයක් පුරා අලංකාර කොරල් පරයක් පැතිර තිබෙනවා.  ලංකාවේ වෙන ප්‍රදේශයකින් හමු නොවන ආකාරයේ ඉතා දුර්ලභ කොරල් විශේෂ 100ක් පමණ මින් වාර්තා වෙනවා. එය ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියක් ලෙස සැලකෙනවා. මෙහි කොරල් විශේෂ 100ක්‌ සහ පරාශ්‍රිත මත්ස්‍ය විශේෂ 300ක්‌ දැකිය හැකියි. 

මෙහි ඇති කොරල් පද්ධතිය 1998 වසරේ දී උණුසුම් දියවැල් නිසා හානි නොවූ කොරල්පරයක් ලෙස ද වැදගත්. මෙහි පිරිසිදු ජලය තුළ වර්ණවත් කොරල් පර අතරින් පිහිනා යන එක් එක් ප්‍රමාණයේ වර්ණවත් මත්ස්‍යයින් ඉතා මනස්කාන්ත දර්ශන මවා පානවා. 

 අවට මුහුද සරසන පනා මසුන් – tripadviser.com

කුඩා පරෙවි දූපත අසලත් කුඩා කුඩා දූපත් හා ගල්පර මායිම්වලින් වට වූ කොරල් පද්ධතියක් පවතිනවා. විසිතුරු කොරල් විශේෂ හා මත්ස්‍ය වර්ග වඩා හොඳින් දැක ගත හැක්කේ දූපතෙහි නැඟෙනහිර පැත්තේ නොගැඹුරු පැහැදිලි මුහුදු ජලය තුළිනුයි.

මෙහි මත්ස්‍ය විශේෂ අතර ඉතා කුඩා ප්‍රමාණයේ මසුන් මෙන්ම සිට වැඩිහිටි කළු ගල්පර දකින්න ලැබෙනවා. ඊට අමතරව වඳවීමේ අවදානමට ලක්ව සිටින මත්ස්‍ය විශේෂ වන පනාවන් (බටර්ෆ්ලයි ෆිෂ්), ජල්ලි මසුන්, මුහුදු කූඩැල්ලන්, මුහුදු ඉකිරියන්, මුහුදු කකුළුවන්, මෙහි බහුල යි. ආහාරයට ගන්නා මසුන් වන මොරලුවන්, ගොඩයන්, අටිස්සන්, කොස්සන්, පරව්, මඩු වැනි මසුන් ද කොරල් ආශ්‍රිතව දිවි ගෙවනවා.

සංචාරක පාරාදීසය

සංචාරකයන්ගේ පාරාදීසයක් වූ දූපතේ වෙරළ -travellerlk.wordpress.com

ජුලි සිට සැප්තැම්බර් දක්වා මුහුද රළු නොවන කාලයේ දී පරෙවි දූපත දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් වෙනවා. නිල් පැහැති පැහැදිලි මුහුදු දියේ කිමිදී කොරල් බලන්නත්, වර්ණවත් මත්ස්‍යයන් අතරින් පීහිනමින් හිතේ හැටියට මහ මුහුදේ නාන්නටත් ඒ කාලයේ දී ඉඩ ලැබෙන්නේ මුහුද නිශ්චලව පවතින නිසා යි. 

නිලාවේලි වෙරළේ සිට පරෙවි දූපතට ඔබ රැගෙන යෑමට බෝට්ටු සේවයක් ක්‍රියාත්මකව පවතිනවා. නිලාවැලි සහ ගෝපාල්කුලමිය බෝට්‌ටු සමිති දෙකකට අයත් බෝට්ටු මෙහි ක්‍රියාත්මක වෙනවා. පරෙවි දූපත නැරඹීමට සතියේ දිනකට පැමිණෙන පිරිස 100කට අධික වන අතර සති අන්තවල පැමිණෙන සංඛ්‍යාව 250ක්‌ පමණ වනවා.  

පරෙවි දූපතේ සුන්දරත්වය- Wikipedia.org

දූපතේ පටු වෙරළෙන් ඔබ්බ්ට ගමන් කරන ඔබට දුපතේ ඇති ආකර්ෂණීය දසුන් නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා. පරෙවි දූපතෙහි අනන්‍යතාවය වන නිල් ගල් පරෙවියා මෙන්ම ගොළු කිරලා, බ්‍රහ්මණ උකුස්සා, කළු කොකා, මුහුදු ලිහිණියා,මලිත්තා ආදි පක්ෂි විශේෂත් මෙහි සැරිසරනවා. කොහොඹ සහ සියඹලා වැනි අපට හුරු පුරුදු ගස් වර්ග සේම ටෙම්පීස් ඇසිඞ්යුලා, ගංසුරිය, කටුපිලි, මලිත්තං, පලු, පතොක්, නවහන්දි, වරා, හීරැස්ස, සහ පතොක් වැනි ශුෂ්ක දේහගුණයේ ගල්පර්වත ආශ්‍රිතව වැවෙන ශාක වර්ග ද මෙහි දැකගත හැකියි.

පරෙවි දූපතේ එක්‌ වෙරළ ප්‍රදේශයක් පුරා‌ තනිකරම විසිර පවතින්නේ කැඩී ගිය කොරල්. එය දූපතට කදිම අලංකාරයක්‌ එකතු කරනවා. 

පරෙවි දූපත සංචාරක රජදහනක්‌ ලෙස හැඳින්වීමත් නිවැරැදියි. කිමිදුම්කරුවන් ඉතාමත් ආස කරන දූපත් ප්‍රදේශයක්‌ ලෙසත් පරෙවි දූපත සැලකෙනවා. පරෙවි දූපතේ පරිසරය සහ පවිත්‍රතාවය රැකගැනීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් පසුගිය කාලයේ  වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කළා. කොවිඩ් වසංගතය හමුවේ ඒ කටයුතු බොහොමයක් අතරමඟ ඇණහිට තිබුණා. ‌

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සිරිලක ජාතික වනෝද්‍යාන 2- ජගත් කණහැරආරච්චි

ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර- කුසුම්සිරි විජයවර්ධන

කවරය-දූපත අවට කිමිදෙන සංචාරකයෝ-  negombotourservice.com

Related Articles