Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොදැනුවත්කම නිසා බොහෝමයක් සංචාරකයින්ට මග හැරෙන ලොව ඇති සුන්දර ස්ථාන කිහිපයක්

සංචාරය කරන්න අපි කවුරුත් කැමතියි. ශ්‍රී ලංකාව කියන්නේ සංචාරයට කැමති කෙනෙක්ට අපූරු රටක්. රට වටා සංචාරය කරපු කෙනෙක්ගේ ඊළඟ ආශාව වන්නේ ලොව පුරා සංචාරය කිරීමයි. නමුත් මේ විදියට ලෝකෙ වටේ යනකොට ඇතැම් අවස්ථාවල දී නොදැනුවත්කම නිසා ලොව ඇති සුන්දරම ස්ථාන අපිට මග හැරෙන්න පුළුවන්. මේ ලිපිය එසේ නොදැනුවත්කම නිසා බොහෝමයක් සංචාරකයින්ට නිරතුරුව මග හැරෙන ලෝකයේ ඇති සුන්දරම ස්ථාන කිහිපයක් ගැනයි.

බ්ලාගායි (බොස්නියා සහ හර්සගොවීනා)

බ්ලාගායි හි පිහිටි බූහේ ගංගාවේ උල්පත (news-avenue.com)

බ්ලාගායි හි පිහිටි බූහේ ගංගාවේ උල්පත (news-avenue.com)

බොස්නියා සහ හර්සගොවීනා කියන්නේ ගිනිකොනදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටා ඇති රටක්. සුන්දර ගම්මානයක ලක්ෂණ බොහෝමයක් දක්නට ලැබෙන කුඩා නගරයක් වන බ්ලාගායි පිහිටා ඇත්තේ රටේ නිරිතදිගට වෙන්නයි.

බූහේ ගං උල්පතට මායිම් වෙලා තියෙන බ්ලාගායි හි ඇති වැදගත්ම නිර්මාණය ලෙස 1520 දී පමණ ඉස්ලාම් වන්දනාකරුවන් විසින් ගොඩ නැංවූ ආරාමය සැලකෙනවා. ඔටෝමන් ගෘහ නිර්මාණ ශිල්පයට සහ මධ්‍යධරණී මෝස්තරයට නිර්මාණය කර ඇති එය බොස්නියා සහ හර්සගොවීනා රාජ්‍යයේ ජාතික ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා.

එයට අමතරව තවත් වැදගත් සංචාරක ආකර්ෂණයක් විදියට මධ්‍යතන යුගයේ දී ගොඩ නංවන ලද බ්ලාගායි බලකොටුව හඳුන්වන්න පුළුවන්.

හුවාකැෂිනා (පේරු)

ක්ෂේම භූමියක් මත ගොඩ නැං වූ හුවාකැෂිනා නගරය (buhaberler.com)

ක්ෂේම භූමියක් මත ගොඩ නැං වූ හුවාකැෂිනා නගරය (buhaberler.com)

නිරිතදිග පේරු රාජ්‍යයයේ පිහිටා ඇති හුවාකැෂිනා නගරය ගොඩ නංවා ඇත්තේ වැලි කඳුවලින් වටවූ ක්ෂේම භූමියක් මතයි. ස්ථිර ජනගහනය 200 කට නොවැඩි අගයක් ගන්නා මේ කුඩා නගරයේ ඇති ආකර්ෂණීයම සංචාරයක අංගයක් ලෙස වැලි කඳු මත ලිස්සා යාම හඳුන්වන්න පුළුවන්.

හුවාකැෂිනාහි ස්වදේශිකයන් අතර පවතින මතයක් තමයි නගර මධ්‍යයේ ඇති විල් දියෙහි සහ මැටිවල රෝග සුව කිරීමේ බලයක් ඇති බව. ඒ නිසා බොහෝමයක් ස්වදේශිකයන් මෙන්ම විදේශිකයන්ද ඇදුම සහ සන්ධි ප්‍රදාහය වැනි සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි රෝගවලට ඔසුවක් ලෙස විල් දිය ස්නානය කිරීම හෝ සිරුරේ මැටි තවරා ගන්නා ආකාරය දැක ගත හැකියි. තවත් ජනප්‍රවාදයකින් බොහෝ කාලයකට පෙර ජීවත් වූ රූමත් කුමරියක් දැන් දිය කිඳුරියක්ව ක්ෂේම භූමියේ වාසය කරන බව කියවෙනවා.

හිලියර් විල (ඕස්ට්‍රේලියාව)

ඇල්ගේ නිසා රෝස පැහැයෙන් යුතු හිලියර් විල (pokkekun.jp)

ඇල්ගේ නිසා රෝස පැහැයෙන් යුතු හිලියර් විල (pokkekun.jp)

බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ ආසන්නයේ පිහිටා ඇති හිලියර් විලේ වතුර ලුණු රසයෙන් යුක්ත වෙනවා පමණක් නොව රෝස පැහැයකුත් ගන්නවා. වර්ෂය පුරාවටම හිලියර් විලේ වතුර රෝස පැහැයක් ගන්නා අතර එයට හේතුව වන්නේ එහි ජීවත් වන ඇල්ගේ විශේෂයක්. එය මුහුදෙන් වෙන්වී ඇත්තේ පේපර්බාක් සහ යුකැලිප්ටස් ගස් සහිත පටු වැලි තීරයක් මගින්.

1802 වසරේදී මැතිව් ෆ්ලින්ඩර්ස් නම් ඉංග්‍රීසි ජාතික දේශ ගවේෂකයා විසින් සොයා ගැනීමෙන් පසුව 2002 වසරේදී ප්‍රාදේශීය වශයෙන් වැදගත් තෙත්බිමක් ලෙස නම් කරන ලද හිලියර් විල, රක්ෂිත කලාපයක් ලෙස නම් කරන ලද්දේ 2012 වසරේදීයි.

අයිලස් මරියෙටාස් ජාතික උද්‍යානය (මෙක්සිකෝව)

මෙක්සිකෝවේ සැඟවුණු වෙරළ (plus.google.com)

මෙක්සිකෝවේ සැඟවුණු වෙරළ (plus.google.com)

බටහිර මෙක්සිකෝවේ පිහිටා ඇති කුඩා දූපත් සමූහයක් අයිලස් මරියෙටාස් ජාතික උද්‍යානය ලෙස නම්කර තිබුණද ඒවා සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සැඟවුණු වෙරළ (Hidden Beach) යන නාමයෙන්. වසර දහස් ගණනක් තිස්සේ සිදුවූ ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වී ඇති මෙම දූපත්, ආවාටයක ස්වරූපයෙන් යුක්තයි.

1960 වසරේදී ජාතික උද්‍යානයක් ලෙස නම්කරන ලද මෙහි මසුන් ඇල්ලීම, දඩයම් කිරීම සහ මුතු සඳහා කිමිදීම තහනම් කර තිබෙනවා. බොහෝමයක් මුහුදු පක්ෂීන් මෙහි කූඩු තැනීම සිදු කරන නිසා පක්ෂීන් නරඹන්නෙකුට සංචාරය කළ හැකි අපූරු ස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

සිල්ෆරා විවරය (අයිස්ලන්තය)

සිල්ෆරා විවරයේ කිමිදුම්කරුවෝ (urlaubsguru.de)

සිල්ෆරා විවරයේ කිමිදුම්කරුවෝ (urlaubsguru.de)

උතුරු ඇමෙරිකානු සහ යුරේෂියානු භූ තැටි මධ්‍යයේ පිහිටි තින්ග්වෙලියර් ජාතික උද්‍යානයට අයත් විශාල සිදුරක් සිල්ෆරා විවරය ලෙස හඳුන්වනවා. භූමි කම්පා හේතුවෙන් නිර්මාණය වී ඇති මෙය සම්පූර්ණයෙන්ම පිරී ඇත්තේ ග්ලැසියර දිය වීමෙන් නිර්මාණය වූ භූ ජලයෙන්.

මෙහි ජලයේ ඇති පැහැදිලි සහ පිරිසිදු බව නිසා ම කිමිදෙන්නන් අතර සිල්ෆරා විවරය ජනප්‍රියයි. මීටර් හැට තුනක පමණ ගැඹුරකින් යුතු මෙහි ජලය තුළ දෘශ්‍යතාවය මීටර් අසූවක් පමණ වෙනවා.

අයිසෝලා බෙලා (ඉතාලිය)

අයිසෝලා බෙලා හි පිහිටි උද්‍යානය (pinterest.com)

අයිසෝලා බෙලා හි පිහිටි උද්‍යානය (pinterest.com)

‘අයිසෝලා බෙලා’ යන ඉතාලි වදනේ අර්ථය වන්නේ ‘ලස්සණ දූපත’ යන්නයි. උතුරු ඉතාලියේ පිහිටි බොරෝමින් දූපත් පංචයෙන් එකක් වන මෙය 17 වැනි සියවසේදී ගොඩ නංවන ලද පැරණි මන්දිරයකින්, උද්‍යානයකින් සහ කුඩා ධීවර ගම්මානයකින් සමන්විත වෙනවා.

1632 වසර දක්වාම ධීවර ගම්මානයක්ව පැවති මෙම දූපතේ ඇති මන්දිරය සහ උද්‍යානය ගොඩ නංවන ලද්දේ තෙවැනි කාලෝ රජු විසින්. ඒ ඔහුගේ බිරිඳ වූ ඉසබෙලා වෙනුවෙන්. පසු කාලීනව ඇගේ නම ඇසුරෙන් දූපතද නම් කරනු ලැබුවා. වර්තමානයේ දී සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති මෙම දූපතේ වාර්ෂිකව සංගීත සැණකෙළියක්ද පවත්වනවා.

ලෙන්සුවා මරාන්හෙන්සේස් ජාතික උද්‍යානය (බ්‍රසීලය)

වැලි කඳු අතර පිහිටි කලපු (en.wikipedia.org)

වැලි කඳු අතර පිහිටි කලපු (en.wikipedia.org)

1981 දී ජාතික උද්‍යානයක් වශයෙන් නම් කරන ලද ලෙන්සුවා මරාන්හෙන්සේස් ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ ඊසාන දිග බ්‍රසීලයේයි. අක්කර ගණනාවක් පුරා විහිදී ගිය සුදෝසුදු වැලිකඳු නිසා එය ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත්ව තිබෙනවා. මේ වැලි කඳු අතර තැනින් තැන වැසි ජලය එක් වීමෙන් සැකසුණු කළු, නිල් සහ හරිත පැහැ නොයෙක් ආකාරයේ මසුන් පිරි කලපු මෙන්ම ක්ෂේම භූමිද දැකගත හැකියි.

ජාතික උද්‍යානයක් ලෙස නම් කර තිබෙන මෙහි සාම්ප්‍රදායික උරුමකරුවන් වන්නේ කයීතෙස් (Caetés) ග්‍රෝතිකයින්. ජනප්‍රවාදයේ සඳහන් වන ආකාරයට බොහෝ කලකට පෙර සාරවත් භූමියක්වූ මෙය එක් දිනක් තුළදී සම්පූර්ණයෙන්ම සුදු වැලි තලාවකින් වැසී ගොස් තිබෙනවා. ඒ නිසා තම ගොවිබිම් අහිමිවූ කයීතෙස් ග්‍රෝතිකයන් වර්තමානයේදී තම ජීවිකාව කරගෙන ඇත්තේ ධීවර කර්මාන්තයයි.

සෙටෙනිල් දේ ලාස් බර්ඩේගස් (ස්පාඤ්ඤය)

පර්වත යට පිහිටි නගරය (skyscrapercity.com)

පර්වත යට පිහිටි නගරය (skyscrapercity.com)

දකුණුදිග ස්පාඤ්ඤයේ පිහිටා ඇති සෙටෙනිල් දේ ලාස් බර්ඩේගස් නගරයේ නිවාස බොහෝමයක් ගොඩ නංවා ඇත්තේ ඉදිරියට නෙරා ඇති විශාල ගල් පර්වත යටයි. ස්වදේශිකයන් විසින් මෙය හඳුන්වන්නේ ‘පර්වත යට පිහිටි නගරය’ (The Town under the Rocks) ලෙසයි. මෙහි ඇති නිවාස ගොඩ නැංවීමේ දී බොහෝ අවස්ථාවලදී පර්වතයේම කොටසක් බිත්ති සහ වහලය ලෙස යොදාගැනීම සිදුකරනවා.

12 වැනි සියවසේ දී මිනිස් වාසස්ථානයක් ලෙස යොදා ගැනීම ආරම්භ කළ සෙටෙනිල් දේ ලාස් බර්ඩේගස් නගරයේ වසර 25,000 ක් පමණ හෝ ඊට වඩා පැරණි මිනිස් ශිෂ්ටාචාරයක් පැවතුණු බවට පුරාවිද්‍යාඥයින් විසින් මත පළ කර තිබෙනවා.

ලෙස් ලගාස් දේවස්ථානය (කොළොම්බියාව)

ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නැං වූ ලෙස් ලගාස් දෙව් මැදුර (tapeciarnia.pl)

ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩ නැං වූ ලෙස් ලගාස් දෙව් මැදුර (tapeciarnia.pl)

ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සකසා ඇති වර්තමානයේ දක්නට ඇති ලෙස් ලගාස් දේවස්ථානය ගොඩ නංවා ඇත්තේ 1916 සිට 1949 දක්වා කාලය තුළයි. ග්වයිටාරා (Guáitara) ගංගාවට ඉහළින් පිහිටි පර්වත විවරයක් තුළ නිර්මාණය කර ඇති එය පිහිටා ඇත්තේ දකුණුදිග කොළොම්බියාවේ යි.

අලංකාර කැටයම් නිර්මාණය සඳහා නමක් දිනා ඇති ලෙස් ලගාස් දේවස්ථානය පිළිබඳ ඇති මිත්‍යා කථාන්තර බොහෝමයි. දේවස්ථානය තුළ වරින් වර කන්‍යා මරියතුමිය පෙනී සිටින බව ඇතැම් අය පවසනවා. එසේම දේවස්ථානය තුළ දක්නට ඇති චිත්‍ර ශිල්පියා අඥාත බිතු සිතුවම් මගින් මේ මිත්‍යා කථාන්තරවලට රුකුලක් සපයන බව නම් අවිවාදාත්මකයි.

ෆ්ලෝරස් දූපත (පෘතුගාලය)

වසන්තයේ දී මලින් වැසෙන ෆ්ලෝරස් දූපත (pinterest.com)

වසන්තයේ දී මලින් වැසෙන ෆ්ලෝරස් දූපත (pinterest.com)

2009 වසරේදී යුනෙස්කෝ සංගමය මගින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ෆ්ලෝරස් දූපත වඩාත් ජනප්‍රිය එහි දක්නට ලැබෙන අනන්‍ය වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ නිසායි. උතුරු අත්ලාන්තික් සාගරයට මුහුණලා පෘතුගාලයේ බටහිරට වන්නට පිහිටා ඇති මෙම දූපත වසන්ත කාලයට සම්පූර්ණයෙන් නොයෙක් වර්ණ මල්වලින් වැසී යන බවයි පැවසෙන්නේ.

ඉතාමත් ඉහළ ජෛව විවිධත්වයකින් යුතු ෆ්ලෝරස් දූපත එහි ඇති ස්වභාවික උණු දිය උල්පත්, කලපු, අක්කර ගණනාවක් ආවරණය කරන කුඹුරු, මිත්‍රශීලි ගොවියන් වාසය කරන ගම්මාන සහ ගිනි කඳු නිසා ස්වදේශීය සංචාරකයින් අතර ප්‍රසිද්ධයි.

කවරයේ පින්තුරය: travelzoo.com

මූලාශ්‍ර: brightside.me, en.wikipedia.org, pinterest.com

Related Articles