නුවර යන ගමන් කඩුගන්නාව

කොළඹ සිට කි. මී. 100ක දුරකින් පිහිටා ඇති කඩුගන්නාව පහතරට සිට මහනුවරට පිවිසෙන කඳුකර දුර්ගයයි.  මෙහි දී  ඔබ මධ්‍ය කඳුකරයට පිවිසෙන්නේ රමණීය දර්ශනයක් ද නරඹමින්. කඩුගන්නාව කන්ද නගින විට දකුණු පසින් දිස්වන්නේ සබරගමු කඳු පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙදෙස්.

කඩුගන්නාව  1900 දී ගත් සේයාරුවක්. ඈතින් ඩෝසන් කුලුන පෙනේ. –lankapura.com

ඈතින් බතලේගල මෙන්ම දෙවනගල හා අම්බුලුවාව කන්දත් දැකගැනීමට පුලුවන්. දුම්රිය මාර්ගය ඇදීයන්නේ කඩුගන්නාව කන්දේ මහා මාර්ගයට ඉහළින් පිහිටි බෑවුම හරහයි. හුඟදෙනෙක් කන්ද අතරමඟ දී තම වාහන නවතා අවට දර්ශනය නරඹන අයුරු දැකගැනීමට පුලුවන්. මේ අවට නරඹන්නනට විවිධ භාණ්ඩ විකුණන අලෙවිසැල් ගණනාවක් ද බිහිවී තිබෙනවා.

අද කඩුගන්නාව නගරය- කුසුම්සිරි විජයවර්ධන

නමුත් කඩුගන්නාව අවට තිබෙන නැරඹිය යුතු ඓතිහාසික තැන් දැකබලාගැනීමට ඒ අතරින් පෙළඹෙන්නේ කලාතුරකින් කෙනෙක් පමණයි. අපගේ මේ උත්සාහය ඒ සඳහා මඟපෙන්වීමක් කිරීමටයි.

මාවෙල ලෙන් විහාරය වැඳගන්න

ලෙන් විහාරය- buddhistdoor.net

අපි ලෙන් විහාරයක් වැඳගෙනම මේ ගමන පටන් ගනිමු. කඩුගන්නාව කන්ද නගින අතර  පාරේ දකුණු පසින් කඩුගන්නාව අම්බලම අසල මේ විහාරයට මඟ පෙන්වන නාම පුවරුව හමුවෙනවා. පාර අද්දර වාහනය නවතා පා ගමනින් පියගැට බසිමින් මීටර 200ක් පියමං කර ඔබ විහාරයට පිවිසිය යුතුයි. වාහනයකින් ඒ අසලට යාමට නොහැකියි. ඉංගී‍්‍රසින් විසින් 1800 මුල් භාගයේ දී කඩුගන්නාව ගල විදිමින් කොළඹ මහනුවර මාර්ගය ඉදිකිරීමට පෙර මාවෙල විහාරයට යන මඟ වැටී තිබුණේ හිඟුල – හීනටිපොනේ මාර්ගයේ පැමිණ කඳු බෑවුම තරණය කිරීමෙන්. එහෙත් පසුකාලීනව එම මාවත භාවිතය අත් හැරි පසු වන වැදී ගිහින්. මෙගම කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටා තිබෙනවා.

එහි කටාරම් කොටන ලද ලෙන් තුනක් දැකගත හැකියි. පළමු ලෙනෙහි දාගැබ ද දෙවැනි ලෙනෙහි විහාර මන්දිරය ද තෙවැනි ලෙනෙහි සංඝාවාසය ද පිහිටා තිබෙනවා. මෙම පර්වතයට ඉහළින් පැතිර ඇත්තේ වන වදුලු සහිත වටපිටාවක්. හාවුන්, මීමින්නන්, කලවැද්දන් වැනි සතුන්ට එය කදිම රක්ෂා ස්ථානයක් බවට පත්ව තිබෙනවා. වැසි කාලයට මේ ගල්පර්වතය හරහා කුඩා දියඇල්ලක් ද කඩාහැලෙනවා.

සැතපෙන බුදු පිළිමය- buddhistdoor.net

ජනප්‍රවාදයේ සඳහන් අයුරින් බොහෝ ලෙන් විහාර මෙන් ම මෙය ද කරවා ඇත්තේ වලගම්බා රජු විසින්. කෙසේ වුවත් මෙහි ආරම්භය අනුරාධපුර යුගයේ මුල් භාගයට ඇතුළත් කළ හැකි ලක්ෂණ දෙවැනි ලෙන් විහාරය ඉදිරිපිට ඇති කොරවක්ගල සහ පුන්කලස සහිත මුරගල් යුවළෙන් පේනවා. එහි කොරවක්ගලක පූර්ව අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් බොතිමශ (බොතිමගේ) යන්න කොටා තිබෙනවා. එම ගල් නිර්මාණය කරවා ඇත්තේ හෝ කර ඇත්තේ බොතිම නම් පුද්ගලයා වන්නට ඇති බව සිතිය හැකියි.

විහාර භූමියේ මුලින්ම පිහිටි ලෙන තුළ දාගැබ පිහිටා තිබෙනවා. ලෙන දිගින් අඩි 30 ක් ද පළලින් අඩි 20 ක් ද වෙනවා. ලෙනට ඇතුළුවීමට ඇති ප්‍රවේශය දෙපස කොරවක්ගල් දෙකක් සහ චාම් පුන්කලස් මුරගල් දෙකක් දැකගැනීමට පුලුවන්. පුන්කලස්වල ඇත්තේ නෙලුම් පොහොට්ටු යි. ඒවා යන්තම් මතුකර පෙන්වා තිබෙනවා. කොරවල්ගල් චාම් බොරදම් කැටයමින් යුක්ත යි.

දෙවැනි ලෙන තුළ ප්‍රතිමා මන්දිරය එහි පිහිටා තිබෙනවා. එහි පිහිටි සැතපෙන බුද්ධ ප්‍රතිමාව මහනුවර යුගයේ ලක්ෂණ සහිත යි. විහාරයට තරමක් දුරින් පිහිටි තවත් ලෙනක ඇත්තේ සංඝාවාස මන්දිරයයි. ඉතා සුන්දර වනබද වටපිටාවක පිහිටි මේ විහාරයට ද නිදන් හොරුන්ගේ අතවර විඳීමට සිදුවෙලා.

කඩුගන්නාව අම්බලමේ විඩා නිවාගන්න

අම්බලම – Wikipedia.org

විහාරය නරඹා එන ඔබට අම්බලමට ගොස් විවේක ගැනීමට පුලුවන්. ඉංග්‍රීසින් උඩරට මාර්ගය කඩුගන්නාව හරහා ඉදිකළ පසු එදා එහි පාගමනින්, අසුන් පිට, අශ්ව කරත්තවලින් යන එන්නන්ට විවේක ගැනීමට මේ අම්බලම ඉදිකර තිබෙනවා. පැරණි අම්බලම් වලට කදිම උදාහරණ සපයන මෙය උඩරට ගෘහ නිර්මාණ ලක්ෂණවලට අනුව ඉදිකර ඇති ගොඩනැගිල්ලක්. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා. අද නම් පාරේ යන කවුරුත් මේ පැරණි ස්මාරකය දැකබලා ගැනීමට උනන්දු වන බවක් පේන්නට නැහැ.

ගල විදපු තැන

ගල විදපු තැන- කුසුම්සිරි විජයවර්ධන

බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඉදිකරපු පළමු මහා මාර්ගය තමයි කොළඹ-නුවර පාර. එහෙම හදපු කොළඹ නුවර පාර 1832 දී බොරළු දමා නිම කළා. ආසියාවේ පළමු වරට අශ්ව කෝච්චි සේවය 1832 කොළඹ නුවර අතර ආරම්භ වුණේ මේ පාරේ. කොළඹ නුවර පාරේ අමාරුම කොටස හරහා පාර ගෙන ගිය ඩෝසන් කඩුගන්නාව දුර්ගයේ ගල් පර්වතය විද පාර නිර්මාණය කරනවා. ඒක ඒ කාලෙ සිංහලයන්ට විස්මකර්ම වැඩක් වුණා.  මේ ගල වීදීමත් එක්ක උඩරට සිංහලයින්ගේ එක් විශ්වාසයක් බිඳවැටුනා කියලා සුදු ජාතිකයන් ලියූ පොත් වල සඳහන් වෙනවා. ඒ, දළදා හිමි ලබා ගන්නා තුරු හා ගල විද පාරක්‌ තනන තුරු උඩරට අල්ලා ගැනීමට බැරි බවට තිබුණු විශ්වාසය ලු. ඒ බව සඳහන් ජනකවියක් තමයි මේ.

“කන්ද උඩරට ගන්න සගයන්

ඇයිද මේ හැටි කැස කවන්නේ

බින්ද හොත් ගල කන්ද උඩහට

තොපිත් උඩරට රජ කරන්නේ”

ඉංග්‍රීසින්ට ගල කඩා ඉවත් කළ හැකිව තිබුණත් එය විදීමට ක්‍රියාකර ඇත්තේ සිංහලයන් තුළ වූ විශ්වාසය බිඳදැමීමට බව පේනවා. 1980 දශකය දක්වා මහනුවරට වාහන ගියේ ගලවිදපු තැන හරහායි. දැන් තිබෙන ලෙස මාර්ගය වෙනස් කර ඉදිකළේ මහවැලි ජලාශ ඉදිකිරීමේ දී බරවාහන ගමනාගමනයට පහසුවීමට බවයි පැවසෙන්නේ.

ඩෝසන් කුලුන දැක්කා ද?

ඩෝසන් කුලුන- කුසුම්සිරි විජයවර්ධන

කඩුගන්නාව කන්ද පසුකළ විට අපි යන මාර්ගය තැනිතලාවකට පිවිසෙනවා. කඩුගන්නාව නගරය පිහිටා ඇත්තේ මේ තැනිබිමේ. කොළඹ නුවර පාරේ යන ඕනම කෙනෙක් කඩුගන්නාව නගරය ආසන්න‍යේ දී ඩෝසන් කුලුන නම් සෘජුව ඉහළ නගින කුලුන දකිනවා. අඩි 125 ක් උස මේ කුලුන හදලා තියෙන්නේ කොළඹ මහනුවර මාර්ගය ඉදිකළ ඩෝසන් කියන සුදු ජාතික ඉංජිනේරුවා සිහිපත් කිරීමටයි.

කුලුනට පිවිසෙන පියගැට පෙළ – කුසුම්සිරි විජයවර්ධන

1817-18 උඩරට කැරැල්ලට පස්සේ ඇතිවෙන අරගලයක දී වහාම මහනුවරට යුද හමුදා යැවීමට මහා මාර්ගයක්‌ කපන්න ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව තමයි කොළඹ නුවර පාරේ වැඩ පටන් ගන්නේ. ඒ කාලේ එඩ්වඩ් බාර්න්ස්‌ කියන සුදු ජාතිකයා ආණ්‌ඩුකාරයා තමයි හිටියේ. පාරවල් කැපීමේ වගකීම එයාට තමයි පැවරුණේ. 1820 ඇරඹූ ඉතා අසීරු මාර්ගයක්‌ හරහා විහිදුනු මේ මාර්ගය ඉදිකිරීම භාරව හිටියේ කැප්ටන් ඩෝසන් ඉංජිනේරුවා.

ඉතා දුෂ්කරතා විඳිමින් ඔහු මාර්ගය ඉදිකරවා තිබෙනවා. මාර්ගය ඉදිකරගෙන යද්දී 1829 කැප්ටන් ඩෝසන් මියගියේ නාගයෙක් දෂ්ඨ කිරීමෙන් කියලා කතාවක් තිබෙනවා. ඩෝසන්ගේ සේවය සදා සිහිවීමට ඔහුගේ මිත්‍රයන් එකතුවෙලා පවුම් 343ක් වියදම් කරලා මූදු මට්‌ටමෙන් අඩි 1730ක් උස ඩෝසන් කුලුන ඉදිකර තිබෙනවා.

ඩෝසන් කුලුන ඇතුළින් මුදුනට නැගීමට පියගැට  පෙළක් තිබෙනවා. මෙය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක්.

දුම්රිය කෞතුකාගාරය

දුම්රිය කෞතුකාගාරය – කුසුම්සිරි විජයවර්ධන

මෑතකදී ආරම්භ කළ මෙය කඩුගන්නාව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පිහිටා තිබෙනවා. පැරණි දුම්රිය ගමනාගමනය ගැන අපූරු තොරතුරු මෙහිදී ලබාගැනීමට ඉඩ ලැබෙනවා. පැරණි දුම්රිය මැදිරි, දුම්රිය සංඥා, දුම්රිය ධාවනයට යොදාගත් වෙනත් විවිධ උපකරණ ආදිය මෙහිදී නැරඹීමට පුලුවන්.

බලන කොටුව

කොටු පවුර- කුසුම්සිරි විජයවර්ධන

දුම්රිය කටුගේත් දැක බලාගෙන කඩුගන්නාවෙන් පොත්තපිටිය මාර්ගයට හැරී දුම්රිය පාර පැන කිලෝමීටර් පහක පමණ දුරක් ගෙවා යන විට හමුවන්නේ වෙරළුගොල්ල කියන ගමයි. මේ ගමේ උස්බිමක බලන කොටු පවුර පිහිටා තිබෙනවා. අලගල්ල කඳු වැටියට දකුණු දෙසින් කුඩා කඳු ගැටයක් මත පිහිටා ඇති බලන කොටුව වෙත අවට පිහිටි තේවතු අතරින් ගමන් කළ හැකියි. එය ඉතා සුන්දර ස්ථානයක්.

කොටු පවුරේ ඉදිකිරීමක්- amazinglanka.com,  Ashan Geeganage

පුරාණයේ පහතරට සිට උඩරටට පැමිණෙන මාර්ගය පිහිටා තිබුණේ බලන හරහා නිසා මෙය ආරක්ෂක සන්ධිස්ථානයක් වුණා. පළමු වැනි විමලධර්මසූරිය රජු මෙහි මුලින්ම විධිමත් බලකොටුවක් තැනූ බව සඳහන්. ඒ, පෘතුගීසින්ට එරෙහිව සටන් කිරීම සඳහායි. එදා උඩරට ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් රැසක් සිදුවූ  බලන කපොල්ලේ පිහිටි කොටුව අද වනගත පෙදෙසක් වෙලා. කළුගල්වලින් බැඳි කොටු පවුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර:

සොඳුරු සිරිලක චාරිකා සටහන්- කුසුම්සිරි විජයවර්ධන

පෞරාණික ස්ථාන සහ ස්මාරක- කෑගල්ල දිස්ත්‍රික්කය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

Related Articles