Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සතයක්වත් වියදම් නොකර වොෂිංටන් අගනුවර සිරි නරඹමු ද?

ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන්, ඩී. සී. අගනුවර සති කිහිපයක් නොව දින කිහිපයක් රැඳී සිටිමින් සංචාරයේ නිරත වීම වියදම් අධික කටයුත්තක් බව ලොවට රහසක් නොවෙයි. නමුත් ප්‍රවේශ පත්‍රයක් මිල දී නොගෙන නැරඹිය හැකි ස්ථාන කිහිපයක් ම වොෂිංටන් අගනුවර පවතිනවා. මේ ඇමෙරිකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වන අයෙක්ට සතයක්වත් වියදම් නොකර නැරඹීමට යා හැකි ස්ථාන කිහිපයක් ගැන තොරතුරු යි.

ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානය

© Mehgan Murphy

නත්තල් දින හැරුණු විට වසරේ සෑම දිනක ම උදෑසන 8 සිට සවස 5 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානය, දිනපතා ම උදෑසන 9.45 ට සංචාරකයින්ට සත්ත්වෝද්‍යානයේ වැදගත් අංග දැක බලා ගැනීමට ඉඩ සලසන දෙපැයක නියමු චාරිකාවක් (highlights tour) ද සංවිධානය කරනවා. සතුන් නිරීක්ෂණයට කැමත්තක් දක්වන අයට අපූරු අත්දැකීමක් වන මෙහි දී ආසියානු අලි ඇතුන්, රන්වන් සිංහ ටැමරින් නම් දකුණු ඇමෙරිකානු වඳුරන්, ඇල්ඩැබ්‍රා ඉබ්බන්, යෝධ පැන්ඩා වලසුන් සහ ඇන්ඩියන් වලසුන් වැනි සතුන් ගණනාවක් ම දැක ගත හැකි යි.

කැටයම් සහ මුද්‍රණ කාර්යංශය

© Victoria Pickering

මුදල් නෝට්ටු මුද්‍රණය කරන ආකාරය දැක ගැනීමට කැමැත්තක් දක්වන අයෙක් අනිවාර්යයෙන් ම නැරඹිය යුතු ස්ථානයක් ලෙස කැටයම් සහ මුද්‍රණ කාර්යංශය හැඳින්විය හැකි යි. ෆෙඩරල් නිවාඩු දිනවල දී සහ සති අන්තයේ දී හැර අනෙකුත් සෑම දිනක ම උදෑසන 9 සිට උදෑසන 10.45 දක්වා සහ දහවල් 12.30 සිට සවස 2 දක්වා එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි. නියමුවෙකුගේ අධීක්ෂණය යටතේ මිනිත්තු 40 ක් වැනි කාල සීමාවක් තුළ දී විශාල කඩදාසි කුඩා මුදල් නෝට්ටුවක් බවට පත් වන ආකාරය සජීවී ව මෙහි දී දැක ගැනීමට හැකි අතර මුදල් නෝට්ටු මුද්‍රණය පිළිබඳ කෙටි ආරම්භක චිත්‍රපටයක් නැරඹීමට ද සංචාරකයින්ට අවස්ථාව හිමි වෙනවා.

ජාතික අභ්‍යවකාශ කෞතුකාගාරය

(© Eoghann Irving)
ඇපලෝ 11 යානයේ විධාන මොඩියුලය

2016 වර්ෂයේ දී ලොව දෙවැනියට වැඩි ම නරඹන්නන් පිරිසක් පැමිණෙන කෞතුකාගාරය ලෙස වාර්තා පොතට එක් වූ ජාතික අභ්‍යවකාශ කෞතුකාගාරය, අභ්‍යවකාශ තරණය සහ යානා ගැන උනන්දුවක් දක්වන අයෙක්ට නැරඹීමට යා හැකි කදිම ස්ථානයක්. මෙය නත්තල් දින හැරුණු විට වසරේ සෑම දිනක ම උදෑසන 10 සිට සවස 5.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි. ඇපලෝ 11 යානයේ විධාන මොඩියුලය සහ රයිට් සහෝදරයන් විසින් නිර්මාණය කළ ප්‍රථම ගුවන් යානය වැනි ප්‍රදර්ශන භාණ්ඩ මෙන් ම අභ්‍යවකාශයේ සුන්දරත්වය අත් විඳීමට ඉඩ සලසන ග්‍රහලෝකාගාරයක් ද ජාතික අභ්‍යවකාශ කෞතුකාගාරය සතු වෙනවා.

ස්වභාවික ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරය

(© Julian Fong)
හෝප් දියමන්තිය

වසර දහස් ගණනක් තිස්සේ පෘථිවියේ සහ සත්ත්වයින්ගේ පරිණාමය සිදු වූ ආකාරය මැනවින් විදහා දක්වන ස්වභාවික ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ දී දුර්ලභ නිල් පැහැයකින් යුක්ත හෝප් දියමන්තිය, ප්‍රතිනිර්මාණය කරන ලද හෝමෝ නියැන්ඩර්තාල් මානවයින්, පිරමීඩවලින් හමු වූ බළලුන්ගේ මමී, සජීවී කොරල් පරයක් වැනි සුවිශේෂී ප්‍රදර්ශන භාණ්ඩ රැසක් ම දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මෙය නත්තල් දින හැරුණු විට වසරේ සෑම දිනක ම උදෑසන 10 සිට සවස 5.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත යි.

ආලිංටන් ජාතික සොහොන්බිම

© Mark Williams

පොටෝමැක් නදියට මුහුණලා අක්කර 624 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින ආලිංටන් ජාතික සුසාන භූමිය වෙන් කර ඇත්තේ ඇමෙරිකානු  සිවිල් යුද්ධයේ දී මිය ගිය භටයින් සහ ඇමෙරිකානු ත්‍රිවිධ හමුදාවන් හි සේවය කරමින් සිටින අතරතුර දී මව්බිම වෙනුවෙන් දිවි පිදූ සොල්දාදුවන් භූමදාන කිරීම සඳහා යි. එහි දී දැක ගැනීමට ලැබෙන සොහොන් ගල් 400,000 කට අධික ප්‍රමාණයක් අතරින් එකක් අයත් වන්නේ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිට යි.

ඇමෙරිකානු රාජ්‍ය ලේඛනාගාරය

(© U. S. National Archives)
නිදහස් ප්‍රඥප්ති තැන්පත් කර ඇති වක්‍රාකාර ගෘහය

ඇමෙරිකානු ලිඛිත ඉතිහාසය විදහා දක්වන වැදගත් ලියවිලි රාශියක් ගබඩා කර ඇති ඇමෙරිකානු රාජ්‍ය ලේඛනාගාරය සතු වැදගත් ම අංගයක් ලෙස නිදහස් ප්‍රඥප්ති තැන්පත් කර ඇති වක්‍රාකාර ගෘහය හැඳින්විය හැකි යි. එහි දී 1776 ජූලි 4 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත් බව ප්‍රකාශ කරන ලද ‘නිදහසේ ප්‍රකාශය’, 1787 දී කෙටුම්පත් කරන ලද ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඇමෙරිකානු වැසියන් සතු මූලික අයිතිවාසිකම් දැක්වෙන ‘අයිතිවාසිකම් කෙටුම්පත’ දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ ම තුති පිදීමේ දිනයේ දී සහ නත්තල් දිනයේ හැර සතියේ සෑම දිනක ම උදෑසන 10 සිට සවස 5.30 දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘත කෞතුකාගාරයක් ද ඇමෙරිකානු රාජ්‍ය ලේඛනාගාරය සතු යි.

ස්මිත්සෝනියන් ඇමෙරිකානු කලා කෞතුකාගාරය

© Pedro Szekely

සියවස් තුනකට අයත් ඇමෙරිකානු කලා කෘතීන් රැසකට සෙවණ සපයන ස්මිත්සෝනියන් ඇමෙරිකානු කලා කෞතුකාගාරය 1829 දී පිහිටු වන ලද්දක්. නත්තල් දින හැර වසර පුරා ම උදෑසන 11.30 සිට රාත්‍රී 7.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන එහි දී සිතුවම්, සේයා රූ, ප්‍රතිමා සහ නූතන කලා ශිල්ප වැනි විවිධාකාර ප්‍රදර්ශන භාණ්ඩ රැසක් දැක ගත හැකි යි.

සම්මන්ත්‍රණ සභා පුස්තකාලය

© Anh Dinh

සියවස් දෙකකට වඩා පැරණි සම්මන්ත්‍රණ සභා පුස්තකාලය සතු ව පොත් සහ සිතියම්, ඡායාරූප, සංගීත ස්වර ප්‍රස්තාර සහ අත්පිටපත් වැනි අයිතමයන් මිලියන 167 ක් පවතින බව සඳහන් වෙනවා. එසේ ම එය ලෝකයේ විශාලත ම පුස්තකාලය ලෙස සැලකෙන අතර ලොව විශාලත ම නීති ග්‍රන්ථ පුස්තකාලය පිහිටා ඇත්තේ ද සම්මන්ත්‍රණ සභා පුස්තකාලය තුළ යි. පොත් කියවන්න කැමති අයට පමණක් නොව පැරණි ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අධ්‍යයනය කරන්නන්ට ද සම්මන්ත්‍රණ සභා පුස්තකාලය පාරාදීසයක් වන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි.

ඇමෙරිකානු ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරය

(© Jay Parker)
එඩිසන්ගේ පළමු විදුලි බුබුළ

පළමු ඇමෙරිකානු ධජය දැක බලා ගැනීමට අවශ්‍ය කෙනෙක් යා යුතු ස්ථානය තමයි, ඇමෙරිකානු ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරය. එයට අමතර ව හිටපු ඇමෙරිකානු ජනාධිපති තෝමස් ජෙෆර්සන්ගේ ලියන මේසය, එඩිසන්ගේ පළමු විදුලි බුබුළ, ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපති ජෝර්ජි වොෂිංටන්ගේ නිල ඇඳුම සහ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා ආරම්භක උත්සවයේ හැඳ සිටි ගවොම වැනි සුවිශේෂී අංග කිහිපයක් ම මෙහි දී දැක ගත හැක යි. මෙය නත්තල් දිනයේ හැර වසරේ සෑම දිනක ම උදෑසන 10 සිට සවස 5.30 දක්වා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතිනවා.

ජාතික තැපැල් කෞතුකාගාරය

© DOGO News

මුද්දර එකතු කරන්නෙකු අනිවාර්යයෙන් ම නැරඹිය යුතු ජාතික තැපැල් කෞතුකාගාරය, ඇමෙරිකානු තැපැල් සේවාවේ ඉතිහාසය ලොව කියාපාන ස්ථානයක්. 1993 වර්ෂයේ දී මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද එහි දී දැනට ලොව පවතින විශාලත ම මුද්දර එකතුව දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ ම ලොව දුර්ලභ ම මුද්දරය (මෙහි ඉතිරි ව ඇත්තේ එක් මුද්දරයක් පමණ යි) ලෙස සැලකෙන ‘856 British Guiana One-Cent Magenta’ මුද්දරය තැන්පත් කර ඇත්තේ ද මෙහි යි.

ඇමෙරිකානු මහා මන්ත්‍රණ සභා ශාලාව

© Hayley Camis

ඇමෙරිකානු ව්‍යවස්ථාදායකයේ රැස්වීම් ශාලාව වන මහා මන්ත්‍රණ සභා ශාලාව සැලකෙන්නේ ඇමෙරිකානු රජයේ සංකේතය ලෙස යි. ඉරිදා, තුති පිදීමේ දිනය, නත්තල් දිනය, අලුත් අවුරුදු දිනය සහ දිවුරුම් දීමේ දිනය හැරුණු විට වසරේ සෑම දිනක ම උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත ව පවතිනවා. 1800 වර්ෂයේ දී නිම කරන ලද පස් මහල් ගොඩනැගිල්ලක් වන එය සැලසුම් කර ඇත්තේ විලියම් තෝන්ටන් නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසින්.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය

© Joe Ravi

ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් බලය ලද ඇමෙරිකා එක්සත් ජනපදයේ උත්තරීතර අධිකරණය වන ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවන ලද්දේ අදින් වසර 225 කට පමණ පෙර යි. සති අන්තයේ දී සහ ෆෙඩරල් නිවාඩු දිනවල දී හැර අන් සෑම දිනක ම උදෑසන 9 සිට සවස 4.30 දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු පැවැත්වෙන අතර උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට පැමිණ නඩු විභාග කිරීම නැරඹීමට හැකි යි. එසේ ම තෝරා ගන්නා ලද දිනවල දී අධිකරණය තුළ දී ශ්‍රේෂ්ඨාධිකරණය සතු බලතල, ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ ඉතිහාසය සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි මාතෘකා පිළිබඳ ව මිනිත්තු 30 දේශන මාලා පැවැත්වීමට ද පරිපාලනය කටයුතු කරනවා.

කවරයේ පින්තූරය : © Anthony Quintano

Related Articles