ඉන්දියානු සංචාරයක දී නැරඹිය යුතුම රාජස්ථානයේ බලකො‍ටු

‘රාජස්ථාන්’ කියන්නෙ අසල්වැසි ඉන්දියාවේ විශාලත ම ප්‍රාන්තය යි. ‘රජුන්ගේ දේශය’ යන අරුත සහිතව නම් කර ඇති මෙම ප්‍රදේශය පෙර කල හැඳින්වුණේ ‘රාජ්පුතානාව’ යනුවෙනු යි. ඉන්දියාවේ බටහිර දෙසට වන්නට පිහිටා ඇති රාජස්ථානයේ වැඩි ප්‍රදේශයක් ථාර් කාන්තාරයෙන් වැසෙන අතර, සට්ලෙජ්-ඉන්දු නිම්නය ඔස්සේ පකිස්ථානයේ පන්ජාබ් සහ සින්ධ් ප්‍රාන්ත වලටත්, ඉන්දියානු පන්ජාබ්, හර්යානා, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, සහ ගුජරාත් ප්‍රාන්ත වලට සීමා වනවා.

රාජස්ථානය විදේශයන් හි වඩාත් ප්‍රසිද්ධ වීමට හේතුවක් තමයි, එහි වාසය කළ රාජ්පුත් වරුන් හා සබැඳි ඉතිහාසය. මුස්ලිම් ආක්‍රමණ වලට එරෙහිවත්, මූගල්වරුන්ට එරෙහිවත් සටන් වැදි රාජ්පුත්වරුන් මහා රණකාමීන්. ඔවුන් රාජස්ථානය පුරාම මහා බලකො‍ටු සහ මාළිගා ගොඩනැංවූවා. මෙම බලකො‍ටු කෙතරම් කලාත්මක, සහ ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූවා ද කිවහොත් 2013 වර්ෂයේ දී මේවායින් කඳුකර බලකො‍ටු 6ක් එක්සත් ජාතීන්ගේ ලෝක උරුම අතරට ඇතුලත් කෙරුණා. මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ක්‍රිස්තු වර්ෂ 8ත් 18ත් අතර කාලයේ දී එලෙස රාජස්ථානයේ අරවල්ලි කඳුවැටිය ආශ්‍රිතව ගොඩනැංවූ කඳුකර බලකො‍ටු 6ක් පිළිබඳවයි.

ජායිසල්මේර් බලකො‍ටුව

ජායිසල්මේර් බලකො‍ටුව (Rajasthan Direct)

මේ ඉන්දියාවේ විශාලතම බලකො‍ටු වලින් එකක්. ක්‍රිස්තු වර්ෂ 1156 දී රාජ්පුත් පාලක රාඕ ජායිසල් විසින් පිහිටවූ නිසා මෙම බලකො‍ටුවත්, එය පිහිටන නගරයත් ‘ජායිසල්මේර්’ යනුවෙන් හැඳින්වෙනවා. ථාර් කාන්තාරයේ ත්‍රිකූඨ කන්ද මත පිහිටා ඇති මෙය ‘රන් බලකො‍ටුව’ (සෝනා කිලා) යන නාමයෙන් හැඳින්වෙන්නේ කහ පැහැ වැලි ගලෙන් ගොඩනංවා ඇති නිසායි.

ඉතා විශාල බලකො‍ටුවක් වන මෙය යුධ අට්ටාල (බැස්ටියන්) 99කින් සමන්විත වන අතරම, එක් කලෙක දී මුළු නගරයෙහි ම ජනගහනය මෙය තුළ වාසය කරන්නට ඇති බවට සැලකෙනවා. මෙහි ප්‍රධානම සංචාරක ආකර්ෂණයන් වන්නේ රජුගේ මාළිගාව, ජෛන දේවාල 7ක්, ලක්ෂ්මිනාත් දෙවොල, වෙළඳුන් විසින් තනන ලද ‘හාවේලි’ නම් නිවෙස්, සහ විශාල දොර‍ටු සතර යි.

ජායිසල්මේර් බලකො‍ටුව නැරඹීමට සුදුසුම කාලය ලෙස ඔක්තෝබර් සහ මාර්තු අතර මාසයන් සැලකෙනවා.

ආමේර් බලකො‍ටුව

ආමේර් බලකො‍ටුව (Jas Grewal)

‘අම්බේර්’ යන නාමයෙන් ද හැඳින්වෙන මෙය පිහිටා ඇත්තේ ජායිපූර් නගරයට කිලෝමීටර 11ක් පමණ ඈතින් පිහිටා ඇති ආමේර් නගරයේ යි. රාජා මාන් සිං – I විසින් 1592 දී ඉදිකිරීම ආරම්භ කෙරුණු මෙහි වැඩ කටයුතු අවසන් කළේ සාවායි රාජ් සිං විසින්. මූගල් සහ රාජ්පුත් ගෘහ නිර්මාණ ශිල්පයන්හි සම්මිශ්‍රණයක් වන මෙය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ රතු වැලිගල් සහ සුදු කිරිගරුඬයි.

ආමේර් බලකො‍ටුවේ වඩාත්ම සුවිශේෂී ස්ථානය වන්නේ ‘දිවාන්-ඊ-ආම්’ යනුවෙන් හැඳින්වෙන පොදු ‍රැස්වීම ශාලාවයි. මෙය රජු හා සාමාන්‍ය ජනයා අතර හමුවීම සඳහා යොදාගැනුණු බව කියවෙනවා. අනෙක් සුවිශේෂී ස්ථාන වන්නේ, දිවාන්-ඊ-ඛාස්, ශීශ් මහාල්, ශීලා මාතා දෙවොල, සහ කාලි දෙවොල යි. මාඕතා විලට මුහුණ ලා ඉදිකර තිබෙන මෙම බලකො‍ටුව නැරඹීමට සුදුසුම නොවැම්බර් සිට පෙබරවාරි තෙක් සමය යි.

ගනේශ් පොල් නමින් හැඳින්වෙන ද්වාරය (Thousand Wonders)

ගාග්‍රන් බලකො‍ටුව

ජලාවර් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම බලකො‍ටුව ඓතිහාසික මෙන්ම ආගමික වශයෙන් ද වැදගත් කමක් උසුලන ස්ථානයක්. අහු, කාලි, සහ සින්ධ් ගංඟා වලට මායිම් වන මෙය, අනෙක් පසින් ආරක්ෂා වන්නේ මුකුන්දරා කඳු වැටියෙනුයි. මෙම බලකො‍ටුව තුළ ශිව, දුර්ගා, සහ ගනේශා දෙවිවරුන්ට කැප කළ දෙවොල් තනා තිබෙනවා. පිටත කො‍ටුවේ සු‍ෆි ශාන්තුවර මිත්තේ ශා ගේ සොහොන මත නිර්මාණය වූ දර්ගාව දක්නට ලැබෙනවා. සෑම වසරකම ඉස්ලාමික දින දර්ශනයේ ප්‍ර‍ථම මාසය වන මහරම් මාසයේ දී මෙහි සල්පිලක් පැවැත්වෙනවා.

ගාග්‍රන් බලකො‍ටුව (indiamike.com)

මෙම බලකො‍ටුව නැරඹීමට සුදුසුම කාලය වන්නේ ඔක්තෝබර් සහ පෙබරවාරි අතර සමය යි.

කුම්භල්ගාර් බලකො‍ටුව

කුම්භල්ගාර් බලකො‍ටුව (kumbhalgarhfort.in)

රාජ්සමන්ද් දිස්ත්‍රික්කයේ උදයිපූර් ඊසාන දිගින් අරවල්ලි කඳුවැටියේ ශිඛර 13ක ආරක්ෂාව යටතේ පිහිටා ඇති මෙය ඉදිකර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1443 – 1458 අතර කාලයේ දී රාණා කුම්භ රජු විසිනුයි. ද්වාර 10ක් ඇති මෙම බලකො‍ටුව තුළ ජෛන සහ හින්දු දෙවොල 360කට වැඩි සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. වේදී, නීලකාන්ත් මහාදේව්, ගනේශා, පර්ස්වනාත්, භවාන් දේව්‍රි, මමාදියෝ යන දේවාල, කුම්භ රජුගේ මාළිගය, බදල් මහාල්, සහ මහාරාණා ප්‍රතාප් රාජාගේ උපන් ස්ථානය මෙහි සංචාරක ආකර්ශනය දිනූ ස්ථානයන් වනවා.

බලකො‍ටුව වටකෙරෙන තාප්පය අඩි 15ත් – 25ත් අතර ඝනකමකින් යුක්ත වන අතර කිලෝමීටර 36ක් තරම් දුරට විහිදෙනවා. චීන මහා ප්‍රාකාරයෙන් පසු ආසියාවේ දෙවැනියට දිගම ප්‍රාකාරය ලෙස හැඳින්වෙන්නේ කුම්භල්ගාර් ප්‍රාකාරයයි. කිසිදා සතුරන්ට යටත් නොවූ තරමේ ශක්තිමත් බලකො‍ටුවක් වන මෙය කොතරම් උපායශීලීව ඉදිකර තිබෙනවා ද යත්, තනිව සටන් කර මෙය යටත් කරගැනීමට නොහැකි වූ නිසා මූගල් වරුන් විසින් මෙහි බලය බිඳීමට දිල්ලි, ආමේර්, සහ මේවාර් ආදී සටන් පෙරමුණු තුනකින් සේනා විහිදවූ බව කියැවෙනවා.

රන්තම්බෝර් බලකො‍ටුව

චෞහාන්වරුන් විසින් ක්‍රිස්තු වර්ෂ 944 දී පිහි‍ටුවනු ලැබූ මෙය පිහිටා තිබෙන්නේ සවායි මධෝපූර් දිස්ත්‍රික්කයේ යි. වින්ධ්‍යා සහ අරවල්ලි කඳු වලින් වටව ඇති මෙය තම්බෝර් කන්ද මත ඉදිකර තිබෙනවා.

රන්තම්බෝර් බලකො‍ටුවේ ඇතුලත දර්ශනයක් (JungleKey.in)

රන්තම්බෝර් ජාතික උද්‍යානය තුළ පිහිටා ඇති මෙම බලකො‍ටුවට යෑමට මාර්ගයක් නොමැති අතර පඩි පෙළක් සහ කන්ද නැග එයට ළඟා වීමට සිදුවෙනවා. කිලෝ මීටර 7ක වටප්‍රමාණයක් සහිත ප්‍රදේශයක පැතිරී ඇති මෙම බලකො‍ටුව තුළ දෙවොල, මාළිගා, සහ මුස්ලිම් පල්ලි දැකගත හැකියි.

මෙය ඉදිකෙරුණු පසු කලින් කලට සතුරු ආක්‍රමණ වලට මුහුණ පෑ අතර, අවසානයේ මූගල්වරුන් විසින් යටත් කරගනු ලදුව පළමුව මාළිගයක් ලෙසත්, පසුව සිරගෙයක් ලෙසත් භාවිතා කරනු ලැබුවා. 19වන සියවසේ දී ජායිපූර්හි මහරාජාට පවරා දෙනු ලැබූ මෙය 1947 දී ඉන්දියාව නිදහස ලබාගන්න තෙක් ම ඔවුන් යටතේ පැවතුනා.

රන්තම්බෝර් නැරඹීමට හොඳම කාලය වන්නේ නොවැම්බර් සිට මැයි දක්වා සමයයි.

චි‍ත්තෝර්ගාර් බලකො‍ටුව

මේවාර් හි අගනුවර ලෙස සැලකුණු චි‍ත්තෝර්ගාර් හි බලකො‍ටුව ගොඩනැගුණේ ක්‍රිස්තු වර්ෂ 7වන ශතවර්ෂයේ දී මෞර්යයන් අතින්. ක්‍රිස්තු වර්ෂ 7 – 16 අතර සියවස් වල රාජ්පුතානාවේ බලවත්ම මධ්‍යස්ථානයක් වූ චි‍ත්තෝර්ගාර් බලකො‍ටුව අක්කර 691.9ක ප්‍රදේශයක් පුරා පැතිරෙන ඉන්දියාවේ විශාලතම බලකො‍ටුව ද වනවා.

චි‍ත්තෝර්ගාර් බලකො‍ටුව ඇතුලත (Rajasthan Tourism Buzz)

මෙම බලකො‍ටුවට ප්‍රධාන ද්වාර 7ක් අයත් වන අතර විවිධාකාර දෙවිවරුන් උදෙසා කැප කළ දෙවොල ද, රජුන් ගේ මාළිගා ද මෙය තුළ දක්නට ලැබෙනවා.

චි‍ත්තෝර්ගාර් ඉතිහාසය පුරාවටම සතුරු පාර්ශව ඉදිරියේ පහසුවෙන් යටත් නොවුනු බලකො‍ටුවක්. කෙසේ නමුත් 14වන සියවසේ දී දිල්ලි සුල්තාන් අධිරාජ්‍යයේ අලා-උද්-දීන් ඛල්ජි විසින් ද, 1535 දී ගුජරාඨයේ සුල්තාන් බහදූර් ශා විසින් ද, අවසන 1567 දී මූගල් පාලක අක්බාර් විසින් ද මෙම බලකො‍ටුවට පහර දෙනු ලබනවා. ඒ සෑම අවස්ථාවේ දී ම බලකො‍ටුව තුල විසූ රාජකීය කාන්තාවන් ‘ජෞහාර්’ යනුවෙන් හැඳින්වෙන බිලිපූජාව (එනම්, බලකො‍ටුව සතුරන් අතට පත්වන විට, තමා ඔවුන් අතට පත්වීම වැළැක්වීම සඳහා ගින්නට පැන දිවි නසා ගැනීම) සිදු කර තිබෙනවා. 1567 දී අධිරජ අක්බාර්ගේ ප්‍රහාරයෙන් පසු චි‍ත්තෝර්ගාර් බලකො‍ටුව රාජ්පුත්වරුන් විසින් අත්හැර දමනු ලැබුවා.

නොවැම්බර් සිට පෙබරවාරි තෙක් සමය චි‍ත්තෝර්ගාර් බලකො‍ටුව නැරඹීමට හොඳම කාලය යි.

රාජස්ථානයේ මෙම බලකො‍ටු පූර්ව සහ අපර මධ්‍යතන යුගවල විසූ රාජ්පුත්වරුන්ගේ බලකො‍ටු සැලසුම් කිරීමේ සංකල්ප, ගෘහනිර්මාණ ශිල්පය, කලාකාමීත්වය, නිර්භීත බව, රාජකීය විභූතිය මෙන්ම, වැඩවසම් ලක්ෂණ ද මනාව පෙන්නුම් කරනවා. ඉතා ඈත සමයක ගොඩනැංවූ මෙම බලකො‍ටු ගිණිය නොහැකි තරම් සතුරු ආක්‍රමණ, අව්-වැසි නියං දරාගෙන තවමත් ශක්තිමත්ව නැගී සිටිනවා. ඉතින් ඔබත් ඉන්දියාවේ රාජස්ථානයට සංචාරය උදෙසා යෑමට අදහස් කරනවා නම්, මෙම මහා බලකො‍ටු නැරඹීමටත් අතපසු කරන්නට එපා.

Cover Image: (godelhi.net)

Related Articles