Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හුදෙකලා ලොවක සැඟවුණු රොරයිමා කඳුවැටිය

 

පරිසරයේ අපූර්වත්වය අවබෝධ කර ගත හැකි තරම් උදාහරණ සපයන ඕනෑ තරම් ස්ථාන ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවල පාහේ දැකගත හැකි ය. ඒ අතරින් රූමස්සල, නකල්ස් කඳුවැටිය, පිදුරුතලාගල වැනි කඳුකර ප්‍රදේශ ප්‍රධාන තැනක් ගනී. එවැනි ස්ථාන නැරඹීම සඳහා බොහෝ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ ඒවායේ අපූර්වත්වය සියැසින් ම දැක බලා ගැනීමට යි.

ශ්‍රී ලංකාවේ මෙන් ම ලොව අනිකුත් සියලු ම රටවල මෙවැනි අපූරු පරිසර පද්ධති දැකගත හැකි ය. දකුණු අමෙරිකාවට අයත් එවැනි එක කඳුකර ප්‍රදේශයක දී රටවල් තුනක් එකට හමු වේ. එම ප්‍රදේශයේ දැකිය හැකි ශාක සහ සත්ත්ව විශේෂයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලොව වෙනත් කිසිදු ප්‍රදේශයක දී හමු නොවන තරම් ය. ඊට අමතර ව මනස්කාන්ත ජල උල්පත් සහ දියඇලි වැනි අපූරු ස්වාභාවික නිර්මාණවලින් පිරුණු මෙම අපූරු කඳුවැටිය, එනම් රොරයිමා කඳුවැටිය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

රොරයිමා කන්ද – Unknown Hiker- දසුන් තාරුක

පිහිටීම

දකුණු අමෙරිකාවේ Pakaraima යනුවෙන් හැඳින්වෙන සානුවේ ඉහළ ම ස්ථානය ලෙස සැලකෙන රොරයිමා කඳුවැටියට එම නම යොදා ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ‘පේමන්’ නම් ජන කොටසක් ය. ඔවුන් භාවිත කරන භාෂාවට අනුව ‘රොරයි’ යන්නෙහි අර්ථය ‘නිල් මිශ්‍ර කොළ පැහැය’ යන්න යි. ‘මා’ යන්නෙහි අර්ථය වන්නේ ‘ශ්‍රේෂ්ට’ යන්න යි.

වෙනිසියුලාව, ගයනා ජනරජය සහ බ්‍රසීලය යන රටවල් තුනට මැදි ව පිහිටා තිබෙන රොරයිමා ප්‍රදේශය සානුවක් ලෙස හැඳින්වේ. ඉන් සියයට පහක් පමණ බ්‍රසිලයේත්, 10%ක් පමණ ගයනා ජනරජයේත්, ඉතිරි 85%ක පමණ ප්‍රමාණය වෙනිසියුලාවේත් පිහිටා තිබේ.

රොරයිමා කඳුවැටියේ වෙනිසියුලාවේ පිහිටි කොටස එරට ගිනිකොණ දිග ප්‍රදේශයට වන්නට පිහිටා තිබෙන වර්ග කිලෝමීටර 30,000ක පමණ වපසරියකින් යුතු කැනයිමා නම් ජාතික උද්‍යානයට අයත් වේ. එහි බ්‍රසීලයට අයත් කොටස ද ඇතුළත් ව ජාතික උද්‍යානයක් පිහිටුවා ඇති අතර එය මොන්ටේ රොරයිමා ජාතික උද්‍යානය යනුවෙන් හැඳින්වේ.

ඉංග්‍රීසි ජාතික ගවේෂකයකු වූ වෝල්ටර් රැලේ 1597 දී මෙම ප්‍රදේශය පිළිබඳ ව අධ්‍යනය කර තිබෙයි. එහි ඇති මේසයක මතුපිටක් වැනි පිහිටීම හේතුවෙන් එය වඩාත් ජනප්‍රිය වේ. මෙම කඳුවැටියේ උස ම ස්ථානය මීටර් 2,810ක උසින් යුතු ය. එහි සෑම පසෙකින් ම පිහිටා ඇත්තේ මීටර් 400කට වැඩි උසින් යුතු ප්‍රපාත වීම තවත් විශේෂත්වයකි. දියඇලි කිහිපයක් ද මෙහි පිහිටා තිබෙන අතර ඉන් ප්‍රධානත ම එකක් සේ සැලකෙන රොරයිමා දියඇල්ල මීටර් 610ක උසින් යුතු බවට ගණන් බලා තිබේ.

රොරයිමා දියඇල්ල – Unknown Hiker- දසුන් තාරුක

ජෛව විවිධත්වය

පෘථිවියේ වෙන කිසිම තැනකින් හමු නොවන කුඩා ප්‍රමාණයේ ශාක හා සත්ත්ව විශේෂවලින් සමන්විත මෙම ප්‍රදේශයට වසර බිලියන දෙකක පමණ අතීතතයක් ඇති බවට විශ්වාස කරයි. එය පෘථිවියේ ඇති පැරැණිත ම භූ විද්‍යාත්මක සැකැස්මක් ලෙස ද සැලකේ. රොරයිමා කඳුවැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලින් හමු වන බොහොමයක් ශාක සහ සත්ත්ව විශේෂ එම ප්‍රදේශයටම ආවේණික ඒවා ය.

වසරේ සියලු ම මාසවල දී විශාල, මධ්‍ය සහ සුළු වශයෙන් ලැබෙන වර්ෂාපතනයකට හිමිකම් කියන රොරයිමා කඳුවැටියේ භූමිය සම්පුර්ණයෙන්ම පාහේ වැලි සහ බොරළුවලින් යුක්ත වේ. භූ විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ යම්කිසි කාලයක මෙම ප්‍රදේශයේ පොළොව සරුසාර ව පැවතියත්, නිරන්තරයෙන් ඒ හරහා ගලා යන ජල පහරට එම සංඝටක සෝදා ගෙන ගොස් ඇති බව යි.

ගල් බොරළු සහිත පොළොව – Unknown Hiker- දසුන් තාරුක

 මෙම කඳුවැටියේ ඉහළ කොටසේ දීර්ඝ කාලයක් තිස්සේ ජල පහරවලට හසුවීම නිසා ගල් පර්වත සහ විවිධ පාෂාණවල ඇති වූ විවිධාකාරයේ හැඩතල දැකගත හැකි ය.

ස්වභාවික ව නිර්මාණය වූ කුඩා කුහර තුළ ඉතා පැහැදිලි ජලය පිරි තිබෙන අයුරු මෙම ප්‍රදේශයේ දී දැකගත හැකි ය.

ජලය පිරුණු කුහර – Unknown Hiker- දසුන් තාරුක

ගෙම්බන්, විවිධ කෘමින් සහ කටුස්සන් වැනි සත්ත්ව විශේෂයන් මෙම ප්‍රදේශය ආශ්‍රිත ව දැකගත හැකි ය. ඔවුන් සාමාන්‍යයෙන් ලෝකයේ වෙනත් ප්‍රදේශවලින් හමුවන එම විශේෂවලට අයත් සතුන්ට වඩා බෙහෙවින් ම වෙනස් ස්වරූපයක් දරයි.

එම හේතුව නිසාම මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් මෙම සතුන් ඇල්ලීමට පුරුදු වී ඇති හෙයින් මෙම සත්ත්ව විශේෂවලින් බහුතරයක් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බව පරිසර විද්‍යාඥයන් පෙන්වා දී තිබේ. ඒ අනුව බොහොමයක් විශේෂඥයන් සඳහන් කර ඇත්තේ මෙම සතුන් ඇල්ලීමෙන් වැලකීමේ වැදගත්කම පිළිබඳ ව සංචාරකයන් දැනුම්වත් කළ යුතු බව යි.

රොරයිමා ප්‍රදේශයට ආවේණික ගෙම්බෙක් – Unknown Hiker- දසුන් තාරුක

එවැනි සතුන්ට අමතර ව විවිධ කුඩා ප්‍රමාණයේ ශාක විශේෂ ද රැසක් මෙම ප්‍රදේශයේ දී දැකගත හැකි ය. ඒවා අතර මාංශ භක්ෂක ශාක විශේෂ ද තිබේ. බොහොමයක් ශාක ඉතා කුඩා ප්‍රමාණයට වැඩෙන පඳුරු විශේෂයට අයත් ශාක වේ.

මෙම ශාක සහ සත්ත්ව විශේෂවලින් සැලකිය යුතු ප්‍රමාණයක් හමු වන්නේ මෙම රොරයිමා කඳුවැටිය ප්‍රදේශයේ පමණක් බැවින් ඒවා සංරක්ෂණය කිරීම සඳහා වෙනිසියුලාව සහ බ්‍රසීලය වැනි රටවල් මේ වන විට පියවර ගෙන තිබේ.

ප්‍රදේශයේ ඇති ශාක විශේෂ –  Unknown Hiker- දසුන් තාරුක

 

ස්මාරකයක්

රොරයිමා කඳුවැටිය ආශ්‍රිත තවත් සුවිශේෂී ස්ථානයක් වන මෙම ස්මාරකය තනා ඇත්තේ බ්‍රසීලය, වෙනිසියුලාව සහ ගයනාව එකට එකතු වන ස්ථානයේ දී ය. බොහොමයක් සංචාරකයන් මෙම ස්ථානයට පැමිණ සමරු ඡායාරූපයක් ගැනීමට අමතක කරන්නේ නැත.

යුරෝපිය ගවේෂකයන් මෙහි ළඟා වීමට බොහෝ කලකට පෙර පටන් ස්වදේශික අමෙරිකානු ජන කොටස් මෙම කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශයේ ජිවත් වී තිබෙයි. ඉන් සමහර ජන කොටස් විශ්වාස කරන්නේ රොරයිමා කඳුවැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය එක කලෙක මේ ලෝකයේ පවතින සියලු ම එළවළු සහ පලතුරුවලට නිවහන වූ බව යි.

රොරයිමා හා බැඳුණු විවිධ මතවාද

කෙසේ නමුත් ‘මකුනයිමා’ එක්තරා පුද්ගලයෙක් එහි ගසක් කපා බීම හෙලීමෙන් අනතුරුව විශාල ගංවතුරක් නිර්මාණය වී මෙම ප්‍රදේශය වර්තමානයේ පවතින තත්ත්වයට, එනම් ගල් බොරළු පමණක් සහිත පොළොවක් බවට පත් වූ බවට ද ඔවුන් විශ්වාස කරයි. තවත් යම් යම් ජන කණ්ඩායම් විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශය දෙවියන්ගේ නිවහනක් වන බව යි. එහි දැකිය හැකි අන් කිසිදු තැනකින් හමු නොවන ශාක සහ සත්ත්ව විශේෂ දෙවියන්ගේ බලපෑමක් නිසා බිහි වූ ඒවා බවත් ඔවුන් විශ්වාස කරයි.

රටවල් තුන හමුවන ස්ථානයේ ඇති ස්මාරකය-  Unknown Hiker- දසුන් තාරුක

රොරයිමා කන්ද තරණය කිරීම

රොරයිමා කන්ද වටා ම ඉතා උස පර්වත පිහිටා තිබෙන බැවින් එය තරණය කිරීම තරමක් දුෂ්කර වුවත් එවැනි උසකින් යුතු කඳුවැටි අතරින් මුලින් ම තරණය කර ඇත්තේ මෙය බව වාර්තා වේ. එක්තරා කණ්ඩායමක් 1884 වසරේ දෙසැම්බර් මස 18 වන දින මෙම කන්ද තරණය කර තිබේ. ඔවුන් භාවිත කළ මාර්ගය ඔස්සේ ම යමින් තවත් කණ්ඩායමක් 1916 වසරේ ජනවාරි මස 15 වන දින එය තරණය කර තිබේ.

වර්තමානය වන විට වෙනිසියුලාවේ පිහිටි කඳුවැටි අතරින් වඩාත් ම ජනප්‍රිය එකක් බවට පත් ව ඇති මෙය තරණය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල්වලින් සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණේ. මෙම කන්ද තරණය කිරීම සඳහා ආසන්න වශයෙන් දින තුනක පමණ කාලයක් ගත වන බව පැවැසේ.

රොරයිමා තරණය කිරීමට යන පිරිසක් – Unknown Hiker- දසුන් තාරුක

රූපවාහිනී වාර්තා වැඩසටහන් වැනි විවිධ නිර්මාණ සඳහා ද මෙම කඳුවැටිය ආශ්‍රිත ව පටිගත කිරීම් සිදු කර තිබේ. 1973 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික කඳු නගින්න්නන් වූ ජෝ. බ්‍රවුන්, හැමිෂ් මක්ලන්ස් සහ දොන් විලන්ස් යන අය එවැනි වාර්තා වැඩසටහනක් සඳහා මෙය තරණය කර ඇත.

 කවරයේ පින්තූරය- වළාකුලුවලටත් ඉහළින් දිස්වන රොරයිමා කඳුවැටිය - Unknown Hiker- දසුන් තාරුක

මූලාශ්‍ර:

www.britannica.com 

www.beautifulworld.com 

www.guyanatourism.com 

www.hike-venezuela.com

Related Articles