මහවැලි ගඟ අඹන් ගඟ හා එක්වන ස්ථානයේ සිට සැතපුම් හතක් නිරිත දිගට වන්නට පොළොන්නරුව පිහිට ඇත. මෙය ශ්‍රී ලංකාවේ පැවති දෙවන අග නගරයයි. පොළොන්නරුව ප්‍රථම වරට අග නුවරක් ලෙස තෝරා ගත්තේ සොළීන් විසිනි. නමුත් සොළීන් පොළොන්නරුව යටත් කරගැනීමට පෙර සිට ම අනුරාධපුර රජවරුන් විසින් උප නගරයක් ලෙස පොළොන්නරුව සංවර්ධනය කර තිබුණි. 1070 දී පමණ චෝල ආක්‍රමණිකයන් පලවා හැරීමෙන් පසු පළමුවන විජයබාහු රජ විසින් පොළොන්නරුව තම අගනුවර වශයෙන් තෝරා ගන්නා ලදී. පළමු විජයබාහූ රජුගෙන් පසු රජකමට පත්වන මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරු යුගයෙහි හමුවන සමෘද්ධිමත්ම රාජ්‍ය පාලකයා වශයෙන් සැලකේ. පරාක්‍රමබාහු රජු විසින් පොළොන්නරුවේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමට බොහෝ සේ දායක විය. පොළොන්නරු නගරයේ පවතින විශාලතම වැව වන මහා පරාක්‍රමභාහු සමුද්‍රය ඔහු විසින් කරවන ලද්දේ එම ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය සපයා ගැනීම සඳහාය. අහසින් වැටෙන එකදු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයැවිය යුතුය යන අධිෂ්ඨානයෙන් යුතුව රජු කටයුතු කරන ලදී.

wordpress.com

වර්තමානය වනවිටත් අක්කර දහස් ගණනක කුඹුරු වගාවන් සඳහා ජලය ලබාදෙන මුලාශ්‍රයක් ලෙස පරාක්‍රම සමුද්‍රය හැඳින්විය හැක. පැරකුම් රජුගෙන් පසුව පොළොන්නරුව රාජධානියෙහි රජකමට පත්වන නිශ්ශංක මල්ල රජ රාජ්‍ය පාලනයෙහිලා යම් සාර්ථකත්වයක් අත්කර ගන්නා නමුදු ඔහුගෙන් පසු පැමිණි අනෙකුත් පාලකයන් හට එතරම් යහපත් රාජ්‍ය පාලනයක් දියත් කිරීමට නොහැකි වේ. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගත් කාලිංඝ මාඝ ක්‍රි.ව. 1214 පොළොන්නරුව යටත් කොට වනසා දැමීය. මේ හේතුව නිසා රාජ්‍ය පාලනය නිරිත දිගට සංක්‍රමණය විය. රජරට ප්‍රදේශ කාලයත් සමඟ වනයෙන් වැසී යන ලදී.  වර්තමානයේ ප්‍රධානතම පුරාවිද්‍යා නටබුන් නගරයක් ලෙස පොළොන්නරුව සැලකේ. එහි ඇති ප්‍රධාන නටබුන් පිළිබඳව දැන් අප විමසා බලමු.

ගල්විහාරය

lucycalder.com

මෙය මහා පරාක්‍රමබාහු රජ විසින් කරවා ඇත. මේ තුළ සමාධි පිළිම දෙකක්, හිටි පිළිමයක් හා පරිනිර්වාණ පිළිමයක් දක්නට ලැබේ. විශාල සමාධි පිළිමය උසින් අඩි 16 පමණ වන අතර එම පිළිමය පිටුපස තොරණක් දක්නට ලැබේ.  පද්මාසනය මත වැඩ සිටින මෙම සමාදී පිළිමයේ පිටුපස ඇති තොරණ තුළ බුදු පිළිම හතරක් දක්නට ලැබේ. විජ්ජාධර ගුහාව තුල කුඩා සමාධි පිළිමය තැන්පත් කර ඇත. මෙම පිළිමය උසින් අඩි 4ක් පමණ වේ. පිළිමය දෙපස සිංහ රුප දෙකක් ඇත. හිටිපිළිම වහන්සේ අඩි 23ක් පමණ උසකින් යුතු වේ. ඇතැමුන් පවසන්නේ මෙය බුද්ධ පරිනිර්වාණය නිසා දුකින් පසුවන ආනන්ද හිමිගේ පිළිරුවක් බවයි. පරිනිර්වාණ පිළිමය දිගින් අඩි 46ක් පමණ වේ. ඇතැමුන් එය සැතපෙන පිළිමයක් ලෙසද හදුන්වයි.

පොත්ගුල් වෙහෙර

travelches.wordpress.com

මහා පරාක්‍රමභාහු රජු විසින් කරවා ඇත. මෙය ගෙඩිගේ ක්‍රමයේ විහාරයකි. විහාර බිම වේදිකා හතරකින් යුක්ත වන අතර විහාරය පිහිටා ඇත්තේ ඉහළ මාලයේය. විහාර මළුවේ කොන් හතරේ කුඩා ස්ථූප හතරක් දක්නට ලැබේ. විහාරයේ ඇතුලත බිත්ති වල බිතු සිතුවම් තිබූ බවට සාධක හමුවේ. මෙය කාම්බෝජ අාභාෂයෙන් කළ විහාරයක් ලෙස සැලකේ.

පරාක්‍රමබාහු රජ මාලිගය

lanka.com

මෙය තට්ටු හතකින් යුක්ත මෙය මහල් හතකින් යුතු නිසා ‘සත්බුමුපාය’ කියා ද සියලු යස ඉසුරු වලින් පිරි ගිය නිසා ‘වෛජයන්ත ප්‍රාසාදය’ ලෙස ද හඳුන්වා ඇත. මෙහි දැනට ශේෂව ඇත්තේ මහල් තුනක් පමණි. මෙහි කාමර දහසක් පැවති බවට වංශ කතාවල සඳහන් වේ. වර්තමානයේද එහි කාමර 55ක අවශේෂ දැකිය හැකිය. මාලිගයට ජලය සපයාගෙන ඇත්තේ භූගත නල මගිනි.  මෙම ප්‍රාසාදය ඝන බිත්ති වලින් යුතු වේ. මෙය මාඝ විසින් ගිනි තබා විනාශ කර ඇති බවට ඇතුලත හමුවන උණුවී ගිය ගඩොල් මගින් සනාථ වේ.

ශෛලමය ප්‍රතිමාව

lanka.com

අඩි 11 අගල් 6ක උසින් යුතු වන මෙය කාගේ ප්‍රතිමාවක්ද යන්න නිසැකවම හඳුනාගෙන නැත. පිළිමයේ ඇති තේජාන්විත බව නිසා බොහෝ දෙනෙක් එය පරාක්‍රමබාහු රජුගේ යයි විස්වාස කරයි. ඇතැමෙක් එය පුලතිසි පිළිරුව ලෙස සලකන අතර තවත් පිරිසක් එය කපිල හෝ අගස්ති පිළිරුව විය හැකි බවටද මතවාද ඉදිරිපත් කරයි. පිළිමයේ දෑතේ ඇති වස්තුව පිළිබඳවද විවිධ මත ඉදිරිපත් වී ඇත. ඇතැමුන් එය පුස්කොල පොතක් බව හැඳින්වුවත් මහාචාර්ය පරණවිතාන මහතාට අනුමාන කරන්නේ එය ‘විය ගහක්’ බවයි. පැරණි ඉන්දියානු සංකල්ප අනුව වියගහින් සංකේතවත් කරනුයේ රාජ ධුරයයි.

නිශ්ශංක ලතා මණ්ඩපය

en.wikipedia.org

මෙය නිශ්ශංකමල්ල රජුගේ අපුර්ව නිර්මාණයකි. පිරිත් ඇසීම හා දළදා වන්දනය සඳහා මෙය ඉදිකර ඇත. මණ්ඩපය ගල් ගරාදි වැටකින් වටකොට ඇති අතර වේදිකාව මත තුන් තැනකින් නැමුණු ගල්ටැම් 8ක් ඇත. කුළුණු හිසේ පිපුණු නෙළුම්මල් දැකිය හැකිය.

අටදාගෙය

flicker.com

මෙය පළමුවන විජයබාහු රජු ඉදිකළ දළදා මැදුරයි. දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙහි උඩු මහලට ගමන් කිරීමට ඉදිකළ පියගැට පෙලේ අවශේෂ හමුවේ. උඩු මහලේ පාත්‍ර ධාතුව හා දළදා වහන්සේ තැන්පත් කොට තිබෙන්නට ඇත. මෙහි ගල් කණු අලංකාර කැටයම් වලින් සරසා ඇත. අනුරාධපුර සමයට අයත් සඳකඩ පහණක් මෙහි දැකිය හැක. ඊට නුදුරින් හමුවන වෙල්ලක්කාර සෙල් ලිපියේ සඳහන් වන්නේ දළදා වහන්සේගේ ආරක්ෂාව වෙල්ලක්කාර භටයින් වෙත පැවරී තිබූ බවයි.

ගල්පොත

heaven365.org

නිශ්ශංකමල්ල රජු විසින් කරවන ලද්දකි. දිවයිනේ හමුවන විශාලම සෙල්ලිපියක් වන මෙය පොතක් ලෙස කොටස් තුනකට බෙදා ඇති නිසා ගල්පොත සෙල්ලිපිය ලෙස හැඳින්වේ. ගල ටොන් 25ක් පමණ බරින් යුතු වේ. මෙහි අක්ෂර 4300ක් පමණ දැකිය හැක. පුවරුව කෙළවර වම්පස සිට දකුණට හංස පේලියක් දක්නට ලැබේ. මෙහි අඩංගු වන්නේ නිශ්ශන්කමල්ල රජු හා ඔහුගේ කාර්යන් පිළිබඳවයි.

පබළු වෙහෙර

ceylontouradvisor.com

මෙය පැරකුම්බා රජුගේ රූපවතී බිසව විසින් කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙහි පේසාවට නැගීමට පියගැට පෙළක් ඇත. කොරවක් ගල් හා මුරගල් ආදියද අවට දැකිය හැක. කොත් කැරැල්ල වෙනුවට ඡත්‍ර ගලක් සවිකොට තිබී ඇත.

කවරයේ පින්තුරය – travelling.net

මුලාශ්‍ර

  1. ජයසිංහ බාලසුරිය ,පොළොන්නරු උරුමය (විල්ලුද ග්‍රැෆික්ස් ප්‍රින්ටර්ස්)
  2. wikipedia.org
  3. wandermuch.com
  4. lanka.com