නුවරගල මුදුනේ ගුප්ත බලකොටුවේ විස්මය

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබෙන නුවරගලට යා යුත්තේ මහඔය නගරයේ සිට වනය මැදින් දිවයන  පොල්ලේබැද්ද වැදි ගම්මානට යන පාරේ ගමන් කිරීමෙනුයි. පොල්ලේබැද්ද ගමට ඈතින් වනය බිඳගන ඉහළ නගින නුවරගල කන්ද කදිමට පේනවා. මේ කන්ද ජනප්‍රවාද කිහිපයක් පරිවරාගත් නොවිසඳුණු ඓතිහාසික රහස් සඟවාගත් තැනක්.

යන්නේ පරිස්සමින්

කඳු පාමුල රඹකැන් ඔය ජලාශය- Wikipedia.org

පොල්ලෙබැද්ද සිට නැඟෙනහිර දෙසට ඇති අතුරු මාර්ගයේ කි. මී.  3ක් පමණ ගමන් කළ විට කඳුවැටිය පාමුලින් ගලාබසින බුන්දෙණි ආර හමුවෙනවා. එහි සිට වනයේ අඩිපාරවල් ඔස්සේ කඳුමුදුනට පිවිසීමට ගමන් කළ යුතු යි. ඈතින් රඹකැන් ඔය ජලාශයත් පිහිටා තිබෙනවා. වනාන්තරය මැද ඉතා සුන්දර වටපිටාවක තමයි මේ පුරාවිද්‍යා උරුමය පිහිටා තිබෙන්නේ. පුරාණ  දිගාමඩුල්ලේ බින්තැන්නේ මහ වැදිරටට තමයි මේ පැත්ත අයිති වුණේ. ඉංග්‍රීසි ජාතික පර්යේෂකයකු වූ සෙලිග්මාන් වැදි රටේ සංචාරය කර ඇත්තේ වැද්දන් පිළිබඳ පර්යේෂණාත්මක ගවේශනයක් කිරීමට යි. ඊට පසු ආර්. එල්. ස්පිට්ල් මේ අවට වැද්දන් සොයා කළ සංචාර ගැන ඔහුගේ කෘතිවල දැක්වෙනවා.

අතරමග ප්‍රාකාර කොටස්-  Amazinglanka.com, Chamara Perera

නුවරගල කන්ද දක්වා ගමන්කිරීමට අඩිපාරවල් තමයි තිබෙන්නේ. මේ අවට අලිඇතුන් ද සංචාරය කරන නිසා ඒ සඳහා ගැමියකුගේ මඟපෙන්වීම ලබාගන්නවා නම් වඩාත් සුදුසු යි. කෑම සොයා යන අලි ඇතුන් නියං සමයේ දී දිය පවස නිවා ගැනීමට නුවරගල කඳු මුදුනේ පිහිටි පොකුණට එන බවත් ගැමියන් පවසනවා.

නුවරගල කන්ද

කන්දට යන අතරමඟ – Mihipedia.lk

පොළෝ මට්ටමේ සිට අඩි දහසක් පමණ ඉහළ නගින මේ කන්ද ගල්පර්වත කිහිපයකින් සමන්විත යි. බොහෝ දිය මං අද්දර කොටි වසුරු තිබීමෙන් පෙනෙන්නේ කොටියා ද මේ අවට සැරිසරන බව යි. තිත් මුවා සහ ගෝනා ද මෙහි සුලබ යි. වලසුන් ද මේ වනය සිය අභය බිම කරගෙන ඇති බවට සලකුණු තිබෙනවා.

කන්දේ තැනින් තැන වනාන්තරයත් පැතිර තිබෙනවා.  ගල් පර්වත අතරින් කන්ද මුදුන දක්වා ගමන් කිරීමට පුරාණයේ සකස් කළ මාර්ගය දැන් වල් බිහිවී ගොස් ඇති නිසා, එය තරණය කිරීම දුෂ්කර කාර්යයක්. නමුත් ත්‍රාසජනක සංචාරවලට කැමති රසිකයන් ඒ වෙත පිවිසෙනවා. පුරාණයේ ගල්පඩි අල්ලා, ගල් වැටි දමා සකස් කළ බලකොටුවක් ලෙස මෙය තිබූ බව යි පැවසෙන්නේ. නමුත් ඒ ගැන නිශ්චිත ඓතිහාසික සාධක නම් හමුවෙලා නැහැ. සමහර විට අංගසම්පූර්ණ පුරාවිද්‍යා කැණිම් වැඩසටහනක් කළොත් එයට පිළිතුරු ලැබේවි. වැල්වල එල්ලෙමින් දණ ගාමින් ද විටෙක ගලින් ගලට පනිමින් කන්ද නැගීමට සිදුවෙනවා.

අවට කඳුවල සුන්දරත්වය- Amazinglanka.com, Chamara Perera

දශක කිහිපයකට පෙර මේ ස්ථානයට පිවිසි පුරාවිද්‍යා පර්යේෂක එල්ලාවල මේධානන්ද නාහිමි ඒ ගැන මෙසේ විස්තර කරනවා:

හැම පැත්තෙන්ම සීඝ්‍ර බෑවුම් සහිත නුවරගල කන්දට නැගිය හැක්කේ බටහිර පැත්තෙන් පමණි. කන්ද පාමුල සිට මුදුනට නැගීම පිණිස පුරාණයේ දී කරවන ලද විශේෂ මාර්ගයක් දක්නට ලැබේ. ගල්පලු ඇතිරූ දෙපස අත්වැල් ගල් සවිකර ඇති මේ මාර්ගය සැතපුමකට වඩා (කි. මී. 1.6කට වඩා) දිව යයි. 

(නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය කෘතිය)

කටාරම් කෙටූ ලෙන්

කඳු බෑවුමේ ලෙන්- Amazinglanka.com, Chamara Perera

කන්දට දිවෙන මේ ගල්ඇල්ලූ මංපෙත නිමා වන්නේ කටාරම් කෙටූ ලෙනකින්. එම ලෙන පුරාණයේ බිත්ති බැඳ තිබෙන්නට ඇති බව පේනවා. එය 150කට පමණ සිටිය හැකි විශාල ලෙනක්.

ක්‍රිස්තු පූර්ව යුගයේ දී මේ දුෂ්කර පර්වත කූටයේ බවුන් වැඩූ භික්ෂූන්වහන්සේ සිටි බවට සාක්ෂ්‍ය සපයන ගල්ලෙන් 20කට අධික සංඛ්‍යාවක් බෑවුම්වල හමුවෙනවා. ඒ අතරින් ඉහත සඳහන් කළ විශාල ලෙනේ කටාරමට යටින් බ්‍රාහ්මි අක්ෂරවලින් කොටා ඇති සෙල්ලිපිය මෙසේ යි:

දෙවනපිය මහරජහ ගමිණිතිශහ පුත මහ තිශ අයහ ලෙණෙ ශගශ

අරුත: දේවානම් පිය මහරාජ ගාමිණී තිස්සගේ පුත්‍රයා වූ මහාතිස්ස කුමරුගේ ලෙන සංඝයාට පූජාකරන ලදී.

බ්‍රාහ්මී සෙල්ලිපි- Amazinglanka.com, Chamara Perera

  මෙහි දැක්වෙන ගමිණිතිශ මහ රජු සද්ධාතිස්ස රජු ලෙස සැලකීමට හැකි බව එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරනවා. ඒ අනුව ඔහුගේ පුත්‍රයා ලෙස දැක්වෙන්නේ ඉන්පසුව අනුරාධපුරයේ රජ වූ ලජ්ජිතිස්ස යි. ඒ අනුව නුවරගල ලෙන් පූජා කරවා ආරණ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කර ඇත්තේ ලජ්ජිතිස්ස කුමාර කාලයේ දිගාමඩුල්ලේ සිටි කාලයේ විය යුතු බව එල්ලාවල හිමි දක්වනවා.

කටාරම් තුනක් කෙටූ ලෙනක්- Amazinglanka.com, Chamara Perera

    මෙහි මුලින්ම පැවති බලකොටුව කවුරුන් විසින් කරවූයේදැ යි නිශ්චිත නැහැ. ඒ සඳහා පුරාවිද්‍යා ගවේශනයක් හෝ කැණීමක් ද මේ ප්‍රදේශයේ සිදුකර නැහැ. කඳු පාමුල සිටපොල්ලෙබැද්ද දක්වාත් වනයේ තැනින් තැනත් නටබුන් රාශියක් හමුවෙනවා. ඒවා අනුරාධපුර යුගයේ මුල්කාලීන ලක්ෂණ දරනවා. එකල දිගාමඬුල්ලේ මේ ප්‍රදේශය ඉතා සශ්‍රීක මෙන්ම බෞද්ධ ජනතාවක් වාසය කළ පෙදෙසක් බවට යි මේ සාධකවලින් පෙනෙන්නේ.

ගල මුදුනේ නුවර

ගලමත කෙටූ පියගැට-  Amazinglanka.com, Chamara Perera 

පුරාණයේ කිසියම් පිළිවෙළකට ගල් අතුරා සකස් කරන ලද මං පෙත අවසන් වන්නේ සමතලා ගල්තලාවකින්. මේ මඟ අඩි 8ක් පමණ පළලකින් යුක්ත යි. එය වසා ගෙන දෙතුන් පැත්තකින් ගස්වැල් වැවී සෑදුන සෙවන නිසා ඔබට එහි විවේක ගැනීමටත් පුළුවන්. ගැමියන් එයට ලබා දී ඇති නම වාඩිගල යි. එතැන් සිට ඉහළට තනි කෙළින් නැඟී සිටින නුවරගල ගල් පර්වතයෙහි බෑවුමට වෙන්නට තැනින් තැන ගලින් සෑදු මුර කුටි වැනි ස්ථාන කිහිපයක් හමුවෙනවා.

දෙතුන් දෙනෙකුට සිටිය හැකි සේ මනාව ගල් සිටවා සකස් කර ඇති මුර කුටි අතරින් කන්ද මුදුනට නැඟීමට වක්‍රාකාරව මං පෙතක් වැටී තිබෙනවා. ඒ ඔස්සේ කන්ද තරණය කරන්නෙකුට හමු වන්නේ ගල්පර්වතය වසා ගෙන වැවුන විවිධ වර්ගයේ ගස් වැල් ද මීවන උඩවැඩියා ආදියෙන් ද අලංකාර වූ වියළි කලාපීය වනපෙතක්.

පර්වතයේ සිට ඈත දසුනක්- Amazinglanka.com, Chamara Perera

අඩි 700ක් තරම් උස් මට්ටමේ කඳු හිසෙහි ඉදිරියට නෙරා ඇති ගල් තැල්ලක් කටාරම් කොටා සැකසූ ලෙන් කුටි හතක් ද මෙහි හමුවෙනවා. දොර කවුළු තරම් උසින් පළලින් යුතු කුටි හත ගැමියන් හඳුන්වන්නේ “දොරන් පේන ඇල්ල” නමින්. මේ දොරන්වලට සමීප විය හැක්කේ ගල මුදුනේ සිට වැල් ඉණිමඟක් පහතට හෙළා ඒ මඟින්. ඒවා සීගිරියේ බිතුසිතුවම් සහිත ගල්ගෙය ද එවැනි ස්ථානයක්.

ආර්. එල්.  බ්‍රෝහියර් නුවරගල පිළිබඳව මෙසේ දක්වා තිබෙනවා:

ආරක්ෂාව පිළිබඳ ස්වභාවික සාධකය නිසා මෙය සැබවින්ම සුපතළ බළකොටුවක් වන්නට ඇත. පැරණි රජුන් තම බළකොටු පිහිටුවා ගත්තේ මහ වන මැද රළු බෑවුම් ඇති පර්වත මත ය. බොහෝවිට ජලාශයකින් ද එය තවදුරටත් සුරැකුණි. පර්වතය මුදුණේ දැකිය හැකි පැරණි නගරයේ නටබුන්වලට අමතරව ඉතා සුන්දර කෘතිම කෙමක් දැකියා හැක. කෙම යනු ගල්පර්වතවල පිහිටා ඇති සුන්දර පොකුණකි. නුවර ගලේ බටහිර පවුරක් වන් තද බෑවුමකි. 

(බ්‍රෝහියර් දුටු ලංකාව)

විස්මිත පොකුණ

පර්වතය මත කැපූ පොකුණ- Amazinglanka.com, Chamara Perera   

  නුවරගල සැබැවින්ම ගලක පිහිටි නුවරක් බව පැහැදිලි වන්නේ එහි කඳු මතට පිවිස විට යි. ගිරි ශිඛර මුදුන අක්කර ගණනන් පුරා පැතිර පවතින තැනිතලාවක්. ගල මුදුණෙහි එක කොටසක් මඳක් උසින් වැඩියි. එයට පහළින් ඇත්තේ පර්වතය හාරා මිනිසා තැනූ පොකුණක්.

අදත් ජලයෙන් පිරී පවතින පොකුණෙහි දිග අඩි 77ක් වන අතර පළල අඩි 55ක්. නියං සමයෙහි පවා එහි දිය නොසිඳෙන බව සඳහන් වෙනවා. එය විස්මිත නිර්මාණයක් බව යි දකින විට පෙනෙන්නේ. මෙකී ජල පොකුණ කපා සකස් කිරීමේ දී ඉවත් කළ ගල් කුට්ටි බෑවුම දෙසින් ගල් වැටියක් ලෙස ගොඩ කර තිබෙනවා. මේ පොකුණ තවත් පුළුල් කිරිම සඳහා හෝ පොකුණට ප්‍රවිෂ්ට වීම සඳහා මාර්ග පද්ධතියක් ඉදි කිරීමට හෝ කරන ලද සීමා නිර්ණ සලකුණු පොකුණ පිහිටි ගල්තලාව සමීපයේ දක්නට ලැබෙනවා. ඉදිකිරීම් වැඩ නිම නොවූ මෙම ජලාශයට ඉහළ කොටසේ කිසියම් ගොඩනැගිල්ලක් තිබු බවට ද  සලකුණු දැකගත හැකියි. 

පොකුණට ඔබ්බෙන් පිහිටි උස් බිම හඳුන්වන්නේ මාලිගාතැන්න කියලයි. ඒ අවට ගල්කුලුනු කොටස්, ගල් පාදම්, ගඩොළු ආදිය විසිර තිබෙනවා. පුරාණයේ මෙහි ගොඩනැගිලි කිහිපයක්ම තිබූ බවට එම ශේෂ අපට පවසනවා. එම ස්ථානයේ සිට නැඟෙනහිර දෙසට බෑවුමේ අඩි සියක් පමණ දිගකින් යුත් ගල්ලෙනක් පිහිටා තිබෙනවා. මෙහි විශේෂත්වය නම් එය කටාරම් තුනකින් යුක්තවීම යි. දිගාමඬුලු තැනිතලාව ඉතා සුන්දර අයුරින් දැකගැනීමටත් කඳු මත දී ඔබට අවස්ථාව ලැබෙනවා. 

ගිරිනුවර

පර්වතය මත ලෙනක්- bestofceylon.com                       

ඇතමෙක් මේ ස්ථානය ගිරි නුවර වශයෙන් ද මතයක් ඉදිරිපත් කරනවා. ධාතුවංශයේ සඳහන් වන කාවන්තිස්ස රජුගේ සොහොයුරියක වූ සෝමා දේවිය (සෝමවතිය දාගැබ තැනීමට මුල් වූ) සරණ පාවාගත් ගිරි අභය නම් රජ කුමරාගේ ප්‍රාදේශිය රාජධානිය මෙහි පිහිටි බව ඔවුන්ගේ මතය යි. ගැමුණු කුමරු සමග හටගත් මතභේදයක් නිසා ගිරිඅබය රජු පසුව ගිරිනුවර අතහැර සේරු නුවරට ගිය බව ධාතු වංශයේ සඳහන්.

රඹකැන්ඔය

පැරණි ඇළ මාර්ගවල නටබුන්-Nishan Weerasooriya, Amazinglanka.com      

නුවරගල කඳුවැටිය පාමුල සීත වන්නිය කඳුවැටිය අසලින්ගලා යන රඹකැන්ඔය හරස් කර පුරාණයේ වේල්ලක් බැඳ ජලාශයක් ඉදිකර තිබුණා. එහි දෙපා ඇළ මාර්ගවල නටබුන් ද වනගතව දැකගත හැකියි. එම නටබුන් නිරීක්ෂණය කිරීමේ දී හැඟීයන්නේ එම වාරි කර්මාන්ත වැඩ නිම නොකරන ලද්දක් බව යි. එයට යම්කිසි සතුරු කරදරයක් හේතුවූවා විය හැකියි.  වර්තමානයේ, වර්ෂ 2013 දී, එම ස්ථානයේ රඹකැන්ඔය ජලාශය අලුතින් ඉදිකර අවට වගාබිම්වලට දියවර සපයනවා.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - එල්ලාවල මේධානන්ද හිමි

http://archives.dinamina.lk/2010/10/26

පෞරාණික ස්ථන සහ ස්මාරක අම්පාර දිස්. - චන්දන රෝහණ විතානච්චි

Cover: නුවරගල කන්ද පොල්ලෙබැද්දට පෙනෙන අයුරු-  youtube.com

Related Articles