Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ සාගානෝ උණ වනාන්තරය ගැන අපූරු තොරතුරු

උණ, නිවර්තන සහ උප නිවර්තන කලාපීය රටවල හොඳින්ම වැවෙන ශාකයක්. ගිණිකොණදිග ආසියාව, දකුණු ආසියාව, දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සහ අප්‍රිකාව යන ප්‍රදේශවල මෙම ශාකය බහුලවම දක්නට ලැබෙනවා. ඉතාමත් අලංකාර ශාකයක් වන උණ, පරිසරයට සුන්දරත්වයක් එක් කරන ගමන්ම ජෛව විවිධත්වය රැකගැනීමටත් දායකත්වයක් ලබාදෙනවා.  

මහා පරිමාණයෙන් උණ වගාව සිදුකරන රටවල් අතරින් එකක් තමයි ජපානය. ජපානය ඈත අතීතයේ සිටම උණ ගස් සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබුණා. ඒ උණ බම්බු සහ උණ ගස වාසනාවේ සහ ශක්තියේ සංකේතයක් බවට විශ්වාසයක් ජපන් ජාතිකයන් අතර පවතින නිසා යි. එනිසා අතීතයේ සිටම ජපානයේ උණ ගස් වගාකරනු ලැබූ අතර, සමහර ප්‍රදේශවල උණ ගස් වනාන්තර ද නිර්මාණය කෙරුණා. මීට සියවස් ගණනාවකට පෙර කියෝතෝ ප්‍රදේශයේ ද “සාගානෝ” නමින් අපූරු උණ වනාන්තරයක් නිර්මාණය වුණේ එලෙස යි. 

ඕනෑම සංචාරකයෙකුගේ සිත මෝහනය කරන දසුන්වලින් පිරි සගානෝ උණ වනාන්තරය අද වන විට ජපන් රටේ ප්‍රමුඛතම සංචාරක ඉසව්වක් බවට පත්ව තිබෙනවා. එනිසා දිනකට දෙස් විදෙස් සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙම අපූරු උණ වනාන්තරය වෙත පැමිණ විවේකීව කාලය ගතකරන ආකාරය සුලබව දක්නට ලැබෙන දර්ශනයක්. 

1) සාගානෝ උණ වනාන්තරය නිර්මාණය කිරීමට හේතුව 

සාගානෝ උණ බම්බු වනාන්තරය (Youtube)

අටවන සියවසේ පමණ ජපානයේ සිටි වංශවත් පවුල්වල උදවිය ස්වභාවික පරිසරයක විවේකීව කාලය ගත කිරීමට කැමැත්තක් දක්වුවා. ජපානයේ විවිධ ප්‍රදේශවල විසිතුරු උද්‍යාන ඉදිවුණේ ද එම යුගයේ සිට යි. ජපන් වැසියන් උණ බම්බු සහ උණ ගස් වාසනාවේ සහ ශක්තියේ සංකේතයක් ලෙස සැලකූ නිසා සගානෝ උණ වනාන්තරය නිර්මාණය කරන්නට ඇතැයි සැලකෙනවා. ඒ අනුව, ආසන්න වශයෙන් මීට වසර 1000කට පෙර සිටවත් ජපන් වැසියන් සහ ජපන් වංශවතුන් මෙම සුන්දර උණ වනාන්තරය නැරඹීම සඳහා පැමිණෙන්නට ඇති බවට අනුමාන කරනවා.

අද වන විට අක්කර 3950ක් පුරා විසිරී පවතින මෙම වනාන්තරය කියෝතෝවේ ප්‍රසිද්ධ සංචාරක ඉසව්වක්.

2) මොසෝ නම් උණ ගස් ප්‍රභේදය මෙහි රෝපණය කර තිබෙනවා 

වනාන්තරය තුළ තිබෙන මොසෝ උණ ගස් (Love These Pics)

සාගානෝ උණ වනාන්තරය තුළ වගාකර තිබෙන්නේ මොසෝ නම් උණ ශාක ප්‍රභේදය යි. චීනයට ආවේණික උණ ප්‍රභේදයක් වන මෙය කෙටි කලකින් විශාල වර්ධනයක් පෙන්නුම් කරනවා. එනිසා මොසෝ නැමැති විසිතුරු උණ ශාක ප්‍රභේදය වනාන්තරයක හෝ ගෙවත්තක වගා කිරීම සඳහා වඩාත් යෝග්‍ය යි. එසේම කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ දී සහ ඔක්සිජන් නිෂ්පාදනය කිරීමේ දී මෙම උණ ප්‍රභේදය අනිකුත් උණ ප්‍රභේදවලට වඩා සක්‍රීයව ක්‍රියා කරන බව විශ්වාස කෙරෙනවා. මොසෝ උණ ප්‍රභේදයේ බම්බුවල තන්තු අනිකුත් උණ වර්ගවල තන්තුවලට වඩා ශක්තියෙන් බොහෝ වැඩියි. එනිසා මොසෝ උණ තන්තු විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරනවා.

සගානෝවේ රෝපණය කර තිබෙන මොසෝ උණ ගස් එකිනෙකට ඉතාමත් සමීපව පිහිටා තිබෙනවා. එම උණ ගස් සුළඟ සමග සංයෝජනය වන විට අපූරු ශබ්දයක් වනාන්තරය තුළින් ඇසෙනවා. සාගානෝ වනාන්තරය තුළින් ඇසෙන අපූරු ශබ්දය ජපානයේ හොඳම ශබ්ද දර්ශන 100 අතරට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. ජපන් පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වය යටතේ ශබ්ද දර්ශන 100ක් ප්‍රකාශයට පත්කර තිබෙන්නේ  ජපන් වැසියන්ට පරිසරය විඳීමට හුරුකරවීම සඳහා යි. 

3) වනාන්තරය තුළ පිහිටා තිබෙන අපූරු වඳුරු උද්‍යානය 

ඉවාටයාමා වඳුරා උද්‍යානය (Japan Rail Pass)

සාගානෝ උණ බම්බු වනාන්තරය තුළ පිහිටා තිබෙන තවත් එක් විශේෂිත ස්ථානයක් වන්නේ ඉවාටායාමා වඳුරු උද්‍යානය යි. 1957 වසරේ දී වර්ග මීටර 6000ක පමණ භූමි භාගයක ආරම්භ කෙරුණු මෙම වඳුරු උද්‍යානය වර්තමානය වන විට ඊට වඩා වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිරී තිබෙනවා. එසේම මෙහි ජපානයට ආවේණික වඳුරු වර්ගයක් වන හිම වඳුරන් 120කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. 

මෙම අපූරු වඳුරු උද්‍යානය නැරඹීමට යන සංචාරකයන්ට ඒ අසල පළතුරු විකිණීමට තිබෙන ස්ථානවලින් පළතුරු මිලට ගෙන උද්‍යානයේ සිටින වඳුරන්ට ලබාදෙන්නට පුළුවන්. මෙහි සිටින වඳුරන් මිනිස් වාසයට හුරුවී සිටින නිසා මෙහි පැමිණෙන සංචාරකයන්ට වඳුරන් සමග සමීපව හිඳ ඡායාරූප ගැනීමේ අවස්ථාව ද හිමිව තිබෙනවා. සුන්දර පරිසරයක පිහිටා තිබෙන ඉවාටායාමා වඳුරු උද්‍යානයේ ඉහළම ස්ථානය අඩි 525ක උසකින් පිහිටා තිබෙන නිසා එම ස්ථානයට ගිය විට කියෝතෝ නගරයේ අලංකාරය දැකබලා ගන්නට පුළුවන්.

4) වසර 600කට වඩා පැරණි පන්සලක් මෙහි දක්නට ලැබෙනවා 

ටෙන්රියුජි පන්සල (Japan Guide)  

1339 වසරේ දී ෂෝගන් අෂිකාගා තකාජි නම් පාලකයා විසින් ටෙන්රියුජි නම් විහාරස්ථානය ඉදිකරනු ලැබුවා. මෙය ජපානයේ සෙන් නිකායට අයත් වන විශාලතම පන්සල් අතුරින් එකක් බවට පත්ව තිබෙනවා. තකාජි මෙම පන්සල ඉදිකරන ලද්දේ ගෝ-ඩෙයිගෝ නම් අධිරාජ්‍යයාව සිහිවීම සඳහා යි. 

ටෙන්රියුජි විහාරස්ථානයේ ගොඩනැගිලි සහ උද්‍යාන නිර්මාණය කළේ මුසෝ සොසේකි නම් දක්ෂ නිර්මාණකරුවා යි. එසේම ඔහු මෙම විහාරස්ථානයේ පළමු ප්‍රධාන පූජකයා ලෙස ද කටයුතු කළා. මෙම විහාරය පිහිටා තිබෙන ප්‍රදේශයේ ඇති වැදගත්කම සලකා යුනෙස්කෝ සංවිධානය විසින් මෙය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

5) ප්‍රසිද්ධ ජපන් සිනමා තරුවක් මෙම ප්‍රදේශයේ ජීවත් වුණා 

ඔකොචිගේ නිවස (Wikipedia)

ඩෙන්ජිරෝ ඔකොචි ජපානයෙන් බිහිවුණු සුපිරි සිනමා තරුවක්. 1925-1961 කාල සමය තුළ ඔහු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ ඔහු දෙවන ලෝක යුද සමයේ දී පවා ඇතැම් යුද චිත්‍රපට සඳහා රංගනයෙන් දායකත්වය ලබාදීම යි. එම කාලය වන විට ජපන් සිනමා කර්මාන්තයේ සිටි දක්ෂතම අධ්‍යක්ෂකවරුන් වුණු අකිරෝ කුරසෝවා, ඩයිසුකේ ඉටෝ, සඩාඕ යමනාකා, මසාහිරෝ මැකීනෝ වැනි අය යටතේ රඟපෑමට ඔකොචිට අවස්ථාව ලැබුණා. මේ සිනමා තරුවගේ නිවස සාගානෝ උණ වනාන්තරය අසබඩ පිහිටා තිබෙනවා. අද වන විට සංරක්ෂණය කර ඇති එම නිවසට  සංචාරකයන් නිතරම යන එන ආකාරය දක්නට ලැබෙනවා.

උණ බම්බු වනාන්තරය නැරඹීමට දුම්රියක් වෙන්කර තිබෙනවා. 

1991 වසරේ සිට සංචාරකයන්ට ගමන් කිරීම සඳහා සාගා ටොරොක්කෝ සහ කියෝතෝ දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමනක් ආරම්භ වුණා. සාගානෝ දර්ශනීය දුම්රිය හෙවත් සාගානෝ රොමෑන්ටික් දුම්රිය ලෙස හඳුන්වනු ලබන එය විනාඩි 25ක කාලයක් තුළ සාගා ටොරොක්කෝ සිට කියෝතෝ වෙත ගමන් කරනවා. හොෂුගාවා ගඟ අසබඩින් වැටී තිබෙන මෙම දුම්රිය මාර්ගයේ ගමන් කරන සංචාරකයන්ට මනස්කාන්ත දසුන් රැසක් නරඹන්නට පුළුවන්. 

හොෂුගාවා ගංගාව අසලින් ගමන් කරන දුම්රිය (Live Japan)

මාර්තු සහ අප්‍රේල් මාසවල දී චෙරි මල්වලින් පිරී තිබෙන දුම්රිය මාර්ගය දිගේ ගමන් කිරීම අමුතුම අත්දැකීමක්. ඒ අයුරින් සාගානෝ දර්ශනීය දුම්රියේ ගමන් කරන සංචාරකයන්ට සාගානෝ උණ බම්බු වනාන්තර නැරඹීමට අවශ්‍ය නම් අරෂියාමා දුම්රිය ස්ථානයෙන් බැසගත යුතු යි. සංචාරකයන්ට එතැන් සිට සාගානෝ උණ බම්බු වනාන්තරය වෙත පහසුවෙන් ළඟාවන්නට පුළුවන්.  

චෙරි මල් පිපුණු කාලයට දුම්රිය ගමන් කරන ආකාරය (jrailpass.com)

 

කවරයේ ඡායාරූපය- සාගානෝ උණ බම්බු වනාන්තරය (Oyakata)

Related Articles