කොළඹ කොටුවේ රජ ගෙදර රහස්

කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) කියන්නේ සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේ දී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවස ලෙස පාවිච්චි කළා.

ලන්දේසි ආණ්ඩුකාරවරයෙකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනෙකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනෙකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දුන්නා. නමුත් වත්මත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මන්දිරයේ පදිංචියට ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු රජයට අයත් වෙනත් නිල නිවසක් වාසය සඳහා සකස් කර ගත්තා. කෙසේවෙතත් රජ ගෙදර රාජ්‍ය මට්ටමේ සාද, රාජ්‍ය නායක හමුවීම් අාදිය සඳහා භාවිතයට ගැනෙනවා.

පොදු ජනතාව තුළ රජගෙදර ගැන කුතුහලය මුසු සිතුවිලි පවතින්නේ එය සාමාන්‍යයෙන් ඔවුන්ට නැරඹීමට ඉඩක් නොලැබෙන නිසාවෙන්. නමුත් එ් අාශ්‍රිත අපූරු කතන්දර නම් බොහොමයි. එ් ගැන විස්තර වගේම අපූරු පින්තූර රැසකුත් මේ ලිපිය තුළින් දැක බලා ගන්න පුළුවන්.

ජනපති මැඳුරේ ආලින්දය (ජනාධිපති මාධ්‍ය අංශය)

රජගෙදර ඉතිහාසය

කොළඹ වරායට යාබදව මුහුදු සුළඟින් ගත නළවන මෙම ස්ථානයේ මුලින්ම දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරන ලද්දේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක් විසින්. එයට පෙර මෙතැන ශාන්ත ප්‍රැන්සිස්කන් පල්ලිය පිහිටා තිබුණා.

පල්ලියට යාබදව පිහිටි ලඳු කැලෑවේ තිබුණේ කනත්තක්. පෘතුගීසි කාලේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කළෙත් මෙම ස්ථානයේ බවයි පැවසෙන්නේ. ඒ අනුව මෙය කනත්තක් පිහිටි බිමක ඉදිකළ රාජකීය මන්දිරයක්.

ඉහළ මහලේ කෑම කාමරයක් (ජනාධිපති මාධ්‍ය අංශය)

ඉංග‍්‍රීසීන් කොළඹ කොටුව යටත් කරගන්නා විට පවා එංගල් බීක් ලන්දේසි ආණ්ඩුකාරයා මෙම නිවස අතනොහැරි බව කියවෙනවා. පසුව මේ මන්දිරය ඔහුගේ මිණිපිරිය වූ ජැකොමිනාට අයත් වුණා. ඇය විවාහ වි සිටියේ ඉංග‍්‍රීසී ආණ්ඩුවේ සිවිල් නිලධාරියෙකු වූ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමගින්.

ඔහු ප‍්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදී ගිණුම් පියවීමේ දී සිදු වූ මුදල් අක‍්‍රමිකතාවයක් නිසා පවුම් දස දහසක මුදලක් ආණ්ඩුවට ලබාදිය යුතු වුණා. එම මුදල පියවීමට මාමණ්ඩියගෙන් (එංගල් බීක්ගෙන්) ලැබුණු මන්දිරය ආණ්ඩුවට ලබාදීමට ඔහුට සිදු වුණා. ඉංග්‍රීසි රජය එය තක්සේරු කරනු ලැබුවේ පවුම් 35000කටයි. පසුව එම මන්දිරය බි‍්‍රතාන්‍ය පාලකයින්ට 1804 ජනවාරි 17 දින පවරාදුන්නා.

ආණ්ඩුවට හිමි වූ පසු ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත් මෙම මන්දිරයේ පදිංචියට පැමිණියා. නෝත්ගෙන් පසු තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා එහි වාසය තෝරා ගත්තා. ඒ කාලයේ එයට කිංග්ස් හවුස් කියන නමත් මෙයට ලැබුණා.

ඉංග්‍රීසි පාලන සමයේ දී එයට විවිධ එක්කිරීම් කෙරුණු අතර ගොඩනැගිල්ලද විශාල කර ඉදි කෙරුණා. මුල්කාලීන පරණ ඕලන්ද ගොඩනැගිල්ල අද දක්නට ලැබෙන්නේ නැහැ. අද දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ සහිත මන්දිරයක්.

එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ ( 1837-1901) පාලනය ඇරඹූණු පසු මෙම මන්දිරය ක්වීන්ස් හවුස් ලෙස හැඳින්වීම අාරම්භ වුණා. ජෝර්ජ් රජ සමයේ යළිත් රජගෙදර වී එළිසබෙත් රැජිනගේ පාලනය පටන් ගත් විට නැවතත් එය ක්වීන්ස් හවුස් බවට වුණා. 1972 මැයි 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වූ දා පටන් මෙය හඳුන්වන්නේ ජනාධිපති මන්දිරය ලෙසයි.

මුල්ම ජනපති ගොපල්ලව

පළමු ජනපති විලියම් ගොපල්ලව (Wikipedia.org)

ජනාධිපති මන්දිරයට පැමිණි මුල්ම ලාංකික ජනපති වූයේ විලියම් ගොපල්ලව මහතායි. ඔහු 1972 සිට 1978 දක්වා එහි පදිංචිව සිටියා. 1978 දී විධායක ජනාධිපති වූ ජේ. ආර්. රජවර්ධන මෙහි පදිංචි වුණේ නැහැ. නමුත් ඔහුත් වත්මන් ජනාධිපති මෙන්ම විදේශ රාජ්‍ය නායකයන් හමුවීම, තානාපතිවරු පත්කිරීම වගේ නිල කටයුතුවලට ජනාධිපති මන්දිරය යොදාගත්තා.

ඊට පසු 1989 දී ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාසත් මෙය භාවිත කළේ නිල කටයුතුවලට පමණයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය සහ ජනපති මහින්ද රාජපක්ෂ මෙම මන්දිරය සහ අරලියගහ මන්දිරයත් සිය වාසයට පාවිව්වි කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මෙම මන්දිරයේ මිදුලේ රහසිගත භූගත මන්දිරයක් ද ඉදිකරනු ලැබුවා. කිසිදු වැඩක් නොගන්නා ලද එය අදත් හිස්ව පිහිටා තිබෙනවා.

බ්‍රිතාන්‍ය යුගයට අයත් චිත්‍ර සහ ගෘහ භාණ්ඩ, රාජ්‍ය නායකයන් තෑගි කළ සමරු භාණ්ඩ රාශියක් ද ජනපති මැඳුරේදී දැකගත හැකියි. මෙම චිත්‍ර සමහරක් පසුගිය කාලවල අස්ථානගතවූ බවටද වාර්තා පළ වුණා.

පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැකසුණු එකක් වුවත් ඉහළ මාලය බි‍්‍රතාන්‍ය අංග ලක්ෂණ පෙන්නුම් කරනවා. ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ බොහෝමයක් තියෙනවා. ඉහළ මාලයේ ඇත්තේ දැව සොල්දරයක්. මෙහි බි‍්‍රතාන්‍යයෙන් ආනයනය කරන ලද ඉස්තරම් වර්ගයේ විදුලි උපකරණ ද, ගෘහ භාණ්ඩද දක්නට ලැබෙනවා. ගෘහෝද්‍යානය අලංකාර කර ඇත්තේ විසිතුරු මල් වර්ග රැසකින්.

ජනාධිපති මන්දිරය ඉදිරිපස මහා මාර්ගයේ (ජනාධිපති මාවත) කොළඹ නුවර මාර්ගය ඉදිකිරිමට මුල් වූ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් ගේ ලෝකඩ ප‍්‍රතිමාවක්ද ස්ථාපිත කර තිබෙනවා. අද මෙම මන්දිරය පුරාවිද්‍යාත්මකව වැදගත් ස්මාරකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම මන්දිරය නඩත්තුවට රජය වාර්ෂිකව රුපියල් මිලියන ගණනක් වැය කරනවා.

මහජන ප්‍රදර්ශනය

පොදු ජනතාවගෙන් වසන් වී පැවති ජනාධිපති මන්දිරය පසුගිය 2016 වර්ෂයේ ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණා. එම අවස්ථාවේ දී පාසල් සිසුන් ද ඇතුළු දහස් ගණනක් ජනාධිපති මැදුර නැරඹීමට පැමිණියා.

ගෝර්ඩ්න් උද්‍යානය

ගෝර්ඩ්න් උද්‍යානයේ පැරණි සේයාරුවක් (imagestuckdb.org)

ජනපති මැඳුර දෙසින් උද්‍යානය පෙනෙන අයුරු (ජනාධිපති මාධ්‍ය අංශය)

පෘතුගීසින් වර්ෂ 1505 දී අප රටට ගොඩබැස්ස අවස්ථාවේ කොළඹ වරාය අසල ටොන් 20ක් බරැති ගල්කුට්ටියක තම ලාංඡනය කෙටුවා. පසුව වර්ෂ 1875 දී ඉංග්‍රීසින් වරාය දියකඩනය ඉදිකරද්දී මෙම ලාංඡනය සහිත ගල්පර්වතය හමුවුණා. ඔවුන් එය රැගෙන ගොස් වරාය අසල රජගෙදර උද්‍යානයේ පිහිටවූවා. නමුත් අද මෙම ස්මාරකය මෙහි නැහැ. එම පෘතුගීසි ලාංඡනය නැවත මෑතක දී වරායට ගෙන ගොස් තිබෙනවා.

වර්ෂ 1920 දී මෙම භූමිය තුළ වික්ටෝරියා රැජිනගේ ලෝකඩ ප්‍රතිමාවක් ද එංගලන්තයෙන් ගෙන්වා සවි කරනු ලැබුවා. මෑතක දී එම වික්ටෝරියා ප්‍රතිමාව කොළඹ කටුගේ භූමියට ගොස් එහි සවි කර තිබෙනවා.

කොළඹ කොටුව ජනපති මැදුරේ උයන වශයෙන් පැවති මෙය 1970 දශකය වනතුරුම ජනතාව විවේක ගන්නා තැනක් වුණා. පසුව ආරක්ෂක හේතුන් මත එයට ජනතාව පැමිණීම තහනම් කෙරුණා. ඓතිහාසික මතක සටහන් රැසක් තුරුළුකරගත් මෙම භූමිය මල්වර්ග සහ ගහකොළින් සුසැදි සොඳුරු බිම්කඩක්.

බෝගන්විලා මලින් බරව (ජනාධිපති මාධ්‍ය අංශය)

අරලිය (ජනාධිපති මාධ්‍ය අංශය)

උද්‍යානයට පිවිසීමට ජනාධිපති මන්දිර භූමියේ සිට පියගැට පෙළක් සකසා තිබෙනවා. ඒ අසල සොඳුරු දියමල් ද දැක ගන්න පුළුවන්. එදා තිබූ පැරණි ගස් බොහොමයක් පසුගිය කාලයේ ඉවත් කර තිබූ නිසා දැන් මෙහි අළුතින් ශාක රෝපණය කර තිබෙනවා.

අලංකාර නිර්මාණ (ජනාධිපති මාධ්‍ය අංශය)

ගෝර්ඩ්න් උයනට නම ලැබුණු හැටි.

කොටුවේ සිහිලැල් බිම්කඩ (ජනාධිපති මාධ්‍ය අංශය)

වර්ෂ 1883 දී මෙරට ආණ්ඩුකාරයා වශයෙන් පැමිණි ආතර් ගෝර්ඩ්න් රජ ගෙදරට නුදුරුව වන වදුලක් වශයෙන් පැවති මේ බිම්කඩ තුළ උද්‍යානයක් පිහිටුවා එය වික්ටෝරියා රැජිනගේ නමට කැප කිරීමට තීරණය කළා. ඒ අනුව ඔහු අක්කර හතරක් විශාල භූමිය එළිකොට මල් ගස් වර්ග සිටුවා උද්‍යානයක් පිහිටවූවා. ඒ සඳහා ඔහු වැය කළේ තම පෞද්ගලික ධනයයි. 1887 දී පැවති වික්ටෝරියා රැජනගේ ස්වර්ණ ජයන්තියේ දී එය මහජනතාවට විවෘත වුණා.

සුද්දන්ගේ පාලන කාලයේ දී කොටුවට පැමිණෙන ඉංග්‍රීසින් එකිනෙකා හමුවන ස්ථානයක් බවට මෙම උද්‍යානය පත්ව තිබුණු අතර නිදහසින් පසු පොදු ජනතාවට විවෘත වුණා. මෑතක දී රෝපණය කළ බෝධි වෘක්ෂයක් හා බුද්ධ ප්‍රතිමාවක් ද මෙහි තිබෙනවා. මාර, අඹ, කිතුල්, අරලිය, පාම්. හල්මිල්ල, තේක්ක, නුග, කොහොඹ ඇතුළු ශාක රැසක් මෙම උයන අලංකාර කරනවා.

ගෝර්ඩ්න් උද්‍යානයේ අලංකාරය (ජනාධිපති මාධ්‍ය අංශය)

Related Articles