හංස ගීතය ගයන උණවේරුවේ සේසත්

මාතලේ කියන්නේ අපේ පාරම්පරික ශිල්ප කලා රාශියක් සුරැකී පවතින පෙදෙසක් බව හුඟදෙනෙක් දන්නෙ නැහැ. අපි මාතලේ යනවා නම් මේ ශිල්ප කලා දැකගෙන, ඒවා මිල දී ගැනීමෙන් ගැමියන්ට උදව්වක් කිරීමටත් හැකියාව තිබෙනවා. 1887 දී ඒ. සී. ලෝරි මධ්‍යම පළාත ගැන කළ සමීක්ෂණයේ දී මාතලේ අවට විවිධ පාරම්පරික කලා ශිල්ප කරගෙන යන ගම්මානයන් 36ක් පැවති බව සඳහන් කරනවා. නමුත් නවීන සමාජය නූතන භාණ්ඩවලින් පිරීයාමත් සමග පාරම්පරික කලාකරුවන් අසරණ වෙලා. අද අපි කතා කරන්නේ එවැනි ශිල්පයක් වූ සේසත් හෙවත් අව්අතු කර්මාන්තය ගැන යි.

සේසත් හදන උණවේරුව

සුන්දර උණවේරුව-sesath industry fb page

මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තමයි, උණවේරුව ගම්මානය පිහිටා තිබෙන්නෙ. පැරණි බෙදීම් අනුව අයත් වන්නේ අස්ගිරිය උඩසියපත්තු කෝරළේට යි. කඳුවලින් වටවූ මේ සුන්දර ගම්මානයේ තැනින් තැන කුඹුරු දැකගත හැකියි.  ඇතින් පිහිටි ඇතිපොළ කන්ද මේ ගම තවත් ලස්සන කරනවා.

ගමට “උණවේරුව” කියන්නෙ ඉස්සර උණ ගස් බහුලව පැවති නිසා බව පැවසෙනවා. ශ්‍රී මහා බෝධිය මෙරටට රැගෙන ආ සංඝමිත්තා තෙරණිය සහ පන්සියයක් භික්ෂුණීන් සමග, විවිධ කර්මාන්තවලට අයත් සාමාජිකයන් දහඅට දෙනෙකු භාරතයෙන් මෙරටට පැමිණි බවත් එම දහඅට දෙනා අතරට බ්‍රාහ්මණ කුලයට අයත් සේසත් වියන්නෙකු ද ඇතුළත් බව ජනප්‍රවාදයේ එන කතාවක්. ඔහු උණවේරුව අසල දිවිල්ල ගමේ වාසය කරමින් ජය ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කිරීම සදහා මාල හතක් සහිත අව් අතු (සේසත්) පූජා කිරීමට බැඳී සිටියා. ඔහු දිනමුතු වල්ලියා නම් වුණා. පසුව මේ සේසත් හදන පිරිස උණවේරුවේ පදිංචි වෙලා තිබෙනවා. ලංකාවේ පාරම්පරික සේසත් ශිල්පය ශේෂව ඇති එකම ගම්මානය තමයි, උණවේරුව.

තල කොළ වියළීමට දමා ඇති අයුරු- btoptions.lk 

ආරම්භයේ දී ගමේ පදිංචිව සිට ඇත්තේ පවුල් හතරක් පමණ යි. කිරා දුරලයෑ ගෙදර, පුසුඹ දුරයලෑ ගෙදර, කොමල දුරයලෑ ගෙදර, සහ පංචාවත්තේ ගෙදර නමින් ඒ පවුල් හඳුන්වා තිබෙනවා. අද ද එම වාසගම් පවතින අතර ගෙදර සහිත වාසගම් පැවතීම සියලු පාරම්පරික සේසත් ශිල්පීන්ගේ පුද්ගල නාමයන්හි පොදු ලක්ෂණයක් වෙලා. පසුව පවුල් සංඛ්‍යාව වර්ධනය වී අද වන විට පවුල් 180ක් පමණ ගමේ වාසය කරනවා. නමුත් ඔවුන්ගෙන් සේසත් කර්මාන්තය කරන්නේ පවුල්  50ක් විතර යි.  උණවේරුව ගම්මානය පසුකාලීනව උණවේරුව, හයිවෝල්ටන් පැරණි ජනපදය, හයිවෝල්ටන් නව ජනපදය ලෙස කොටස් තුනකට බෙදුණා. ඒ  ජනපදවල සිටින්නේ උණවේරුව මුල් ගමින් ගොස් පදිංචි වූ අය යි. එම ජනපද ගම්මුන් හඳුන්වන්නේ හයිවෝල්ටන් ලෙස නොව උණවේරුව පැරණි ජනපදය සහ උණවේරුව නව ජනපදය ලෙස යි.

සේසත් හදක කාන්තාවක්- youtube.com/ gagana

පසු කාලීනව ගමේ තරුණ තරුණියන්ට සේසත් විවීම පුහුණු කිරීමට ගම්වැසියකු වූ ලොකු කිරියා 1968 දී රජයේ සහායෙන් උණවේරුවේ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා. ලොකු කිරියාගෙන් සේසත් විවීම උගත් අය අදටත් ගම්මානයේ සේසත් කර්මාන්තයේ යෙදෙනවා.

සේසත කියන්නේ මොකක් ද හැබෑට?

මාල හතේ සේසතක්- btoptions.lk

මුල් කාලයේ අව් අතු නමින් තමයි මේ නිර්මාණය හඳුන්වා ඇත්තේ. පසුව එය “සේසත” ලෙස හඳුන්වන්න පටන් ගත්තා. විහාරවල හා සංඝාවාසවල ඇතුළේ තැබීමටත්, පෙරහැරවලත්, විවිධ උත්සවවල දීත් මේවා භාවිතා කරන ආකාරය අපට දැකගැනීමට පුළුවන්. පුරාණයේ ප්‍රභූ නිවෙස්වල තම පරම්පරාවේ ගම්භීරත්වය පෙන්වීමට සාලයේ සේසත් තබා තිබුණා. එය එක් අතකින් වැඩවසම් යුගයේ සංකේතයක්. එදා මෙන්ම අදත් සමාජයේ ගෞරවය, තත්ත්වය හා අධිකාරිය පෙන්වන සංකේතයක් විදිහට තමයි සේසත භාවිත කරන්නේ. මංගල අවස්ථාවල දී වගේම අවමංගල අවස්ථාවල දීත් සේසත භාවිත වන බව දකින්න පුළුවන්.

පාරම්පරික සේසතේ අලංකාරය- btoptions.lk

සේසත කියන්නේ ස්වේත ඡත්‍රය යි. සුදු කුඩය යි. මුල්ම කාලේ සේසත හදලා තියෙන්නේ සුදුපාටින්. අද කාලේ නම් විවිධ සායම් භාවිතයෙන් රතු, කොළ, කහ, තැඹිලි, දම් වැනි වර්ණ සහිතව සේසත් නිර්මාණය වෙනවා. කලාතුරකින් සුදු සේසත් ද නිර්මාණය කෙරෙනවා. 

සේසත් මාල වශයෙන් බෙදෙනවා. එක් මෝස්තර වටයක් හඳුන්වන්නේ මාලයක් ලෙස යි. මාල 3 සිට 7 දක්වා ඒවා නිෂ්පාදනය කෙරනවා. දැනට බහුලව තනන්නේ මාල 3 සේසත්. මාල තුනේ සේසතක විෂ්කම්භය අඟල් 28ක්. මාල හතේ සේසත් විශාලත්වයෙන් වැඩියි.

උත්සව හැඩකරනා සේසත- sesath industry fb page

සේසතේ වෘත්තාකාර කොටස හඳුන්වන්නේ අත්ත කියල යි. සේසතක් සම්පූර්ණ වන්නේ අත්ත සහ මිටෙන්. සේසතක් සිටුවා තැබීමට හෝ උසුලාගෙන යාමට ආධාරකය වන, ලාක්ෂාවලින් අලංකාර කළ මිට අතීතයේ සිට උණවේරුවට සපයන ලද්දේ මාතලේ දිස්ත්‍රික්කයේ හපුවිද ගමෙන්. ඒත් අද වන විට උණවේරුව ගමේ ද සේසත් මිට නිර්මාණය කරනවා. මිටක සාමාන්‍ය උස අඩි 8ක් පමණ වෙනවා.

සේසත හදන්නේ මෙහෙමයි

තල අතු සහ තල දල්ල හෙවත් තල ගොබය සේසත් නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍ය යි. කපාගත් පැසුණු තල අතු දින හතක් පමණ තද අව්වේ වේලා අවානක හැඩයට කපාගනු ලබනවා. තල අත්ත මත මිනිරන් පතුරු තබා මසා ගනිමින්, එම මිනිරන් පතුරු මත වර්ණ ගැන්වූ තල පටි මඟින් රටා මසනවා. මෙම මැසීම සඳහා වූ ඉදිකටු සාදාගනු ලබන්නේ කුඩ කූරුවලින්. නූල් හදාගන්නේ කොකෝ පට්ටවලින්. රටා දමන පටි සාදාගනු ලබන්නේ තල ගොබයෙන්.

රටා මවමින් නිමකරනා සේසත- sesath industry fb page

තල ගසේ දල්ල හෙවත් තල ගොබය ගසෙන් කපාගත් පසු එය විහිදුවා, එහි කොළ වෙන් කර තීරු ලෙස ඉරා කපා ගන්නවා. ඉන්පසු එම කොළවල ඇති නාරටිය හෙවත් තල කූරු වෙනමත් තල කොළ වෙනමත් වෙන්කරගෙන, එම කොළ තීරු එකමත එක තබා රෝල් කරනවා. ඉන්පසු එම රෝල් උණු ජලයේ කහ පැහැ වන තුරු තම්බා තද අව්වේ වේලා ගැනීම කරනවා. එම තල කොළ නැවත වර්ණ කුඩු දැමූ ජලයෙන් තම්බා පාට කරගන්නවා.

පාට කළ  තල කොළ සකස් කරමින්- btoptions.lk

වර්ණ ගන්වන ලද තල කොළ පටිවලින් තල කූරු හැඩගන්වනවා. එම කූරු ද පටිවලට අමතරව සේසත් රටා සඳහා යොදාගන්නවා. තල කූරු දින හතරක් පමණ තද අව්වේ වේලා ගැනීමෙන් පසුව පිහියක් ආධාරයෙන් සිහින්වට ඉරා වර්ණවත් කළ තල කොළවලින් සරසා තමයි සේසත් රටා නිර්මාණය කරන්නේ.

සේසත ඔපවත් වන්නේ මිනිරන්වලින්. ඒ සඳහා යොදාගන්නේ පතුරු වශයෙන් ගැලවෙන තලාතු මිනිරන්.

සේසත් ශිල්පීන්ගේ ගැටලු

මිල අධික වුවත් ශිල්පියා අසරණයි-the Colombopost.com

සේසත් කර්මාන්තයට යොදා ගැනෙන තලාතු වර්ගයේ මිනිරන් සොයා ගැනීමේ ගැටළුව ද මේ වෙද්දී පැන නැගී තිබෙනවා. ඇලහැර තලාගොඩ ප්‍රදේශයෙන් මීට පෙර මිනිරන් ලබාගෙන තිබුණත්, එම මිනිරන් පතල මොරගහකන්ද ජලාශයට යටවීමත් සමග මිනිරන් ලබාගැනීම ගැටලුවක් වෙලා. වවුනියාව, බදුල්ල වැනි ඈත ප්‍රදේශවල ද තලාතු මිනිරන් තිබුණත් ඒවාට බලපත්‍ර ලබානොදීම මෙන්ම වැඩි මිලක් ගෙවීමට සිදුවීමත් නිසා සේසත් කර්මාන්තකරුවන් අවුලක පැටලී සිටිනවා. නව පරම්පරාවේ බොහෝ දෙනා සේසත තැනීම අත්හැර වෙනත් රැකියාවලය යොමු වෙලා. දැනට කර්මාන්තයේ වැඩිපුර නියැලෙන්නේ වියපත් පිරිසක් පමණ යි.

පෙරහරවලට නැතුවම බැරි නිර්මාණයක්- btoptions.lk

ලංකාවේ සේසත් හැදුව එකම ගම උණවේරුව වුවත්, දැන් අලව්වෙන් ද සේසත් සැපයෙන නිසා ඔවුන්ගේ සේසත් අලෙවිකර ගැනීම ප්‍රශ්නයක් බව ගැමියන් කියනවා. රජයට අයත් ලක්සල ඔවුන්ගෙන් සේසත් ලබාගත්ත ද වසර ගණනාවක් ගතවුව ද අදාළ මුදල් ඉන් ලබාගැනීම අපහසු බව ද කර්මාන්තකරුවන් කියනවා. මේ නිසා පෞද්ගලික වෙළෙන්දන්ට සේසත් යුගලයක් රු. 2700-3000ක් වැනි මුදලකට අලෙවි කිරීමට සිදුව තිබෙනවා. ඔවුන් ඒවා නැවත ගැනුම්කරුවන්ට විකුණන්නේ රු. 15000ක් වැනි ඉහළ මුදලකට යි. මේ නිසා විශාල වෙහෙසකින් පසු ලැබෙන මුදල ප්‍රමාණවත් නැහැ. 

උත්සවවල අභිමානය සේසතයි- sesath industry fb page

මධ්‍යම පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යංශය විසින් ද වරින්වර සේසත් කර්මාන්තර දියුණු කිරීමට විවිධ පියවර ගත් බව මාධ්‍ය වාර්තාවලින් පෙනුණත්, අදටත් උණවේරුව ගම්වැසියන් නම් ගෙවන්නේ දුෂ්කර ජීවිතයක්. තම නිර්මාණ විශාල මිල ගණන්වලට අත්කම් සාප්පුවල අලෙවි වුණත් ඔවුන්ට ලැබෙන්නේ සුළු මුදලක් බව යි පැවසෙන්නේ. මේ නිසා ධනවතුන්ගේ නිවෙස් සරසන සේසත්වලින් නිකුත් වන්නේ අසරණ ජනතාවකගේ සුසුම් හඬ බව යි අපට නම් හැඟෙන්නේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

ඓතිහාසික මාතලේ - මාතලේ දිසා සංස්කෘතික මණ්ඩපය

https://ravaya.lk/

මව්බිම 2020 ඔක්. 2

කවරය- සේසත් නිර්මාණ හැඩකරමින්- btoptions.lk

Related Articles