නත්තලට සිහිපත් වන මඩු වන්දනාව

මන්නාරම් දිස්ත්‍රික්කයේ පිහිටි මඩු දේවස්ථානය 2009ට පෙර කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිසා සාමාන්‍ය ජනතාවගෙන් ඈත්ව තිබූ පුදබිමක්. පුත්තලම අනුරාධපුර හරහා ඒ වෙත දුර කි. මී. 298ක්. සෑම වසරකම අගෝස්තුවේ පැවැත්වෙන මංගල්‍යය සඳහා ලක්ෂ තුනකට අධික බැතිමතුන් සංඛ්‍යාවක් ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වගේ වනගත මඩු පල්ලියට රොක් වෙනවා. තාවකාලික මඩු කූඩාරම්වල සිටිමින් දේව මෙහෙයන්වලට සහභාගි වෙනවා. මරදමඩු දේවස්ථානය මරිය මව්තුමිය වෙනුවෙන් කැපවුණු ප්‍රධාන දේවස්ථානයක්. එය මන්නාරම දියෝකීසියට අයත්ව කතෝලික සභාවෙන් පාලනය වෙනවා. මඩු දේවස්ථානය 2018 අගෝස්තු මාසයේ පූජා භූමියක් ලෙස ජනාධිපතිවරයා විසින් නම් කළා.

මඩුපාර අභය භුමිය තුළ පිහිටා තිබෙන මඩු පල්ලිය කතෝලිකයන්ට මෙන්ම බෞද්ධයනට හා හින්දුන්ට ද වැදගත් වූ ස්‌ථානයක්. එහි ඉතිහාසය අවුරුදු දහස්‌ ගණනක්‌ ඈතට දිව යනවා. අද ද මඩු පල්ලියට සිංහල බෞද්ධයන් ද යන්නේ පැරණි සංස්‌කෘතික සම්බන්ධතා හේතුවෙන්. ඒ කතෝලික පූජනීය ස්‌ථානයක්‌, පල්ලියක්‌ ලෙස පමණක් නොව පත්තිනි දේවාලයක්‌ පිහිටා තිබූ ස්‌ථානයක්‌ ද ලෙස යි.

පාප්තුමාගේ පැමිණීම

පාප්තුමා  මඩු දේවමාතා ප්‍රතිමාවක් අතැතිව- pinrest.co.uk

2015 ජනවාරියේ මෙරට සංචාරයක නිරත වූ  ප්‍රැන්සිස් පාප්වහන්සේ මන්නාරම මඩු දේවස්ථානයට ගොස් විශේෂ දේව මෙහෙයක නිරත වුණා. ඒ ජනවාරි 14 වැනි දා යි. ඒ වෙනුවෙන් මෙහි විශේෂ අලුත්වැඩියාකිරීම් රැසක් කළා. එම අවස්ථාවටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණියා.

ඉතිහාසය

දේවස්ථානයේ පිහිටීම-defencewire.blogspot.com

ඒ 16 වැනි සියවසේ පෘතුගීසින් මන්නාරම පාලනය කළ අවදිය යි. පෘතුගීසි යුගය තුළ මෙරට ධර්ම ප්‍රචාරය කළ ප්‍රැන්සිස්කානු නිකායික ධර්මදූතයින් මන්නාරමට කිලෝමීටර 05ක් උතුරින් පිහිටා තිබු මාන්තෙයිහි දේවස්ථානයක් ඉදිකර තිබුණා. සුප්‍රකට ඉතිහාසඥ ක්වේරෝස්ගේ වාර්තාවන්ට අනුව ක්‍රි.ව. 1583 වන විට ප්‍රැන්සිස්කානු මාන්තෙයි නමින් මන්නාරමට නුදුරින් පිහිටා තිබු දෙව්මැදුර ආරෝග්‍ය දේවමාතාවන්ට කැපවූ දේවස්ථානයක් බවට පත්ව තිබූ බව සඳහන් වෙනවා. අද මරදමඩු ජපමාල මාතාවන් ලෙස ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍රවන ප්‍රතිමාවේ මුල් නිජබිම ලෙස සැලකෙන්නේ ඒ දේවස්ථානය යි.

දේවස්ථාන පූජා බිමට ඇතුළුවන ස්ථානයේ පිහිටි තොරණ srerendib.btoptions.lk

වර්ෂ 1658 වන විට මන්නාරම ඇතුළු මුහුදුබඩ පෙදෙස් ලන්දේසින් විසින් අල්ලා ගත්තා. ඒ සමගම ඔවුන් රෙපරමාදු දහම ප්‍රචාරය කිරීම ආරම්භ කළා. පෘතුගීසින්ගේ අනුග්‍රහය ලැබුණු දේවස්ථානවලට ප්‍රොතෙස්තන්ත ලන්දේසින් හිරිහැර කිරීම පටන් ගත්තා. එවකට ලක්දිව විසූ කතෝලික පුජාප්‍රසාදිවරුන් පන්නා දමා දේවස්ථාන විනාශය ඇරඹූ බව ඉතිහාසයේ සඳහන්. මේ අවදානමෙන් ගැලවීමට මාන්තෙයි ග්‍රාමයේ විසූ කතෝලික පවුල් විස්සක් පමණ ජපමාල මාතා ප්‍රතිමාව ද රැගෙන වන්නි වනාන්රය මැදින් උඩරට රාජ්‍යයට පලායන්නට වුණා. මේ නිසා මාන්තෙයි දේවස්ථානයේ තිබූ දේවමාතා පිළිරුව ද රැගෙන පියතුමන්ලා 20ක පිරිසක් කැලේ මැදින් සිංහල රාජධානිය කරා යාමට පිටත් වුණා. ඒ එන අතර ඔවුන් පිරිස උඩරට රාජධානියේ බදු අයකරන කඩවතකට පැමිණියා. ඒ මුරුතමඩු ගම්මානය යි. යෝධ වැව ද පිහිටා තිබුණේ එයට නුදුරින්. එය මුරුතමඩු වූයේ එහි පැවති පත්තිනි දේවාලයේ මඩුව පැවැත්වූ නිසා බව පැවසෙනවා.

මඩු දේවමාතා ප්‍රතිමාව- tamilchurch.homesead.com

ජනප්‍රවාද පවසන්නේ මුලින්ම පත්තිනි දේවාලය පිහිටි භූමියේ පසුව කතෝලික දේවස්ථානයක් ඉදිකළ බවයි. මෙහි කතෝලික දේවස්ථානයට වර්ෂ 400ක පමණ ඉතිහාසයක් තිබෙනවා.

එම ස්ථානයේ දේවමාතා පිළිරුව ස්ථාපිත කර කුඩා තාවකාලික පල්ලියක් මුලින්ම ඉදිකළ බවයි සඳහන් වන්නේ. ක්‍රි.ව. 1687 මැයි මාසයේදී යාචක වෙසින් මන්නාරම් වෙරළට සේන්දු වූ ජුසේ වාස් මුනිතුමා අවස්ථා හතරක දී මඩු සිද්ධස්ථානයට පැමිණි බව සඳහන් වෙනවා. 1823 දී මන්නාරම උසාවියේ ලේඛන භාරකරු වූ මොයිස් නම් බර්ගර් ජාතිකයා මඩු පල්ලියට ගිය විට දැකගත හැකි වන්නේ ගව මඩුවක් වැනි කුඩා පොල්අතු සෙවිලි කළ දේවාලයක්. ඒ තුළ මැටියෙන් තැනූ කාන්තා දේව රූපයක් තිබූ බවත් ඔහු සඳහන් කරනවා. ඒ පත්තිනි දේව රූපයක් වීමටත් ඉඩ තිබෙනවා. ඔහු මෙහි මැටියෙන් වඩා විශාල දේවස්ථානයක් ඉදිකළ බව තවත් වාර්තාවල දැක්වෙනවා. වර්ෂ 1899 දී උතුරු මැද දිසාපති ආර්. ඩබ්. අයිවර්ස්ගේ වාර්තාවකත් මඩු පත්තිනි දේවාලය සහ එහි දේව පූජා ගැන සඳහන් වෙනවා. එහි ශාන්ත මේරි පල්ලියක් තිබුණ ද පත්තිනි දෙවියන් සඳහා ද  පූජා පැවැත්වූ බවයි ඔහු පවසන්නේ.

1890 දශකයේ දී යාපනයේ රාජගුරු ධූරය දැරූ හෙන්රි ජුලෑන් පියතුමාගේ පාලන සමයේ දී මඩු දේවස්ථානයේ අලංකාර මොගොප්පුවද, පුජක නිවාසය ද, දිව්‍ය සත්ප්‍රසාද දෙව්මැදුර ද, ලුර්දු ගුහාව ද ඉදිකර තිබෙනවා. වාර්ෂිකව පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනාකරුවන්ට අවැසි පහසුකම් ලබාදීමට අසල තිබූ වැව ගැඹුරු කර වැව් බැම්ම ද ඉදිකර තිබෙනවා. බැතිමතුන්ගේ අවශ්‍යතාවයන් සඳහා තවත් ළිං කීපයක් ද මේ කාලයේ තනවා තිබෙනවා.

මඩු මංගල්‍යය

මංගල්‍ය අවස්ථාවක්-ucanews.com

අද ලංකාවේ වැඩිම කතෝලික බැතිමතුන් පිරිසක් සහභාගි වන මංගල්‍යයක් වශයෙන් මඩු මංගල්‍යය සැලකෙනවා. එය මුලින්ම ආරම්භ කෙරී ඇත්තේ 1870 ජුලි 2 දා යි. ඒ යාපනයේ එවකට සිටි කතෝලික බිෂොප්වරයා විසින්. එහෙත් එකල මඩු පල්ලියක්‌ තිබී නැහැ. තාවකාලික දේවස්ථානයක් තිබුණු බව තමයි පේන්නේ. පල්ලියට මුල්ගල තබා ඇත්තේ 1876 දී යි. ඒ මන්නාරම ක්‍රිස්ටෝපර් බෙන්ජියන් බිෂොප් තුමාගේ මූලිකත්වයෙන්. මුලින්ම ජූලි මාසයේ ආරම්භ කළ මංගල්‍යය පසුව අගෝස්තු මාසයට යොදාගත් බව පැවසෙනවා. 1911 සංගණන වාර්තාවට අනුව වුව ද මඩු පල්ලිය ප්‍රදේශයේ ස්‌ථිර පදිංචිකරුවන් සිටි බවක් වාර්තා වන්නේ නැහැ. එහි ඉඳ ඇත්තේ වන්දනාකරුවන් 320 දෙනකු පමණයි. ඉන් 230 දෙනකු කොළඹින් හා හලාවතින් එහි ගිය සිංහල වන්දනාකරුවන් බව සංගණන වාර්තාවෙන් හෙළි වෙනවා.

1804 දී මන්නාරම ප්‍රදේශයේ සංචාරය කර වැදගත් විස්‌තරයක්‌ ලියා තැබූ ජේම්ස් කෝඩිනර් මඩු පල්ලිය පිහිටා ඇති ප්‍රදේශය ආසන්නයේ පිහිටි අරිප්පු හා කොන්ඩාචි ප්‍රදේශ ගැන සඳහන් කළ ද මඩු පල්ලියක්‌ ගැන කිසිවක්‌ පවසන්නේ නැහැ. ඔහු සඳහන් කරන්නේ එහි තිබූ පල්ලිය ඕලන්දයක් විසින් විනාශ කළ බවයි.  

මඩු මෞලි මංගල්‍යය

දේවස්ථානය තවත් කෝණයකින්-amazinglanka.com

1924 දී මෙහි පැවතියේ අද තරම් විශාල දේවස්ථානයක් නොවේ. එම දේවස්ථානයේ ඒ අවුරුද්දේ විශේෂ මෞලි මංගල්‍යයක් පැවැත්වෙනවා. එයට හේතුව මඩු දේවස්ථානයයට සහ මරිය මව්තුමියගේ ප්‍රතිමාවට අවුරුදු 100ක් පිරීම සලකා ඔටුනු පැළඳවීම යි. ඒ මන්නාරම උසාවියේ මොයිස් 1824 දී සංචාරය කළ අවස්ථාවේ දෙව්මැඳුර ඉදිවූ බව සැලකීමෙන් පසුව යි. මේ සඳහා එවකට ලක්දිව පැවති රදගුරු වසම් පහේම රාජගුරු ප්‍රසාදිතුමන්ලා පැමිණ සිටි අතර, ටුටිකොරින් හි රාජගුරු ප්‍රසාදිතුමන්ද මිට එක් විම ඉතා සුවිශේෂී සිද්ධියක් ලෙස සැලකෙනවා. මෙම ඓතිහාසික උළෙල සදහා ලක්දිව නන් දෙසින් ලක්ෂ ගණනක ජනකායක් සහභාගීවූ බව පැවසෙනවා.

නූතන  දේවස්ථානය

දේවස්ථානය ඇතුළත-  Wikipedia.org

අද දක්නට ලැබෙන විශාල දේවස්ථාන ගොඩනැගිල්ල 1944 දෙවන ලෝක යුද්ධය අතරතුර දී ඉදිකර තිබෙනවා. ක්‍රි.ව. 1944 ජුනි 25 වන දින ගියෝමාර් හිමිපාණන් විසින් එම අභිනව දේවස්ථානය ආසිරි ගන්වා තිබෙන අතර ඉපැරණි දැවමුවා අල්තාරය ඉවත් කොට අලංකාර කිරිගරුඩ අල්තාරයක් සවිකර දේවස්ථානය අභිෂේක කර තිබෙනවා. විශාල වන්දනාකරුවන් පිරිසකට එකවර දේවවන්දනා පිළිවෙත්වලට සහභාගී විය හැකි පරිද්දෙන් අද පවතින අඩි 160ක වටප්‍රමාණයක් ඇති විශාල මණ්ඩපය  ඉදිකළේත් ඒ සමගම යි. ඊට අමතරව දේවස්ථානයට ප්‍රවේශ වන ස්ථානයේ වන්දනාකරුවන්ගේ අප ස්වාමිදුගේ ප්‍රතිමාව ද, කල්වාරිය ද, පාතිමාවේ අප ස්වාමිදුගේ ප්‍රතිමාව ද, ක්‍රිස්තු රජාණන්වහන්සේගේ ප්‍රතිමාව ද ඉදිකර ස්ථාපිත කළා.

මඩු  වන්දනාව

මංගල්‍ය අවස්ථාවක්- madhuchurch.blogspot.com

මඩු මංගල්‍යය සතියක් පුරා පැවැත්වෙනවා. සෑම වසරකම අගෝස්තු 15 වැනි දා වන විට මඩු දේවස්ථාන භූමිය බැතිමතුන්ගෙන් පිරී යනවා. මඩු වන්දනාවට බැතිමතුන් එන්නේ පවුල් පිටින් හෝ ගම්පිටින් එකතුවෙමින්. ඈත අතීතයේ දී පයින්, ගොන් කරත්තයෙන් ආ ගමන පසුව දුම්රියේ, බස්රියේ හෝ පෞද්ගලික වාහනවලින් ඒම සිදු වුණා.

මඩු වන්දනා සමයට විශේෂ දුම්රිය සේවා පවත්වනවා. දුම්රියෙන් මඩු වන්දනාවට එන බැතිමතුන් එන්නේ තලෙයිමන්නාරම දුම්රියෙන්. කොළඹ කොටුවෙන් රාත්‍රී 8.00ට එය පිටත් වෙන්නේ වන්දනාකරුවන් පුරවාගෙනයි. මඩු දුම්රිය පොළෙන් බැස එතැන් සිට බස්රථවලින් දේවස්ථානය බලා ගමන් කිරීම සිදු වෙනවා.

මඩු වන්දනාවට පැමිණි බැතිමතුන්- thecolombopost.net

මඩු වන්දනාව ඇරඹීමට පෙර කතෝලික ජනතාව ඉටුකරන සිරිත් ද දකින්න පුළුවන්. තම තමන්ගේ දේවස්ථාන වෙත ගොස් බාරහාර වී ඉටිපහන් දල්වා, අසල්වැසියන් සමග අමනාපකම් දුරලා දමා හොඳහිත වර්ධනය කර ගනිමින් වන්දනාවට පේවීම සිදුවෙනවා. ඒක හරියට බොදු බැතිමතුන් සමනොළ වන්දනාවට පේවෙනවා වගේ. අගෝස්තු 15 වනදා මංගල්‍යය ආරම්භ කරන්නේ මරියෝත්තමාවන්ගේ ස්වර්ගරෝපිත හෙවත් අහස් නැගීමේ මංගල්‍යය මුල් කර ගනිමින්. මංගල්‍ය දිනවල උදැසන 6.00 සිටම විවිධ භාෂාවන්ගෙන් දිව්‍ය පූජා යාගයන් සිදුකෙරෙවා. ඒ කාලයට මඩු පල්ලි භූමිය එකම හිස් ගොඩක් බවට පත්වෙනවා.

කවරය: මඩු දේවස්ථානය- STharu Tissera Photography

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Ines G. Zupanov. Missionary Tropics: The Catholic Frontier in India (16th-17th Centuries).

http://madhuchurch.blogspot.com/p/blog-page.html

colombogazette.com

mahawansa.wordpress.com/2008/06/05/මඩුපල්ලියේ-කතාව

දිවයින Aug 14, 2011

1 පාප්තුමා දේවමාතා ප්‍රතිමාව අතැතිව- pinrest.co.uk

2 දේවස්ථානයේ පිහිටීම-defencewire.blogspot.com

3 දේවස්ථාන පූජා බිමට ඇතුළුවන ස්ථානයේ පිහිටි තොරණ srerendib.btoptions.lk

4    මඩු දේවමාතා ප්‍රතිමාව- tamilchurch.homesead.com

5   මංගල්‍ය අවස්ථාවක්-ucanews.com

6 දේවස්ථානය තවත් කෝණයකින්-amazinglanka.com

7 දේවස්ථානය ඇතුළත-  Wikipedia.org

8 මංගල්‍ය අවස්ථාවක්- madhuchurch.blogspot.com

9 මඩු වන්දනාවට පැමිණි බැතිමතුන්- thecolombopost.

Related Articles