සිංහරාජ වන පෙත සිසාරා

දේශීය රක්ෂිත වනබිම් සුරැකීම පිළිබඳව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවට, තමන් සතු හරිත වනපෙත් ආවරණය, විවිධ පරිසර පද්ධති හා වන ජීවීන් පිලිබඳ විශ්ව කීර්තියට පත් සිංහරාජය පිළිබඳ තියෙන්නේ ලොකු අභිමානයක්. ස්වභාවධර්මය තිළිණ කළ මහඟු දායාදයක් විදිහටත් සිංහරාජය අපට හඳුන්වන්න පුළුවන්.

සිංහරාජයට තියෙන්නේ සපුෂ්ප ශාක (මල් පිපෙන ශාක) වල පරිණාමය සිදු වූ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා විහිදෙන අතිශයින් දිගු ඉතිහාසයක්. අදටත් එය ස්වභාවධර්මයේ මහා ධන නිදන් ගබඩාවක්, සුවිසල් විද්‍යාගාරයක් විතරක් නෙවෙයි සුවිසල් ඖෂධාගාරයක්. ඒ වගේම සිත නිවා සනහන මහා අරණක්. සිංහරාජයේ චාරිකා කරන්නෙකුට හුදු විනෝදය විතරක් නෙවෙයි ඊට අමතරව ලැබෙන දේ බොහෝයි. ඒ සියල්ල ලබා ගන්න නම් සිංහරාජය ගැන හොඳින් දැනගෙන යන්න ඕනි. අද අපි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහරාජය පිළිබඳව යම් තාක් දුරට ඔබව දැනුවත් කිරීමයි.

සිංහරාජ වනාන්තරය. (srilankandreams.com)

සිංහරාජ වනාන්තරය. (srilankandreams.com)

සිංහරාජය දැනට ලංකාව සතුව තියෙන අවම බාධා කිරිමකට ලක්වූ අද්විතීය ජෛව විවිධත්වයකට උරුමකම් කියන පහතරට තෙත් වනාන්තරයක්. මේ වනාන්තරය ජෛවගෝල රක්ෂිතයක් විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1978 දී. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය විසින් තමයි සිංහරාජය ජාත්‍යන්තර ජෛවගෝල රක්ෂිත ජාලයට ඇතුලත් කරලා තියෙන්නේ. ලෝකයේ ඉතිරි වෙලා තියෙන නිවර්තන වැසි වනාන්තර අතරින් සිංහරාජ වනාන්තරයට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. එය පිහිටලා තියෙන්නේ උතුරු අක්ෂාංශ 6° 21′ හා 6° 26′ අතරත් නැගෙනහිර දේශාංශ 80° 21′ හා 80° 36′ අතර. ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ, නිරිත දිග ප්‍රදේශයේ ගාල්ල, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්ක තුන තුල පිහිටලා තියෙන මේ වනාන්තරයේ සමස්ත ව්‍යාප්තිය හෙක්ටයාර් 11187ක් වෙනවා. එය හෙක්ටයාර් 6091ක වන රක්ෂිතයෙන් හා හෙක්ටයාර් 2773ක යෝජිත රක්ෂිතයකින් සමන්විතයි.

පහතරට නිවර්තන තෙත් සදාහරිත වනාන්තර යටතට වර්ග කර ඇති සිංහරාජ වනාන්තරය උතුරින් නාපොළ දොළ, කොස්ගුලන ඇළෙන් හා තුඩුව ගඟෙනුත්, නැගෙනහිරින් මොර්නින්සයිඩ් වතු යායෙන්ද, බටහිරින් කළුකන්දාව ඇළ හා පිට කැළේ ගඟෙනුත්, දකුණින් ගින් ගඟෙනුත් මායිම් වෙනවා. සිංහරාජ වනාන්තරයේ නැගෙනහිර ඉඳලා බටහිර කෙළවරට කිලෝමීටර් 21 දිගයි වගේම කිලෝමීටර් 7 ක් පළලයි. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 200-1150 අතර උන්නතාංශයකින් තමා මේ වනාන්තරය පිහිටලා තියෙන්නේ. උපරිම උන්නතාංශය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1170 ක් ද අවම උන්නතාංශය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 90ක් විතර වෙනවා.

වැද්දගල පාරෙන් සිංහරාජයට හැරෙන තැන ඇති දැන්වීම් පුවරුව. (serendib.btoptions.lk)

වැද්දගල පාරෙන් සිංහරාජයට හැරෙන තැන ඇති දැන්වීම් පුවරුව. (serendib.btoptions.lk)

සිංහරාජ වනාන්තරයට පිවිසෙන්න ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා. ඒවා තමා වයඹ දිශාවෙන් කලවාන – වැද්දගල පාර, ඊසාන දිගින් රක්වාන-මොර්නින් සයිඩ් පාරත්, නිරිත දිගින් හිනිදුම – නෙළුව පාර සහ ගිණිකොන දිගින් දෙනියාය – පල්ලේගම පාර. කොළඹ ඉඳන් එන අයට ගොඩක් ලේසි කලවාන වැද්දගල පාරේ එන එකයි.

ශ්‍රී ලංකාවට මහඟු සම්පතක් වන මේ සිංහරාජ වනාන්තරයේ ඓතිහාසික තොරතුරු ගැන හොයලා බැලුවොත් ඒ පිළිබඳ වාර්තා දේශ ගවේෂකයෙක් වෙන ඉබන් බතුතාගේ වාර්තාව දක්වා අතීතයට දිව යනවා. ඒ වාර්තාවට අනුව ඔහු ගමන් ගත් ගාල්ල සිට ශ්‍රී පාදය දක්වා වූ ගමන් මාර්ගය සිංහරාජය හරහා තමයි පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ සිංහරාජය ගැන වාර්තා ඉදිරිපත් වෙන්නේ ක්‍රි.ව. 1505-1656 දක්වා ශ්‍රී ලංකාව පාලනය කරපු පෘතුග්‍රීසීන්ගේ වාර්තා වලින්. ශ්‍රී ලංකාව ආක්‍රමණය කරපු ලන්දේසින් තමයි ක්‍රි.ව.1789 දී සිංහරාජය සිතියම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාව ආක්‍රමණය කරපු ඉංග්‍රීසීන් මේ වනයේ තිබෙන ස්වභාවික සම්පත් පිලිබදව ගවේෂණය කරලා තියෙනවා.

සිංහරාජ වනාන්තරයේ පාෂාණ තත්වය ගැන කතා කළොත් එහි පාෂණ අයත් වෙන්නේ රතු සහ කහ පොඩ්සොලික් (Red-Yellow Podsolic) පාංශු කාණ්ඩයට. මීට අමතරව වනය තුල ගංගා නිම්න ආශ්‍රීතව දියළු පස පවතිනවා. මව් පාෂණ ඉතා ඉක්මනින් ලැටරයිට් හා කබොක් පස් බවට පත් වෙන්නේ වනය තුල පවතින ඉහළ උෂ්ණත්වය නිසා හා අධික වර්ෂාපතනය නිසා. පාංශු ගැඹුර සැලකුවොත් එය තද පාෂාණ ඇති ප්‍රදේශ වල සෙන්ටිමීටර් 5ක් විතර වුනත් කබොක් පස් සහිත බෑවුම් වලදී එම ගැඹුර සෙන්ටිමීටර් 4-5 විතර වෙනවා. සිංහරාජ වනාන්තරයේ පසේ දකින්න පුළුවන් විශේෂම ලක්ෂණය ඒ පස පෝෂක ද්‍රව්‍ය වලින් හීන, සාරවත් නොවූ පසක් විම. මේකට හේතුව තමයි ශාක පත්‍ර වලින් පසට ලැබෙන පෝෂක ද්‍රව්‍ය පාංශු ජීවීන්ගේ ඉහළ ක්‍රියාකාරිත්වය නිසා ඉක්මනින් දිරාපත් වෙලා ශාක වලට උරා ගන්න එක.

සිංහරාජ වනාන්තරයේ ජල විද්‍යාත්මක ලක්ෂණ ගැන හොයල බැලුවොත් මේ වනාන්තරයට නිරිතදිග මෝසමින්, ඊසානදිග මෝසමෙන් හා සංවහන වර්ෂාවෙන් අවුරුද්ද පුරාම ක්‍රමවත් වර්ෂාපතනයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 3000-6000 අතර අගයක පැවතිනවා. මැයි, ජුනි, ඔක්තෝබර් හා දෙසැම්බර් යන මාස වලදී තමයි මේ වනයට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඒ වගේම වනාන්තරයේ ජල වහන රටාව ගැන කතා කලොත් වැසි ජලයෙන් පෝෂණය වෙන ප්‍රධාන ගංගා දෙකක් තියෙනවා. ඒ තමයි දකුණු දිශාවෙන් ගලා බසින ගිං ගඟත්, උතුරු දිශාවෙන් ගලා බසින කළු ගඟත්. මේ ගංගා වලට අමතරව නාපොළ දොළ, කළුකන්දාව ඇළ, මහ දොළ, කොස්ගුලන ගඟ, පිටකැලේ ගඟ කියන ගංගාත් මේ වනාන්තරයෙන්ම තමා ගලාගෙන යන්නේ. කුඩව ප්‍රදේශයේ පිහිටා තියෙන දුහුවිලි ඇල්ල, දූලි ඇල්ල, බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුණු ඇල්ල කියන දිය ඇලි වනයේ සුන්දරත්වය තව තවත් වැඩි කරනවා.

සිංහරාජය තුළ ඇති නොයෙක් දියඇලි අතරින් වඩා ජනප්‍රිය දුහුවිලි ඇල්ල. (amazinglanka.com)

සිංහරාජය තුළ ඇති නොයෙක් දියඇලි අතරින් වඩා ජනප්‍රිය දුහුවිලි ඇල්ල. (amazinglanka.com)

දැන් අපි සිංහරාජයේ තියෙන ශාක ගැන හොයලා බැලුවොත් එකිනෙකට වෙනස් ශාක ස්ථර හයක් මේ වනාන්තරයේ දකින්න පුළුවන්. ඒවා තමයි නෙරු ස්ථරය, වියන් ස්ථරය, උප වියන් ස්ථරය, යටි වියන් ස්ථරය, පඳුරු ස්ථරය හා බිම් ස්ථරය විදිහට නම් කරලා තියෙන්නේ. මීටර් 45ක් විතර උසට වැඩෙන ගොඩක් උස ශාක නෙරු ස්ථරයට අයත් වෙන අතර වියන් ස්ථරය තියෙන්නේ නෙරු ස්ථරයට යටින්. මේ ස්ථරයට අයත් ශාක මීටර් 35ක් විතර උසට විහිදෙනවා. උප වියන් ස්ථරය වියන් ස්ථරයට පහලින් මීටර් 25ක් විතර ඉහලට විහිදෙනවා. උප වියන් ස්ථරයට පහලින් යටි වියන් ස්ථරය පිහිටනවා. වියන් ස්ථරයට ලැබෙන සුර්යාලෝකයෙන් 3%ක විතර ප්‍රමාණයක් තමයි යටි වියන් ස්ථරයට ලැබෙන්නේ. යටි වියන් ස්ථරයට පහළින් පඳුරු ස්ථරය පිහිටන අතර මේ පඳුරු ස්ථරයේ ස්වභාවය තැනින් තැනට වෙනස් වෙනවා.

වනාන්තරයේ පහතම ස්ථරය තමයි බිම් ස්ථරය. මේ බිම් ස්ථරය ආශ්‍රිතව ආර්ද්‍රතාවය 100% ක් විතර වන අතර 1-2% අතර ප්‍රමාණයක සූර්යාලෝකයක් ලැබෙනවා.

සිංහරාජය ශාක විවිධත්වය අතින් වගේම සත්ව විවිධත්වය අතිනුත් ඉතා සුවිශේෂියි. මේ වනාන්තරය තුළ හා ඒ ආශ්‍රිත වනාන්තරවල අලි ඇතුන් වාසය කරලා තිබෙන බවට සාක්ෂි තිබෙනවා. කොහොම වුනත් මේ වෙනකොට මොවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ ගිහින් තියෙන්නේ.

සිංහරාජයේ දකින්න පුළුවන් අනෙක් ක්ෂීරපායි සතුන් විදිහට දිවියා (Panther pardus), ගෝනා (Cervus unicolor), දිය බල්ලන් (Lutra lutra), වල් ඌරන් (Sus scorfa) හා නරි (Canisaureus) හඳුන්වන්න පුළුවන්. මේ වනාන්තරයේ කොඳුඇට පෙළක් සහිත සත්ව විශේෂ 320ක් විතර හඳුනාගෙන තියෙනවා. මේ සත්ව විශේෂ 320න් විශේෂ 113ක්ම ආවේණික සත්ව විශේෂ විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒත් අද වෙනකොට මේ සත්ව විශේෂ අතරින් බොහොමයක් වඳ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙන බව බොහෝ පර්යේෂණ වලින් අනාවරණය කරගෙන තියෙනවා. ඒ වගේම තමයි කුල 7කට අයිති මිරිදිය මත්ස්‍ය විශේෂ 19ක් ද සිංහරාජයේ දකින්න ලැබෙන අතර මේ මත්ස්‍ය සංඛ්‍යාවෙන් භාගයක් විතරම ආවේණික මත්ස්‍යයන් විදිහට හඳුන්වන්න පුළුවන්. මොවුනුත් වර්තමානයේ වඳ වීමේ තර්ජනයට ලක් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන බිලාල කුලයට අයත් විශාලම සතා වන දිවියන් සිංහරාජයේ ජීවත් වෙනවා. රූපය : lanka-housing.com

ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන බිලාල කුලයට අයත් විශාලම සතා වන දිවියන් සිංහරාජයේ ජීවත් වෙනවා. රූපය : lanka-housing.com

මේ වෙනකොට උභයජීවී විශේෂ 33ක්ද සිංහරාජයෙන් හමු වෙලා තියෙන අතර ශ්‍රී ලංකාව තුල හමු වෙන උභයජීවී විශේෂ අතරින් අඩක් විතරම සිංහරාජය තුලදී දැකගන්න පුලුවන්. හිමිදිරි පාන්දරම ඔබ සිංහරාජයට ගියොත් මේ උභය ජීවීන්ගේ හඬ හොඳින්ම අහන්න පුළුවන්. කුල 9කට අයිති උරගයන් විශේෂ 71ක්ද මෙහිදී අපිට දකින්න පුළුවන්. මේ වනාන්තරයේ දකින්න පුළුවන් උරගයින් අතරට කටුස්සන්, තලගොයා, හූනන් හා සර්පයින් අයත් වෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ දකින්න පුළුවන් පක්ෂි විශේෂ අතරින් 60 ක් සිංහරාජයෙන් වාර්තා වෙලා තියෙන අතර ආවේණික පක්ෂි විශේෂ 33ක්ම මේ වනාන්තරයේ දක්නට ලැබෙනවා. මේ වනාන්තරය තුල දකින්න පුළුවන් තවත් සත්ව විශේෂයක් තමයි සමනලුන්. ශ්‍රී ලංකාවට ආවේණික සමනල විශේෂ 2ක් හා උප විශේෂ 19ක් සිංහරාජය තුලදී හමු වෙනවා.

සිංහරාජයේ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේණික රතු මුහුණු මල් කොහා. රූපය : විකිපීඩියා

සිංහරාජයේ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේණික රතු මුහුණු මල් කොහා. රූපය : විකිපීඩියා

මෙවන් ජෛව විවිධත්වයෙන් අනුන සිංහරාජ වනාන්තරය ලෝක උරුමයක් වීම අරුමයක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ නාමය ලෝකයට ගෙන යාමට දායක වුනු සිංහරාජ වන පෙත සුරැකීම අප සැමගේ යුතුකම හා වගකිමයි. මේ හරිත වර්ණ වන පියස අදට වඩා හෙට දිනයේදී විද්‍යාත්මක පරීක්ෂණ ආදිය සඳහා අවශ්‍ය වෙන්න පුළුවන් වගේම මෙතෙක් කල් මිනිසාට සොයා ගැනිමට නොහැකි වු ඖෂධ සඳහා මෙහි සැඟවී සිටින ශාක සන්තතිය මගින් ඉදිරි අනාගතයේදී සාර්ථක ලෙස විසඳුම් ලබා දීමේ හැකියාවත් තියෙන්න පුළුවන්. දැනුම සොයමින් පර්යේෂණ සිදු කරන විද්‍යාඥයන්ට තෝතැන්නක් වුන සිංහරාජය මතු පරපුර සඳහා සුරැකිය යුතු අතර එවිට ජෛව විවිධත්වයෙන් අනූන සිංහරාජ වන පෙතේ වටිනාකම තවත් වැඩිවනු නොඅනුමානයි.

Related Articles