Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෙත් වසඟ කරවන භූ දර්ශන

ලෝකයේ ඇතැම් ස්ථාන සහ භූ දර්ශන කොතරම් මනස්කාන්තද කියනවා නම් ඇතැම් ඒවා ඇත්තටම පවතිනවාද යන්න පිළිබඳ ව ඇති වන්නේ සැකයක්.

අන්තර්ජාලයේ හෝ සමාජ ජාලා වෙබ් අඩවියක වෙනකෙක් විසින් පළ කරන ලද එවැනි ස්ථානයක සේයා රුවක් දුටු විට එය සැබවින් ම දැක ගැනීමට හිතේ ඇති වන ආශාව කාටවත් පොදුයි. මේ ලිපියේ අරමුණ එවැනි නෙත් වසඟ කරවන භූ දර්ශන කිහිපයක් ගැන තොරතුරු ඔබ වෙත ගෙන ඒම යි.

ලැසෙන් යමහල් ජාතික උද්‍යානය (ඇමෙරිකා එක්සත් ජනපදය)

(theodysseyonline.com)

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිකොන දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙහි දක්නට ලැබෙන වැදගත්ම ලක්ෂණයක් විදියට ලෝකයේ විශාලතම කොත් හැඩයෙන් යුතු ගිනි කන්ද පිහිටි ජාතික උද්‍යානය සහ කැස්කේඩ් කඳු පන්තියේ (උතුරු ඇමෙරිකාවේ බටහිරට වන්නට පිහිටා ඇති කඳු පන්තියක්) වඩාත් දකුණින්ම ඇති ගිනි කන්ද පිහිටීම හැඳින්විය හැකියි.

1907 දී එවකට ඇමෙරිකානු ජනාධිපති වූ තියඩෝර් රූස්වෙල්ට් විසින් මෙම භූමි ප්‍රදේශය එකිනෙකින් වෙන් වූ ජාතික ස්මාරක දෙකක් ලෙස ස්ථාපිත කරන ලද්දේ සින්ඩර් කෝන් ජාතික ස්මාරකය සහ ලැසෙන් ශිඛර ජාතික ස්මාරකය යන නමින්.

(contextotucuman.com)

ලැසෙන් ජාතික උද්‍යානයේ ක්‍රියාත්මක වන යමහල් සඳහා අවැසි උෂ්ණත්වය සැපයෙන්නේ උතුරු කැනිෆෝනියානු වෙරළ තීරය ආශ්‍රිත ව ඇති  ගෝඩා භූ තැටිය සහ උතුරු ඇමෙරිකානු භූ තැටිය එකිනෙක හා ගැටීම මගින්.

ලැසෙන් යමහල් ජාතික උද්‍යානය පුරාවට ම ක්‍රියාකාරී ගිනි කඳු මෙන් ම පැසෙන මඩ වගුරු සහ උතුරන උණු දිය උල්පත් දක්නට ලැබෙන අතර භයානක වුවත් මෙහි ඇති මනස්කාන්ත සහ වෙනස්ම ආකාරයේ භූ දර්ශන නිසාම මෙය සංචාරක ආකාර්ශනයක් බවට පත් වී තිබෙනවා.

ශැංගියෑ ජාතික භූ උද්‍යානය (චීනය)

(diazmag.com)

චීනයේ ශැංගියෑ ප්‍රාන්තයේ පිහිටා ඇති ශැංගියෑ ජාතික භූ උද්‍යානය වර්ග කිලෝමීටර් තුන්සිය විසි දෙකක භූමි ප්‍රමාණයක් ආවරණය කරනවා. 2012 වසර දී අර්ධ භූ උද්‍යානයක් (quasi-national geopark) ලෙස සලකන ලද මෙය චීන රජය විසින් භූ උද්‍යානයක් ලෙස නම් කරන ලද්දේ ගෙවී ගිය 2016 වසරේ දී යි.

මෙහි දක්නට ලැබෙන වර්ණවත් පාෂාණ සැකසුම් හේතුවෙන් සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ශැංගියෑ ජාතික භූ උද්‍යානය චීන මාධ්‍යයන් විසින් චීනයේ මනස්කාන්ත ම භූ දර්ශනය ලෙස නම් කර තිබෙනවා.

තෝස්මෝක් හැඩපළු ගංගාව (අයිස්ලන්තය)

(imgur.com)

සාමාන්‍යයෙන් හැඩපළු ගංගාවක් බිහි වන්නේ ඇළක් හෝ ඇළ මාර්ග සමූහයක් අතරින් පතර කුඩා සහ තාවකාලික දූපත් පැන නැගීමෙන්.

අයිස්ලන්තයේ දකුණු දිගට වන්නට තෝස්මෝක් කඳු පන්තිය මධ්‍යයේ පිහිටා ඇති තෝස්මෝක් හැඩපළු ගංගාව (මෙය ක්‍රොසා ගංගාව ලෙස ද හැඳින්වෙනවා) වඩාත් සුන්දර වී ඇත්තේ අධික සීතල නිසාවෙන් ගංගාව මිදී ඇති නිසා යි.

අයිස්ලන්තයේ ප්‍රසිද්ධ ම කඳු පන්තිය ලෙස නමක් දිනාගෙන තිබෙන තෝස්මෝක් කඳු පෙළ කඳු නගින්නන් අතර මෙන් ම හිම මත ලිස්සා යන්නන් අතර ද ජනප්‍රිය යි.

ඩැලෝල් ගිනි කන්ද (ඉතියෝපියාව)

(inspirationseek.com)

ඉතියෝපියාවේ ගිනිකොන දිගට වන්න ඇති අර්ටා ඒල් කඳු පන්තිය ආශ්‍රිත ව පිහිටා ඇති ඩැලෝල් ගිනි කන්ද බිහිව ඇත්තේ ඝන වූ මැග්මා, මයෝසීන ලුණු තැන්පතු තුළට ඇතුළු වීම සහ පසු කාලීන ඇති වූ ආර්ද්‍රෝෂ්ණක (එනම් පෘථිවි ස්ථරය සමග උතුරන ජලය ප්‍රතික්‍රියා කිරීම) ක්‍රියාවන් හේතුවෙන්.

මුහුදු මට්ටමේ සිට මීටර් හතළිස් පහක් පමණ පහතින් පිහිටි මෙම ගිනි කන්ද ලෝකයේ පහතින් ම පිහිටි ගිනි කන්ද ලෙස සැලකෙනවා.

(500px.com)

ලෝකයේ ඉහළ ම සාමාන්‍ය උෂ්ණත්වය (1960 – 1966 අතර කාලයේ දී 34°C) වාර්තා වූ ස්ථානය ලෙස සැලකෙන මෙහි දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ ගිනි කඳු ආශ්‍රිත ව දක්නට ලැබෙන අපූරු කහ පැහැය යි. භූ විද්‍යාඥයින්ට අනුව මෙම ප්‍රදේශය ආශ්‍රිත ව පවතින ඉහළ සල්ෆර් ප්‍රමාණය සමග මුසු වූ ලුණු සහ යකඩ ඔක්සයිඩ එයට හේතු වී තිබෙනවා.

ඇන්ටිලෝප් කැනියම (ඇමෙරිකා එක්සත් ජනපදය)

(pinterest.com)

ජායාරූප ශිල්පීන් සහ සංචාරකයන් අතර අතිශය ප්‍රසිද්ධ ස්ථානයක් වන ඇන්ටිලෝප් කැනියම, නවාහෝ රතු ඉන්දියානුවන්ට ආදායම් ගෙන එන ප්‍රධාන මාර්ගයක් ලෙස යි සැලකෙන්නේ.

එයට හේතු වන්නේ මෙහි පිහිටා ඇති අපූරු හැඩයන්ගෙන් යුතු ගල් කුළු යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරිත දිගට වන්නට ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති මෙය මනස්කාන්ත කැනියන් දෙකකින් යුතු වෙනවා. මේවා නහාවෝ බසින් හැඳින්වෙන්නේ Tsé bighánílíní (මෙයින් අදහස් වන්නේ ගල් පර්වත අතරින් ජලය ගලා බසින ස්ථානය යන්න යි) සහ Hazdistazí (මෙහි අරුත වන්නේ දඟර ගැසුණු පාෂාණ ආරුක්කු යන්න යි) යන නාමයන්ගෙන්.

(gypsy.ninja)

වර්ග අඩි හාර දහසකට ආසන්න භූමි ප්‍රමාණයක් ආවරණය කරන ඇන්ටිලෝප් කැනියම සඳහා ඇතුළු විය යුත්තේ අවසරලත් මග පෙන්වන්නෙක් සමග පමණ යි. නවාහෝ රතු ඉන්දියානුවන්ට අයත් බිම් කඩක් ලෙස සැලකෙන මෙහි පරිපාලන කටයුතු මෙහෙය වීම සම්පූර්ණයෙන් ම ඔවුන් විසින් සිදු කරනු ලබනවා.

ඉතින් මේ වගේ තවත් අපුරු ස්ථාන ගැන විස්තර ඔබත් දන්නවාද? ඒ විස්තරත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය: Picture 1 (desktopwalls.net)

මූලාශ්‍ර: brightside.me, en.wikipedia.org

Related Articles