පාකිස්ථානය සාමාන්‍යයෙන් සැලකෙන්නේ මදක් වියළි පැත්තට බර, උණුසුම් දේශගුණයක් සහිත රටක් හැටියටයි. පාකිස්ථානයේ බොහෝ ප්‍රදේශ සම්බන්ධයෙන් මෙය සත්‍ය වුණත් එහි උතුරු පෙදෙසට යන විට හමු වන “ඛයිබර් පක්තුන්ක්වා” ප්‍රාන්තයේ නම් තිබෙන්නේ ඊට වඩා සෞම්‍ය කාලගුණයක්. ඓතිහාසික පේෂාවර් නගරය අගනගරය වන මෙම ප්‍රාන්තයේ සෞම්‍ය දේශගුණයට හේතුව ලෙස කර්කටක නිවර්තනයට ඉහළින් පිහිටීමත්, හිමාල කඳු පන්තියේ කෙළවරක් මෙයට අැතුළත් වීමත් සිතිය හැකියි.

ඛයිබර් ප්‍රාන්තයේ රමණීයම පෙදෙස ලෙස සැලකෙන්නේ උතුරු දිගින් හිමාල කඳු පන්තියට මායිම්ව පිහිටි ස්වාත් නිම්නයයි. පරිපාලනමය වශයෙන් දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇති මෙහි ඇත්තේ පාකිස්ථානයට වඩා ස්විස්ටර්ලන්තයට නෑකම් කියන සොබා සෞන්දර්යයක් හා දේශගුණයක් යැයි කීම වඩා නිවැරදියි. ලොව පුරා සංචාරකයින් වැඩි දෙනාගේ අවධානය එතරම් යොමු නොවෙන මිහිබට සුරපුරක් බඳු ස්වාත් නිම්නයට ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් වරක් හෝ සංචාරය කිරීම වැදගත් දෙයක්. සුවදායී, නෙත්කළු කඳු පන්ති හා ජල දහරාවලට අමතරව එහි තවමත් ශේෂව පවතින බෞද්ධ ශිෂ්ටාචාරයක නටඹුන්ද දැකගන්නට පුළුවන්.

ස්වාත් නිම්නයේ වසන්තය ඇරඹේ (Image Credit – Fazal Khaliq)

ස්වාත් නිම්නයේ ඉතිහාසය

පුරාණ හින්දු ලියකියවිලිවලට අනුව ස්වාත් නිම්නය හඳුන්වා ඇත්තේ “උද්‍යානය” ලෙසයි. ක්‍රි.පූ 327 දී මහා ඇලෙක්සැන්ඩර් ඔහුගේ හමුදාවද සමඟ ස්වාත් ගංගාව තරණය කර මෙම භූමිය අත්පත් කරගෙන  තිබෙනවා. ඔහුගෙන් පසු උතුරු කොටස් චන්ද්‍රගුප්ත රජු අත්පත් කරගෙන ඇති අතර ස්වාත් නිම්නය ක්‍රි.ව දෙවන සියවසේ සිට නව වන සියවස දක්වා බෞද්ධ පසුබිමක් සහිතව සශ්‍රීකව පැවතී තිබෙනවා. පිරිවෙන් වැනි ධර්මායතනද, වෙහෙර විහාරද 1400 කට වැඩි ප්‍රමාණයක් මේ කාලය තුල ඉදි කර, පවත්වාගෙන ගොස් තිබෙනවා.

මේ අවධියේදී මෙම නිම්නය ගාන්ධාර මූර්ති ශිල්පයේ  මධ්‍යස්ථානය ලෙස සැළකුණු අතර බෞද්ධ සම්ප්‍රදාය හා ග්‍රීක-රෝම නිර්මාණ ශිල්පය එකතු කොට සෑදූ බුදු පිළිම හා ස්ථූප නිම්නය පුරාම අදටත් ශේෂව පවතිනවා.

ගාන්ධාර සාම්ප්‍රදායට අයත් බුදු පිළිමයක් (pinterest.com)

ක්‍රි.ව. 11 වන සියවසේදී ස්වාත් නිම්නය මුස්ලිම් අධිරාජ්‍යයෙකු වූ ඝාස්නි හි මහමුද් යටතට පත් වූ ඇති අතර එතැන් සිට එහි ඉස්ලාම් ආගම පැතිරුණා. 1915 න් පසු මියැන්ගුල් අබ්දුල් වදූද් හා ඔහුගේ පුතු මෙහි නවීන සංවර්ධන කටයුතුවල මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇති අතර 1969 වර්ෂයේදී ඛයිබර් ප්‍රාන්තය පිහිටවන විට ස්වාත් නිම්නයද ඊට ඇතුළත් වී තිබෙනවා. ස්වාත් නිම්නයේ පරිපාලන අගනගරය “ශයිදු ශරීෆ්” වන අතර විශාලම වෙළඳ නගරය මින්ගෝරා යි.

ඝාස්නි හි මහමුද් (khudi.wordpress.com)

ස්වාත් නිම්නයේ දේශගුණය

ස්වාත් නිම්නය හිමාල අඩවිය ආසන්නයේම පිහිටා ඇති උස් බිමක් නිසා වසර පුරාවටම ඇත්තේ සෞම්‍ය දේශගුණයක්. විශේෂයෙන්ම ස්වාත් නිම්නයේ උතුරු කොටසට හිම පතන සහිත ශීතල සිසිර ඍතු අරුමයක් නෙවෙයි. සාමාන්‍යයෙන් වසන්ත සමයේ ආරම්භය වන අප්‍රේල් මාසයේ සිට සරත් ඍතුවේ අවසානය වන නොවැම්බරය වන තුරු සංචාරය කිරීමට සුදුසු දේශගුණික තත්වයක් මෙහි පවතිනවා. මල් පූදින වසන්තය වන අප්‍රේල් – මැයි මාසවල ස්වාත් වෙත ළඟා වීමෙන් එහි ඇති සුන්දරත්වය උපරිම ලෙස අත් විඳින්නට පුළුවන්. උෂ්ණත්වය උපරිම වන ග්‍රීෂ්මයේත් මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 7° හා 22° අතර අගයක් ගන්නවා.

වසන්තය ආරම්භයේදී ස්වාත් නිම්නය (flickr.com)

ස්වාත් වෙත ළඟා වන මාර්ග

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් සිට ස්වාත් හි අගනුවර වන සයිදු ශරිෆ් නුවරට ඇත්තේ කිලෝමීටර 247 ක දුරක්. පේෂාවර් නුවර සිට මෙයට ඇති දුර කිලෝමීටර 171ක්. ඉස්ලාමාබාද් හා පේෂාවර් නගරවලට අමතරව ලාහෝර්, රාවල්පිණ්ඩි හා මර්දාන් වැනි නගරවලින් ස්වාත් වෙත බස් සේවා ක්‍රියාත්මක වෙනවා.

ස්වාත් හි භූගෝලීය පිහිටීම (DrBen.net)

ස්වාත් නිම්නයේ පවතින සංචාරක අාකර්ෂණ

ස්වාත් නිම්නයේ සංචාරකයන්ට සංචාරය කිරීම සඳහා ඇති තරම් ස්ථාන තිබෙනවා. සොබාව සෞන්දර්යයෙන් සපිරි මනහර කඳුවල දර්ශන, දිය දහරා, විල් වැනි දේ සිට පැරණි බෞද්ධ පිරිවෙන්වල නෂ්ඨාවශේෂ, බුදු පිළිම වහන්සේ වැනි දේ මෙහිදී ඔවුන්ට නැරඹිය හැකි‍යි. ශීත කාලය අවසානයේ සංචාරය කරන අයට නම් ඈත කඳුවල ඇති සුදෝ සුදු හිම සේලවල වැදී එන සිසිල් සුළඟ වින්දනය කර ගන්නට පුළුවන්  ඒ කඳු මුදුන්වල චමත්කාරය නරඹන ගමන්ම. සංචාරක ස්ථාන අතුරින් පහත දැක්වෙන ස්ථාන ශ්‍රී ලාංකික සංචාරකයෙකුට වඩාත් වැදගත් වේවි.

ස්වාත් කෞතුකාගාරය

ස්වාත් කෞතුකාගරයේ ඇති ප්‍රතිමා (hunzaadventureleaders.com)

ස්වාත් හි කෞතුකාගාරය පිහිටා ඇත්තේ මින්ගෝරා හා සයිදු ශරීෆ් වෙත යන මාර්ගය ආසන්නයේමයි. මෙහි ගාන්ධාර සාම්ප්‍රදායට අනුකූලව තනන ලද, ප්‍රදේශයේ විවිධ ස්ථානවලින් සොයා ගැනුණු බුදු පිළිම රාශියක් දැක ගත හැකියි. මේ කෞතුකාගාරය ඉදි කර ඇත්තේ 1958 වසරේදීයි.

බුත්කාරා ස්ථූපය

ජම්බිල් ප්‍රදේශයේ මළුව (Creative Commons /Isruma)

මෙය අතීතයේදී ස්වාත් හි වැදගත්ම බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස සැලකිල්ලට පාත්‍ර වී තිබෙනවා. ස්වාත් කෞතුකාගාරයට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටා ඇති මෙය ඉදි කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේ දී. මෙහි ධර්මාශෝක රජතුමා විසින් බුදුරදුන්ගේ යම් ධාතූන් වහන්සේ නමක් තැන්පත් කරන්නට ඇතැයි සැළකෙනවා.

අම්ලුක් ධාරා ස්ථූපය

(morningpost.today)

මේ ස්ථූපය සහිත ස්ථානයත් ඉතාම ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථානයක් හැටියට සැලකෙනවා. ඉලාම් කඳු පාමුළ පිහිටා ඇති මෙය ක්‍රි.ව. 3 වන සියවසේදී සාදන ලද එකක්. මේ ස්ථූපය වටා ගාන්ධාර සම්ප්‍රදායට අනුව සෑදුණු විශාල විහාර සංකීර්ණයක් හෝ පිරිවෙනක් තිබූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි පවතිනවා. බොහෝ විට එය 11 වන සියවස වන තුරුම සක්‍රීය මට්ටමේ තිබුණු බව පිළිගත හැකි යි.

ගුම්බාත්

ගුම්බාත් ස්ථූපය (twitter.com)

මේ ස්ථානයත් ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස සැළකෙනවා. වර්තමානයේදී ගරා වැටීමේ අවදානමකට ලක්ව ඇති මෙය ක්‍රි.ව. දෙවන සියවසේ ඉදි කරන ලද විශාල ගොඩනැඟිලි සංකීර්ණයක නෂ්ඨාවශේෂයක් හැටියට සැලකෙනවා.

බරිකොත් හි බිතු සිතුවම්

මේ සමහරක් චිත්‍ර ක්‍රි. පූ 1400 ට පමණ අයත් ඒවා (thenews.com.pk)

බරිකොත් හි කඳුකර ප්‍රදේශයක පිහිටා ඇති මෙම බිතු සිතුවම් 52න් සමහර ඒවා ක්‍රි.පූ 1400ට පමණ අයත් ඒවා හැටියට සැලකෙනවා. මේ අතරිනුත් මිනිස් මුහුණක් මැවෙන පරිදි සර්ඝා-සාර් හි ඇඳ ඇති සිතුවම විශේෂ එකක් හැටියට සැළකෙනවා.

උදේග්‍රාම්

මින්ගෝරා සිට මලාකන්ද් වෙත දිවෙන මාර්ගයේ කි.මී 8ක් පමණ ගිය තැන උදේග්‍රාම් හමු වෙනවා. මේ ක්‍රි.පූ 327 දී මහා ඇලෙක්සැන්ඩර් විසින් අත්පත් කර ගන්නා ලද ඓතිහාසික ඕරා නුවර පැවති ස්ථානයයි. මෙහි තවමත් එහි නෂ්ඨාවශේෂ පවතිනවා. ඇලෙක්සැන්ඩර් යුගයේ පැරණි මාලිගයක නටඹුන්ද, 11 වන ශතවර්ෂයට අයත් සුල්තාන් මහමුද් ඝාස්නි විසින් ඉදි කරන ලද ඉස්ලාම් පල්ලියක නටඹුන්ද මෙහි එකළඟ ස්ථාන දෙකක දැකගත හැකියි.

උදේග්‍රාම් බලකොටුව (balkhandshambhala.blogspot.com)

ෂින්ගෙර්දර් ස්ථූපය

ෂින්ගෙර්දර් ස්ථූපය (visitswat.org)

උදේග්‍රාම් සිට මින්ගෝරා – මලාකන්ද් මාර්ගයේ තවත් කිලෝමීටර 10ක් පමණ ගිය තැන ෂින්ගෙර්දර් ස්ථූපය හමු වෙනවා. මෙය අතීතයේ උත්තරසේන නම් රජෙක් විසින් බුදු රදුන්ගේ ධාතූන් වහන්සේලාගෙන් තමාට ලැබුණු කොටස තැන්පත් කිරීමට සාදන ලද ස්ථූපයක් ලෙස සැලකෙනවා.

ජහනාබාද් හි බෞද්ධ ප්‍රතිමාව

(SMEO Italian Archaeological Mission)

මින්ගෝරා සිට කිලෝමීටර 10ක් පමණ ඈතින් පිහිටි ජහනාබාද් ගම්මානයේ පිහිටි විශාල ශෛලමය හිඳි පිළිමයක් වන මෙය ක්‍රි.ව 7 වන සියවසේදී නිර්මිත එකක් ලෙස සැලකෙනවා.

මියැන්දම්

මියන්දම් නිම්නය (en.wikipedia.org/Power22)

මෙය ස්වාත් හි සංචාරක ආකර්ෂණය නොමඳව දිනාගත් ස්ථානයක්. මුහුදු මට්ටමින් මීටර 1800ක් පමණ උසකින් පිහිටා ඇති මෙහි සිට ඉතාම මනස්කාන්ත ස්වභාවික දර්ශන නැරඹිය හැකියි. මෙහි සංචාරක හෝටල් හා නවාතැන්පොළවල් කීපයක් ඇති අතර පාගමනින් සංචාර යාමට කැමති අයට කදිම තෝතැන්නක්.

කලාම්

සයිෆුල් මුලුක් වැව (worldfortravel.com)

මෙය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් මීටර 2072ක් උසින් වන අතර ස්වාත් නිම්නයේ මනස්කාන්තම ස්ථානයක් ලෙස සැලකෙනවා. මෙම ස්ථානය ආසියාවේ ස්විස්ටර්ලන්තය යන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන්නේත් ඒ නිසා. මෙහි විල්, වනාන්තර වැනි ස්වභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථාන කිහිපයක්ම ඇති අතර උෂු හා උට්‍රොට් ගංගා ස්වාත් ගංගාවට එකතු වන්නේත් කලාම් හීදී. මීට අමතරව හිමෙන් වැසුණු හිමාල කඳු පන්තියට අයත් උස් කඳු මුදුන් කීපයක්ම මේ ස්ථානයට දර්ශනය වෙනවා.

මෙහි ඇති විචිත්‍ර බව හා සැපදායක දේශගුණය නිසා පාකිස්ථානුවන්ගේ ජනප්‍රියම නිවාඩු සන්ධිස්ථානය ලෙස මෙය සැළකෙනවා. මෙහි සැපවත් නිවාඩුවක් ගත කිරීම සඳහා නවාතැන් පොළවල්ද, විවිධ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පහසුකම්ද නොමදව ලබාගත හැකියි.

උට්‍රොට් හා ගබ්රාල්

කලාම් සිට හිමාල කඳු පන්තියේ ඉහළට යන විට හමු වන මෙම ගම්මාන ද්විත්වයත් ඉහළ සංචාරක අාකර්ෂණයක් අැති ස්ථානයි. මෙහි පිහිටා ඇති කුන්දොල් හා ග්ලැසියරයකින් බිහි වූ කපෙරෝ දුන්ද් නැමති විල් ද්විත්වයත් ඉතාම මනස්කාන්ත ඒවා. මේවා බැලීමට පාගමනින් සංචාර යාමට දෙස් විදෙස් සංචාරකයන් ඉතා කැමැත්තක් දක්වනවා. තවත් විල් කිහිපයක් වන ස්පින්කොර්, ගොදුර්, කර්කාරි හා ඉස්මිස් වැනි විල්වලට සංචාරය කිරීම ජීවිතයට අමතක නොවන අත්දැකීම් ගෙන දෙන්නට සමත්. ඉස්මිස් විල අවට ස්වභාවික ගල්ගුහා පද්ධතියක්ද දැකගත හැකියි.

කුන්දොල් වැව (croozi.com)

උෂු නිම්නය

උෂු නිම්නය ස්වාත් හි ඉහළින්ම පිහිටි හා විචිත්‍රවත්ම නිම්නයක්. මේ නිම්නයට උස් කඳු මුදුන් හා උෂු නදිය මනස්කාන්ත ලෙස දර්ශනය වනවා. මෙය මුහුදු මට්ටමින් මීටර 2300ක් පමණ ඉහළින් පිහිටා ඇති අතර මෙහි සිට ඉතාම මනස්කාන්ත මහෝදන්ද් විලට ඇත්තේ කි.මී 27 ක දුරක්. මේ විල මත්ස්‍යන් බහුල එකක් වන අතර මාළු බෑමේ විනෝදාංශයටද ප්‍රසිද්ධයි. මෙහි සිට සංවිධානය කර ගත හැකි දුෂ්කර පාගමන් සංචාර මඟින් තවත් ඉහළින් ඇති ගම්, කඳු, කපොළුවලට ලඟා විය හැකියි.

මනස්කාන්ත මහොදන්ද් විල (attractivepakistan.com)

ජීවිතයේ යම් කිසි දිනෙක පාකිස්ථානයට යාමට අවස්ථාවක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම ස්වාත් හි පෞරාණිකත්වය හා ස්වභාව සෞන්දර්යය විඳින්න අමතක කරන්න එපා. බෞද්ධ පසුබිමකින් හැඩ වුණු මනස්කාන්ත ස්වාත් නිම්නය එහි එන සෑම සංචාරකයෙක්ම නැවත යවන්නේ ඔවුන් සතුව තිබූ සියළුම දුක් කම්කටොළු හිත් තුලින් ඉවත් කරමින්.

මූලාශ්‍ර:

  1. visitswat.org
  2. musicjinni.com

1 කවරයේ රූපය: (pinterest.com)