Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය කොලුගැටයා – මැක් රදර්ෆර්ඩ්

ඔබ වයස අවුරුදු 17 වන විට සම්පූර්ණ කර ගැනීමට වෙර දැරූ ඉලක්ක ගැන මතක ද? හැබැයි දැන් අපි මේ කතා කරන්න යන ඉලක්කය වයස අවුරුදු 17 වන විට සම්පූර්ණ කරගත යුතු ඉලක්කයක් ලෙස කිසි දිනක ඔබ නොසිතන්නට ඇති. 

ඒ ඉලක්කය නම් සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලත ම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීම යි. වයස අවුරුදු 17 දී එම ඉලක්කය සපුරා ගත් බ්‍රිතාන්‍ය, බෙල්ජියම් සම්භවයක් ඇති 17 හැවිරිදි මැක් රදර්ෆර්ඩ් (Mack Rutherford) හා ඔහුගේ එම ඉලක්කගත ගමන පිළිබඳවයි මේ ලිපියෙන් ඔබට විස්තර ගෙන එන්නේ. 

මැක් රදර්ෆර්ඩ් – resources.stuff.co.nz

 අවුරුදු 15 දී සැහැල්ලු ගුවන් යානා පැදවීමේ බලපත්‍රයක් ලබා ගැනීම 

මැක් රදර්ෆර්ඩ්ගේ මව මෙන් ම පියා ද වෘත්තීය ගුවන් නියමුවරුන් වන අතර මෑතක දී ලොව වටා තනි ව සැහැල්ලු ගුවන් යානයකින් පියාසර කළ ළා බාලත ම කාන්තාව ලෙස ගිනස් වාර්තාවක් තැබූ සාරා රදර්ෆර්ඩ්, මැක් ගේ එක ම වැඩිමහල් සොයුරිය යි. එම ගමන අතරතුර ඇය ශ්‍රී ලංකාවේ රත්මලාන ගුවන් තොටුපොළට ද ගොඩ බසිනවා. 

මැක් කුඩා කාලයේ පටන් සිය පියා සමඟ මහත් උනන්දුවෙන් ගුවන් ගමන්වල යෙදුණු දරුවෙක්. ඔහු වයස අවුරුදු තුනේ සිට ගුවන් නියමුවෙක් වීමට අවශ්‍ය බව පවසමින් තම පියාට ඇවිටිලි කළ සිඟිත්තෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. 2020 වසරේ දී වයස අවුරුදු 15 යි මාස තුන වන විට සැහැල්ලු ගුවන් යානා බලපත්‍ර ලබා ගැනීමට මැක් රදර්ෆර්ඩ් සමත් වෙන්නේ එවකට එම බලපත්‍රය ලබාගත් ළා බාලතමයා බවට වාර්තාවක් තබමින්.

ගමන් මාර්ගය – i0.web.de

මහද්වීප පහක් පසුකර රටවල් 52ක් හරහා 

ලොව වටා සැහැල්ලු ගුවන් යානයකින් ගමන් කළ ළාබාලත ම පුද්ගලයා බවට වාර්තාවක් තැබීමේ අරමුණෙන් 2022 වසරේ මාර්තු 23 වැනි දින එවකට 16 හැවිරිදි මැක් රදර්ෆර්ඩ්, බල්ගේරියාවේ ප්‍රධාන නගරය වන සොෆියාවලින් ගුවන් ගත වනවා. පසුව ඉතාලිය, ග්‍රීසිය, ඊජිප්තුව, සුඩානය හා කෙන්යාව පසුකරමින් ටැන්සානියාවට ළඟා වෙනවා. ඒ 2022 වසරේ මැයි 20 වන දින යි. ගුවන් යානයේ තාක්ෂණික දෝෂ පරික්ෂා කිරීම සඳහා දින දෙකක විවේකයක් ඔහු පසුව ලබා ගන්නවා.  මැඩගස්කරය පසුකරමින් මැයි 22 වැනි දා ගමන් කරන මැක් රදර්ෆර්ඩ් දින කිහිපයක් විවේක ගන්නවා. මැයි 28 වැනි දින ශීශේල්ස් වෙත ළඟාවීමට ඔහු සමත් වෙනවා. 

ඉන් පසු පිළිවෙළින් යේමනය, ඕමානය, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, පාකිස්තානය පසු කරන ඔහු ජූලි 10 වැනි දින ඉන්දියාවට ළඟාවීමට සමත් වෙනවා. පසුව තායිලන්තය, වියට්නාමය, තායිවානය හා දකුණු කොරියාව පසු කරමින් ඔහු ජූලි 28 වැනි දා ජපානයට පැමිණෙනවා. ජුලි 30 වන දින අමෙරිකා එක්සත් ජනපදයට ළඟාවෙන මැක් රදර්ෆර්ඩ් කැනඩාව, ග්‍රීන්ලන්තය හා අයිස්ලන්තය පසුකර අගෝස්තු 20 වැනි දා එක්සත් රාජධානියට පැමිණෙනවා. එතැනින් බෙල්ජියම හා ස්ලෝවැකියාව හරහා නැවතත් තමන් ගමන් ආරම්භ කර බල්ගේරියාවේ සොෆියා නගරයට පැමිණීමට ඔහු සමත් වෙනවා. ඒ අගෝස්තු 24 වන දින යි. 

සාරා රදර්ෆර්ඩ්, මැක් ගේ එක ම වැඩිමහල් සොයුරිය යි – www.aerotime.aero

ගිනස් වාර්තාව තැබීම සඳහා ගුවන් යානයට ගොඩවන විට ඔහුගේ වයස අවුරුදු 16 වූ අතර ගිනස් වාර්තාව තැබූ පසුව වයස සටහන් වන්නේ අවුරුදු 17ක් ලෙස යි. මහද්වීප පහක් පසුකර රටවල් 52ක් හරහා ගිය ඔහු මේ සඳහා මාස පහක කාලයක් ගත කර තිබෙනවා. මෙම ගමන සම්බන්ධ ව සටහන් තබා ඇති මැක් රදර්ෆර්ඩ්ගේ වෙබ් අඩවියට අනුව ගමනේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 300ක්. මීට පෙර මෙම ගිනස් වාර්තාවට හිම්කම් කියූවේ වයස අවුරුදු 18 යි දින 150 ක් වයසැති ට්‍රැවිස් ලුඩ්ලෝ නම් බ්‍රිතාන්‍ය ජාතික තරුණයෙක්.

මැක් රදර්ෆර්ඩ් මුහුණ දුන් අභියෝග 

ජපානයේ සිට අමෙරිකා එක්සත් ජනපදයට පියාසර කරන අතරතුර දැඩි සුළඟකට මුහුණදීමට මැක්ට සිදුවෙනවා. සුඩානයේ වැලි කුණාටු, එක්සත් ආරාබි එමීර් රාජ්‍යයයේ අධික උණුසුම, ඉන්දියාවේ ගුවන් තොටුපළ වසා දැමීම, මෝසම් වැසි හා තාක්ෂණික ගැටලු ඇතුළු අභියෝග රැසකට ඔහුට මෙම ගමනේ දී මුහුණ දෙන්නට සිදු වෙනවා. පැසිෆික් සාගරය හරහා ගමන් කරන විට අධික වර්ෂාව හා සුළඟ හේතුවෙන් එතරම් ජනාවාස නොවූ දුපතකට පවා තමන්ට ගොඩබෑමට සිදු වූ බව ඔහු පසුව ප්‍රකාශ කරනවා.

ලෝක වාර්තාව තැබීමෙන් පසුව – thetimes.co.uk

තරුණ සහෝදරවරුනි, සිහින අත්හරින්න එපා 

“මාස පහක ගුවන් ගමන සාර්ථක ව අවසන් කරගන්න හැකියාව මට ලැබුණා. මං හිතුවාට වඩා වැඩි කාලයක් ඒ සඳහා ගත වුණා. නමුත් අවසානය සම්පුර්ණයෙන් ම සාර්ථක කරගන්නට හැකියාව ලැබුණා.  තරුණ අපට මේ ලෝකයේ වෙනස් දේවල් කරන්න හැකියාව තිබෙනවා. වෙනසක් කරන්න හැකි බව මේ ගමනෙන් මුළු ලෝකයට ම මම පෙන්වා දුන්නා. විශේෂයෙන් ම වයස අවුරුදු 18ට අඩු ඔබටයි මං මේ කියන්නේ. ඔබේ සිහින වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න. අවසානයේ දී ඒවා සැබෑ කරගන්නට හැකියාව අනිවාර්යයෙන් ම ලැබෙනවා. ඒ වගේම ඇදහිය නොහැකි දේවල් කිරීමට ඔබ වැඩිහිටියෙක් වෙනකම් ඉන්න අවශ්‍ය නෑ” ගිනස් වාර්තාව තැබීමෙන් පසුව මැක් රදර්ෆර්ඩ් ප්‍රකාශ කරනවා. 

මැක් සිය සොයුරිය සමඟ – nyt.com

“මේ ගමන ඉවර කළාට පස්සේ මගේ බලාපොරොත්තුව තමයි දිගට ම පියාසර කරන ඒක. ඒ වගේම ගුවන් හමුදාව ඇතුළුවීම වගේ දෙයක් ගැනත් මං හිතමින් ඉන්නවා. ඒ වුණාට ඒ දේවල් ගැන මට 100 % විශ්වාස කරන්න බෑ. ඊට අමතර ව මට මඟ හැරුණු පාසල් අධ්‍යාපනය ගැන වැඩි අවධානයක් යොමු කරන්නත් ඕන” අනාගත බලාපොරොත්තු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මැක් රදර්ෆර්ඩ් ප්‍රකාශ කරනවා.“අපේ අම්මලා තාත්තලා එයාට හැමදාම කතා කළා, මාත් ඒ කතාවලට සම්බන්ධ වුණා. මං ඔහුට ප්‍රයෝජනවත් වන පරිදි මාර්ගය හා ගුවන් ගමන ගැන උපදෙස් දුන්නා’’ එලෙස ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහෝදරිය වන සාරා රදර්ෆර්ඩ්.

කවරයේ ඡායාරූපය - මැක් රදර්ෆර්ඩ් සිය යානය සමඟ - tmgrup.com
මුලාශ්‍ර:
macksolo.com
fox13news
bbc.com

Related Articles