කටාරම් කෙටූ දිගම ලෙන තිබෙන තරුලෙන්ගල

අම්පාර දිස්ත්‍රික්කයේ ලෙන් විහාර රාශියක් පැතිර තිබෙනවා. ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි සහිත එම විහාරවලින් පැහැදිලි වන්නේ  ලංකාවට බුදුදහම ලැබුණු සමයේ පටන්ම මේ ප්‍රදේශය බෞද්ධ පුනර්ජීවනයක් ලැබූ බව යි. අදත් මේ අතරින් ලෙන් රාශියක් වනගත ස්වරූපයෙන් පවතිනවා. ඒ අතර ලංකාවේ දිගම ලෙන ලෙස හැඳින්වෙන තරුලෙන්ගල විහාරය ඉතා සුන්දර වටපිටාවක පිහිටා තිබෙන්නක්.

යන්නේ කොහොම ද?

විහාරයට මඟ පෙන්වන නාම පුවරුව – arugam.info

කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා තරුලෙන්ගලට දුර කි. මී. 387ක්. මෙය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පුදබිමක්.

මොරණාගල – පොතුවිල් මාර්ගයේ පිහිටි හුළංනුගේ හන්දියෙන් වම්පසට ඇති මාර්ගයේ ටික දුරක් ගමන් කළ විට ඈතින් කරඳහෙල කන්ද පේනවා. තරුලෙන්ගල විහාරය පිහිටා තිබෙන්නේ මේ කඳුගැටය තුළ යි. එහි පුරාණ නාමය හබුතගල බව සෙල්ලිපිවලින් හෙළිවී තිබෙනවා. පර්වතය මත මෑතක දී ඉදිකළ බුද්ධ ප්‍රතිමාව සහ කුඩා දාගැබ ඈතට සුදු පැහැයෙන් දිස්වෙනවා. මෙයට දශක තුනකට පෙර මෙහි පැමිණි කුඩුම්බිගල ධම්මසිරි හිමියන්ගේ නායකත්වයෙන් තමයි මෑත අතීතයේ දී විහාරය දියුණුවට පත්වුණේ. පසුගිය කොටි කරදර කාලේ කුඩුම්බිගල හිටපු අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා තරැලෙන්ගලට වැඩම කර මෙහි වාසය කළා.

වනගත වෙහෙර

විහාරය පිහිටි කරඳහෙල කන්ද – amazing lanka.com Dr. Ashan Geeganage

මෙම පුදබිම කටාරම් කොටු ගල්ලෙන් 36කින් සමන්වි තයි. අක්කර 180ක් විශාල වපසරියක පැතිර තිබෙන මෙම විහාර භූමියේ කන්ද මත බෑවුමේ අනුරාධපුර යුගයට අයත් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් වගේම ලංකාවේ දිගම කටාරම සහිත ලෙනත් තිබෙනවා.

මුහුදු මට්ටමින් අඩි 633ක් උසැති කරඳහෙල හෙවත් තරුලෙන්ගල කන්දට දකුණු පසින් ඉඹිලන් ආර ද නැගෙනහිරට බරව කරඳඔය ද ගලා බසිනවා. පළලින් අඩු කඳුවැටිය දිගින් වැඩියි. කරඳහෙළ වැව විහාරයට ආසන්නව පිහිටා තිබෙනවා. තවත් කුඩා වැව් රාශියක් එයට නුදුරින් දැකගත හැකියි. කඳු මුදුන හා බෑවුම්වල වනය සරුවට වැවී තිබෙන ආකාරය ඈතට දිස්වෙනවා.

පර්වතය මත පිහිටි දාගැබ සහ බුදු පිළිමය – Srilankatravetlnotes.com 

කලකට පෙර මේ විහාරය ගවේශනය කළ  එල්ලාවල මේධානන්ද හිමියන් මෙසේ සඳහන් කරනවා: 

“හුළංනුගේ හන්දියේ සිට බක්මිටියාව, මීරහල දක්වා වැටී ඇති කරත්ත පාරේ සැතපුම් එකහමාරක් පමණ ගොස් අස්සැද්දෙන වෙල්යායේ කෙළවරින් බටහිරට හැරී ලඳුකැලය අතරින් සැතපුම් භාගයක් පමණ ගමන් කිරීමෙන් කරඳ‍හෙළ කන්ද පාමුලට පැමිණිය හැකිය. පෙර කී කරත්ත පාරේ වාහනයක ගමන් කළ හැක්කේ ටිකදුරක් වුව ද එය ද නියං සමයක පමණි. වර්ෂාවත් සමග මඩ ගොහොරුවක් බවට පත්වෙන බැවින් පයින් වුව ද මෙහි යාම වැහි කාලයට අපහසු ය. මෙම මාර්ගය ඇති වූයේ 1936න් පසුව බව කියති.” 

(නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය 143 පිට)

සැතපෙන පිළිමය

පිළිමය සංරක්ෂණය කිරීමට පෙර – News.lk

වනගත නටබුන් රාශියකින් යුක්ත මේ විහාරය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කළේ  2014.10.10 වැනිදා යි. ඊට පසු එහි වැනසෙමින් පැවති ස්මාරක සංරක්ෂණය කිරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගත්තා. නිධන් හොරුන් විසින් සම්පූර්ණයෙන් විනාශකර තිබූ දිග අඩි 41 ක් පමණ වූ සැතපෙන බුදුපිළිමය වර්ෂ 2017 වන විට සංරක්ෂණය නිම කළා. එය පැරණි ස්වරූපය දිස්වන ආකාරයට සංරක්ෂණය කර තිබෙනවා. සංඝාරාම ගොඩනැගිල්ල පසුකරමින් පියගැට පෙළ නැගි විට තැනිතලාවේ සුන්දරත්වය ඈතට දිස්වන ප්‍රතිමාව සහිත ලෙනට ළඟාවිය හැකියි. පර්වත බෑවුමක කටාරම් කොටා සකසා ඇති ලෙනේ දිග අඩි 175ක්. උස අඩි 35ක් පමණ වෙනවා.

සංරක්ෂණයෙන් අනතුරුව- dinamina.lk

සම්පූර්ණයෙන් කටාරම් කොටා ඇති ලෙනෙහි අඩියකට වඩා නූස් ආසනයක් මත අඩි 41ක් දිගැති සැතපෙන බුද්ධ ප්‍රතිමාව පැරණි ස්වරූපය ඉස්මතු වන සේ සංරක්ෂණය කර තිබෙනවා. එය ඉදිකර තිබෙන්නේ මැටි හා ගඩොල් භාවිතයෙන්. අනුරාධපුර යුගයට නෑකම් කියන මේ ප්‍රතිමාවට සමාන බුදු පිළිම නැගෙනහිර පළාතේම බඹරගස්තලාව (යාල වනමැද) හා ශාස්ත්‍රවෙල ලෙන්වල ද පිහිටා තිබෙනවා. එම ප්‍රතිමා තවම සංරක්ෂණයට ලක්වී නැහැ. මෙම පිළිම ලෙන පුරාණයේ කපරාරු කොට සිතුවම්වලින් අලංකාර කර තිබූ බවට සාධක වශයෙන් බදාම කොටස් තැනින් තැන ඉතිරිව පවතිනවා.

නටබුන් රැසක්

පැරණි දාගැබ් ගොඩැල්ල – amazing lanka.com Dr. Ashan Geeganage

පුරාවිද්‍යා සාධක බහුලව දක්නට ලැබෙන තරුලෙන්ගල ඓතිහාසික පුරාවිද්‍යා භූමිය තුළ ගරාවැටුණු පුරාවිද්‍යා නෂ්ටාවශේෂ රැසක් දක්නට ලැබෙනවා. ගරාවැටුණු චෛත්‍යයක සාධක, කැසිකිළි ගල්, ගල් කුලුනු, සරල සඳකඩ පහනක්, කටාරම් කෙටු අඩි 30ක් පමණ උසකින් යුත් ගල් ලෙන්, ශිලා ලේඛන එහි පැරණි අවශේෂ අතර තිබෙනවා.

බුදු පිළිමයේ සමීප දසුනක්- Kusumsiri Wijayawardhana

විහාර භූමියට පිවිසෙන අපට කඳු පාමුල තැනිතලාවේ පිහිටි පැරණි දාගැබ් ගොඩැල්ලත්, එයට එපිටින් වනගතව පිහිටි කළුගල් කුලුණු සහිත ගොඩනැගිලිත් නෙත ගැටෙනවා. ගල්කුලුණු අනුව ගොඩනැගිලි කිහිපයක්ම මෙහි තිබූ බව පෙනෙනවා. දැනට තණකොළ වැවී තිබෙන දාගැබ දළ වශයෙන් මීටර් 75ක වට ප්‍රමාණයෙන් යුක්ත යි. එයට සලපතල මළුවක් හා ප්‍රාකාරයක් තිබූ බවට සලකුණු සහිත යි. ස්ථුපයට බටහිරින් වළක හාරන ලද ගල්වංගෙඩියක් දැකගත හැකියි. එහි ගැඹුර අඩියක් පමණ වෙනවා.

වැදි චිත්‍ර

පුරාණ වැදි චිත්‍ර- Kusumsiri Wijayawardhana

ප්‍රතිමාවට නුදුරින් ලෙන් බිත්තියේ පැරණි වැදි චිත්‍ර රාශියක් ද මතුවී තිබෙනවා. සුදු සහ ගුරු පැහැයෙන් යුක්ත එම රූපවලින් අලින්ගේ රූප, සතුන් දඩයම් කරන ආකාරය, අලින්ගේ පිටමත යන මිනිසුන් ආදිය නිරූපණය කර තිබෙනවා. නොසැලකිල්ල නිසා එම චිත්‍ර පවතින්නේ විනාශ වී යමින්. ප්‍රාග් ඓතිහාසික ලක්ෂණ මතුකරන එම පර්වත චිත්‍ර ආරක්ෂා කර ගැනීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහාම කටයුතු කළ යුතු බව අපගේ හැඟීම යි. ලෙන ඉදිරිපිට නෙළුම්පෙති රටාව පමණක් නිරූපණය කරන සඳකඩ පහණක් දැකගත හැකියි. පැරණි උළු කැබලි, වළං කැබලි ආදී නෂ්ටාවශේෂ ද අවට දැකගත හැකියි. මෙහි ඇති ප්‍රාග් ඓතිහාසික සිතුවම් සහ දැනට පස් ගොඩැල්ලක් වශයෙන් පවතින පැරණි දාගැබ සංරක්ෂණය කිරීමට අපේක්ෂිත බව අපට දැනගැනීමට ලැබුණා.

කඳු මත මහ ලෙන

පර්වත බෑවුමේ පැරණි ලෙනක් – dinamina.lk

පිළිම ලෙන පිහිටි ස්ථානයේ සිට කඳු මුදුනට පිවිසීමට දුර්ගම වූ පර්වත බෑවුම හරහා කැපූ පියගැට පන්තියක් තිබෙනවා. ඉතා දුෂ්කර නැග්ම පහසු කරවීමට මෑතක දී යකඩ කම්බි ආධාරක සවිකර තිබෙනවා. මෙහි පියගැටයක් අඩියකට වඩා පළල නැහැ. පර්වතය මතට පිවිසි විට දිගාමඩුල්ල තැනිතලාවේ වැව්, කෙත්වතු, වනාන්තර හා කඳුගැට රමණීය සිත්තමක් පරිද්දෙන් දිස්වෙනවා.

පර්වතය හරහා දුෂ්කර මඟක පියමං කිරීමෙන් කඳු බෑවුමේ පිහිටි විස්මිත ලෙන් කර්මාන්තය දැකගත හැකියි. කඳු මුදුනේ කටාරම් කෙටූ ලෙන් මෙන්ම කටාරම් රහිත ලෙන් ද හමුවෙනවා. එක් ලෙනක් නාගයකුගේ පෙනයක ස්වරූපයෙන් යුක්ත නිසා “නාගලෙන” නමින් තමයි හැඳින්වෙන්නේ. කන්ද හරහා වනය ඔස්සේ පියමං කිරීමෙන් පසු අප පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කටාරම පිහිටි ලෙන වෙතට යි. 

“ඊසාන දිශාවට මුහුණ ලා එක දිගට පිහිටි පර්වතයක මෙය පිහිටියේ ය. ලෙන දිගින් අඩි 512කි. පළල අඩි 30කි. කටාරමේ උසම තැන අඩි 82කි. දිගට පමණ පළල නැතත් මෙහි විස්මයාවහ තත්ත්වයේ නම් අඩුවක් නැත. ලෙන මිදුල සමතල ය. ලෙන බිම තට්ටු අටකට පිහිටියේ ය. වහල ගලේ තැවරූ පුරාතන බදාම තට්ටුව අද ද තැන තැන රැකී තිබේ. බැඳ තිබූ බිත්තිවල අත්තිවාරම් හා ගඩොලු තැන තැන විසිරී විනාශ වී ගිය ශේෂ දැකගත හැකිය. මුළු ලෙනෙහිම කටාරම් කොටා ඇතත් ලිපියක් පිහිටුවා නොමැත.” 

(එල්ලාවල මේධානන්ද හිමි, නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල උරුමය, 147 පිට)

කාවන්තිස්ස රජුගේ අත්සන

කාවන්තිස්ස රජුගේ අත්සන බව සැලකෙන සංකේත – නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය- එල්ලාවල මේධානන්ද හිමිගේ කෘතියෙනි.

මෙම ලෙනට නැගෙනහිරින් වනය මැද අඩි 200ක් දිග තවත් ලෙනක් ද පිහිටා තිබෙනවා. මෙම ලෙන්වල කටාරමට යටින් කෙටූ බ්‍රාහ්මී අක්ෂර නොවන සංකේත කිහිපයක් දැකගත හැකියි. මෙම සංකේත සොයාගන්නා ලද්දේ එල්ලාවල මේධානන්ද හිමි විසින්. උන්වහන්සේගේ අදහස මෙම සංකේතවලින් නිරූපණය වන්නේ ගාමිණී උප පදවිය දැරූ රජවරුන්ගේ අත්සන බව යි. කාවන්තිස්ස රජු හබුතගල විහාරය කරවූ බවට මෙහි ඇති මත්තා උපාසිකාවගේ සෙල්ලිපියක සඳහන් වෙනවා. ඒ අනුව මෙහි සඳහන් සංකේතය කාවන්තිස්ස රජුගේ අත්සන වියහැකි බවට මේධානන්ද හිමියෝ මතයක් පළකරනවා.

කඳු පාමුල පිහිටි දාගැබට අමතරව පර්වතය මත දාගැබ් දෙකක් තිබූ බවට එහි ඇති ගඩොල් කැබලිවලින් සාධක ලැබෙනවා. දැන් පර්වතය මත ඇත්තේ දාගැබ්වල පදනම් පමණ යි. ගඩොල් සියල්ල ගැලවී විනාශ වී ගොසින්.

සෙල්ලිපි

පර්වත ලිපියක්- dinamina.lk

ලෙන්වල කටාරමට යටින් කොටු ලිපි තුනක් ද, පර්වත ලිපි තුනක් ද තරුලෙන්ගලින් හමුවෙනවා. පර්වත ලිපි පිහිටා ඇත්තේ විහාර ලෙන ඉදිරිපිට හා එයට නුදුරින් පියගැට අසල පර්වතයක යි. පළමු ලිපියෙන් කියැවෙන්නේ හබුතගල විහාරයට වැවක් හා දියබද්ද ලබාදීමක් ගැන යි. දෙවන ලිපියෙන් විහාරයට වැවක් පූජා කළ බව ද, තෙවැනි ලිපියෙන් කකවණ තිස (කාවන්තිස්ස) මහරජ කරවූ හබුතගල විහාරයට වැවක් පූජා කළ බව ද කියැවෙනවා. ඒ අනුව මේ විහාරය ක්‍රි. පූ. 2 සියවසේ රුහුණේ රජ කළ දුටුගැමුණු රජුගේ පියා වූ කාවන්තිස්ස රජු කරවූ බව සනාථ වෙනවා.

ගල්කෙම්

පර්වතය මත ගල්කෙමක්- Srilankatravetlnotes.com

විශාල ප්‍රදේශයක පැතිර තිබෙන පර්වතය මත විශාල ගල්කෙම් දෙකක් ද කුඩා ගල්කෙම් හතරක් ද පිහිටා තිබෙනවා. එදා මේ පර්වතය ආශ්‍රිතව බවුන් වැඩූ සිය ගණනක් භික්ෂූන් වහන්සේගේ පිපාසය සංසිඳුවා ගැනීමට මෙම දිය කෙම්වල ජලය උපකාරී වන්නට ඇති බව සිතිය හැකියි.

අනුරාධපුර යුගයේ සිය ගණනක් භික්ෂූන් වැඩ විසූ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු මෙම විහාරය අද පාලුවට ගොසින්. ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වුවත් මේ වනගත අරමට බොහෝ දෙනාගේ අවධානයක් නම් යොමු වී නැති බව යි පේන්නේ. එහි වසන භික්ෂූන්වහන්සේ ද ගත කරන්නේ කටුක දිවි පෙවෙතක් බව යි අපට නම් පෙනුණේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය- එල්ලාවල මේධානන්ද හිමි

කවරය amazing lanka.com Dr. Ashan Geeganage

Related Articles