Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නෙවාඩා හි දේදුන්නක් වැනි උණුදිය උල්පත

ස්වභාව ධර්මයේ තවත් එක් අපූරු නිර්මාණයක් වන උණුදිය උල්පත් දහයක් ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙන බව මේ වන විට සොයා ගෙන තිබේ. අම්පාර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ඒවායෙන් සමහරක් කෙතරම් ප්‍රසිද්ධ ද කියතොත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මදුනාගල උණුදිය උල්පත් පිළිබඳ ව ගීතයක් පවා නිර්මාණය වී තිබේ.

අතිශය දුර්ලභ භූ විද්‍යාත්මක සංසිද්ධියක් නිසා නිර්මාණය වන උණුදිය උල්පත් ලොව පුරා පිහිටා ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. දෙස් විදෙස් සංචාරකයන් බොහෝ දෙනකුගේ සිත් ඇද බැඳ ගත්, අඩි පහක් ඉහළට ජලය විසි වන, නෙවාඩා හි පිහිටි එවැනි අපූරු උණුදිය උල්පතක් (ගීසරයක්) පිළිබඳ ව යි මෙම ලිපිය.

උල්පතෙන් ජලය ඉහළට විසි වෙන අයුරු/ www.pinterest.com

උණුදිය උල්පත්

තරමක් දුර්ලභ සංසිද්ධියක් ලෙස සැලකෙන උණුදිය උල්පත් ලෝකයේ ම පිහිටා ඇත්තේ සීමිත සංඛ්‍යාවකි. විශේෂිත භූ විද්‍යාත්මක තත්ත්වයක් නිසා ඇති වන උණුදිය උල්පත්වලින් බොහොමයක් පිහිටා ඇත්තේ ගිනිකඳු ආශ්‍රිත ව බව මෑතකාලීන ව සොයාගෙන තිබේ. මෙම උල්පත්වල ඇති ජලය, ආසන්න වශයෙන් මීටර් 2,000 (අඩි 6,600)ක් පමණ ගැඹුරක සිට පොළොව මතුපිටට  පැමිණීමේ දී උණුසුම් පාෂාණ සමග සම්බන්ධ වීම නිසා සුළු, මධ්‍යම සහ මහා පරිමාණ උණුසුමකින් යුක්ත වේ. ඒ අයුරින් ජලය පොළොව අභ්‍යන්තරයේ සිට ඉහළට පැමිණීමේදී විශාල පීඩනයක් ඇතිවීමේ ප්‍රතිපලයක් වශයෙන් සමහර උණුදිය උල්පත්වල ජලය ජල මලක ආකාරයෙන් අඩි කිහිපයක් ඉහළට විහිදෙන අවස්ථා ද ඇත.

ඒ ආකාරයෙන් ජල මලක් ලෙස ඉහළට විහිදෙන උණුදිය උල්පත්වලින් වැඩි ප්‍රමාණයක් රටවල් පහකට සිමා වී ඇත. එම රටවල් නම් චිලී ජනරජය, අයිස්ලන්තය, නවසීලන්තය, රුසියාව සහ අමෙරිකා එක්සත් ජනපදය යි. විශේෂයෙන් ම, ලෝකයේ ඇති උණුදිය උල්පත්වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි එක්තරා ජාතික උද්‍යානයක් තුළ බව කියැවේ.

සාමාන්‍ය උණුදිය උල්පතක් – www.mapio.net

නෙවාඩා

එක්සත් ජනපදයේ බටහිර කලාපයට අයත් ප්‍රාන්තයක් වන නෙවාඩා වයඹ දෙසින් ඔරිගන් ප්‍රාන්තයටත්, ඊසාන දෙසින් ඉඩාහෝ ප්‍රන්තයටත්, බටහිරින් කැලිෆෝනියා ප්‍රන්තයටත්, ගිනිකොන දෙසින් ඇරිසෝනා ප්‍රාන්තයටත් මායිම් වී පිහිටා ඇත. එක්සත් ජනපදයේ ජනගහනය වැඩි ම ප්‍රාන්ත අතරින් 32 වැනි ස්ථානය නෙවාඩා ප්‍රාන්තයට හිමි වේ. එහි සමස්ත ජනගහනයෙන් හතරෙන් තුනක් පමණ ජිවත් වන්නේ ලාස් වේගාස් නගරයේ වේ.

එක්සත් ජනපදයට අයත් ප්‍රාන්ත අතරින් උෂ්ණත්වයෙන් වැඩි ම ප්‍රාන්තය ද වන නෙවාඩා, කාන්තාර සහ අර්ධ ශුෂ්ක දේශගුණික ලක්ෂණවලින් සමන්විත වේ. එහි ලාස් වේගාස් ප්‍රදේශය හැර අනිකුත් ප්‍රදේශවල දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 හෝ ඊට වැඩි අගයක් ගනී. ලාස් වේගාස් හි ජනගහයනය විශාල ලෙස ඉහළ යාමට හේතුව එය ලෙස සැලැකේ. නෙවාඩාහි නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවලට හැර අනිකුත් බොහෝ ප්‍රදේශවලට ඉතා අඩු වර්ෂාපතනයක් ලැබේ.

නෙවාඩාහි පිහිටීම –  www.worldatlas.com

නෙවාඩාහි උණුදිය උල්පත

නෙවාඩාහි, වොෂෝ ප්‍රදේශයේ, පුද්ගලික ඉඩමක පිහිටා ඇති මෙම උණුදිය උල්පත ‘Fly Ranch Geyser’ නමින් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ ය. එය වටා ඇති කුඩා පස් කන්දේ උස මීටර් 1.5ක් වන අතර පළල මීටර් 3.7කි. 2016 දී රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘Burning Man’, අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවා මෙම උණුදිය උල්පත සහිත අක්කර 3,800ක වපසරියකින් යුතු ඉඩම මිල දී ගෙන ඇත.

මුල්කාලයේ දී මෙය මහජනතාව සඳහා විවෘත වූ ස්ථානයක් නොවුවත් 2018 දී යම් යම් සීමාවන්ට යටත් ව මෙය නැරඹීමට මහජනතාවට අවසර ලැබිණි. මෙම උල්පතේ ජලයේ තාපගතික ඇල්ගී විශේෂ කිහිපයක් අඩංගු වන අතර ඒ හේතුවෙන් උල්පත වටා ඇති පස් කන්ද කොළ සහ රතු පැහැයන්ගෙන් වර්ණ ගැන් වී තිබේ.

කොළ පැහැති ඇල්ගී – www.reddit.com

සොයා ගැනීම

මෙම ස්ථානයේ පළමු වරට උණුදිය මතු වූයේ වූයේ 1916 දී එම ස්ථානයේ ළිඳක් කැණීමේ ප්‍රතිපලයක් වශයෙනි. කෙසේ වෙතත් එම ස්ථානයේ ඇති ජලය උණුසුම් ජලය බව දැන ගත් පසු එම ළිඳ කැණීම කළ පුද්ගලයෝ එය අත්හැර දැමූහ. ඊට දශක කිහිපයකට පසු, එනම් 1964 දී එක්තරා සමාගමක් පළමු ළිඳ කැණීම සිදු කළ ස්ථානය ආසන්නයේ තවත් ළිඳක් කැණීම ආරම්භ කළේ බලශක්ති අවශ්‍යතා සඳහා උණු ජලය ලබාගැනීමේ අරමුණිනි. කෙසේ වෙතත් ඔවුන් බලාපොරොත්තු නොවූ තරම් එහි ජලය උණුසුම් නොවූ බැවින් කණින ලද ළිඳ නැවත වසා දැමීමට ඔවුන් කටයුතු කළහ.

එය වසා දැමුවත් විශාල පිඩනයකින් යුතු ව ඉහළට පැමිණි ජලය පස් තට්ටුව ද බිඳගෙන ඉහළට විහිදෙන්නට විය. ඒ සමඟ ම එම ස්ථානයේ ඊට පෙර හාරා තිබූ ළිඳේ ජලය වියළී ගොස් තිබිණි. ජලය සමඟ මුසු වී තිබූ කැල්සියම් කාබනේට් සහ සිලිකා වැනි සංඝටක ඝන බවට පත් වී උල්පත වටා වර්තමානයේ දැකිය හැකි පාෂාණ ස්ථරය නිර්මාණය විය.

නෙවාඩාහි උණුදිය උල්පත වටා වන ජල තටාක – www.pinterest.com

උෂ්ණත්වය සහ අනිකුත් ලක්ෂණ

මෙහි ඇති ජලය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 90ට වැඩි උෂ්ණත්වයකින් යුක්ත ය. උල්පතෙන් මතු වන ජලය නිරන්තරයෙන් අඩි පහක් පමණ ඉහළට යන අතර එම ජලය ගලා යාම නිසා නිර්මාණය වූ ජල තටාක 30-40 අතර ප්‍රමාණයක් ද තිබේ. ජලයේ ඇති ඇල්ගී නිසා උල්පත අවට ඇති බොහෝ ගල් කොළ සහ රතු පැහැයක් ගනී.

මෙම උල්පත පිළිබඳ ව අධ්‍යයනය කිරීමට මේ වන විට එහි හිමිකාරිත්වය දරන සමාගම ගෙන්වා ගත් Carolina Muñoz Saez නම් පර්යේෂිකාව පවසා ඇත්තේ මෙහි ඉතා විශාල සිලිකා ප්‍රමාණයක් අඩංගු බව යි. ඒවා වසර 10,000ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණය වී ඇති බවත්, මෙය තමන් අධ්‍යයනය කළ අනිකුත් උණුදිය උල්පත්වල දැකිය හැකි තත්ත්වයන්ට වඩා හාත්පසින් ම වෙනස් එකක් බවත් ඇය සඳහන් කළා ය.

සංචාරකයෝ

2018 සිට මෙම උණුදිය උල්පත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය මහජනතාවට විවෘත කර තිබේ. උල්පත ඒ අයුරින් මහජනතාව සඳහා විවෘත වන්නේ සෑම වසරක ම අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා පමණි. එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් මෙය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගේ මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරයි. ජලයේ උණුසුම තරමක් අඩු වා කාලයට එහි ස්නානය කරන්නට ද නරඹන්නන්ට අවස්ථාව ලැබේ. නරඹන්නන්ගෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් අය කරන අතර එමඟින් ලැබෙන ආදායම උල්පතේ සහ ඉහත කී මාර්ගෝපදේශකයන් ලෙස කටයුතු කරන සංවිධානයේ අභිවෘද්ධිය උදෙසා වෙන් වේ. 

උණුදිය උල්පත නරඹන්නන්ට ආ සංචාරකයෙක් – www.localadventurer.com

කවරයේ ඡායාරූපය- නෙවාඩාහි පිහිටි උණුදිය උල්පත - www.geology.com

මූලාශ්‍ර:

www.travelnevada.com

www.kidsdiscover.com

www.thrillist.com

Related Articles