Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදෙස් රටක සංචාරය කරද්දී දැන සිටියයුතු දේවල් 7ක්

ඇඟ පුරාම ටැටූ ගහගන්නවාට වඩා පාස්පෝට් එකේ හැම රටකම සීල් එක ගහගන්න එක හොඳයි කියන්න වගේ ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ලංකාව වටේම ගියාට පස්සේ කරදිය වළල්ලෙන් එපිටට පය නොතබා ඉන්නත් එපා. ගෙදරටම වෙලා හැමදාම දකින වටපිටාව, රැකියාව කරන ස්ථානය, නගරය, කුකුළු කරමලය වෙනුවට වෙනත් රටක නුපුරුදු ආහාර, ස්ථාන, සංස්කෘතිය, දේශගුණය ආදී දේවල් රැසක් අතිවිඳීම මනසට ඒකාකාරී බවින් මිදී විඳවන්නේ නැතිව ජීවිතය විඳින්නට මං පෙත් පාදා දෙන බව නිසැකයි.

ඒත් ඉතින් ලංකාව ඇතුලේම කටින් විතරක් ගිහින් ඉන්න ට්‍රිප් හැරුණාම දුර පළාත් වලට යන විනෝද චාරිකාවලදී ලැබෙන අභියෝග වලට වඩා හෝ ගාන පොකුණේ එහා කෙළවර තිබෙන දේවල් සූදානම් නොවුණොත් ටිකක් කට්ට කන්න වෙන දෙයක් වන්නට පුළුවන්.

ඔබ විදේශ රටකට රැකියාවක් පිණිස හෝ චාරිකාවක් වැනි කුමන හේතුවකට ගියත් මේ උපදෙස් පිළිපැද්දොත් ඒ ගමන ඔබට කටුක අත්දැකීමක් වෙන එකක් නැහැ.

1. සෞඛ්‍යය සහ ආරක්‍ෂාව

(runneragency.com)

රෝග තත්වයකින් පෙළෙනවා නම් වෛද්‍යවරයා හමුවෙන්න. (runneragency.com)

මෙකල සුලබ අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ආදී රෝග සඳහා නියම කරන ලද ඖෂධ දිනපතා ගන්නට සිදු වෙනවා වගේම ඔබ කිසියම් රෝග තත්වයක් සහිත කෙනෙක් නම් ඔබ ගමන නිම කරන තෙක්ම අවශ්‍ය ප්‍රමාණයන් ගමන් මල්ලට එක්කර ගැනීමත් විදේශ රටවල දේශගුණික විපර්යාස, ආහාර පරිභෝජන පිළිවෙත් ආදී දේ ඔබේ සෞඛ්‍ය තත්වයට කෙසේ බලපෑ හැකිද යන්න පිළිබඳවත් වෛද්‍යවරයෙකුගෙන් අසා දැන ගැනීම වැදගත් වෙනවා.

2. රක්‍ෂණ සමාගමේ කොන්දේසි පිළිබඳ දැනුවත් වෙන්න

ඔබට මේ වන විටත් ජීවිත රක්‍ෂණාවරණයක් තිබෙනවා නම් ඉන් වෙනත් රටකදී සිදුවිය හැකි දේවල් සඳහා ආවරණයක් ලැබෙනවාද යන්න පිළිබඳව අදාල ආයතනයෙන් අසා දැනගැනීම නුවණට හුරුයි. මන්ද, ආදරයෙන් ළඟටම ඇවිත් රක්‍ෂණයක් ලබාදෙන්නට හැම කෙනෙක්ම බලාගෙන හිටියත් එහි තිබෙන කොන්දේසි නිසිආකාරව ලබා දෙන්නේ අතලොස්සක්.

එයින්ද අපි කියවීමට වැඩි කැමැත්තක් නැතිනම් තිබෙන ඕනෑ එකකට අත්සන් කරන නිසා කරදරයකට මුහුණ පාන්නට වූ විට කිසිවක් නොලැබී ගියාම තමයි කියවීම මිනිසා සම්පූර්ණ කරන බව වැටහෙන්නේ. මෙනිසා විදේශයේදී ඔබට සිදුවිය හැකි කිනම් දේ සඳහා රක්‍ෂණයෙන් වන්දි ලැබෙන්නේද යන්න සොයා බැලීමත් එය ගත හැක්කේ කෙසේද යන බවත් සොයා බලන්න.

3. පාස්පෝට් එකේ පිටපතක් තබාගන්න

පාස්පෝට් එක හෙවත් විදේශ ගමන් බලපත්‍රය තමයි විදෙස් රටකදී අපේ අනන්‍යතාවය තහවුරු කරන එකම දේ. ඉතින් ඔබ නැති වුණත් කමක් නෑ පාස්පෝට් එක නම් නැති කරගන්න එපා. ගමන් මළු සොරකම් කිරීමකදී, අස්ථාන ගතවීමකදී හෝ අමතක වීමකින් පාස්පෝට් එක නැතිවුවහොත් නැවත එය සොයා ගන්නා තුරු හෝ තාවකාලික ගමන් බලපතක් ලබා ගන්නා තුරු ඔබ සතුව පිටපතක් හෝ තිබීම වැදගත් වන්නට පුළුවන්.

එසේම තවත් පිටපතක් නිවසේ වගකිවයුත්තකු භාරයේ තබා ඒමෙන්ද හදිසි අවස්ථාවකදී එය භාවිතා කිරීම සඳහා ඔබේ හිතවතුන්ටද පහසුවක් වේවි. පාස්පෝට් එක නැති වුවහොත් එය එරට සිටින ශ්‍රී ලංකා දූතයන් හරහා තාවකාලික ගමන් බලපතක් ලබා ගත හැකි නමුත් මෙය ඉතාම ප්‍රවේශමෙන් ළඟ තබාගෙන ආරක්‍ෂා කරගත යුතු දෙයක් බව තරයේ සිහි තබා ගැනීම වැදගත්.

4. මුදල්

විනිමය අනුපාත පිළිබඳ දැනුවත් වෙන්න. (danielexchange.com)

විනිමය අනුපාත පිළිබඳ දැනුවත් වෙන්න. (danielexchange.com)

රටවල් අතර මුදල් හුවමාරුවේදී මෙරට මුදල් සඳහා විදේශ රටක මුදල් ලබා ගැනීමේදී විකුණුම් මිළ ලෙසින් බැංකු වැනි මුදල් හුවමාරු කරන ආයතන විසින් කාලානුරූපව දක්වනවා. උදාහරණයක් වශයෙන් මේ දිනවල ඇමරිකන් ඩොලර් 1ක් ලබාගන්නට නම් අපට ශ්‍රී ලංකා රුපියල් එකසිය පනහක් පමණ ලබා දෙන්නට සිදු වෙනවා. මෙම විකුණුම් මිළ අඩු ආයතනයන් හරහා මුදල් හුවමාරු කරගැනීම ලාභදායී වන අතර ඔබට වියදම් කළයුතු ප්‍රමාණයට සාපේක්‍ෂව මෙමගින් ඔබ අතට පත්වන විදේශ මුදල් ප්‍රමාණය පිළිබඳවත් එරට ජීවන වියදම පිළිබඳවත් පෙර අධ්‍යයනක් කළොත් නන්නාඳුනන රටකට ගොස් බංකොලොත්වී අසරණ භාවයට පැමිණිම වළක්වා ගන්නට පුළුවන්.

එසේම ඔබ රැකියාවක් සඳහා විදේශ ගත වෙනවා නම් ගැනුම් මිල පිළිබඳවද සැලකිලිමත් වුණොත් ලබන ආදායමට වැඩි වටිනාකමක්ද ලබාගන්නට හැකි වේවි.

5. හැමවිටම විදෙස් මුදල් ළඟ තබාගන්න

කොතරම් මොණරු හිටියත් විස්සේ කොළ පනහේ කොළ සහ කොන්දොස්තර ඉතුරු සල්ලි දෙන්න අදිමදි කරන එක නවත්වන්න මාරු කාසි කිහිපයක් ඔබ ලංකාවේ ඉඳිද්දී තියාගන්නවා වගේ වෙනත් රටකට ගියත් සියල්ල කාඩ් එකේ තිබෙනවා කියා හිතාගෙන නොඉඳ සුළු මුදලක් හෝ සාක්කුවේ තබා ගෙන සිටීම නුවණට හුරුයි. එවිට කාඩ් හරහා ගෙවීමට නොහැකි අවස්ථාවලදී ගෙවීම් සිදුකිරීමට මෙන්ම හදිසියේ හෝ ඔබේ පසුම්බිය අස්ථාන ගත වුවහොත් පොලීසියකට හෝ නැවතී සිටින ස්ථානයට යන්නට, පොලීසියට හෝ එම්බසියට දුරකථන ඇමතුමක් ගන්න අතේ කීයක්වත් නොතිබුණොත් එතනම ලේන්සුවක් එලාගෙන සින්දුවක් කියන්න තමයි වෙන්නේ.

 

6. සිතියමක් හෝ දුරකථනයේ චාර්ජරය ගන්න

ඔබ සංචාරයකට හෝ රැකියාවකට විදෙස් ගත වුවත් එරට ගමන් කිරීම සඳහා එරට මගතොට ගැන දැනගෙන සිටීම වටිනවා. ඔබ යන රටෙහි සිතියමක් හෝ වැඩි වශයෙන් සැරිසරන නගරවල නගර සිතියමක් හෝ ළඟ තබා ගැනීම හොඳයි. අවශ්‍ය නම් මාලිමාවක් ද තබාගන්නට පුළුවන්. එහෙම කීවාම ඔබට ඒවාට වඩා පහසුවෙන් භාවිතා කළ හැකි දුරකථනය සිහියට එන එක පුදුමයක් නොවෙයි. ගූගල් මැප්ස් ඇති මේ කාලයේ මොන සිතියම් සහ මාලිමාද? හැබැයි ඉතින් දුරකථනය කොතරම් දියුණු වුණත් ඊට බලය සැපයෙන බැටරිය නම් දියුණු වෙලා නැති නිසා ලංකාවේදිවත් සම්පූර්ණ දවසක් ක්‍රියාකාරීව තබාගත නොහැකි දුරකථනය ගැන වෙනත් රටකදී කවර කථාද? කොහොමහරි, ඔබ දුරකථනය භාවිතා කරන්නට අදහස් කරනවා නම් ඒ සඳහා පවර්බෑන්ක් එකක් තබා ගැනීමත් එය ආරෝපණය කරගැනීම සඳහා අවශ්‍ය දේත් ගන්න.

එහිදී එම රටෙහි වෝල්ටීයතා ප්‍රමාණ ගැනද දැනුවත් වුණොත් ඔබේ ඉලෙක්ට්‍රොනික උපකරණවලට විය හැකි හානි සහ ක්‍රියා කිරීමට අවශ්‍ය බලය ලැබෙනවා ද යන්න ගැන ඔබට විශ්වාසයෙන් දැනගන්නට පුළුවන්.

7. කන්න දෙයක් ළඟ තබාගන්න

නුපුරුදු ආහාර සහිත සංස්කෘතියක් ඇති පරිසරයකට ගියාම ඔබට කටට රසට කන්නට හෝටලයක් හොයාගන්න ටිකක් කලක් ගතවේවි. ඉතින් ඒ ගතවන කාලයේදී අමිහිරිව ගිල දැමූ ආහාර වේලකට පසු හුරුපුරුදු රසට කුඩා යමක් කන්නට හැකි නම් මුවෙහි ඇතිවන අපුල බව නැති කරගන්නට පුළුවන්. එනිසා ඔබ සමඟ මුරුක්කු, බිස්කට්, අච්චාරු වැනි ඔබ ලංකාවේදී ප්‍රිය කරන, වැඩි කාලයක් තබාගතහැකි දෙයක් ගෙන යන්නට අමතක කරන්න එපා.

ඔබ මේවන විටත් විදෙස් රටක නවමු අත්දැකීම් විඳ පැමිණි කෙනෙක් නම් මෙය එකතු කරන්න බොහෝ දේවල් ඇති. අපිට වගේම මෙහි එන හැම කෙනෙක්ටම ඔබේ අත්දැකීමත් බොහොම වැදගත් නිසා ඒවා බෙදාහදා ගන්න එක ඔන්න යුතුකමක්.

මූලාශ්‍ර‍: immigration.gov.lk

කවරයේ පින්තූරය: flywithnate.com

Related Articles