Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශිෂ්ටතම ගුවන් තොටුපළ 05ක්

ගුවන් මඟින් විදෙස් සංචාරයක නිරත වෙද්දී, ඇරඹුමේ සිට අවසානය දක්වා රටවල් කීපයක ගුවන් තොටුපළ කීපයකින් සේවාවන් ලබාගැනීමට ගුවන් මඟීන්ට සිදුවෙනවා. ඔබත් වරෙක හෝ විදේශ සංචාරයක යෙදී ඇත්නම් ඒ අත්දැකීම් ලබා ඇති. එය හොඳ හෝ නරක අත්දැකීමක් සේම, අමරණීය මතකයක් වන්නට ද පුළුවන්. එකම රටක් තුළ ගුවන් තොටුපළ කිහිපයක් තිබුණ ද, ඒ එකිනෙකින් ලැබෙන සේවාවන්වල ගුණාත්මකබව වෙනස් වන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, අපි කොළඹ සිට තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ඍජු ගුවන් ගමනක යෙදෙන්නේ නම්, අපට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළින් සහ බැංකොක් නුවර ස්වර්ණභූමි ගුවන් තොටුපළින් සේවාවන් ලබාගැනීමට සිදුවනවා. පැය තුනහමාරක් පමණ දිගු මෙම ගමන සාර්ථක කිරීමට අපට නොපෙනෙන යාන්ත්‍රණයක් ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වනවා. දහස් ගණනක් වූ සේවක සේවිකාවන් පිරිසක් තිරය පිටුපස සිට එයට දායකත්වය දක්වනවා. 

හමඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ – දෝහා/architecturaldigest.in

 

skytrax වෙබ් අඩවිය මඟින් ලොව පුරා විසිරී සිටින ගුවන් මඟීන් සහභාගී වූ සමීක්ෂණයකින් 2019-2020 වසර සඳහා ලොවම හොදම ගුවන් තොටුපළ දහයක ලැයිස්තුවක් එළිදක්වා තිබෙනවා. එහිදී ඔවුන් ඒ ගුවන් තොටුපළවල ධාරිතාවයන් සහ සේවාවන් ද සැලකිල්ලට ගෙන තිබෙනවා. අද අපි එයින් හොඳම ගුවන් තොටුපළ පහ පිළිබඳව කතා කරමු.  

01. චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ – සිංගප්පූරුව 

‘උද්‍යානයක පිහිටි නගරය’ ලෙස ගෝලීය වශයෙන් කීර්තිමත් සිංගප්පූරුව, සිය ගුවන් තොටුපළ තුළ ද හරිත අවකාශයන් සහ උද්‍යානයන් නිර්මාණයකර තිබෙනවා. දිගු ගුවන් ගමනක විඩාව නිවන කදිම නිර්මාණයන් එය සතු යි. මේ ගුවන් තොටුපළ ලොව පුරා ගමනාන්ත 200කට අධික සංඛ්‍යාවකට ගුවන් යානා පියාසර කරවන අතර, ජාත්‍යන්තර ගුවන් සමාගම් 80ක් සඳහා සතියකට පැමිණීම් සහ පිටත්වීම් 5,000ක් සිදුකර තිබෙනවා. 2020 දී මඟීන් මිලියන 60කට වැඩි පිරිසකට මේ ගුවන් තොටුපළ සේවා සපයා තිබෙනවා.

චැංගි ගුවන් තොටුපළ සාප්පු සවාරියේ සිට අවන්හල් සහ විනෝදාස්වාදය දක්වා ආකර්ෂණීය ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත තිබෙනවා. මෙහි පිරිසිදුබව ඉතාමත් හොඳින් නඩත්තු කෙරෙන අතර, ඔබට අවශ්‍ය සියලුම සේවාවන් ඉතා පහසුවෙන් ලබාගැනීමට පුළුවන්. ඔබ චැංගි ගුවන් තොටුපළේ වෙළඳ සංකීර්ණය වන ජුවල් චැංගි වෙත ඇවිදගෙන ගියහොත්, මිනිසා විසින් නිර්මිත, මීටර් 40ක් උස ගෘහස්ථ දිය ඇල්ලක් දැකීමෙන් මවිත වනු ඇති.

ගෘහස්ථ දිය ඇල්ල ජුවල්- චැංගි ගුවන්තොටුපල
ගෘහස්ථ දිය ඇල්ල, ජුවල් චැංගි/news.cgtn.com

මීට අමතරව පර්යන්ත අංක 03හි සමනල උද්‍යානය, පර්යන්ත අංක 02හි සූරියකාන්ත උද්‍යානය, සහ පර්යන්ත අංක 01හි පතොක් උද්‍යානය ද ගුවන් තොටුපළ තුළ දී දැකගත හැකි විශේෂ ස්ථානයන්. සිංගප්පූරු ගුවන් සේවයේ මූලස්ථානය පිහිටන්නේ ද මෙම ගුවන් තොටුපළේ යි.

සොබාදහමට ආදරය කරන අයට චැංගි හරහා සිදුකරන ගුවන් ගමන ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන නැවුම් අත්දැකීමක් වනවා නොඅනුමාන යි. 

චැංගි ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2019-2020 වර්ෂය සදහා පහත සම්මාන ලබාගෙන තිබෙනවා:

  1. ලොව හොඳම ගුවන් තොටුපළ
  2. ආසියාවේ හොඳම ගුවන් තොටුපළ
  3. ලොව හොඳම විවේක පහසුකම් සහිත ගුවන් තොටුපළ
  4. මඟීන් මිලියන 60-70 අතර ප්‍රමාණයක් හසුරවන ලොව හොඳම ගුවන් තොටුපළ

02. ටෝකියෝ හනෙදා ගුවන් තොටුපළ – ජපානය

ටෝකියෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (හනෙඩා ගුවන්තොටුපළ)
ටෝකියෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ/internationalairportreview.com

ඕල් නිපොන් ගුවන් සේවය, ස්කයිනෙට් ඒෂියා ගුවන් සේවය, සහ ජපාන ගුවන් සේවය විසින් මූලස්ථානය කරගැනුණු හනෙදා ගුවන් තොටුපළ, ටෝකියෝ දුම්රිය ස්ථානයට කිලෝමීටර් 14ක් දකුණින් පිහිටා තිබෙනවා. හනෙදා ගුවන් තොටුපළ 1931 දී විවෘත කරන ලද අතර, එය එවකට ජපානයේ විශාලතම සිවිල් ගුවන් තොටුපළ යි. 1945 දී එක්සත් ජනපදය විසින් එය ගුවන් කඳවුරක් ලෙස භාවිතා කෙරුණු අතර, ඔවුන් 1952 දී මෙය ‘ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ’ ලෙස නම්කර ජපන් රජයට භාරදී තිබෙනවා. හනෙදා ගුවන් තොටුපළ 1947 දී සිය පළමු ජාත්‍යන්තර මඟී ගුවන් ගමන මෙහෙයවූ අතර, එය පළමු දේශීය ගුවන් ගමන සිදුකළේ 1951 දී යි. හනෙදා ආසියාවේ දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ වන අතර, 2009 දී ලොව සිව්වන කාර්යබහුලම ගුවන් තොටුපළ ලෙස නම්කෙරුනා.

2009 දී මෙම ගුවන් තොටුපළ විසින් මෙහෙයවන ලද මඟීන් ගණන මිලියන 62.1ක්. ගුවන් තොටුපළ 2010 දී සංවර්ධනය කිරීමෙන් පසු දළ වශයෙන් මඟීන් මිලියන 90ක් හැසිරවීමේ ධාරිතාව එයට ලැබුණා.

ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2019-2020 වර්ෂය සදහා පහත සම්මාන ලබාගෙන තිබෙනවා:

  1. ලොව පිරිසිදුම ගුවන් තොටුපළ
  2. ලොව හොඳම අභ්‍යන්තර ගුවන් පර්යන්තය සහිත ගුවන් තොටුපළ  
  3. මිලියන 70කට වඩා වැඩි මඟීන් පිරිසක් හසුරුවන ලොව හොඳම ගුවන් තොටුපළ

03. හමඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ – කටාර්

ස්විට්සර්ලන්ත ජාතික නිර්මාණ ශිල්පී උර්ස් ෆිෂර් විසින් නිර්මාණය කල සුප්‍රසිද්ධ ලාම්පු වලසා (Lamp Bear)
ස්විට්සර්ලන්ත ජාතික නිර්මාණ ශිල්පී උර්ස් ෆිෂර් විසින් නිර්මාණය කෙරුණු සුප්‍රසිද්ධ ලාම්පු වලසා/doha-airport.com

හමඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යනු කටාර් අගනුවර වන දෝහාහි පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ යි. මෙය ගෘහ නිර්මාණ ශිල්පය අතින් ලෝකයේ වඩාත්ම වැදගත් මෙන්ම, වඩාත්ම සුඛෝපභෝගී ස්ථානයක් ලෙස නම් කිරීමට පුළුවන්. කටාර්හි දෝහා හමඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2014 දී විවෘත කෙරුනේ එතෙක් කටාර්හි එකම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වූ දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙනුවට යි. 

හමඩ් ගුවන් තොටුපළ ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් 30කට පමණ සේවා සපයනවා. මැද පෙරදිග, යුරෝපය, ආසියාව, අප්‍රිකාව, ඕෂනියා, උතුරු ඇමරිකාව, සහ දකුණු ඇමරිකාව යන සියලු කලාපයන්ටත්, එම කලාපයන්ගේ සිටත් දෝහා වෙත පියාසර කිරීමට මඟීන්ට පුළුවන්. මෙම ගුවන් තොට 2019 වසරේ දී මඟීන් මිලියන 38ක් පමණ හසුරවා තිබෙනවා. කටාර් ගුවන් සේවයට නිවහන වූ මෙම ගුවන් තොටුපළ පරිශ්‍රීලක-හිතකාමී, කාර්යක්ෂම, හා නවීන පහසුකම්වලින් සමන්විත යි.

හමඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2019-2020 වර්ෂය සදහා පහත සම්මාන ලබාගෙන තිබෙනවා:

  1. මැද පෙරදිග හොඳම ගුවන් තොටුපළ
  2. මැද පෙරදිග හොඳම ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය
  3. මඟීන් මිලියන 30-40 අතර ප්‍රමාණයක් හසුරවන ලොව හොඳම ගුවන් තොටුපළ

04. සෝල් ඉන්චන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ – දකුණු කොරියාව

සෝල් ඉන්චියොන් ගුවන්තොටුපල
සෝල් ඉන්චන් ගුවන් තොටුපළ/aviationvoice.com

සෝල් ඉන්චන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දකුණු කොරියාවේ විශාලතම ගුවන් තොටුපළ වන අතර, එය ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපළක් ද වෙනවා. ඔවුන් ලෝක ගුවන් තොටුපළ සම්මාන උළෙලේ ‘වසරේ ගුවන් තොටුපළ’ ශූරතාව මින් පෙර ද දිනාගෙන තිබෙනවා. මෙම ගුවන් තොටුපළ ගුවන් සමාගම් 80කට අධික සංඛ්‍යාවක් සඳහා කලාපීය හා ජාත්‍යන්තර මඟී හා භාණ්ඩ සඳහා සේවා සපයනවා. මිලියන 70ක පමණ මඟීන් ප්‍රමාණයක් මෙම ගුවන් තොටුපළ විසින් වසරකට හසුරවා තිබෙනවා. ඉන්චන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මඟී පහසුකම් අතරට සම්භාහන මධ්‍යස්ථාන, ළමා ක්‍රීඩාංගන, ගොල්ෆ් පිටියක්, කැසිනෝ ශාලාවක්, සහ රඟහලක් ද ඇතුළත් වනවා. මෙම ගුවන් තොටුපළ කොරියන් එයාර් ගුවන් සේවය සහ ඒෂියානා ගුවන් සේවයට කේන්ද්‍රස්ථානය සපයනවා.

සෝල් ඉන්චන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2019-2020 වර්ෂය සදහා පහත සම්මාන ලබාගෙන තිබෙනවා:

  1. ලොව හොඳම මාර්ගස්ථ ගුවන් තොටුපළ
  2. ලොව හොඳම ගුවන් තොටුපළ පර්යන්තය (පර්යන්තය අංක 02)

05. මියුනික් ජාත්‍යන්තර ගුවන් තොටුපළ – ජර්මනිය

මියුනිච් ගුවන්තොටුපල
මියුනිච් ගුවන් තොටුපළ/airport-suppliers.com

මියුනික් ගුවන් තොටුපළ යනු මඟී ගමනාගමනය අතින් ෆ්‍රෑන්ක්ෆර්ට් ගුවන් තොටුපළට පසු ජර්මනියේ දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ යි. මියුනික් ගුවන් තොටුපළ ලොව පුරා ගමනාන්ත 248ක් වෙත පියාසර කිරීමට පහසුකම් සපයන අතර, වසරකට මඟීන් මිලියන 28කට වඩා හැසිරවිය හැකියි. මියුනික් ගුවන් තොටුපළේ මඟී පර්යන්ත දෙකක් සහ මීටර් 4,000ක් දිග සමාන්තර ධාවන පථ දෙකක් ඇති අතර, පැයකට ගුවන් යානා 90ක් හැසිරවීමට මේ ගුවන් තොටුපළට පුළුවන්. මියුනික් ගුවන් තොටුපළ ලුෆ්තන්සා ගුවන් සේවයේ දෙවන මධ්‍යස්ථානය යි.

මියුනික් ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2019-2020 වර්ෂය සදහා පහත සම්මාන ලබාගෙන තිබෙනවා:

  1. යුරෝපයේ හොඳම ගුවන් තොටුපළ 
  2. මධ්‍යම යුරෝපයේ හොඳම ගුවන් තොටුපළ
  3. මඟීන් මිලියන 40-50 අතර ප්‍රමාණයක් හසුරවන ලොව හොඳම ගුවන් තොටුපළ 

ඉතින්, ඔබ මෙතෙක් ගොස් ඇති හොඳම ගුවන් තොටුපළ මොකද්ද? කමෙන්ට්ස්වලින් අපට කියන්න.

කවරය සහ මූලාශ්‍රයයන්: uber.com

haneda-airport.com/

worldairportawards.com

visitsingapore.com

doha-airport.com c

entreforaviation.com

internationalairportreview.com

airport-technology.com

Related Articles