සොඳුරු බව මේ ලෙසයි මන්නාරමේ

ගල්ෆ් කිව්ව ගමන් මතක් වෙන්නේ ගල්ෆ් රටවල්. ලංකාවේ මන්නාරම් දූපතත් ගල්ෆ් කලාපයේ පිහිටා තිබෙන්නේ කිව්වොත් පිළිගන්නවා ද?

ඌදා පූ (දම් පාට මල්‍) බලන්න චාවකච්චේරි හරහා පූනාකරී (පුනරින්) ගියාට සංගුපිටි පාලම පහුකරගෙන මන්නාරම එන්න ලැබේ කියලා නම් හිතුනේ නෑ. මොන දේ වුණත් අර රාජ සියක්කාරයන්ගේ (ෆ්ලැමින්ගෝ කුරුල්ලන්ගේ) නැටුම් දැකපු මං සරසාලෙයි දී හිතුවා දවසක යන්න ඕනේ මන්නාරම බලන්න කියලා. මේ සංක්‍රමණ පක්ෂීන් ඉන්දියන් සාගරයේ නැගෙනහිර ඉන්දු වෙරළ තීරය ඔස්සේ පහළට පියඹාගෙන කැල්මියන් තුඩුවත්, රාමේෂ්වරනුත් පසු කරන පෘථිවියේ වූ චුම්භක ක්ශේත්‍ර හරහා ශ්‍රී ලංකාවට ඇවිත් ගොඩක් වෙලාවට කාලය ගත කරන්නේ මේ මන්නාරම් කළපු ආශ්‍රිතව.
යාපනෙන් මාර්ග අංක 812 යාපනය – මන්නාරම බස් එකක නැගලා කිලෝමීටර් 127ක දුරක් ආවමයි මන්නාරම ටවුන් එක.

යාපනෙන් බස් එකක නැගලා කිලෝමීටර් 127ක දුරක් ආවමයි මන්නාරම ටවුන් එක – Maps.google.com

සංගුපිටි පාලම

මේ ගමනේ දී සංගුපිටි පාලම පහු කරන නිසා පාලම ගැනත් යමක් කියන්නම්. සංගුපිටි පාලම (කින්නියා පාලම) යනු ශ්‍රී ලංකාවේ දිග ම පාලම වන අතර එහි දිග මීටර් 396 (අඩි 1,299) ක්.එය කොඩියාර් බොක්ක සහ තම්බලගම් බොක්කෙන් වට වූ කළපුව තරණය කරනවා. එය ත්‍රිකුණාමලය, කින්නියා සමඟ සම්බන්ධ කරන, සිවිල් වැසියන්ට කින්නියා කළපුව තරණය කර A9 මාර්ගයෙන් කින්නියා සහ මුත්තූර් ප්‍රදේශ කරා ළඟා විය හැකි පහසු ම මග තනනවා.

යාපනේ එක් ඉසව්වක සිට මන්නාරම දෙසට දිවෙන සංගුපිටි පාලම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සංගුපිඩි හා යාපන දිස්ත්‍රික්කයේ කරයිතිව් සම්බන්ධ කරනවා.

සංගුපිටි පාලම – Getty Images – NurPhoto

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං
හඳට අඬං සිංදු කියන්නී…කුණ්ඩුමනී
කුණ්ඩුමනී… කුණ්ඩුමනී…ආ.. කුණ්ඩුමනී

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද මාලාවක් වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට ප්‍රෙඩී සිල්වාගේ හඬින් ගැයෙන මේ ගීතයෙන් මන්නාරම් පිටි වැල්ලේ සිටින කුණ්ඩුමනී කෙනකුගේ චිත්තරූපයක් අසන්නාගේ සිතෙහි මැවෙනවා.

මන්නාරම් ගල්ෆ් (බොක්ක) කලාපය යනු ඉන්දියාවට ආසන්නව ම පිහිටි ශ්‍රී ලංකාවේ කොටසයි. මන්නාරම හා ඒ අවට ඉහළ දූපත් කිහිපයත් ඉන්දියාවට ආසන්න රාමේශ්වරම්,ධනුෂ්කෝඩි ඇතුළු දූපත් කිහිපයත් දෙරටින් එළියට නෙරා ඇත්තේ එකිනෙකාගේ අත් අල්ලාගන්නට වගෙයි.

මන්නාරම රැකවල් කළ මන්නාරම් බළකොටුව – චරිත් ගුණරත්න – charithmania.blogspot.com 

මන්නාරම් ගල්ෆ් කලාපය

කලෙක මන්නාරම දකුණු ඉන්දියාව සමඟ බෝට්ටු සේවයකින් සම්බන්ධ වී තිබුණා. දැනට ද ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකයට දිරි දෙන, උඩරට ද්‍රවිඩ ජනයා මෙරටට පැමිණියේ මෙම මන්නාරම් තොටෙන් බවත් කියැවෙනවා. දැනටත් මෙම ප්‍රදේශයේ ද්‍රවිඩ ජනයා බහුතරයක් වෙසෙන බව පේනවා.

“ගල්ෆ්” යන වචනය යොදාගන්නේ විශේෂිත භූ විෂමතා කිහිපයක් ඇති මුහුදු ප්‍රදේශයක් හැදින්වීමටයි. මුහුදට නෙරා ගිය විශාල භූමි භාග දෙකකට හෝ එක් රටකට, රටවල් කිහිපයකට හෝ අයත් විශාල මුහුදු සීමාවකින්, එහෙම නැත්නම් වෙරළ තීරයකින් වටවුණු මුහුදු බොක්කක් “ගල්ෆ්” කලාපයක් ලෙස හදුන්වනවා.

මේ කලාපය විශාල සාගරයට විවෘත වෙලා තිබෙන වපසරිය අඩුයි. ඒ වගේ ම කරදිය ජලයේ සංයුතිය තරමක් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මුහුදු බොක්කක් වගේ නෙවෙයි මෙවැනි මුහුදු ප්‍රදේශ ඉතා විශාලයි. වර්ග කිලෝමීටර ලක්ෂ ගණනක් වන්නත් පුළුවනි. කුඩා ඒවාත් නැතුවා ම නෙවෙයි. ගල්ෆ් මුහුදු කලාපයක ලක්ෂණ තිබුණු පමණින් යම් භූ විෂමතා කලාපයක් ගල්ෆ් මුහුදක් ලෙස හඳුන්වන්නේත් නැහැ.

මන්නාරම් දූපත – චරිත් ගුණරත්න – charithmania.blogspot.com 

 

මන්නාරම් දූපත

අපේ මන්නාරම් දූපත සහ ඒ කලාපයේ කුඩා දූපත් රැසක් ඇතුළු ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඉන්දියාවේ ගිනිකොන දිග මුහුදු තීරය අතර නොගැඹුරු මුහුදු කලාපය හැඳින්වෙන්නේ “මන්නාරම් ගල්ෆ් කලාපය” නමින්.

මන්නාරම කියන්නේ කෘෂිකර්මාන්තයට කියාපු කලාපයක්. ඒ නිසාම මන්නාරම හදුන්වන්නේ ” බෝල් ඔෆ් රයිස් ” කියලා. ධීවර කර්මාන්තයත් අපූරුවටම වෙනවා මේ වගේම ශ්‍රී ලංකාවේ තියන ප්‍රධාන ම සුළං බලාගාර තියෙන්නෙත් පූනාකරී හා තලෙයිමන්නාරමේ.
මන්නාරම තම්බපන්ණි මෙගාවොට් 100 ලං.වි.ම සුළං බලාගාරයේ විදුලි ඒකක ජනනයයි. මන්නාරම් ද්‍රෝණිය කියන්නේ දන්නා ඉතිහාසයක් තුළ දකුණු ආසියාවේ හොඳින් ම සුළං හමන ස්ථානයයි. මෙහේ ආවාමයි තේරෙන්නේ හමන සුළඟ හරිම වේගවත් කියලා.

වංශ කතා පාර දිගේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සොයා යන්නකුට එහි දී හමු වන පළමු සංධිස්ථානයක් වෙන්නේ මල්වතු ඔය ආශ්‍රිත ප්‍රදේශ‍යයි. යුග ගණනක් පසුකර “ආර්ය ජනාවාස” මත පදනම් වූ ඉතිහාසයකට දිවයන්න හැකි මංසලත් මේ මල්වතු ඔය හෙවත් කදම්භ නදියයි.

කම්හල⁣ට මැටි දුන් මුරුක්කන් 

මේ මල්වතු ඔය රජරට නාච්චාදූවෙන් පැනනැඟ ගලා ගෙන විත් මඩුපාරට සැතපුමකට ඉහළින් දෙපසට බෙදී ගලා යන්නේ මල්වතුඔය සහ අරවිආරු යන නම්වලින්. මල්වතු ඔය මුහුදට එක්වන්නේ දෙමළ උච්චාරණය අනුව ” සිලාතුරෙයි ” එහෙමත් නැත් නම් සිලාවතුරෙන් (සිල්වතුරෙන්). අරවිආරුව මඩු ගම්මානයේ පිරිපත දොවාලමින් ගලා ගොස් මුරුන්කන් හි යෝධ වැවට එකතු වෙනවා. මේ යෝධ වැවෙන් තමයි ඒ කාලෙ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට දුම්රියෙන් මැටි ගෙන ගියේ.

මල්වතුඔය හා අරවිආරු දෙපසට බෙදෙන තේක්කම නම් ස්ථානයේ, ජනශ්‍රැතියට අනුව පත්තිනි මෑණියන්ගේ හා පුල්ලෙයාර් දෙවිඳුන්ගේ ලෙස සැලකෙන දර්ශනීය සෙල් පිළිම දෙකක් දක්නට ලැබෙනවා.

මහා වංශය දක්වන පරිදි මල්වතු ඔය, මුල් කොටසේදී අරුවි ආරු ලෙසින් ද මුවදොර පෙදෙසේ දී කදම්භ නදී ලෙසින් ද හඳුන්වා ඇති බව පෙනෙනවා. විජය කුමරු ලංකා දීපයට ගොඩබට තම්මැන්නාව පිහිටියේ ද මේ නදියේ දකුණු ඉවුරේ බවට අනුමාන කෙරෙනවා.

වෙහෙසට පත්ව නැවෙන් ගොඩබට විජය ඇතුළු පිරිස පොළොවෙහි අත් ඔබා ඉඳගත් පසු ඔවුන්ගේ අත්ල භූමියෙහි දූවිල්ලෙන් තඹවන් වූ හෙයින් ඒ පෙදෙස ද , දිවයින ද තම්බපණ්ණී නම් වූයේය යනු අපේ වංශකතාවයි.

මන්නාරමේ තවත් වැදගත් ස්ථානයක් තමයි ඩොරික් බංගලාව – උපුල් තම්මිට

මුතු බැඳි සිලාවතුරෙන් ඩොරික් බංගලාව⁣ට  

තම්බපණ්ණිය නරඹන්න යන්න වෙන්නේ විල්පත්තු අභයභූමිය පැත්තෙන්. අරිප්පු තියෙන්නෙත් ඒ ළඟපාත. හදිස්සියේ ම අරිප්පු මතක් වුණේ මුතු බෙල්ලන් නිසයි. මන්නාරම් අවට මුහුදේ කිමිදී මුතු පර වලින් නෙළු මුතු යටත්විජිත සමයේ සුදු ජාතිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. සිලාවතුර, මරිච්ච කට්ටි ප්‍රදේශවලත් මුතු කිමිදීම සිදු ව තිබෙනවා. ශ්‍රී ලංකාව කොහොමත් “ඉන්දියන් සාගරයේ මුතු ඇටය ” නොවැ?

ලංකාවේ මුතුවල තිඹිරිගෙය කියන්නෙත් මන්නාරමේ සිලාවතුර ප්‍රදේශයටයි.

මන්නාරමේ තවත් වැදගත් ස්ථානයක් තමයි ඩොරික් බංගලාව. නැත්නම් ඩොරික් හවුස්. දැන්නම් ඒක ගරාවැටීමට ලක්වුණු ගඩොල් මාලිගයක්. “ඩොරික් ” කියන්නේ ග්‍රීක භාෂාවෙන් ආරුක්කු හා කුලුනු සහිතයි කියන එක. ඒක ලංකාවෙ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝත් හදවපු එයාගේ මාලිගාව. අධික හිරු රැස්වලට ඔරොත්තු දෙන්න ගඩොලින් කර ඇති එය මෙරට ඉදිවුණු මන්ස්කාන්ත ම ගොඩනැඟිලි අතරින් එකක්. 

ඩොරික් බංගලාවට සමීප මන්නාරම් මුහුද – උපුල් තම්මිට

වයඹ මුහුදු තිරයේ මන්නාරමට වන්නට පිහිටි සිලාවතුර සහ කොණ්ඩච්චි බොක්ක ආශ්‍රිතව අරිප්පු මුහුදු තීරයේ ඉදිකර ඇති අපූරුත ම ගෘහ නිරිමාණ ශිල්පයට අයත් ඩොරික් බංගලාව වර්මාතනයේදීත් සැලකෙන්නේ ගෘහනිර්මාන ශිල්පයේ අපූරුතම නිර්මාණයක් ලෙසයි.

ග්‍රීසියේ ගෘහ නිර්මාණ ශිල්පය

ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා ඉංග්‍රීසි ජාතිකයෙකු වුවත් තම බංගලාව සදහා ග්‍රීසියේ ගෘහ නිර්මාණ ශිල්පය යොදාගැනීම පිළිබඳ රහස තවමත් අනාවරණය වී නෑ. .ඩොරික් යන්නෙහි  ග්‍රීක භාෂා තේරුම ශක්තිමත් යන්නයි. මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලේ පහළ මාලය කුඩා නිදන කාමර හතරකින් සහ ඉහළ මාලය පෝටිකෝවකින් යුක්තයි. අසල මුහුදේ සිදුවන ක්‍රියාකාරකම් නැරඹීම සදහා විශාල ඉඩක් වෙන්කර තිබූ බව ද  සඳහන්. ඉහළ මාලයට ගමන් කිරිමට ගඩොල් සහ ඝනකමින් යුත් බදාම යොදා ගෙන පඩි පෙළක් ද වූ බවත් පවසනවා. රතු පාට, හොඳින් පිළිස්සු ගඩොල් බැමි සහ ශක්තිමත් කුලුනු මත ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල සඳහා දවාඩගත් සිප්පිඩකටු මිශ්‍ර බදාමයක් යොදා ගෙන ඇති බවත් පවසනවා. 

රොබර්ට් නොක්ස්ගේ ” එදා හෙළ දිව ” කෘතියේ කියන්නේ උඩරට රජ කළ කොනප්පු බණ්ඩාර කුමාරයා දෝන කතරිනා සිර කර ගෙන සිටි ස්ථානය මෙය බවයි. දෙමළ බසින් එය “අල්ලේ රාණී කොටුව”යි. ඩොරික් බංගලාව ෆෙඩ්රික් නෝත් ගෙන් පස්සේ මුතුපර කිමිදීම අධීක්ෂණය කළ නිලධාරීන් රැසකට සෙවණ දුන්නා. අහන්නට ලැබුණු ආකාරයට, මෙතැන හොල්මන් ගැනත් රසවත් කතා මාලාවක් තියෙනවා.

විශාල කඳකින් යුතු බයෝබැබ් ගස – facebook.com/palmyrahisland

වෙළෙන්දන් සමඟ ආ බයෝබැබ් දැවැන්තයෝ 

යුරෝපීයයන් පෙරදිග වෙළඳාමට ඇඟිලි ගසන්නට ප්‍රථමයෙන් ලොව වටා වෙ⁣ළෙඳාමේ ආධිපත්‍යය තිබ්බේ අරාබින් සතුව. මන්නාරම් දූවේ බයෝබැබ් ගස් ඒ අතීත වෙළෙඳාමේ නිහඬ සාක්ෂියක්.

අප්‍රිකා පතන් බිම්හි වැවෙන විශාල කඳකින් යුතු බයෝබැබ් ගස ලංකාවේ දකින්නට ලැබෙන්නේ ස්ථාන කිහිපයක දී පමණයි. ඒ ඩෙල්ෆ් හා මන්නාරම් දූපත් ආශ්‍රිතව. අරාබි වෙළෙන්දන් මෙම ගස අප්‍රිකාවෙන් ගෙනැවිත් මෙහි සිටුවන්නට ඇති. අරාබි වෙළෙන්දන් වෙළෙඳාමට යොදාගත් ඔටුවන් ද ඒ කාලයේ මන්නාරමේ සිටි නමුත් අද ඔටුවන් නැහැ ඒ වෙනුවට මදි නොකියන්න බූරුවන් නම් ඉන්නවා.

බයෝබැබ් ගස ‘යක්ෂයාගේ ගස’ එහෙමත් නැත්නම් අලි ගහ ලෙසත් හඳුන්වනවා. මන්නාරමේ බයෝබැබ් අවුරුදු 800 පමණ පැරැණියි, උසින් මිටර් 10.5 පමණ හා වට ප්‍රමාණය මිටර් 21.10 ක්. බයෝබැබ් ශාක 40ක් පමණ ශ්‍රී ලංකාවේ ඇතැයි කියැවෙනවා.
බයෝබාබ් ගස බයෝබාබ් බෝබ්, බෝබෝවා, බෝතල් ගස, උඩු යටිකුරු ගස සහ වඳුරු පාන් ගස ලෙසද හඳුන්වනවා.

දියඹ පුරා විහිදි ධීවර බෝට්ටු – facebook.com/palmyrahisland

 

මේ තමා වැල්ල: මන්නාරම් වැල්ල 

එය අප්‍රිකාව, මැඩගස්කරය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට ආවේණික ගසක්. බයෝබැබ් විශේෂ 8 ක්, මැඩගස්කරයේ 6 ක්, අප්‍රිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ 1 බැගින් ඇති බවයි කරුණු පිරික්සූ කල වැටහුණේ. ඉන් 34 ක් ම තියෙන්නේ මන්නාරමේ. වර්තමානයේ මේක පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්ථානයක් වශයෙනුත් නම්කර තියෙනවා.

බයෝබැබ් ගස ළඟ වටපිටත් තියෙන්නේ මුහුද. පේළියට නවත්තලා තියෙන ධීවර බෝට්ටු බලන්න ලස්සනයි. නවත්වා තියෙන බහුදින ධීවර යාත්‍රා නැත්නම් ට්රෝලර් බෝට්ටු දුරින් පෙනෙනවා. වෙරළට නුදුරින් පොඩි ධීවර යාත්‍රා. තැනින් තැන ඉස්සන් කොටු. වෙරළේ දැල් උස්සාගෙන ඉන්න, වීසි දැල් අදින ධීවරයෝ. බෝට්ටුවලින් අරන් එන අලුත් මාළු කන්න පොර කන කපුටන්ගේ කංකරච්චලය. තැන තැන ධීවර වාඩිවල සුරුට්ටු උරමින් විවේකීව ඉන්න ධීවරයෝ. මේ තමා වැල්ල. මන්නාරම් වැල්ල. මේක “පිටි වැල්ලක්”. වැලි හරියට පිටි වගේ ම යි.

මඩු දුම්රිය ස්ථානය අසලින්  මරද මඩු දක්වා යන්නට පුළුවන් –  lankadeepa.lk

A14 මාර්ගය හෙවත් මැදවච්චිය – මන්නාරම් පාරේ කිලෝමීටර් 48ක් ගියා ම මුණගැහෙන මඩු දුම්රිය ස්ථානය අසලින් දකුණු පැත්තට මඩු රක්ෂිත වනාන්තරය හරහා යන්නකුට මරද මඩු දක්වා යන්නට පුළුවන්.

කිතුනුවන්ට වෙන්වුණු පත්තිනි දේවාලය මරඳ මඩු 

මඩු පල්ලිය අද කතෝලික දේවස්ථානයක් වුණත්, අතීතයේ මේ භූමියේ තිබිලා තියෙන්නේ පත්තිනි දේවාලයක්. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් “මඩු භූමිය” කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරඳ නොහොත් මරත ශාඛ නිසා “මරඳ” යන නමත් ලැබී අවසානයේ “මරඳ මඩු” යන නම හෝ “දෙවොල් මඩු” යන නම මෙම ප්‍රදේශයට භාවිත වෙලා තියෙනවා.

මඩු පල්ලි පිවිසුම –  lankadeepa.lk

මන්නාරම් සංචාරයේ දී දැක බලා ගත යුතු තවත් තැනක් නම් තිරුකේතීෂ්වරම් කෝවිල.එය ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගෙන් පිදුම් ලබන ප්‍රධාන ශිව කෝවිල් පහෙන් එකක්. මන්නාරම තිරුකේතීෂ්වරම් හැරුණු විට අනෙක්වා තමයි ත්‍රිකුණාමලය කෝනේශ්වරම්, හලාවත මුන්නේශ්වරම්, නගුලේශ්වරම්, කීරිමලේ හා තේනවරම් දෙවුන්දර කෝවිල්.

මේ කෝවිලේ නිර්මාණය සම්බන්ධ ව විවිධ පුරාවෘත්ත පවතිනවා. එක් කතාවකට අනුව, තිරුකේතීෂ්වරම් නිර්මාණය කරලා තියෙන්නෙ, රාවණා රජුගෙ බිසවගේ පියා යි. ඒ ශිව දෙවියන් වැඳීම උදෙසායි. හින්දු ආගමේ එන දෙවි කෙනකු ලෙස සලකන “කේතු” ට ශිව දෙවියන් මුණ ගැසුණ ස්ථානය මෙය ය යන්න ද තවත් පුරාවෘත්තයක්. තිරුකේතීශ්වරම් ලෙසින් මෙම ප්‍රදේශය නම් වන්නේත් ඒ නිසාවෙන්‍.

 සඟමිත් තෙරණියගේ විඩා නිවා හළ මාතොට වෙහෙර –  facebook.com/mathotarajamahaviharayamannar

සඟමිත් තෙරණියගේ විඩා නිවා හළ මාතොට වෙහෙර 

ඔය ගමන යන අතර මාතොට රජ මහා විහාරයත් හමු වෙනවා. සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුරයට පෙරහරින් වැඩ ම කරද්දී ප්‍රථම රැය නවාතැන් ගත් ස්‌ථානය ලෙස මෙම පුදබිම ජනප්‍රවාදයේ සඳහන්⁣ වෙනවා.

කිලෝ මීටර් දෙක තුනකට ඔබ්බෙන් ඇති සුන්දර මුහුදු තීරයෙන් හමා එන සුළග පානම වැවේ හැපී දෙපස ඇති මහා වන පෙතට රිංගා ගන්නේ තුරු අතු පතරෙහි ආදරය ලබමින්.

දසක තුනක යුද්ධයෙන් බැට කෑ මන්නාරම, යුද්ධය අවසන් වූ පසු ව වර්තමානයේ හිස ඔසවමින් පවතිනවා. ඉන්දියාව, යුද්ධය අවසන් වූ විගස උතුරු දුම්රිය මාර්ගයත් වව්නියා සිට තලෙයිමන්නාරම දක්වා කොටසත් පිළිසකර කරන්නට ආධාර දුන්නා. පැරණි ජැටිය ආසන්නයේ ම අලංකාර ලෙස දිස්වන්නේ ලයිට් හවුස් එක. ඒ ප්‍රදීපාගාරය පහළ මසුන් මරන්නන් රැසක් බෝට්ටු වල නැඟී ධීවර කටයුතුවල නිරත වෙන ආකාරය උදෑසනක එහි ගියොත් දැකගන්න පුළුවන්.

පැරණි ජැටිය ආසන්නයේ ම අලංකාර ලෙස දිස්වන්නේ ලයිට් හවුස් එක – චරිත් ගුණරත්න – charithmania.blogspot.com 

ඉන්දියාව තෙක් දිවෙන බව කියන වැලිපරය හෙවත් ආදම්ගේ පාලම නැත්නම් රාමාගේ පාලමත්⁣ මෙහිදී අමතක කරන්න බැහැ. වාල්මිකී ලියූ රාමායණය වීර කාව්‍යයට අනුව, රාමට ලංකාපුරයට යාමට ඔහුගේ වානර හමුදාව ආදම්ගේ පාලම තැනුවා.

“මහ සයුරේ ඝෝෂාව
ඔවුන්ගේ නොනැමෙන මහ හඬින්
යටපත් කරමින්
නාල විසින් නිමැවූ පාලම උඩින්
යුහුසුළුව ආහ ඔවුහු ලක් තෙරට”

ආදී වශයෙන් රාමායණයේ පාලම ඉදිකිරීම ගැන කිවිදිය ශර්මිලා විනෝතිනීගේ ‘මහලින් වාසම්’ කෘතිය සඳහන් කරනවා. නල නමැති වානර අධිපතියකුගේ අධීක්ෂණය යටතේ වානර හමුදාව දින පහක් තුළ පාලම තනා නිම කළ බවයි රාමායණය කියන්නේ. ගස්, ගල්, සහ පර්වත මුහුදේ හෙළීමෙන් ඔවුන් එය ඉදි කළේ ලු.

එකිනෙක යාවෙන පරිදි නොගැඹුරු මුහුදු තීරයේ වැලිපර ඉන්දියාවේ ධනුෂ්කෝඩිය තෙක් පැතිර පිහිටා තිබෙන බව කියන නමුත් වැලිපර ස්ථායි නොවන නිසා එකිනෙක යා වේදැයි නිශ්චිතව කීම අපහසුයි.

ඉන්දියාව තෙක් දිවෙන බව කියන වැලිපරය හෙවත් ආදම්ගේ පාලම චරිත් ගුණරත්න – charithmania.blogspot.com 

 පසුව ලන්දේසි වූ පෘතුගීසි බළකොටුව 

මන්නාරම් ටවුන් එකේ ඉදලා යාපනේ පැත්තට එනකොට හමුවන අලුත් පාලමේ පැත්තකින් මන්නාරම් ලන්දේසි බළකොටුව පෙනෙනවා. මුලින් ම ඒක හදලා තියෙන්නේ පෘතුගීසීන් වුණත් පස්සේ ලන්දේසින් තමන්ගේ නම දාගෙන.

ඔය අලුත් පාලම උඩින් හවසක යන කෙනකුට ඈතින් නිවී නිවී දැල්වෙන රතු පාට ආලෝක පේළියක් දකින්න ලැබෙනවා.ඒ තමා මන්නාරම් සුළං විදුලි බලාගාරය. පාලම පහුකරගෙන කළපුව දිගේ ඉස්සරහට යද්දී හමන මන්නාරම් ගල්ෆ් සුළඟේ වේගය කුඩා වාහනයකුත් සමඟ මිනිසකුත් උස්සන් යන්නට තරමට වේගවත්. පාලම උඩදී පෙනෙන මනරම් දසුනක් තමයි පෙළට නවත්වා තියෙන ධීවර බෝට්ටු.

මන්නාරම් බළකොටුව ගැන චරිත් ගුණරත්නගේ කැමරාවෙන් ගොනු වුණු මේ වීඩියෝ දසුන් පෙළ ඔබේ රස වින්දනය තවත් ඉහළ නංවවි!

මුහුදු රැල්ලෙ සද්දෙ පරයා නැඟෙන කපුටු කා කා කන් කරච්චලයෙත් අඩුවක් නෑ. ඔවුන් නොනවත්වා කෑකෝ ගහමින් කුළල් කා ගන්නේ මාළු පොදිවලින් තමන්ටත් කොටසක් වෙන්කර ගන්නයි. මේ සියලු දේ එක්තැන් වූ විට ඒ තමයි මන්නාරමේ සුන්දරතාව. නම ඇසූ පමණින් සිතට එන්නේ තරමක කර්කෂ හැඟීමක් වුවත් වෙහෙසකර සතියකින් පසුව විවේකී සති අන්තයක් ගතකරන්න කදිම ගමනාන්තයක් වශයෙන් මන්නාරම හඳුන්වා දෙන්න පුළුවනි. මේ කොරෝනා ප්‍රශ්නය තුරන් වුණු දවසක ඔබේ විනෝද චාරිකා සිතියමටත් මන්නාරම එකතු කර ගන්න මතක තබා ගන්න.

කවරයේ ඡායාරූපය: මන්නාරම් හැන්දෑව- facebook.com/palmyrahisland

මූලාශ්‍ර:

The ancient colonial architectural style of Srilanka - Upul Thammita 

එදා හෙළ දිව -රොබර්ට් නොක්ස් 

 lankadeepa.lk

facebook.com/mathotarajamahaviharayamannar

Related Articles