Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙල්ලෙක්ට තනියම සංචාරය කරන්න පුළුවන් රටවල් 10ක්

විසිතුරු විදියට හැඩ වැඩ දාපු ගවුම් ඇඳගෙන මැහුම් ගෙතුම් කරගෙන ගෙදරට වෙලා හිටපු ගෑනු ළමයි මේ වෙනකොට ජේන් ඔස්ටින්ගේ නවකතා පොත්වලට ම විතරක් සීමා වෙලා. දැන් ඉන්න කෙල්ලෝ පරණ මතිමතාන්තර පැත්තකට දාල උසස් අධ්‍යාපනය ලබන්න, රැකියා කරන්න විතරක් නෙමෙයි රට රටවල සංචාරය කරන්නත් පටන් අරගෙන. එහෙම සංචාරය කරන්න කැමති ගැහැනු ළමයින්ට කාගෙන්වත් කරදරයක් නැතු ව බයකින් සැකයකින් තොර ව නිදහසේ ඉන්න පුළුවන් වටපිටාවක් සකස් කරලා දෙන්න සමහර රටවල් පියවර අරගෙන තියෙනවා. ගැහැනු ළමයෙක් බොහෝ ම ආරක්ෂිත ව තනියම වුණත් සංචාරය කරන්න පුළුවන් ඒ වගේ රටවල් 10 ක් ගැන යි මේ ලිපිය.

1. අයිස්ලන්තය

රෙයික්ගැවික් නගරයේ පිහිටි අයිස්ලන්ත පාර්ලිමේන්තුව (recreoviral.com)

රෙයික්ගැවික් නගරයේ පිහිටි අයිස්ලන්ත පාර්ලිමේන්තුව (recreoviral.com)

නෝර්වීජියානු මුහුදටත්, උතුරු අත්ලාන්තික් සාගරයටත් මැදි වෙලා තියෙන අයිස්ලන්තය සක්‍රීය ගිනි කඳු රැසකින් සමන්විත විශාල දූපතක්. නමුත් මේ දූපතේ ඉන්න පදිංචිකාරයෝ නම් ගිනි කඳුවලට හාත්පසින් ම වෙනස් ගතිගුණවලින් යුතු අය යි. ලෝකයේ සාමකාමී ම ජනතාව ජීවත් වෙන රටවල් අතරින් ම මුල් ම තැන අයිස්ලන්තයට හිමි වෙලා තියෙනවා. අයිස්ලන්ත ජාතිකයන් ස්වභාවයෙන් ම ප්‍රචණ්ඩත්වයට අකැමති ජන කොට්ඨාසයක් නිසා ම තනියම සංචාරය කරන්න කැමති කාන්තාවන් අතර අයිස්ලන්තය හුඟක් ජනප්‍රිය යි.

අයිස්ලන්තයේ අගනුවර වන රෙයික්ගැවික් (Reykjavík) එහි විශාල ම නගරය විදියටත් සැලකෙනවා. රටේ ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් ජීවත් වෙන්නේ අගනුවර සහ ඒ ආශ්‍රිත නගරවල යි. සානු බොහෝමයකින් තියෙන අයිස්ලන්තයේ කඳු වැටි, ග්ලැසියර සහ ගංගා රාශියක් දකින්න ලැබෙනවා. සීතල දේශගුණයට කැමති කඳු නගින්නන්ගේ සංචාරයට සුදුසු අපූරු රටක් විදියට අයිස්ලන්තයට හඳුන්වා දෙන්න පුළුවන්.

2. ඩෙන්මාර්කය

කෝපන්හේගන් නගරයේ දර්ශනයක් (reversehomesickness.com)

කෝපන්හේගන් නගරයේ දර්ශනයක් (reversehomesickness.com)

ලෝකයේ රටවල් අතරින් ඉතාමත් සන්සුන් සහ ආරක්ෂාකාරී රටක් විදියට යි ඩෙන්මාර්කය සැලකෙන්නේ. එයට හේතුව ඩෙන්මාර්කයේ අපරාධ අනුපාතය ඉතා පහළ අගයක් ගැනීම යි. ඊට අමතර ව ඩෙන්මාර්ක රජය විසින් එහි නිවැසියන්ට සම්පූර්ණ ආර්ථික සහ වෛද්‍ය සුරක්ෂිතතාවයක් ලබා දෙන නිසා බොහෝ දෙනෙක් ඩෙන්මාර්කයට සංක්‍රමණයට වී එහි ස්ථිර ලෙස පදිංචි වීමට කැමැත්තක් දක්වනවා. ඒ වගේ ම ඩෙන්මාර්කයේ පවතින දැඩි නීතිරීති පද්ධතිය නිසා එය තනි ව සංචාරය කරන්න කැමති කාන්තාවන්ට සංචාරයට ඉතා සුදුසු ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් සංචාරකයන් අතර ඩෙන්මාර්කය ජනප්‍රිය වීම සඳහා එහි පවතින ආරක්ෂාව පමණක් නෙමෙයි සිත් වසඟ කරවන සුන්දරත්වයත් තවත් එක් හේතුවක්.

යුරෝපයේ පිහිටි ස්කැන්ඩිනේවියානු රටක් වන ඩෙන්මාර්කයේ අගනුවර වන්නේ කෝපන්හේගන් නගරය යි. රට තැනිතලා භූමියක පිහිටා ඇති නිසා අයිස්ලන්තයේ මෙන් මෙහි කඳු වැටි දක්නට ලැබෙන්නේ නැහැ. බැලූ බැලූ අත හරිත වර්ණ තෘණ භූමි දක්නට ඇති ඩෙන්මාර්කය, රන්වන් වෙරළ තීරයන් සහ සෞම්‍ය දේශගුණය නිසා සංචාරකයන් අතර ප්‍රසිද්ධ යි.

3. ඔස්ට්‍රියාව

වසන්ත සමයේ දී ගම්බද ඔස්ට්‍රියාව (Wikipedia)

වසන්ත සමයේ දී ගම්බද ඔස්ට්‍රියාව (Wikipedia)

‘සංගීත දේශය’ නමින් ලෝ පතල ඔස්ට්‍රියාව, සංචාරකයන්ගේ සිත් ගත් රටක් බවට පත් වෙලා තියෙන්නේ එහි දක්නට ලැබෙන සිත් ප්‍රමුදිත කරන මනස්කාන්ත දර්ශන නිසාවෙන්. මෙය සංචාරය කිරීමට වගේ ම ජීවත් වීම සඳහාත් කදිම රටක් විදියට සලකන්න පුළුවන්. යුරෝපයේ ඇති කුඩා රටක් වන ඔස්ට්‍රියාව අධික ජනගහනයකින් යුතු රටක් නෙමෙයි. නමුත් ඔස්ට්‍රියානු වැසියන් තුළින් නිරතුරු ව ම දක්නට ලැබෙන උණුසුම් සහ සුහදශීලී පිළි ගැනීම සංචාරක ආකර්ෂණය සඳහා මෙන් ම ඔවුන් වැඩි කලක් ඔස්ට්‍රියාවේ රැඳී සිටීමටත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා.

රටවල් කිහිපයකට මැදි ව පිහිටි ඔස්ට්‍රියාවේ අගනුවර වන්නේ වියානා නගරය යි. ඔස්ට්‍රියාවට අයත් බිම් පෙදෙසෙන් විශාල කොටසක් උස් කඳු වැටිවලින් සමන්විත වන නිසා ම වසර පුරා ම රට තුළ සෞම්‍ය දේශගුණයක් දක්නට ලැබෙනවා.

4. නවසීලන්තය

ගන් ජලාශයේ දර්ශනයක් (govt.nz)

ගන් ජලාශයේ දර්ශනයක් (govt.nz)

නිරිතදිග පැසිෆික් සාගරයේ පිහිටි නවසීලන්තය, දූපත් දෙකකින් සමන්විත කුඩා රාජ්‍යයක්. ඉහළ ජෛව විවිධත්වයකින් මෙන් ම හිමෙන් වැසුණු කඳු වැටි සහ සුවිසල් බිම් පෙදෙසක පැතිරී ගිය තෘණ භූමිවලින් යුක්ත මෙය පුද්ගලයෙක්  ගැහැණු පිරිමි භේදයකින් තොරව තම ජීවිත කාලය තුළ දී එක් වරක් හෝ සංචාරය කළ යුතු රටක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.

වෙලිංටන් නගරය අගනුවර කර ගත් නවසීලන්තය ලොව පුරා සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට හේතු වෙලා තියෙන්නේ එහි දක්නට ලැබෙන ස්වභාවික සුන්දරත්වය සහ වසර පුරා පවතින විශ්මයජනක දේශගුණය යි. ඒ වගේ ම නවසීලන්ත රජය විසින් එරටට පැමිණෙන සංචාරකයන්ට සපයන ආරක්ෂාව සහ අයිතිවාසිකම් රැක දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, කාන්තා සංචාරකයන්ගේ අවධානය නවසීලන්තය කෙරෙහි යොමු වීමට තවත් එක් හේතුවක්.

5. ස්විට්සර්ලන්තය

ලුගානෝ ජලාශයේ දර්ශනයක් (Wikipedia)

ලුගානෝ ජලාශයේ දර්ශනයක් (Wikipedia)

අනෙකුත් යුරෝපීය රටවල් වගේ ම ස්විට්සර්ලන්තයත් සංචාරකයන් අතර ජනප්‍රිය වෙලා තියෙන්නේ රටේ පවතින ආරක්ෂාව, වසර පුරා දක්නට ලැබෙන සෞම්‍ය දේශගුණය සහ දෑසට ප්‍රියමනාප හරිත පැහැ වටපිටාව හේතුවෙන්. ඊට අමතර ව රසවත් ආහාර සකස් කිරීම අතින්ද ස්විට්සර්ලන්තය අනෙක් රටවල් අභිබවා  ඉදිරියෙන් ඉන්නවා.

6. ඕස්ට්‍රේලියාව

මෙල්බර්න් නුවර පිහිටි රාජකීය ප්‍රදර්ශන ශාලාව (Wikipedia)

මෙල්බර්න් නුවර පිහිටි රාජකීය ප්‍රදර්ශන ශාලාව (Wikipedia)

ලොව පුරා සංචාරක අවධානය වැඩියෙන් ම ලබා ගත් රටක් විදියට ඕස්ට්‍රේලියාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ම සංගණනයන්ට අනුව ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන් අතරින් වැඩි පිරිසක් කාන්තාවන් බවයි සඳහන් වෙන්නේ. එයට හේතුව ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවන් එරෙහි ව සිදු වී ඇති අපරාධ අනුපාතය ඉතාමත් පහළ අගයක් ගැනීමයි. ඊට අමතර ව ඕස්ට්‍රේලියානු ජාතිකයන් අතර දක්නට ලැබෙන ආචාරශීලී සහ උපකාරී ස්වභාවයත් මෙයට හේතුවක්.

අනෙක් රටවලට වඩා තරමක් වෙනස් දේශගුණයකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ දී හිමෙන් වැසුණු කඳු වැටි, අලංකාර මුහුදු තීරයන් වගේ ම අධික උණුසුමකින් යුතු කාන්තාර පවා දකින්න පුළුවන්. ඒ වගේ ම සංචාරක ආකර්ෂණය දිනූ ස්ථාන විශාල ප්‍රමාණයකින් ඕස්ට්‍රේලියාව අනූන වෙනවා.

7. ජපානය

කියෝටෝ හි පිහිටි රන් මණ්ඩප විහාරය (Wikipedia)

කියෝටෝ හි පිහිටි රන් මණ්ඩප විහාරය (Wikipedia)

හිරු නැගෙන දේශය නමින් ප්‍රසිද්ධ ජපානයේ කාන්තාවන්ට හිමි ස්ථානය ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂ ව ඉතාමත් ඉහළයි. ඒ නිසා වගේ කාන්තා ජනගහනය වැඩි වීම හේතුවෙන් අපරාධ අනුපාතය පහළ අගයක් ගැනීම නිසා ජපානය කාන්තා සංචාරකයන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. මේ හේතුව නිසා ම බොහෝ කාන්තාවන් ජපානයේ ස්ථිර පදිංචියට සඳහා දැඩි කැමැත්තක් දක්වනවා. ජපන් රජය මගින් කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලබා දීම ඊට තවත් හේතුවක්.

ටෝකියෝව අගනුවර කර ගත් ජපානයේ දක්නට ලැබෙන ඊට ම ආවේණික කලා ශිල්ප සහ සිරිත් විරිත් සංචාරකයන් අතර බොහෝ ජනප්‍රිය යි. ඒ අතරින් ජපන් තේ චාරිත්‍රය, ඉකෙබානා මල් සැකසුම් කලාව, මනස සුවපත් කරන ගෙවතු අලංකරණ ක්‍රම සහ ජපන් වේදිකා නාට්‍ය ප්‍රධාන තැනක් ගන්නවා.

8. කැනඩාව

ඔටාවා හි පිහිටි කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය (Wikipedia)

ඔටාවා හි පිහිටි කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය (Wikipedia)

ආරක්ෂාව අතින් ඉතාමත් ඉහළ, කාන්තාවන්ට සංචාරය කිරීම සඳහා අපූරු රටක් විදියට කැනඩාව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේ ම කැනඩා රජය මගින් විදේශිකයන් සඳහා පිරිනමන ආකර්ෂණීය රැකියා අවස්ථා හේතුවෙන් බොහෝ දෙනෙක් කැනඩාවේ ස්ථිර පදිංචියට කැමැත්තක් දක්වනවා.

අත්ලාන්තික්, පැසිෆිස් සහ ආක්ටික් සාගරයන්ට මැදි වෙලා පිහිටි කැනඩාව ලොව දෙවැනියට විශාල ම රට විදියට සැලකෙනවා. රට පුරා විහිදි ගිය වනාන්තර සහ රොකී කඳු වැටිය, අවදානම් ක්‍රියාවලට කැමති සංචාරකයන් අතර කැනඩාව ජනප්‍රිය වීමට හේතුවක්. ඒ වගේ ම රටේ විවිධ ස්ථානවල දී විඳ ගන්නට ලැබෙන එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්වයන් සංචාරකයන්ට ලැබෙන අපූරු අත්දැකීමක් විදියට සලකන්න පුළුවන්.

9. ෆින්ලන්තය

රෙපෝවේෂී ජාතික උද්‍යානය (Wikipedia)

රෙපෝවේෂී ජාතික උද්‍යානය (Wikipedia)

නිරිතදිග යුරෝපයේ පිහිටා ඇති ෆින්ලන්තය, ස්කැන්ඩිනේවියානු රටවල් ත්‍රිත්වයට අයත් රටක්. යුරෝපීය රටවල් අතරින් කාන්තාවන් සඳහා සමාන අයිතිවාසකම් සහ ඡන්ද බලය ලබා දුන් ප්‍රථම රට වන්නේ ෆින්ලන්තයයි. ඒ වගේ ම ෆින්ලන්ත ජාතිකයන් කාන්තාවන් සඳහා ඉතාමත් ඉහළ ගරුත්වයක් දක්වනවා. මේ නිසා ම සංචාරයට සුදුසු රටක් විදියට ෆින්ලන්තය කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය යි.

රට පුරා විහිදි ගිය පයින් වනාන්තර, එතරම් උස් නොවූ කුඩා කඳු වැටි, උල්පත් ජලයෙන් සැදුම් ලත් විල් සහ සුන්දර වෙරළ තීරයන් නිසා ෆින්ලන්තය සංචාරක ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඊට අමතර ව කඳු නැගීම, බෝට්ටු පැදීම සහ හිම මත ලිස්සා යාම වැනි එළිමහන් ක්‍රීඩා සඳහාත් ෆින්ලන්තය ප්‍රසිද්ධියට ලක්ව තියෙනවා.

10. සිංගප්පූරුව

සුල්තාන් මුස්ලිම් පල්ලිය (Wikipedia)

සුල්තාන් මුස්ලිම් පල්ලිය (Wikipedia)

අග්නිදිග ආසියාවේ පිහිටි ඉතාමත් කුඩා රාජ්‍යයක් විදියට සිංගප්පූරුව හඳුන්වන්න පුළුවන්. කාර්යබහුලත්වය සහ නාගරීකරණය අතින් ඉහළ ස්ථානයක සිටින සිංගප්පූරුව, සාප්පු සවාරි යන්න කදිමයි. ඒ වගේම තනිව සංචාරයේ යෙදෙන කාන්තාවකට රාත්‍රි කාලයේ දී පවා ආරක්ෂිත ව ගමන් කළ හැකි වටපිටාවක් සහිත රටක් තමයි මේ.

ඉතින් විදේශ ගත වෙන්න හිතේ ආසාවක් තියෙන ගෑනු ළමයින්ට බයක් සැකක් නැතු ව සංචාරය කිරීම සඳහා මේ රටවල් තෝරා ගන්න පුළුවන්. ඊට අමතර ව නිදහසේ නිවාඩුවක් ගත කරන්න නම් ගැහැනු පිරිමේ භේදයකින් තොර ව ඕනෑ ම කෙනෙක් යා යුතු ම රටවල් කිහිපයක් තමයි මේ. දැනටමත් ඔබ මේ රටවල්වලට ගිහින් තියෙනවා නම් ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: returnofkings.com

Related Articles