Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උඩරට ගලගෙදර කපොල්ලේ සිහිටවන

මහනුවර සිට කුරුණෑගල පාරේ කි. මී. 17ක් දුරින් තමයි ගලගෙදර පිහිටා තිබෙන්නේ. උඩරට රාජධානි කාලෙ දී මහනුවර නගරයට සත් කෝරළේ සිට පැමිණෙන රටවාසීන් ගලගෙදර කපොල්ල තරණය කළ යුතු වුණා. අරඹෙ කන්ද, මල්අස්න කන්ද, මුදුනෙ කන්ද යන කඳු  අතරින් වැටුණු අඩි පාරේ කපොල්ල තරණය කිරීම ඉතා දුෂ්කර වැඩක් වුණා.

මේ කපොල්ලට අමතරව උඩරටට පිවිසෙන තවත් දුෂ්කර කපොලු දෙකක් වුණු බලන කපොල්ල කොළඹ මහනුවර පාරෙත්, බලකඩුව කපොල්ල මාතලේ මහනුවර පාරෙත් පිහිටා තිබුණා. මේ දුර්ග නිසාම උඩරට රාජධානියට කදිම ආරක්ෂාවක් ද සැලසුණා.

ඉතිහාසය

ගලගෙදර අවට ලෙනක්- youtube.com

 

මහනුවර දිස්ත්‍රික්කයේ බටහිර දෙසින් පිහිටි ගලගෙදර අදත් ග්‍රාමීය සුන්දරත්වයක් දැකගත හැකි කඳු වටකරගත් පෙදෙසක්.  මෙම ප්‍රදේශය ලංකාවට බුදුදහම ලැබුණු කාලයට ආසන්න කාලයක සිට බෞද්ධ ජනතාවකට වාසභූමි වූ බව අවට ලෙන්වලින් ලැබෙන සෙල්ලිපි සාක්ෂ්‍ය දරනවා.  ගලගෙදර ගිරිහාගම කඳු මුදුනෙහි ගැරඬිගල පර්වතය ආශ්‍රිතව පිහිටි භගවා ලෙන සෙල්ලිපිය ඒ අතරින් ඉතා වැදගත්. ආර්යයන් දැදුරුඔය දිගේ වයඹ පළාතට පැමිණ, ගලගෙදර කොස්පොතු ඔයෙන් එගොඩ වී මධ්‍ය කඳුකරයට ඇවිත් වාසය කළ බව වෑඋඩ, ගලබාව, ගුණදාහ ගිරිහාගම, බගවා ලෙන යන පෙදෙස්වල ඇති කටාරම් කෙටූ ලෙන්වලින් පැහැදිලි වෙනවා.    

ගලගෙදර පිහිටීම – google maps

ක්‍රිස්තු පූර්ව 104 වැන්නෙහි දී වට්ඨගාමිණී හෙවත් වළගම්බා රජු පරදා සොළීන් බලය ලබාගත් නිසා ඒ රජු වසර 16ක්ම සැඟවී සිට සේනා සංවිධානය කර නැවත රජකමට පත්වුණා. රජු සැඟවී සිටි ස්ථානයන්හි ගල්ලෙන් තුළ විහාර මන්දිර ඉදිකළ බව ජනප්‍රවාදවල පැවසෙනවා. ගුණදාහ, වෙහෙරගල, කොළුගල යන විහාරස්ථාන එසේ මහනුවර අවට වළගම්බා ජනප්‍රවාදය හා සම්බන්ධ ස්ථාන යි. ඒවා නැරඹීමට පැමිණි රජු ගුණදාහ කඳු මත සංඝයාවහන්සේ දහසකගේ සිවුරු වනා කහ පාටින් දිස්වූ හෙයින් ඒ පර්වතයට “කසාගල” යන නම් තැබූ බවත්, පසුව කහගල බවට පත්වී ඇති බවත් තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා.   

ගැරඩිගල – google maps

කහගල, ගැරඬිගල, බැලුම්ගල, වම්බටුගල යන උස් කඳු පර්වත හා කඳුවලින් වටවූ දුර්ගයක් නිසා එදා ගලගෙදර කපොල්ල ලෙස හඳුන්වා තිබෙනවා. ගලගෙදර මුරපොළ 1765 ලන්දේසි ආක්‍රමණයේ දී ලන්දේසින් යටත්කර ගත් අතර, පසුව සිංහලයන් අතට පත්වුණා. 1803 දී කළ උඩරට ආක්‍රමණයේ දී ඉංග්‍රීසීන් විසින් ද එය ටික කලකට අත්පත් කරගත්තා. 1818 උඩරට විමුක්ති අරගල සමයේ දී මෙම බලකොටුවේ ආසියාතික හා යුරෝපීය භටයන් 60 දෙනෙකු සිටි බව සඳහන්ව තිබෙනවා.

එම කොටුවෙ නටබුන් මෑත අතීතය දක්වා ගලගෙදරට බටහිරින් කඳු මුදුනේ දකින්න ලැබුණා.

භගවා ලෙන

ගැරඩිගල කඳු මුදුනේ සිට – google maps

ගලගෙදර අරඹෙකඩේ අසලින් හැරී දකුණට යන බොක්කාවල පාරේ කි. මී. 2ක් පමණ ගොස් ගිරිහාගම කණිටු විදුහල අසලින් හැරී ගල්ලෙන වත්ත ජනපදයට යන පාරේ පියමං කර භගවා ලෙනට පිවිසිය හැකියි. මේ ලෙන තිබෙන්නේ පෞද්ගලික වතුයායක යි. එම ලෙන ටික කලකට පෙර පෞද්ගලික භාවිතයට යොදාගෙන තිබුණා. කටාරම් කොටා ක්‍රි. පූ. යුගයේ භික්ෂූන්ට පූජාකර ඇති එම ලෙන ඉදිරිපස ගල්පව්වක සෙල්ලිපියක් කොටා තිබෙනවා. 

පරුමක බරුකචග මලහ ලෙනෙ යන්න එහි සඳහන් වෙනවා. ඉන් අදහස් කරන්නේ භාරුකච්චයට ගිය ප්‍රමුඛ මලහගේ ලෙන සංඝයාට බව යි. පුරාණයේ ඉන්දියාවේ භාරුකච්ච නගරයට ගිය වෙළෙඳුන් සිටි බව මින් හෙළිවන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරනවා. 

සුද්දන්ගේ උසාවිය   

ගලගෙදර අවට කඳු- google maps

ඉංග්‍රීසින් 1848 සිදුවූ මාතලේ කැරැල්ලෙන් පසුව තුම්පනේ, හාරිස්පත්තුව ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ගලගෙදර මඩවලතැන්නේ පොලිස් උසාවියක් පිහිටවනු ලැබුවා. ඒ 1848 අවුරුද්දේම යි. ආරම්භ කළ දිනයේ සිට 1885 දක්වා වසර 37ක්ම එහි මහේස්ත්‍රාත් තනතුර දරා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. 1885 වසරේ දී ප්‍රථම වතාවට සිංහලයෙකු වූ වෑත්තෑව පරණගම වලව්වේ ඇල්බට් එඩ්වඩ් පරණගම මහේස්ත්‍රාත් වශයෙන් පත්ව තිබෙනවා. අද එය ගලගෙදර මහේස්ත්‍රාත් උසාවිය බවට පත්ව ඇති අතර පසුගිය දා උසාවිය නව ගොඩනැගිලි සංකීර්ණයකට ගෙන ගියා.   

ජාතික පාසල   

විදුහලේ නාම පුවරුව- facebook

1823 ඉංග්‍රීසි පාලන යුගයේ දී “ගලගෙදර ඉංග්‍රීසි පාඨශාලාව” යනුවෙන් මුලින්ම මෙය ආරම්භකර තිබෙනවා. පසුව 1890 දී “රජයේ ද්විභාෂා පාඨශාලාව” නමින් හඳුන්වා තිබෙනවා.  1946 දී රජයේ ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි පාඨශාලාව යනුවෙන් උසස්කර බෞද්ධ, ක්‍රිස්තියානි, හා ඉස්ලාම් භක්තික දරුවන්ට ද අධ්‍යාපන අවස්ථාව ලබාදුන්නා.   

1954 දී එවකට සෞඛ්‍ය අමාත්‍යධුරය දැරූ ඊ. ඒ. නුගවෙල විසින් පාසල සංවර්ධනය කළා. එවකට අග්‍රාමාත්‍යව සිටි ජෝන් කොතලාවල “රජයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාලයය” නමින් එය විවෘත කළ බව සඳහන් වෙනවා. ඉන්පසු 1979 දී මධ්‍ය මහා විද්‍යාලයයක් බවට පත් පාසල, 1998 දී ජාතික පාසලක් බවට පත් කළා. අද එය ප්‍රදේශයේ කැපීපෙනෙන අධ්‍යාපන ආයතනයක්. 

ශුද්ධ වූ රෆායෙල් දේවස්ථානය   

මහනුවර පදවියේ කටුගස්තොට මීසමට අයත් මෙම දෙව්මැදුර ශුද්ධ වූ රෆායෙල්තුමන්ට කැපකළ දේවස්ථානයක්.   එය බෙනදිකානු පියවරුන් සතුවන අතර, දෙව් මැදුර වසර 140කටත් වඩා පැරණි යි. අප රටේ ශු. රෆායෙල් මුනිවරයන්ට කැපවූ දේවස්ථාන පවතින්නේ ඉතා සුළු සංඛ්‍යාවක් වන අතර මහනුවර පදවියේ දේවදූතයන්ට කැපවූ එකම දෙව්මැදුර ද මෙය ලෙස සැලකෙනවා.

පොලිසිය   

පොලිස් ගොඩනැගිල්ල පසුපසින් -lankadeepa.lk

1867 වසරේ දී එවකට පොලිස්පතිව සිටි ඩබ්ලිව්. කැම්බල්ගේ තීරණයකට අනුව ගලගෙදර පොලිස් ස්ථාන ගොඩනැගිල්ල ඉදිවුණුබව සඳහන්. එය අඩි කිහිපයක් උස්කර තැනූ පාදමක් මත තැනූ ගොඩනැගිල්ලක්. වරින් වර සුළු අලුත්වැඩියාවන් කර තිබෙනවා. නමුත් පැරණි කළුගල් බිත්ති තවමත් අතීත මතක සිහිපත් කරනවා.

යටිවාවල අම්බලම

අම්බලම – Amazing lanka.com

ගලගෙදර නුදුරින් පිහිටි යටිවාවල තිබෙන මේ අම්බලම පුරාණයේ පාගමනින් මහනුවරට යන මඟීන් නවාතැන්ගත් ස්ථානයක්. අද නම් එය අලුත්වැඩියාවලට ලක්වෙලා.  යටිවාවල සුසාන භූමිය ඉදිරිපස ඇති පොල්වත්ත මාවත ඔස්සේ මඳ දුරක් යන විට වෙල්යායක් ඉදිරිපස මෙම අම්බලම පිහිටා තිබෙනවා. මෙය තනා තිබෙන්නේ ගඩොල් හා බදාම භාවිතයෙන්.  සිමෙන්ති පාදමක් මත කණු සතරක් තනා ඒ මත වහලය ගොඩනංවා තිබෙනවා. අලුත්වැටඩියාවන්හි දී එයට සෙවිලි කර ඇත්තේ සිංහල උළු යි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

Amazing lanka.com

Lankadeepa.lk

Cover- ගලගෙදර අවට - google maps

Related Articles