අවුකන වටා පුදබිම් දැකගන්න

කලාවැවට නුදුරින් පිහිටි අවුකන විහාරය වටා පිහිටි ඉපැරණි පුදබිම් කිහිපයක් ම අපට දැකගන්න පුළුවන්. එදා කලා වැව හදපු ධාතුසේන (ක‍්‍රි.ව.455-473 ) රජු මේ පුදබිම් අතරින් වැඩි ප්‍රමාණයකට සම්බන්ධ බවට ඓතිහාසික තොරතුරු වගේ ම ජනප්‍රවාදත් තිබෙනවා. මේ අතරින් ලොව පුරා ප්‍රකට අවුකන රජමහා විහාරය මුල් තැනෙහි සලකන්න පුළුවන්. අනුරාධපුරයට යන දෙස් විදෙස් සංචාරයකයන් රාශියක් අවුකනටත් එනවා. අවුකන ඇතුළු ව කලා වැව අවට පිහිටි තවත් පුදබිම් කිහිපයක් ගැන ඔබ දැනුවත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ. ඊළඟ වතාවේ අවුකන ගිය විට ඔබටත් පුළුවන් මේ ස්ථාන ගිහින් දැකබලා ගන්න.

අවුකන රජමහා විහාරය

අවුකන විහාරයට පිවිසෙන ශෛලමය පියගැට පෙළ- කුසුම්සිරි විජයවර්ධන

අවුකන අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ, නෑගම්පහ කෝරළයේ, කලාගම් පළාතේ, ගලේගොඩ කඳු තුලානෙහි පිහිටා තිබෙනවා. නෑගම දුම්රියපළේ සිට දුර කි. මී 2 යි. කැකිරාව-ගලේවෙල මාර්ගයේ 9 වැනි සැතපුම් කණුවෙන් හැරී කි. මී. 3ක් ගමන් කිරීමෙන් වාහනයකින් මේ වෙත ළඟාවිය හැකියි.

බුදු පිළිමයට අමතර ව ලෙන් කිහිපයක් ද ඒ අසල කඳුගැටයේ පිහිටා තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ ධාතුසේන රජු අවුකන ඉදිකිරීමට පෙර එනම්,  ක්‍රි. පූ. 1 සහ ක්‍රි. ව. 1 අතර මේ ලෙන් භික්ෂු වාසයට නතු ව පැවති බව යි. එම ලෙන් කටාරම් කොටා පූජා කළ බව දැක්වෙන සෙල්ලිපි 6ක් ද පිහිටා තිබෙනවා. 1895 දී පමණ එච්. සී. පී. බෙල් මෙම ප‍්‍රතිමාව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පළමු වරට පුරාවිද්‍යා පරීක්‍ෂණ ආරම්භ කළා.

ප්‍රතිමාවේ ශීර්ෂය – theuniquetravel.co.uk

අවුකන පිළිමගෙය සුප‍්‍රසිද්ධ අවුකන බුද්ධප‍්‍රතිමාව ආවරණය වන පරිදි ඉදිකර තිබුණේයැ යි විශ්වාස කරන ප‍්‍රතිමා ගෘහය යි. මහාචාර්ය සෙනරත් පරණවිතාන පවසන්නේ මේ ප්‍රතිමාව 5-8 සියවස් අතරට අයත් වන බව යි. අටවන හෝ නවවන සියවසට අයත් එහි අද ඇත්තේ පිළිමය සහ පිළිමගෙයි නටබුන් වශයෙන් ශෛලමය බිත්ති පමණයි. මේ ප‍්‍රතිමා ගෘහයේ පිටත දිග අඩි 74ක්. අඩි 63ක් පළලින් යුක්ත යි. පහළ කොටස් සඳහා කළුගල්පුවරු ද, ඉහළ කොටස් සඳහා ගඩොල් ද යොදාගෙන ඇතැ යි සිතිය හැකියි. අද කළුගල් බිත්ති පමණක් ඉතිරි ව පවතිනවා.

ප්‍රතිමාවට ශිඛරාකාර වහලයක් තිබෙන්නට ඇති බව ඉතිහාසඥයන් පවසනවා. කළුගලින් කළ කොටස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ප‍්‍රතිසංස්කරණය කර තිබෙනවා. ගොඩනැගිල්ලට අයත් ගල්පුවරුවක කොටා ඇති සෙල්ලිපියකින් පේන්නේ මෙම ගොඩනැගිල්ල බුද්ධ ප‍්‍රතිමාව හා සමකාලීන නොවන බවත්, පසුකාලීන ව ඉදිකළ බවත්.

කලාවැව- කුසුම්සිරි විජයවර්ධන

මහාවංශය ධාතුසේන රජු කරවූ කාලසල නම් විහාරයක් ගැන සඳහන් කරනවා. එය අවුකන විහාරය බව සැලකෙනවා. අවුකන පිළිමය උසින් අඩි 38 යි අඟල්  10ක්. එය අප රටේ විශාල හිටි බුද්ධ ප්‍රතිමාවක්.

එය ඉදිකර තිබෙන්නේ පද්මාසනයක් මත යි. අභය මුද්‍රාව නිරූපිත පිළිමයේ වම් අත සිවුරු කොණ දරාගෙන සිටින සේ නිර්මාණය කර තිබෙනවා. සිවුර නෙළා ඇති ආකාරය අනුව ඉතා දුහුල් ස්වභාවයක් දක්වනවා. අඳනයට තෙරපී ආ මාංශ පේශි රැළි සිවුර තුළින් ද මතුකර ඇති අයුරු ශිල්පියාගේ දක්ෂතාව පෙන්වයි.

උස්ගල ධාතුසේන විහාරය

මුලින්ම ප්‍රතිමාව තැනීමට උත්සාහ කළ බව පැවසෙන උස්ගල- කුසුම්සිරි විජයවර්ධන

කලාවැවට නුදුරින් පිහිටි මේ විහාරය ඈතදීම හඳුනාගැනීමට පුළුවන්. ඒ  ගල්පර්වත අතර උසින් අඩි 100කට වඩා උස, විශාල ගල්කුලක් නැගී සිටින නිසා යි. ඒ නිසා එම ගම හඳුන්වන්නේ උස්ගල කියලයි. මේ ගල්කුල කලාවැවටත් පැහැදිලි ව පේනවා. වැවේ වැඩට පැමිණි ශ්‍රමිකයින් වැව වටේ ගම්මානවල පදිංචි කරලා ඔවුන්ගේ ගම්පතියන් රැස්වීම් සඳහා කැඳවූ තැන උස්ගල බවට විශ්වාසයක් පවතිනවා.

ධාතුසේන රජතුමා වැවේ ඉදිකිරීම් නිරීක්ෂණයට පැමිණි විට විවේක ගත් ස්ථානයත්, වැවේ කටයුතු විමසීමට නිලධාරීන් රැස් කරවූ සම්මන්ත්‍රණ ශාලාවත් ඇත්තේ උස්ගල ධාතුසේන විහාරයට යාබද ස්ථානයක බව පැවසෙනවා. රජතුමා රැස්වීම් ශාලාවට නිතර පැමිණෙන නිසා ඒ විහාරාරාම අතරින් ප්‍රධානම ස්ථානය හිමිවෙලා තියෙන්නේ උස්ගල විහාරයට. එවකට අවුකන විහාරය තනා තිබුණේ නැහැ. උස්ගල වටා පිහිටි ජනප්‍රවාදයකින් කියැවෙන්නේ ධාතුසේන රජු විශාල හිටි පිළිමයක් නෙළන්න මුලින්ම තෝරාගත්තේ මේ ගල්කුල බව යි.

විහාර බිම- කුසුම්සිරි විජයවර්ධන

එය අවුකන පිළිමයට ස්වරූපයෙන් සමාන ආකාරයේ ගල්කුලක් බව ඔබටත් ගියොත් පෙනේවි. මේ නිසා වැව දිහා බලාගෙන ඉන්න හිටි පිළිමයකට කියාපු තැන තමයි මෙතැන.  එහෙත් පිළිමය නෙළීම ආරම්භ කර සිරස තැනීමට උත්සාහ කරන විට ගල්කුල පළුදු වී නුසුදුසු තත්ත්වයට පත්වෙලා. අවශ්‍ය සැල­සුම් සකසා දළ ආකෘ­තිය අනුව ගල් පර්ව­තය හැඩ කිරී­මට උත්සාහ ගැනී­මේ දී එහි වූ අභ්‍ය­න්තර දෙද­රා­යා­ම­කින් බුදු පිළි­මයේ හිස වෙනු­වෙන් වෙන්කළ කොටස කැබැලි වී ගොස් තිබෙනවා. ඒ නිසා තමයි වැවට සැතපුම් හතරක් ඇතින් සොයාගත් ගල්කුලක “අවුකන’ පිළිමය නෙළා තිබෙන්නේ.

සිරිපතුල් කැටයම- කුසුම්සිරි විජයවර්ධන

පුරාවිද්‍යා ස්මාරකයක් වන උස්ගල, අනුරාධපුර යුගයේ නටබුන් සහිත ලෙන් විහාරයක්. මෙහි පැරණි ගල්කණු, සිරිපතුල් ගල් ආදිය දැකගන්න පුළුවන්. කටාරම් කෙටූ ලෙන් කිහිපයකුත් මෙහි පිහිටා තිබෙනවා. ඒ අතර පර්වතයක කැටයම් කර ඇති සිරිපතුල් සටහන විශේෂත්වයක් ගන්නවා. ලෙන් විහාරයේ ප්‍රතිමා නම් මෑතකාලීන නිර්මාණයන්. ඉතා සුන්දර ස්ථානයක පිහිටි විහාරයක් බව ඔබ එහි ගියහොත් දැනේවි.

කඩවර දේවාලය

කඩවර දේවාලය- කුසුම්සිරි විජයවර්ධන

ධාතුසේන රජු සෑදූ කලාවැවට අධිපති ලෙස සැලකෙන්නේ කඩවර දෙවියන්. දෙවියෙක් විදිහට අදහන කඩවර එදා ඉඳන් අද දක්වා කලාවැවත්, කලාවැවේ දියවරෙන් පිදෙන ගොවි බිම්, සහ එහි වැසියනුත් ආරක්ෂා කරන බව තමයි විශ්වාස කෙරෙන්නේ. කලා වැව් බැම්මේ කඩවර දේවාලය හැරෙන්නට අයියනායක, විෂ්ණු, සහ ගණ දෙවියන් වෙනුවෙන් දේවාල තුනකුත් තැනින් තැන තියෙනවා. කලා වැව නිර්මාණයට පෙර ඒ අවට සංචාරය කරන ධාතුසේන රජුට වනාන්තරයේ ජීවත් වූ වැද්දෙක් හමුවුණාලු. වැව ඉදිකර තිබෙන්නේ ඔහුගේ මඟපෙන්වීම අනුවලු. මේ වැද්දා පසු ව වැව ආරක්ෂා කිරීමේ තනතුරට පත් කරනවා. නමුත් කුමන්ත්‍රණයකින් මරා දැමූ ඔහු පසු ව දෙවියෙක් ලෙස වැව ආරක්ෂා කරන බව යි පැවසෙන්නේ. මේ කඩවර දෙවියන්ට වෙන්වූ දේවාලය වෙත විශාල පිරිසක් පිහිට පතා ඇදී එනවා. ඔවුන් කපුවන්ට කියා යාතිකා කර පිහිටාරක්ෂාව පතනවා. මෑතක දී මෙම ස්ථානයේ නව දේවාල ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබෙනවා.

බැලුම්ගල නටබුන්

බැලුම්ගල සිට පෙනෙන විජිතපුර අවට දසුනක්- maxpixel.net

මේ අවට පුලියන්කුලම නටබුන් සහිත පුරාවිද්‍යා රක්ෂිතය, වන්නියාගල නටබුන් ප්‍රදේශය, වෙහෙරගල රජමහා විහාරය, හා පූගොල්ලාගම ගල්ළිඳයාය ප්‍රදේශය ද පෞරාණික විහාරස්ථානවල ශේෂයන් අපට දැකගත හැකි වෙනවා. මේ අතරින් පුලියන්කුලම, වන්නියාගල, හා බැලුම්ගල නම් කඳුගැටයට නුදුරින් පිහිටි පූගොල්ලාගම ගල්ළිඳයාය ද වනවදුලින් වැසී ගිය පුරාවිද්‍යා කැණීම් නොකළ භූමි ප්‍රදේශයක්.

සියුම් ව ඔපකළ ගල්පුවරු රැසක් මෙම භූමියේ බැලුම්ගලට නුදුරු වනයට යට ව තිබෙනවා. එක් ස්ථානයක ගල්පර්වතයක මැටි පහන් ආකාරයට හෑරූ සිදුරු රාශියක් සහිත යි. එය හඳුන්වන්නේ පහන්ගල නමින්. බැලුම්ගල නම් ගල්තලාවට පිවිසීමට පියගැට ද සකසා තිබූ අතර ඒ මතට විජිතපුර, අවුකන, රිටිගල, මානාකන්ද, උස්ගල ආදී ස්ථාන කදිමට දර්ශනය වෙනවා. පසුගිය දිනවල මේ අවට පුරාවිද්‍යා ස්ථානයක් ඩෝසර් කිරීම නිසා විශාල විරෝධතා පැන නැගුණා.

විජිතපුර විහාරය

විහාරයේ දාගැබ- කුසුම්සිරි විජයවර්ධන

ඉපලෝගම ප්‍රා. ලේ. කොට්ඨාසයේ, උතුරු කලාගම් කෝරළයේ, 66 තුලානේ පිහිටි මේ පුදබිම වන්දනාකරුවන් අතර ජනප්‍රිය වන්නේ එළාර-දුටුගැමුණු රජුගේ විජිතපුර සටන සිදු වූ ස්ථානය ලෙස යි. නමුත් පුරාවිද්‍යාත්මක ව එය විජිතපුර බලකොටුව මේ ස්ථානයේ පිහිටි බව තහවුරු වී නැහැ. කලාවැවට උතුරින් කුඩා කඳුගැටයක් පාමුල විහාරය පිහිටා තිබෙනවා. එයට කැකිරාව නගරයේ සිට කි. මී. 7ක් පමණ දුර යි. කලාවැවේ සිට තිසාවැවට ගලා බසිනා යෝධ ඇළ ගලා යන්නේ විජිතපුර විහාරයට නුදුරින්.

පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් වන විහාරයේ නටබුන් අක්කර 45ක් පුරා පැතිර තිබෙනවා. ධාතුසේන රජ සමයේ කලා වැව ඉදිකිරීමේ දී විජිතපුර බලකොටුවට අයත් භුමි ප්‍රමාණයක් කලාවැවට යටවුණු බවත් ජනප්‍රවාදයේ සඳහන්.

කඩුගෑ ගල- කුසුම්සිරි විජයවර්ධන

ජනප්‍රවාදයන්ට අනුව අනුරාධපුරයට ආසන්න ව පැවති එළාරගේ විජිතපුර බලකොටුව ඉතා ශක්තිමත් ව ඉදිකර තිබුණා. දුටුගැමුණු රජු, එළාර පරදවා විජිතපුරය ජයගැනීමෙන් පසු ව එම ජයග්‍රහණය සිහිවීමට මෙහි දාගැබක් ඇතුළු විහාරාරාම තනවා ඇති බව පැවසෙනවා. නටබුන් දාගැබ මෑත අතීතයේ දී ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මෑතක දී ඉදිකළ අලංකාර ප්‍රතිමා මන්දිරයක් ද මෙහි දී දැකගත හැකියි.

අනුරාධපුර යුගයේ මැද භාගයට අයත් විහාරයක නටබුන් මෙහි පැතිර තිබෙනවා. පියගැට පෙළ සහිත විහාර ප්‍රවේශයක් ද මෙහි දැකගත හැකියි. සඳකඩපහණ, මුරගල්, සහ කොරවක්ගල්වලින් එය සමන්විත යි. නමුත් පුරාවිද්‍යා සංරක්ෂණයක් සිදු වී නැහැ. එයට අමතර ව ගල් උළුවහුවල කොටස්, සිරිපතුල් ගල්, කැසිකිලි ගල්, මුරගල්, ගල්කණු ආදී නටබුන් රාශියක් මේ බිමේ අතීතය නිහඬ ව පවසන ස්මාරක වශයෙන් පවතිනවා.

මුරගල්- කුසුම්සිරි විජයවර්ධන

පැරණි නටබුන් අතර තිබෙන අඩි 5ක් දිග, අඩි එකහමාරක් පළල ගල්පුවරුව හඳුන්වන්නේ කඩුගෑ ගල නමින්. එම පුවරුව විජිතපුර සටනේ දී කඩු මුවහත් කිරීමට යොදාගන්නට ඇති බව සැලකෙනවා. ඒ එම ගල් මැදින් ගෙවී ඇති ආකාරය නිසයි.

දාගැබට නුදුරින් අඩි 7ක් පමණ උස ගඩොල් ගොඩැල්ලක් ද තිබෙන අතර, ජන විශ්වාසය වන්නේ එය මහාවංශය ලියූ මාහානාම හිමියන්ගේ සොහොන බව යි.

මූලාශ්‍රයයන්:

ශ්‍රී ලංකාවේ රජමහා විහාර- කුසුම්සිරි විජයවර්ධන

රජරට ප්‍රවේණිය- චන්ද්‍ර වික්‍රමගමගේ

Related Articles